වර්ෂ 2014 ක්වූ ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




මට ඊර්ෂ්‍යාකාරයෝ එමටයි

මට ඊර්ෂ්‍යාකාරයෝ එමටයි

විමල් කුමාර් ද කොස්තා

හිතේ කටු නැහැ, මල් විතරයි පිපෙන්නේ ඒකයි අදටත් මම මෙහෙම ඉන්නේ

විමල් කුමාර් ද කොස්තා ලාංකේය සිනමාවේ බිහි වූ දක්‍ෂ චරිතාංග නළුවෙකි. එහෙත් කලක් පෙනෙන්නට නොසිටි ඔහු යළිත් කතා බහට ලක් වෙමින් සිටී. ධර්මසේන පතිරාජ, ගාමිණී ෆොන්සේකා වැනි දැවැන්තයන්ගේ චිත්‍රපට සමඟ සිනමාවේ මතක සිටින චරිත මැවූ කොස්තා සමඟ දිගු කලකට පසු සරසවිය කරන සංවාදයකි මේ.

* ඉතින් කොස්තා අයියේ මං හිතනවා ‘ඉස්සරහට යන්න’ මේ කතාව අරඹන්න සුදුසුම මාතෘකාව කියලා?

ඔව්, මේතාක් කල් මට රඟපාන්න විවිධ චරිත ලැබුණා. ඒක එක්තරා අතකින් වාසනාවක්. නලීන් මාපිටිය අධ්‍යක්‍ෂණය කළ ‘ඉස්සරහට යන්න’ ටෙලි නාට්‍යයේ මං කරන විශ්‍රාමික පොලිස් නිලධාරියාගේ චරිතය එබඳු එකක්. වයසට ගියාට මුදල්වලට කෑදරයි ඔහු. තවත් වෙලාවක සංවේදියි. පපුවේ අමාරුකාරයා. මට කරන්න පුළුවන් උපරිම විදියට ඒක කළා.

* මේ වනවිට ඔබ සිනමා රංගනයෙන් තරමක් දුරට ඈත් වෙලා?

එහෙමත් නැහැ. ධර්මසේන පතිරාජගේ අලුත් චිත්‍රපටයක රඟපෑවා.

* සමහරු හිතාගෙන ඉන්නවා ඔබ සිනමාවෙන් සමු අරන් කියලා?

ඕක කටකතාවක්. මට අදටත් ඊර්ෂ්‍යාකාරයෝ එමටයි. ඔවුන් පතුරන කතාවක් ඒක.

* කොස්තට මෙගා හොඳද?

හොඳයි, අනිවාර්යයෙන්ම හොඳයි. ඇයි ඔයා එහෙම ඇහැව්වෙ.

* මෙගා කරන්න ගියාම ප්‍රවීණයෝ අවතක්සේරුවට ලක්වෙන අවස්ථා මං දැකලා තියෙන නිසා?

දෙයියන්ගේ පිහිටෙන් මට නම් එහෙම අත්දැකීම් නැහැ.

* එතකොට ගෙවන මුදල?

මට හොඳටෝම ඇති. මගේ වටිනාකම කීයද කියලා දැනගෙනයි නිර්මාණකරුවෝ මට කතා කරන්නේ.

* කොහොමද දශක පහකට ආසන්න කාලයක් තමන්ගේ වටිනාකම රැක ගත්තේ?

හිත හොඳයිනේ මල්ලී. හිතේ කටු නැහැ. මල් විතරයි පිපෙන්නේ. ඒකයි මම අදටත් මෙහෙම ඉන්නේ.

* ඇයි මීවිතත් එක්ක මෙච්චර ළෙන්ගතු?

මාත් සාමාන්‍ය මනුස්සයෙක්නේ. හැබැයි ඔබ මීවිත ගැන අහපු නිසා මෙන්න මේකත් කියන්න ඕනේ.

* මොකක්ද?

අපේ සමහර නවපරපුරේ නිර්මාණකරුවෝ හිතාගෙන ඉන්නවා මං රඟපාන්න එන්නෙත් බීමතින් කියලා. ඒ කතාවත් හදලා තියෙන්නේ මට ඉන්න ඊරියාකාරයෝ. මගේ වෘත්තීය ගරුත්වය මං පණ වගේ රකින්නේ. මීවිත ගැන මතක් කරද්දී මරු සිද්ධියක් මතක් වුණා.

* කියන්නකෝ බලන්න?

සුගතපාල ද සිල්වා ගේ ‘දුන්න දුනු ගමුවේ’ නාට්‍යයේ ෂෝ එකක් තිබුණා රත්නපුරේ. 3.30 දර්ශනය හොඳින් ඉවර වුණා. 6.30 ෂෝ එක පටන් අරන් මං වේදිකාවට ඇවිත් රංගනයේ යෙදිද්දී ක්‍රම ක්‍රමයෙන් මගේ හඬ අඩු වුණානේ. ටික වෙලාවකින් කටහඬ එන්නෙම නැතුව ගියා. හැබැයි ප්‍රේක්‍ෂකයන්ට ඒක තේරුණේ නාට්‍යයෙම කොටසක් හැටියට. සුගත් ටක්ගාලා මීවිත පුරවපු වීදුරුවක් අරන් ස්ටේජ් එක අයිනට ආවා. මාත් රඟපපා ප්‍රේක්‍ෂකයන්ට නොපෙනෙන්න එතනට ගිහින් විදුරුව අතට අරගෙන අමුවෙන්ම ඒක බිව්වා. මෙන්න බොලේ තිබුණටත් වඩා හොඳට කටහඬ ආවා. සුගතේ ඇතුළු නාට්‍ය කණ්ඩායම කොළඹට එනකම්ම ඒ සිදුවීම මතක්කර කර හිනාවුණා.

* අතීතයද වඩා සුන්දර වර්තමානයද?

අතීතය, අතීතය එහෙම් පිටින්ම සුන්දරයි. වර්තමානයේදී ඇතැම් නිර්මාණ පමණක් සුන්දරයි.

* ඔබව අල්ලාගන්න හරිම අමාරුයි කියලා හැමෝම කියනවා?

ඒකට ප්‍රධානම හේතුව මට ජංගම දුරකථනයක් නැතිකම.

* ඇයි හෑන්ඩ් ෆෝන් එකක් පාවිච්චි නොකරන්නෙ?

පාවිච්චි කළා මල්ලී. ඒ හැම එකක්ම තැන්තැන්වල අමතක වෙලා දාලයි මං ගෙදර එන්නේ. ඔය වගේ හෑන්ඩ් ෆෝන් විස්සක් විතර නැති වුණා.

* අධ්‍යක්‍ෂණයට ඇයි පමා?

ඒකට මං තවම සුදුසු නැහැ.

* සුදුසු නැහැ?

ඔව්, අධ්‍යක්‍ෂණය කියන්නේ හරිම භාරදූර වගකීමක්. මං තවම ඒකට පුංචි වැඩියි.

* විමල් කුමාර් ද කොස්තා කවදාවත්ම අධ්‍යක්‍ෂණයට පිවිසෙන එකක් නැති වෙයිද?

කාලයක් යනකොට අධ්‍යක්‍ෂණයට පිවිසීමේ අදහස මගේ සිතට එයි. මම කරනවානම් කරන්නේ හරිම සංවේදී චිත්‍රපටයක්.

* අපේ චිත්‍රපට කලාව කොයි අතටද ගමන් කරන්නේ?

කියන්න දුකයි. වගකවයුතු බොහොමයක් නිහඬයි. සිනමාව අයාලේ යනවා කියලා මට හිතෙනවා. සිනෙස්ටාර් පදනමේ සභාපති ජයන්ත ධර්මදාස මහත්තයා වයෝවෘධ කලා කරුවන්ට රුපියල් පන්දහසක දීමනාවක් දෙනවා. ඒ වගේම රක්‍ෂණ ක්‍රමයකුත් හදලා දීලා තියෙනවා. ඇත්තෙන්ම ඒ කාර්යයන් කරන්න ඕනෙ චිත්‍රපට සංස්ථාවයි.

* එතකොට පිටපත් ගණනේ ප්‍රශ්නය?

අන්න එතෙන්දි මට කියන්න තියෙන්නෙ අනිත් නිර්මාණ කරුවන්ටත් ඉඩදීලා චිත්‍රපට බෙදාහරින්නයි කියන එක.

* ඔබට දේශපාලනය කරලා මොනවද ලැබුණේ?

මං වත්මන් රජය වෙනුවෙනුත් වේදිකාවට නැග්ගා. ඒත් උදවු බලාපොරොත්තුවෙන් නෙවෙයි.

* කවුද ක්ෂේත්‍රය තුළ සිටින මිත්‍රයෝ?

කලං තමයි හොඳම යාළුවා. ගාමිණී මහත්තයාවත් ළඟින්ම ඇසුරු කළා.

* අද පරපුරේ අයවත් ඔබ ඉතා මිත්‍රශීලීව ඇසුරු කරනවා?

ඔව්, ඊයේ පෙරේදා ක්ෂේත්‍රයට ආපු අයවත් මං බොක්කෙන්ම ආශ්‍රය කරනවා. ඒකට ප්‍රධාන හේතුව මං හිතින් තරුණයකු වීමයි.

* දැන් වයස කීයද?

හැට පහක් විතර ඇති.

* රංගන ජීවිතයේ අසීරුම රංගනය මතක් කළොත්?

එයා දැන් ලොකු ළමයෙක් චිත්‍රපටයේ මං මැරිලා ඉඳලා වතුරෙන් මතුවන දර්ශනයක් තිබුණා මතක ඇති. මගේ ඇඟපුරාම රබර් කෑලි ඇලෙව්වා. ඒවා ගලවද්දී තරු පෙනුණා. ඒ වගේම සාගරිකා ෆිල්ම් එකේ බොරු ඇහැක් දැම්මා මට. එතකොට ඒක ඇලෙව්වේ මගේ වම් ඇහැ වහලා ඇහි පිල්ලමේ යුහු ගාලා. දවසක් එහෙම ඉන්නකොට හොඳ ගණන්.

* ගොඩක් දෙනෙක් ඔබට කතා කරන්නට ආසාවෙන් ඇති?

072-2999664 අංකයට කතා කරන්න කියන්න. හැබැයි ඒක ආන්සර් කරන්නේ මගෙ දෝණි.

* දෝණිව මතක් කරපු වෙලාවේ පවුලේ අනික් අය ගැනත් කියමු?

මගේ බිරිය රේණුකා, පුත්තු දෙන්නා ලක්දීප්, බිනුර, දෙවුනි තමයි දෝණි.

* ජීවිතය සන්තෝසයෙන් විඳිනවා වගෙයි.

අනිවාර්යයෙන්ම. මගෙ ජීවිතයේ එකම සතුට තමා රංගනය.

* ඊළඟට ඔබව දකින්න ලැබෙන්නේ ?

මං හිතන්නේ පතීගෙ චිත්‍රපටය ළඟදීම තිරගත වෙන එකක් නැහැ. ආර්. කේ. අලුත්වීදියගේ තුලාධාර කියලා ටෙලි නාට්‍යයක් කළා.ඔහුගේ අලුත් ටෙලි නාට්‍යය වන සැවුල් පාළි හි සියදෝරිස් කියලා චරිතයක් කරන්න ඉන්නවා.එය ලබන ජනවාරියෙ පටන් ගන්නවා. ඒක චමින්ද කහඳවආරච්චිගේ නිෂ්පාදනයක්. සැවුල් පාළි හි නිෂ්පාදන කළමනාකරු හැටියට වැඩකරන්නෙත් මං. ඒකත් අලුත් අත්දැකීමක් වේවි.