වර්ෂ 2016 ක්වූ  දෙසැම්බර් 14 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ප්‍රතිචාර සඳහා නවතම අංකයක් 0728384283

අයිවෝ ඩෙනිස් ගී ගැයුම්

රේඛාව චිත්‍රපටයේ එන "අනුරාපුර පොළොන්නරුව සීගිරි මන බන්ධනීය" විරිඳු පෙළ ගායනා කරමින් චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස නමක් රැන්ඳු අයිවෝ ඩෙනිස් මහතා ඉක්මන් සුවය ලබා යළිත් ගී ගයනු දැකීම අපේ බලාපොරොත්තුවයි.

දයාරත්න ගනේගොඩ
කැලණිය


අසිමාන්තික රංග ප්‍රතිභාව ලූෂන්

වේදිකාව, සිනමාව, ගුවන්විදුලිය සහ පුංචි තිරය යන සිව් ප්‍රස්තුත කලා මාධ්‍යයන් ස්පර්ශ කරමින් සිය අසිමාන්තික රංග ප්‍රතිභාවෙන් රසික සිත් මන් මත් කළ ලුෂන් බුලත්සිංහල කලාකරුවා විශේෂ වේ. ඔහුටම ආවේණික රංගන ශෛලියකින් රංගන ක්ෂේත්‍රයට උපරිම සේවයක් කරමින් කලා කෙත සැරසූ ඔහු ගී පද රචකයකු ලෙසින් ද කළ සේවය අගනේය. ඔහුගේ ඉදිරි නිර්මාණ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි සුබ පතමි.

එච්. ඉන්ද්‍රපාල
ශ්‍රී සංඝමිත්තා මාවත
මුංහේන


මතකයේ රැඳී ග්‍රන්විල්

අපේ කලා ලොවේ සිටි ඉතාම දක්ෂ රංගන ශිල්පියෙක් මෙන්ම ගීත ගායනයේදී දක්ෂ වූ ග්‍රැන්විල් රුද්‍රිගු ප්‍රේක්ෂක මතකයේ සදා රැඳෙන අයෙකි. ඔහු සිහිපත් කිරීම කලා ලැදි අපගේ යුතුකමකි.

අයිලීන් සෝවීස්
සොයිසාවත්ත
වැලිසර
රාගම


ඩොක්ටර් නවරියන්

සුපිරි නළු රන්ජන් රාමනායකගේ නවතම චිත්‍රපටය ඩොක්ටර් නවරියන් ප්‍රදර්ශනය කරන තෙක් අප පුල පුලා බලා සිටියෙමු. දැන් ඒ අවස්ථාව උදා වී ඇත. රන්ජන් ඔබට සුබ පැතුම්.

කෙනත් පෙරේරා
වැලිගම්පිටිය
ජා-ඇල


ලංකාවේ රොබින්හුඩ්

චුට්ටේ කම්මැලි නැතිව නැරඹිය හැකි ප්‍රාණවත් ටෙලි නිර්මාණයකි. සරදියෙල්, රොබින්හුඩ් යන කතාවල තේමාව මෙහි ගැබි වී ඇති බව පෙනේ. තේමා ගීතය බයිලා ශෛලිය ගත් අර්ථවත් ගීතයකි. රංගනයන් අතරේ ශ්‍රීමාල්, මල්කාන්ති, තිරිමාදුර, මාධනි, සුරාජ්, ක්ලීටස් සහ ජගත් මනුවර්ණ විශේෂව කැපී පෙනේ.

ඩඩ්ලි ගෝමස්
කටුබැද්ද
මොරටුව


පෙම්වතා ගෙන් මිදුණු රොෂාන්

රොෂාන් රණවන බොහෝ විට අප දුටුවේ රිදී තිරයේ සුපෙම්බර පෙම්වතා ලෙසය. ඔහු එම රාමුවෙන් මිදුනු චිත්‍රපටයක් ලෙස උලත් එකයි පිලත් එකයි චිත්‍රපටය විශේෂයි. නැවතත් ක්‍රියාදාම ජවනිකා සමඟින් ඔබ දැක ගැනීමට අවස්ථාව ලැබෙන තෙක් බලාසිටිමු.

ආනන්ද වික්‍රමාරච්චි
ඉහළතල්දූව


සුරාජ් සහ සාරංගට

මෑතකදී බිහි වූ යොවුන් රංගන ශිල්පීන් අතරින් ජනප්‍රියත්වයත්, රංගන ප්‍රතිභාවත් දිනෙන් දින වර්ධන කරගත් රංගන ශිල්පීන් අතරින් සාරංග දිසාසේකර සහ සුරාජ් මාපා ඉදිරියෙන් සිටියි. ඔවුන් සැමවිටම චරිතාංග රංගනයට දක්වන කැපවීම හා උනන්දුව බව මගේ හැඟීමයි. ඔවුන්ගේ කැපවීම අන් අයට ආදර්ශයකි.

නිමල් කුලසේකර
අඟුලාන පාර
මොරටුව


ප්‍රේමකීර්ති ද අල්විස් සැමරුම

ප්‍රතිභා පූර්ණ කලා ශිල්පියකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් සිහිපත් කරමින් පසුගියදා නෙළුම් පොකුණ රඟහලේ පැවති සඳ කැන් වැටිලා ගීත ප්‍රසංගයේදී ඔහු විසින් රචනා කළ ගී ගැයූ වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, ටී. එම්. ජයරත්න, ප්‍රියා සූරියසේන ඇතුළු ගායක ගායිකාවන් රැසක් එම ප්‍රසංගය වර්ණවත් කිරීම ප්‍රශංසනීය යි. එම ප්‍රසංගය සංවිධානය කළ සියලු දෙනාටම තුති පුදමි.

මිල්ටන් ප්‍රනාන්දු
නව එක්සත් මාවත
මුදුකටුව


දස්කම් පිරි නිහාල් ජයවර්ධන

ඔහු වරෙක සිනමා නළුවකු විය. අතීත සිංහල සිනමාවේ සිනමා නිර්මාණ රැසකට ඔහුගේ දායකත්වය ලැබිණි. තවත් වරෙක ඔහු දක්ෂ ගායකයකු විය. හඩ කැවීම් ශිල්පියකු ලෙසින්ද කළ කාර්යය අගනේය. ඔහු නමින් නිහාල් ජයවර්ධනය. දක්ෂතා රැසකින් සපිරි මේ සොඳුරු කලාකරුවා ඇගයීමකට ලක් නොවී අඩු වයසින් අප හැර යාම කනගාටුවකි.

ජගත් චන්ද්‍රසිරි
පූජා ජගත්සිරි
මීරිගම පාර
පස්යාල


මිල්ලෑව වලව්වේ අවසානය

ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ මිල්ලෑව වලව්ව ටෙලි නාට්‍යය සුන්දර ලෙස නිමාවට පත් වූයේ වෛරයෙන් කිසිවක් කළ නොහැකි බව ප්‍රේක්ෂයන්හට පෙන්වා දෙමිනි. ස්වාධීන රූපවාහිනියට සහ මිල්ලෑව වලව්ව නිර්මාණයට දායක වූ සියලුම ශිල්පීන්, අධ්‍යක්ෂ සහ නිෂ්පාදනයෙන් දායක වූ නිමන්ති පෝරගේට අපගේ ස්තූතිය.

ඉඹුල්ගොඩ අබේසිංහ
ශ්‍රියාණි ජයසිංහ
අලව්ව


රසික සිත් තුළ රැඳී නීලා නාමය

මනා සංගීත ඥානයකින් යුතුව සිංහල සංගීත ක්ෂේත්‍රයට පිවිසුණු නීලා වික්‍රමසිංහ ගායන ශිල්පිනිය හරබර ගී රැසක් ශ්‍රාවකයාට තිළිණ කළ දක්ෂ කලාකාරිණියකි. දෑතට වළලු, සූසැට බරණින් සැරසීලා, ප්‍රේම යාතිකා, කෝපි මල් සිනා, වියෝ ගී ගැයෙනා, බෝධියේ විහාරයේ වැනි ගීත රසික රසඥතාව වෙනුවෙන් තිළිණ කළ ඇයගේ නාමය රසික අපේ සිත් තුළ සදා රැඳී තිබෙනු ඇත.

අනුර කුලවර්ධන
රදාවාන


විරල කලාකරුවා

පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුවකුව සිටියදී හැටේ දශකයේ සීත පෙරෙන දුරුතු රැයේ ගීතය රචනා කරමින් ගීත ලොවට පිවිස කිසි විටෙක මුදල් පසුපස හඹා නොගොස් ගීත රචනයෙන්, නාට්‍ය නිර්මාණයෙන් සහ රංගනයෙන් ආදි තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන කලාකරුවෙක් ලෙස ලූෂන් බුලත්සිංහල කැපී පෙනේ. කෙටි සටහනකින් කියා නිම කළ නොහැකි මෙම විරල කලාකරුවා ඇගයීමට ලක් නොවීම අභාග්‍යයකි.

චන්ද්‍රකාන්ති පියතුංග
දළුගම
කැලණිය


ළමයින්ට තවත් නිර්මාණ

මඩොල් දූව, සුද්දා, හඳයා, අතුරු මිතුරු, සූරිය අරණ, සමනල තටු වැනි ළමා චිත්‍රපට සහ ඒවායෙහි අන්තර්ගත ගීත එදා මෙන්ම අදටද ළමයින් පමණක් නොව වැඩිහිටියන් අතරද නිබඳ කතාබහට ජනප්‍රියත්වයට පත් වී ඇත. රැල්ලකින් තොරව ඉඳහිට හෝ එවැනි සිනමා නිර්මාණ බිහි වන්නේ නම් ඉතාම අගනා කටයුත්තක් බව කියමි.

සරත් ලියනගේ
රන්මුතුගල
කඩවත


දැන්වීම් නැති නාලිකා

වැඩි සංඛ්‍යාවක් වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කර ප්‍රේක්ෂකයින් පීඩාවට පත් නොකර අර්ථවත් පැරණි ටෙලි නිර්මාණ හා චිත්‍රපට විකාශය කර ප්‍රේක්ෂකයන්ට වටිනා වින්දනයක් ලබාදීම වෙනුවෙන් රිදී ටීවී සහ හිට් ටීවි වෙත අපගේ ප්‍රණාමය.

කේ. ඩී. කරුණාරත්න
ඇන්ඩර්සන් පාර
නැදිමාල
දෙහිවල


නයනතාරා වික්‍රමාරච්චිට

ඔබගේ රංගනය අපූරුයි. නැගී එන නිළියක් ලෙසින් හොඳ චරිත තුළින් දකින්න ආසයි. ජනප්‍රියම නිළිය ලෙසින් සම්මාන ලබා සිටින ඔබට ඉදිරියේදී දක්ෂතම නිළි සම්මානය දිනා ගැනීමටද සුබ පැතුම් ගෙනෙමි.

සුනිල් බී. වේහැල්ල
ගෝනපොල


සමාජ මෙහෙවර

අප රටට අප්‍රමාණ සේවාවක් කළ කලාකරුවන්ගේ සියලුම ජීවත තොරතුරු සමඟ ඔවුන්ගේ පැරණි රූපරාමු පවා ගෙන එමින් ආලකමන්දාවෙන් කරන්නේ අති විශාල සමාජ මෙහෙවරකි. ඉදිරියටත් නොනත්වා එම වටිනා කාර්යය කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවායි පතමි.

අජිත් ජෝතිය කරසිංහ
මත්තේගොඩ


ගී ලොව සුපිරි තරුව ඔබමයි ඇන්ජි

ගී ලොවේ අග රැජිණිය ඔබයි ඇන්ජි
සිනමාවේ ගී අඹර ඔබයි ඇන්ජි
ගුවන්විදුලියේ ගී තරුව ඔබයි ඇන්ජි
ගැයු ගී සියල්ලම රසවත්නේ ඇන්ජි

කියන දේ කෙළින්ම කියනා ඇන්ජි
පැත්ත ගියත් ඇත්ත කියනවා ඇන්ජි
එඩිතර බවක් ඔබෙන් පෙනෙනවා ඇන්ජි
ආඩම්බරයි රසික අපට ඔබ ගැන ඇන්ජි

කවුරුන් ඔබේ ගී ගැයුවත් ඇන්ජි
ඔබට සමකළ හැකිද එම අය ඇන්ජි
කඩා වැටෙනවා එම තරු ඇන්ජි
ගී ලොව සුපිරි තරුව ඔබමයි ඇන්ජි

ජයන්ත අමරතුංග
චන්දන පොකුණ
පොළොන්නරුව


සමු ගෙන ගිය හිත මිතුරා

වසරක් ගෙවී නව වසරක් ලබන දින
නිවසට එන්නේ ඔබ අවුරුදු පැතුම් ගෙන
සවනත රැඳෙන විට සුවයකි ඔබේ හඬ
ලැබුවා සැවොම ඒ අතරේ රැඳෙන පින

සිනමා ගීත අරගෙන ඉරිදට එනවා
හද බැඳී ගීත නිරතුරු සවනට දෙනවා
රසබර මතක අතරට අරගෙන යනවා
අවසන මිතුරු ධම්මික ලෙස පවසනවා

දිවි කතරට ගංගාවක් වගේ වෙලා
අප අතහැර ගියේ දුක් සෝ කඳුළු ගලා
මතු උපදින දවසක අපි දිහා බලා
අමතනු මැන ගුවනින් ඔබ සිනහ වෙලා

සමන් ගාල්ලගේ
කැටපල
ගණේගොඩ


කූඹියො දුටුව රසිකයො කුල්මත් වීලා

තුමිඳු දොඩන්තැන්නගේ දස්කම් දැකලා
කවි පදයක් ලියන්නැයි සිත මට කියලා
කූඹියො දුටුව රසිකයො කුල්මත් වීලා
ඔබ ගැන තතු සොයන්නේ විපරම් කරලා

සහෝදරයා ටෙලි සිතුවම දැන් පෙන්වයි
ඔහුගේ රඟපෑම් අපහට හරි ඉහළයි
දස්කම් පෙන්වමින් ඉදිරියටම යන්නයි
වේදිකාවෙ කවදත් අමතක නොකරයි

සරසවියේ ගුරුකම නිසි පෙසට කරයි
සිසුනගේ හැකියාව ඔප මට්ටම් කරවයි
රංගන කලාවත් උපතින් උරුමයි
ටෙලි සම්මාන එන වසරෙදි ඔබට හිමියි

ආර්. ඒ සෝමා රණසිංහ