වර්ෂ 2016 ක්වූ  දෙසැම්බර් 14 වැනිදා බ්‍රහස්පතින්දා




“සීමා නෑ ආකාසේ” සිනමා විමසුම

“සීමා නෑ ආකාසේ” සිනමා විමසුම

“සිහින නෙළා ගැනීම ව්‍යර්ථ වී තිබේ”

තාරුණ්‍යයේ සිහින නෙළා ගැනීම පිළිබඳව කතාබහට ලක් වූ හන්තානේ කතාව, අහස්ගව්ව, පළගැටියෝ, බිත්ති හතර වැනි සිංහල සිනමා කෘති අතරට "සීමා නෑ ආකාසේ" එකතු වන්නේ අසීත වටපිටාවේ තරම සීමාසහිත කරවමිනි.

තුරුණු කතා කලාවක හැරවුම තුළින් ඇති තරමට කතා කළ හැකි අගයක් අධ්‍යක්ෂවරයා දෑතින් තෙරපා පොඩිකර ලඝු කරගෙන තිබේ. එබැවින් සියල්ල රසවත්ව හරවත්ව මුදා හරින්නට දරන උත්සාහය මල්ඵල ගැන්වෙන්නේ අර්ධ වශයෙන් යැයි හැඟේ. ඒ ඌනතා ගොනුවක්ම සිනමා කෘතිය තුළ ඇති බැවිනි.

ඒ අතරේ ආසන්න නිර්මාණරූපී දසුන්, කතාබහ අපූරුතා මවමින් සිනමා කෘතිය තුළ දිග හැරීම, වරින්වර දකින සිනමාත්මක රසයකට හොඳ ඉඩකඩකි.

වත්මන් තරුණ පරම්පරාවේ තුරුණු වින්දනය පසක් කරවන බහලුමක අර්ථ රූපණ විමසීම යථාර්ථයක් සේ ගැනෙන නමුදු, විටෙක යථාර්ථයක් නොවීම ද, ඒ අතරින් මතුවන ගැටලුවකි. රූප මත මැවෙන මෙම පරම්පරාවේ විලාසිතා හොඳ හසුරුවකි. නමුත් ගීත හය තුළින් ඉස්මතු වන භාවිතාව අද දවසේ රූපවාහිනී නාළිකා තුළින් දකින වීඩියෝ ගීතාවලියකට අමුණන ලද රූප සරණියක් වැන්න. එබැවින් ඒවයෙහි සිනමා ගී වපසරියක ලක්ෂණ දිස් වන්නේ අති අවමයෙනි. ඒ අතරින් කැමරාකරණය තුළ නවමු හසුරුවක් දෘශ්‍යමාන වෙයි. සමීප රූප: අපේක්ෂා (අරුණි මල්ලවාරච්චි) භූමිතෙල් සිරුරට හලාගෙන බිම වැතිර සිටින රූපය කැමරාකරණයේ අපූරුතාවකි. රාත්‍රී කෑම මේසය, ගීත රුපවල ඇතුළත් සමහර පසුබිම් සඳහා භාවිත වර්ණ සංයෝජන දෘෂ්ටීන් නෙතට අංජනයකි. නමුත් ගැළපීම තුළ නොගැළපීම සාක්ෂාත් කරවන දසුන් බෙහෙවින් තිබේ.

මරණය පැය කීපයකින් කල් දමන අපේක්ෂාට ඉසුරුගෙන් ලැබෙන පිළිතුර සිනමා කෘතියේ නිර්මාණ හරයට කළ එළියකි.

"කොහොමත් මිනිය නාවන්න එපැයි"

එසේම මරණයේ දොරටුව අභිමුවට පැමිණෙද්දී මරණ බිය සදාතනික දහමකි. එය යථාර්ථයයි.

"මට උඩ බලන් ඉන්න බැහැ"

ඒ අනුව මතු ප්‍රකාශය ජීවිත යථාර්ථයේ පිළිබිඹුවකි. ද්වි පුද්ගල, සංවාද සිනමා කෘතිය තුළ සැබවින්ම දීර්ඝ එකකි. ඊට වෙනසක් එක් වූයේ නම් දකිමින් විඳීමට තිබූ අවස්ථාව තවදුරටත් සනාථ වන්නට ඉඩ තිබිණි. සියුම් ලෙසින් ගිනි පෙට්ටියට භූමිතලේ වැටුණු නිසාම කතාව දිග හැරේ.

ආරම්භයේදීම ප්‍රේක්ෂකයා තුළ ප්‍රශ්නාවලියක් මතු වෙයි. ප්‍රකාශිත හුදෙකලා පසුබිමෙහි රාත්‍රී කෑම මේසය සැකසෙන්නේ කොහොමද? ඇඟලා ගන්නට ඇඳුම් ලැබුණේ කෙසේ ද යනුවෙනි.

"ප්‍රීතිමත් මරණය ෆනී. ඒත් විකාරයක් තමයි ජීවිතයත්"

කෑම මේසයේ කතාබහ තාරුණ්‍යයෙහි දෘෂ්ටිමය මායාවේ නව තාවකි.

නුඩ්ල්ස්, කට්ලට්, අල කූරු, වයින්, පලතුරු හා නෙක නෙක බොහෝ දෙයින් පොහොසත් වූ රාත්‍රී ආහාරය සහිත කෑම මේසය අභව්‍ය ලක්ෂණ සේ හැඟුන ද පසුව කතා සාරයේ ඔපය මත නිෂේධනය වීම අපූරුවකි. භාවිතාවකි. පළමු ගීතය වේග රූප චලන සමඟ දිග හැරේ. විකාර රූපී රූප මුසුව ඉඟි සපයයි. ඒ හීන සිතිවිලිවලට ඉඩ දෙමිනි. ඒ අනුව මරණයෙන් එපිට මෙපිට රූපණ දැක්ම මමෝචාලක මුසුවකි.

ඉසුරුගේ කතාවට ඉඩ දෙමින් දිග හැරෙන දෙවන ගීතය හා එක්වන අධිවේගී රූප වර්ණ ආලෝක මත කැමරා භාවිතාව, නර්තන භාවිතා සපිරි රූප සමූහය තුළින් ද්වි පුද්ගල රූප මාලාවට තිත තබයි.

යෞවනයේ වගකීම් අත හැරීම විඳවීමකි. පසුතැවිල්ලකි.

"ජීවිතය ලීස් එක වගේ මේන්ටේන් කරන්න බැරිව ගියානෙ"

ඉස්මතු වන්නේ ඉසුරුගේ යථාර්ථයයි. රැකියාව අහිමි වීම, බැංකුවලට ණයකාරයෙක් වීම නිසාම ජීවිතයෙන් මිදෙන්නට යාම ඉසුරුගේ අදූරදර්ශී නිගමනය වෙයි.

ආලය මඟ හැරී යාම, අසහනය තරුණ ජීවිත හා ගැටෙන ගැටුම් තුළින් අද දවසේ එහි කූටප්‍රාප්තිය සිදුවෙමින් පවතී. අකල් මරණ දිවි තොර කර ගැනීමෙත් වැඩි දියුණු වී තිබේ.

මැරෙන්නට පෙර විශේෂයෙන් තරුණ පරපුර "සීමා නෑ අකාසේ" නැරැඹිය යුත්තේ ජීවිතයට නව හුරුවක් අත්විඳීම පිණිසය. තුරුණු වියේ මුහුණ දෙන්නට සිදුවන ප්‍රශ්න හෝ ආදරය නිසා හෝ දිවි නසා ගැනිම මරණයට පාටි එකක්ද? පැනයකි. මැරෙන්න කලින් බලන්නැයි අධ්‍යක්ෂවරයා ආරාධනා කරන්නේ ද එනිසා විය හැකිය.

හුදකලා පරිසරය තුළ රාත්‍රියෙහි අතුරුදහන් වන අපේක්ෂා වෙනුවෙන් උදෑසනින්ම ඉසුරු ඇයට පිංපෙත් දෙයි ඒ අනුව පූර්ව කතාව නිරාවරණයේදීම අධ්‍යක්ෂවරයා සවිමත් ඉරටු සිහිත ඉදලකින් රටා සහිතව යථාර්ථය අතු ගා තිබේ.

"ජීවිතය කොහේටවත් ගෙනිච්චෙ නැත්නම්, මරණය අපව කොහේට හරි ගෙන යනවා."

මතු අරුත අරුත් ගන්වමින් සිනමා කෘතිය තුළ තෙවැනි ගීතය දිග හැරෙන්නේ වැලලෙන්නට නොදී අමුතු පණක් එකතු කරමිනි.

"වැස්සට හැම දේම ලියලනවා"

නිරුද්ධ වූ ප්‍රාණය යළි පණ ගැන්වීමක් සෙයින් එකිනෙකා සිප ගැනීම තෙක් ගීත රූප චලන මෙම ගීතය ඔස්සේ ගලා යන්නේ අපූරු සිනමා භාවිතාවකට ඉඩ හසර විවර කරවමිනි. එහි වෙස් ගැන්වීම් පසුබිම ධනාත්මක හුරුවකි. එවිට ජීවිතය හරි සුන්දරයි කියා කියැවෙයි. මැවෙයි.

ජීවිතය විඳීම ඉඟි සංචරනය තුළින් ප්‍රීති ප්‍රමෝදයට පත්වන අපේක්ෂා යළි ජීවිතය ද අපේක්ෂා කරයි.

"මේ මං නෙමෙයි" කියන්නේ එනිසා විය යුතුය. නමුත් අපේක්ෂාගේ අපේක්ෂා භංගත්වයට එකතුවන තුරුණු චරිත විසින්ම ඇගේ චරිතය සුණු විසුණු කර තිබේද යන පැනය තුළින් මතුවන්නේ කුකුසකි.

හතරවැනි ගීතය හීන කුමාරයාගේ ගීතයකි. තුරුණු පරම්පරවේ ඉස්මතුවකි. එහි ඇති ගැයුම් වැයුම් පසුතල සකස් කළ රූපාවලියක් පසුබිමක් මත දිග හැරෙයි. එය කෘත්‍රිම භාවිතාවක එකතුවක්ම වී තිබේ.

"මං මාවම මරා දාපු වරදට" පිළිසරණක් නැති බවට සාධක සහිත "සීමා නෑ ආකාසේ" චරිත දෙකක ගැටුම නිරාවරණයකි. ජීවිතය ආදරය මත බලාපොරොත්තු නවත්වා ඇති තැනින් ආරම්භ කිරීමට උත්සාහ කරද්දී මරණින් එපිටවීම මෙහි තවත් අන්තයකි.

"ආයෙත් වැස්ස, වැස්ස පෑව්වාම යං"

පස්වැනි ගීතයෙන් කියැවෙන්නේ හීන මාළිගාව වෙනස් කරගෙන ඉදිරියට වෙන්න තියෙන දේවල් සමඟ ගනුදෙනු කරන්නට ගන්නා උත්සාහය, සමාජය විසින්ම ව්‍යර්ථ කරවයි. ඒ බව ප්‍රේක්ෂකයාට හඟවන්නේ අපේක්ෂාගේ "තනි සෙරෙප්පුව" දර්ශනය කරවමිනි. එය සිනමා කෘතියෙහි නිරූපිත සියුම් ධනාත්මක සාධකයකි.

"හීන කියවීම විටෙක හිස් අවකාශයට විතරයි"

අපේක්ෂාව ගෙදරින් ප්‍රතික්ෂේප වීම තුළ ඇගේ ජීවිතය යළි ආගමනයකට හේතු වෙයි. තරුණ දරු දැරියන් සිටින වත්මන් දෙමාපියන්ට සිතීමට කරුණකි.

මියගිය දෙදෙනකුගේ හමුවිම "සිමා නෑ ආකසේ" මූලාශ්‍රය හා පදනම් වෙයි. එයින් නව අර්ථකථනයක් එක් කර තිබේ. ප්‍රතික්ෂේප වීම හරහා ඉසුරුගේ පාර්ශවයෙන් ද ගැටුම් අරගල තීරණ තරුණ අසහනය මත දිග හැරේ.

"ළඟට ගිහිල්ලා එන්නං"

ළඟා කර ගන්නේ මරණය පිළිබඳව බව ඉසුරුගේ ප්‍රකාශය තහවුරු කරවයි.

දින දෙකකින් හමුවීමේ ගිවිසුම මත වෙන්වෙන ඉසුරුට ඉසුරුමත් දෙයක් නොලැබෙන අතරේ අපේක්ෂා, අපේක්ෂා භංගත්වයට පත් වෙයි.

දිර්ඝ හුදෙකලා රූපන පථයක දිග හැරෙන චරිත යුගලයෙහි අපේක්ෂාගේ රංගන භාවිතාව චරිතාංග හැඩරුවක ඔපවත් විලාස කුළුගන්වයි. මෙහිදී ඉසුරු ඒ ඉමට ළඟා වී ඇත්තේ අර්ධාකාරයෙනි.

"ඉට්ස් මී - අයි ලව් යූ" වදන් අතරේ සොඳුරු එහෙත් හිත රිදවන හීන ගොඩක් මත දිග හැරෙන "සීමා නෑ ආකාසේ" අද දවසේ තරුණ පරපුරේ කල්ට් එකකට අලුත්ම අලුත් එකතුවකි. මාරම මාර ටැලන්ට් එකකි. ෆැන්ටසියකින් විඳීම අපුරුම අපූරු ෆන් එකකි. වෙනස, අවරට ගිය ජීවිත ගැන බැවිනි.

මේ සියල්ල අතරට හය වැනි අවසන් ගීතය එක්වීමෙන් ප්‍රබල ගැටුමක් විනිවිදව දැකීමට තිබූ ඉඩ හසරට බාධකයක් මතු වෙයි. විඳීමට, නිමාව ගැන නොසිතා සිටීම මන්දගාමී විලාසිතාවකි. අවසානය සෘණ දෘෂ්ටියකින් මතුවීම කනගාටුවකි.

හෙට දවස ඔබ වැනි සිනමා අධ්‍යක්ෂවරුන් අතේය. ඊට පිළියම් නිහාල් බණ්ඩාර නම් වූ අධ්‍යක්ෂවරයා සතුව ද පවතී. එය අගය කළ යුතු නිමිත්තකි.