වර්ෂ 2016 ක්වූ  දෙසැම්බර් 14 වැනිදා බ්‍රහස්පතින්දා




NEWS

ජයලාල් රෝහණ ගොන්ඩෝලා 17 දා

ජයලාල් රෝහණ නාට්‍ය නිර්මාණය ගොන්ඩෝලා මෙම මස 17 වැනිදා සවස හොරණ ශ්‍රීපාලි රඟහලේදී වේදිකා ගතවේ. සුනිල් අරුණ වීරසිරි නිෂ්පාදනය කළ මෙම නාට්‍යහි ජයලාල් රෝහණ, රොඩ්නි වර්ණකුල, චන්දන නිශාන්ත සහ මාලි ජයවීරගේ රංගනයෙන් දායකවේ.

ආත්ම දෙකක පෙම්වතිය  ඔබේ නිවසට එයි

පුනරුත්පත්තිය තේමා කොට ගත් අතිශය ජනප්‍රිය හින්දි චිත්‍රපටය මධුමති පෙන්වා දැනට වසර 57 කි. ඉන් ඇසුණු මියුරු ගීත මෙන්ම හදවත සසල කරවන කතා පුවත තවමත් අප මතකයෙන් ගිලිහී නොමැත. බිමල් රෝයි අධ්‍යක්ෂණය කළ මධුමති චිත්‍රපටයට සංගීතය සැපයුවේ ෂලිල් චෞද්රි විසිනි. වෛජයන්තිමාලා, දිලිප් කුමාර්, ප්‍රාන්, ජොනි වෝකර්, ජයන්ත් ජඟපෑ එම චිත්‍රපටයට සිංහල හඬ කැවූ සංඝත තැටි (ච්ඍච්) ආත්ම දෙකක පෙම්වතිය නමින් දැන් නිකුත්ව ඇත. ඩබ්ලිව්. ජයසේන ද අල්විස් (ජයනන්ද) වෙනුවෙන් මෙහි දෙබස් පරිවර්තක හා සිංහල හඬ කැවීමේ අධ්‍යක්ෂවරයා රූපසේන සිල්වාය. ඔහු ප්‍රවීණ සිනමා ලේඛකයකු හා ග්‍රන්ථ කතුවරයෙකි. විමසීම් 011-2347468.

පුංචි දරුවන්ගේ  හදවත් වෙනුවෙන් ‘සෝන්ග් ඔෆ් ලිට්ල් හාර්ට්ස්’ පානදුරදී

ලක්දෙරණේ ජීවත්වන පුංචි දරුවන්ගේ හදවත් වෙනුවෙන් රටේම හදවත් ගැහෙනා සෙනෙහසින් ගැයෙනා ‘සෝන්ග් ඔෆ් ලිට්ල් හාර්ට්ස්‘ සංගීත ප්‍රසංගය ප්‍රවීණ කලා ශීල්පීන්ගේ සහභාගිත්වයෙන් මේ මස 17 වැනිදා පස්වරු 2.30ට පානදුර ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලයීය ශාලාවේදී පැවැත්වෙයි. මෙහි සංගීතය භාතිය සිල්වා ප්‍රමුඛ ක්ලැසික් බෝයිස් වාදක මණ්ඩලයගෙනි. නිවේදක ශාලුක මදුසංඛ කථනයෙන් දායක වෙයි. ඉදිරිපත් කිරිම ලිටිල් හාර්ට් පදනම මඟිනි. මේ ප්‍රසංගයේ ලැබෙන මුදලින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කෝටි 200 වියදමින් ශල්‍යාගාරයේ ඉදිකිරීමට කටයුතු යොදා ඇත. රටේ පුංචි දරුවන් වෙනුවෙන් පැමිණි සහයෝගය ලබාදී මේ සද්කාර්යයට දායක වන ලෙස ආදි ශිෂ්‍ය කලා ශිල්පී භාතිය සිල්වා විවෘත ආරාධනාවක් කර සිටියි.

- තිලානි

‘පොත් ගුල්ලී’ 17

නාලක ස්වර්ණතිලකගේ ‘පොත් ගුල්ලී‘ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය මේ මස 17 වැනිදා කොළඹ බිෂොප් විද්‍යාලයීය රංග ශාලාවේදී වේදිකා ගතවෙයි.

ලෝක ප්‍රකට ළමා කථා රචක රෝල්ඩ් ඩාල්ගේ 'මැටිල්ඩා කෘතිය පාදක කර ගනිමින් නිර්මාණය කර ඇති 'පොත් ගුල්ලී' වේදිකා නාට්‍යයේ කුසුම් රේණු, ප්‍රියංකර රත්නායක, අමා විජේසේකර, සහ සංකාරා විජේරත්න, සමඟ ළමා ශීල්පීයෝ තිස්දෙනෙක් රංගනයේ යෙදෙති. චින්තක ජයකොඩි සංගීත නිර්මාණයෙන්, ද්‍යෛ නුවන් කොටවත්ත ගීත රචනයෙන්, හරිෂිකා රත්නායක සහ පියුමි සිල්වා නර්තන නිර්මාණයෙන්, චතුර දසනායක වේදිකා පසුතල නිර්මාණයෙන් රත්න කුමාර අංගරචනයෙන් ‘පොත් ගුල්ලි‘ හැඩ කරති.

- තිලානි

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන්

තිදොර් තියෙටර් විශේෂ ශිල්පීන්ගේ රංග ප්‍රතිභාවයෙන් අලංකෘතව රෝහණදේව විසින් රචිත 'විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සමඟ සන්නිවේදනයට පෙර... හඳුනාගන්න මා' කෘතිය මෙම මස 15 වැනිදා කොළඹ 07 මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්වේ.

වාද බයිලා නත්තල් සවාරිය 4 සිට

පර්සි රාජපක්ෂ වාද බයිලා සංහිත කලා ආයතනයේ ශිල්පීන් සහ සමස්ත ලංකා වාද බයිලා ශිල්පීන් ඉදිරිපත් කරන කිතු බැති පෙම අවධි කරන වාද බයිලා නත්තල් සවාරිය ලබන 14 සිට 23 දක්වා කොළඹ ගම්පහ සහ කළුතර යන දිස්ති‍්‍රක්කයන්හි පැවැත්වේ. සුධර්ම හෙට්ටිආරච්චි කතනයෙන් දායක වන මෙම වැඩසටහන ඔබේ නගරයට හෝ ගමට ගෙන්වා ගැනීමට 0788955311 යන අංකයෙන් පර්සි ඇමතිය හැකිය.

ජංගි හොරා දිල්ලි දිනයි

පසුගිය දෙසැම්බර් නව වැනිදා දිල්ලි නුවර පැවති හය වැනි අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූයේ ආචාර්ය සෝමරත්න දිසානායක විසින් රචනා කොට අධ්‍යක්ෂණය කළ ජංගි හොරා (අන්ඩර් පැන්ට් තීෆ්) සිනමාපටයයි. පසුගිය මාසයේ කොරියාවේ බූසාන් සිනමා උලෙළට ද මෙම චිත්‍රපටය සහභාගි වූ නමුත් එය සීමා වුයේ අධ්‍යක්ෂවරයාගේ පළමු කෘතියට පමණි. මෙම දිල්ලි සිනමා උලෙළ ජංගි හොරා සහභාගි වූ පළමු තරගකාරී සිනමා උලෙළයි. ලෝකයේ විවිධ රටවලින් තෝරාගත් චිත්‍රපට රැසක් මෙම උලෙළට සහභාගි වූ අතර ජංගි හොරා චිත්‍රපටය සීමාවලින් එහා අංශයේ සම්මාන සඳහා නිර්දේශිත අවසන් චිත්‍රපට අට අතරට තේරී තිබිණ. පුබුදු චතුරංග, දිල්හානි අශෝකමාලා ප්‍රධන චරිත මවන මෙම චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් නැරැඹිය හැකි චිත්‍රපටයක් ලෙස රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකය ලැබී ඇත. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් ද, විශ්ව බාලසූරිය කැමරා අධ්‍යක්ෂණයෙන් ද, සුසිල් විජේරත්න කලා අධ්‍යක්ෂණයෙන් ද, විදුර අබේධීර අංග රචනයෙන් ද, මෙත්නුවන් විජේසිංහ ඇඳුම් නිර්මාණයෙන් ද, අජිත් රාමනායක සංස්කරණයෙන් ද, ප්‍රියන්ත කළුආරච්චි ශබ්ද පරිපාලනයෙන් ද මෙයට දායක විය. චාමර සේලාරංග සහාය අධ්‍යක්ෂණයකි. විශාරද හර්ෂණ දිසානායක සහ විශාරද ශෂිකා නිසංසලා පසුබිම් ගායනයෙන් දායක විය. නිෂ්පාදනය රේණුකා බාලසූරිය විසිනි. ජංගි හොරා ලබන වසර තුළ මුදා හැරීමට නියමිතය.

ප්‍රංශයේ සිටින රෙෂාන් ලොස් ඇන්ජලිස් ජූරියට

ප්‍රංශයේ සිටින ශ්‍රි ලාංකික තරුණ සිනමාලාභී අධ්‍යක්ෂවරයකු වන රෙෂාන් ප්‍රනාන්දුගේ නවතම කෙටි චිත්‍රපටය රන් තරුවක් වූ ළමයා සමඟින් ලොව වටා සංචාරයේදී ලොස් ඇන්ජජලීස් සිනමා සම්මාන උලෙළක් වන ඇන්ජලස් සිනෙෆෙස්ට් හි විනිශ්චය මණ්ඩලයට දායකවීමට අවස්ථාව ලැබ තිබේ. එමඟින් විදේශ සිනමා උලෙළක විනිශ්චය සඳහා සහභාගි වන ලාබාලතම ලාංකික සිනමා අධ්‍යක්ෂවරයා බවට ඔහු පත්වේ. රෙෂාන් පසුගිය වසරේ එළිදැක් වූ රන් තරුවක් වූ ළමයා කෙටි චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උලෙළයන් කිහිපයකම නියෝජනය කළේය. ඔහු මේ වනවිට නිර්මාණය කොට ඇති කෙටි චිත්‍රපට ගණන හතකි. රෙෂාන්ගේ නවතම කෙටි චිත්‍රපටය වනුයේ නොකියු සිතුවිලි වේ. ප්‍රංශ ජාතික ළමා නිළියක වන මාර්ලෝ ත්‍රොපේ සහ ප්‍රංශයේ ජීවත්වන ලාංකික ළමා නළු දිනුන ඩයස් මෙහි ප්‍රධාන චරිත මවති.

ඒ ලෙවල් සඳුදා

රොහාන් පෙරේරා අධ්‍යක්ෂණය කළ ඒ ලෙවල් සිනමාපටය මෙම මස 18 වැනිදා සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාශාලාවන්හි තිරගතවීම ඇරැඹේ. පාසල්වියේ සුන්දරත්වය සමඟ ඊට පරිබාහිරව ගලායන වෙනමම ආදර්ශවත් කතාවක් ඇතුළත් ඒලෙවල් සිනමාපටය සීමාසහිත කැපිටල් මහරාජා සමාගමේ නිෂ්පාදනයකි. ජයලත් මනෝරත්න, චාන්දනි සෙනෙවිරත්න, උමාලි තිලකරත්න, තුමිදු දොඩම්තැන්න, ජයනි සේනානායක, මීනා කුමාරි, චමිලා පීරිස්, සමීර විජේසිංහ, ලහිරුකා ඒකනායක, කසුන් මධුසංඛ, නිවර්තන, තමත් රන්දෙණි, වත්සලා ශසිමාල්, කේෂලි රාජපක්ෂ, විරාජ් ධනුෂ මෙහි චරිත රංගනයෙන් දායක වේ. සුසාර දිනාල් විධායක නිෂ්පාදක වරයායි. සුරේෂ් මාලියද්දගේ සංගීත අධ්‍යක්ෂණයකි. රුවන් කොස්තා කැමරා අධ්‍යක්ෂවරයාය. අජිත් රාමනායක සංස්කරණ ශිල්පියාය. දමින්ද ඩී. මඩවලගේ සහාය අධ්‍යක්ෂණයෙනි. කලා අධ්‍යක්ෂණය මංජුල අයගමගෙනි. සමරසිරි කඳනගේගේ අංග රචනයකි. ගී පදරචනයෙන් රොහාන් පෙරේරා දායක විය.

ලංකාගේ සම්ප්‍රදායට ජගත් සම්මාන

ලංකා බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ ට්‍රැඩිෂන් කෙටි චිත්‍රපටය ඉන්දුනීසියාවේ පැවති දොළොස් වැනි ජොග්ජා නෙට්පැක් අන්තර් ජාතික සිනමා උලෙළේ සිනමා ශිෂ්‍යයන්ගේ ජූරියෙන් පිදෙන හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගන්නා ලැබිණ. ඇගේ මෙම කෙටි චිත්‍රපටය පිළිබඳ ඉනදුනීසියාවේ චිත්‍රපට විචාරකයන් ඉහළ පැසසුමට ලක් කළ වගට වාර්තා වේ. ට්‍රැඩිෂන් කෙටි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය අයිරාංගනී සේරසිංහ විසින් නිරූපණය කොට තිබේ.

දශත්‍රයක සුදත් රෝහණ නිර්මාණලංකාරය

දෙසැම්බර් 23 දා රාත්‍රී 10.30 ට  ස්වාධීන රූපවාහිනියෙන්

සම්මානනීය ටෙලි නාට්‍ය හා සිනමා අධ්‍යක්ෂ සුදත් රෝහණයන්ගේ කලා ජීවිතයට දශක තුනක් සම්පූර්ණවීම නිමිත්තෙන් සත්ජන සහෘද සංසදය සංවිධානය කළ පසුගිය නොවැම්බර් 26 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති දශත්‍රයක සුදත් රෝහණ නිර්මාණලංකාරය උපහාර උළෙල මෙම මස 23 වන දින රාත්‍රී 10.30 ට ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වේ.

ආචාර්ය නන්දා මාලනී, සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස්, එඩ්වඩ් ජයකොඩි, සේනානායක වේරලියද්ද, සංගීත් විජේසූරිය, නිර්මලා රණතුංග, මිත්‍ර කපුගේ, හර්ෂන දිසානායක ඇතුළු ගායක ගායිකාවන් රැසක් සුදත් රෝහණයන්ගේ ටෙලිනාට්‍යවලට ගායනා කළ ගීත නැවත ගායනා කළ ගීත ඇතුළත් මෙම ප්‍රසංගයේ සංගීතය මෙහෙයවීම ආචාර්ය රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ, ආනන්ද ගමගේ සහ ගයත්‍රි කේමදාස විසිනි.

ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ කෙටි දෙසුමක් හා සුදත් රෝහණයන් පිළිබඳව ශ්‍රව්‍යදෘශ්‍ය නිර්මාණයක්ද ඇතුළත් වූ මෙම වැඩසටහනේ සහෘද ආමන්ත්‍රණය සමන් අතාවුදහෙට්ටිගෙනි.

ආදරණීය කතාවක් සේද මාවතේ

ප්‍රියන්ත කොළඹගේ ගේ ආදරණීය කතාවක් සිනමාපටය හතරවැනි සිල්ක්රෝඩ් ජාත්‍යන්තර සිනමා උලෙළ නියෝජනය කිරීමට තේරී පත් විය. චිත්‍රපට එකසිය හතළිහක් පමණ තරග වැදුණු එය පැනරාමා අංශය යටතේ තවත් චිත්‍රපට ද්විත්වයක් සමඟ තිරගත කෙරිණ. හේමාල්, උදාරි සහ අරුණි ප්‍රධාන චරිත මැවූ ආදරණීය කතාවක් ප්‍රියන්තගේ සිව්වැනි සිනමාපටය වේ.

කෙටි චිත්‍රපට තරඟාවලියට පිටපත් භාර ගැනේ

ලංකා වැසි ජල රැස් කරන්නන්ගේ සංසදය මඟින් පැවැත්වීමට නියමිත කෙටි චිත්‍රපට තරගාවලියට කෙටි චිත්‍රපට තිර පිටපත් බාර ගැනීම මේ දිනවලදී සිදුවේ. එහි තේමාවන් පහත පරිදිය.

ම තේමාවන් යටතේ වඩාත් උසස් නිර්මාණශීලී කෙටි චිත්‍රපට තිර රචනයක් ඉදිරිපත් කළ හැකිය. ඒ සඳහා ඔබගේ අයැදුම් පත්‍රය, අධ්‍යක්ෂවරයාගේ තොරතුරු, සංකල්පන සටහන කතා සාරංශය සහ අයවැය යන කරුණු ද පිටපත සමඟ එවිය යුතුය. මෙහි ජයග්‍රාහි පිටපත සඳහා රුපියල් ලක්ෂයක වටිනාකමින් යුතු අනුග්‍රහකත්වයක්ද, ප්‍රවීණ තිරපිටපත් රචකයන් සහ චිත්‍රපට නිර්මාණකරුවන් සමඟ වැඩමුළුවකට සහභාගිවීමට ද අවස්ථාව ලැබේ. ඔබේ අයදුම්පත ර්‍ථච්ජ් ආකෘතියකින් ඩ්අඹ්අඑඩ්ජ්@ඨථචඪත.ජධථ වෙත ලබන වසරේ ජනවාරි 15 දිනට හෝ ඊට පෙර යොමු කළ හැකිය.

ප්‍රියන්ත කොළඹගේ ගේ මෑණියන්ගේ අභාවය

ප්‍රියන්ත කොළඹගේ ගේ ආදරණීය මෑණියන් වූ ලිලීනෝනා කොළඹගේ මහත්මිය අභාවප්‍රාප්ත විය. මිය යන විට ඇයගේ වයස අවුරුදු 91 කි. දරුවන් සිවු දෙනකුගේ ආදරණීය මෑණියන් වූ එතුමියගේ අවසන් කටයුතු පසුගියදා හෝමාගමදී සිදු විය.