වර්ෂ 2016 ක්වූ  දෙසැම්බර් 14 වැනිදා බ්‍රහස්පතින්දා




සුභාවිත ගීතය මගේ හඬින් ඔසවා තබනවා

සුභාවිත ගීතය මගේ හඬින් ඔසවා තබනවා

සුභාවිත ගීතය වටා තවමත් ප්‍රේක්ෂකයෝ රැඳිලා ඉන්නවා. ඒක මේ තරගාවලියෙනුත් ඔප්පු වුණා. මාත් එක්ක තරග වැදුණු අනික් දෙදෙනාත් එහෙමයි. ඔවුන් ද සැබෑ දක්ෂයෝ. මං හිතන්නේ එක්තරා අවස්ථාවකදී ප්‍රේක්ෂකයාත් අතරමං වෙන්න ඇති එස්. එම්. එස්. කරන්නේ කාටද කියලා.

මේක මට වාසනාවට ලැබුණ දෙයක්. මේ වගේ තරගාවලියකට යන්නේ කිරුළ ගැන පුංචි හෝ බලාපොරොත්තුවකින්නේ. ඒක නැහැ කියනවා නම් බොරුවක්. ඒත් මට මේ ලැබුණු කිරුළ බොහොම වටිනවා. එය මට ලබා දුන් ප්‍රේක්ෂකයන්ට හිස නමා ගරු කරනවා.

මගේ යාළුවො එකින් එක ඉවත් වෙවී යන සෑම අවස්ථාවකදීම මට දුක හිතුණා.

සුනීර සුමංග ඩයස් හෙවත් හත්වැනි සිහින තරුව. දැනෙන සතුට කොහොමද?

දෝරෙ ගලා යන සතුටකින් අයියේ මේ දවස්වල ඉන්නේ. තවමත් ඩ්‍රීම්ස්ටාර් උණුසුම අඩුවෙලා නැහැ. මං ඉගෙන ගත්තු පාසලෙනුත් උණුසුම් පිළිගැනීමක් තිබ්බා.

ඔබ වටා හොඳ ප්‍රේක්ෂක කණ්ඩායමක් ඉන්නවා නේද?

සුභාවිත ගීතය වටා තවමත් ප්‍රේක්ෂකයෝ රැඳිලා ඉන්නවා. ඒක මේ තරගාවලියෙනුත් ඔප්පු වුණා. මාත් එක්ක තරග වැදුණු අනික් දෙදෙනාත් එහෙමයි. ඔවුන් ද සැබෑ දක්ෂයෝ. මං හිතන්නේ එක්තරා අවස්ථාවකදී ප්‍රේක්ෂකයාත් අතරමං වෙන්න ඇති එස්. එම්. එස්. කරන්නේ කාටද කියලා. නමුත් මට තමයි වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණේ. නිහතමානි ආඩම්බරයක් තියෙනවා ඒ ගැන හිතද්දී.

කෙටි කලකින් මේ ලැබුණු තැන බරක් විදිහට දැනෙන්නේ නැතිද?

කොහෙත්ම නැහැ. මේක මට වාසනාවට ලැබුණ දෙයක්. මේ වගේ තරගාවලියකට යන්නේ කිරුළ ගැන පුංචි හෝ බලාපොරොත්තුවකින්නේ. ඒක නැහැ කියනවා නම් බොරුවක්. ඒත් මට මේ ලැබුණු කිරුළ බොහොම වටිනවා. එය මට ලබා දුන් ප්‍රේක්ෂකයන්ට හිස නමා ගරු කරනවා.

වැඩි ප්‍රේක්ෂක මනාපයක් ලබාන්නද තරගාවලිය පුරාවටම පණ්ඩිත් අමරදේවයන්ගේ ගීත වැඩි වශයෙන් ගැයුවේ?

අනේ නැහැ. අමරදේවයන්ගේ ගීතවලට බොහෝ දෙනා කැමැතියි. නමුත් මං ඒ හරහා ආලෝකයක් ලබාගන්නට හිතුවේ නැහැ. මගේ හැකියාව පෙන්වීම පමණයි මං ඒ ගීත මඟින් කළේ.

සුනීරට බයිලා සින්දු වැඩිය කියන්න බැහැ කියන්නේ ඇත්තද?

බයිලා නෙවෙයි මං ඕන ගීතයක් කියන්නම්. මට කියන්න පුළුවන් ශාස්ත්‍රීය ගීත පමණක්ම නෙවෙයි. ඕන දෙයක් ඔට්ටු කොල්ලෙක් මං.

ඔබව ඩ්‍රීම් ස්ටාර් සඳහා යොමු කළේ කවුද?

මගේ අම්මයි අයියයි තමයි ඊට අයැදුම්පත් දැම්මේ. මීට පෙර සීසන් එකටත් අයැදුම් කළා. නමුත් යන්න බැරි වුණා අධ්‍යාපන කටයුතු හේතුවෙන්.

ඩ්‍රීම් ස්ටාර් තරගාවලිය ගැන ඔබ ලොකු පැහැදීමකින් ඉඳලා තියෙන වගක් පේනවා?

ඇත්තෙන්ම ඔව්. මම ඩ්‍රීම්ස්ටාර් පෙර අදියරයන් යූ ටියුබ් හරහා නරඹලා තියෙනවා. ඒවායේ කිරුළ දිනන කෙනාට වට පිටාවේ අය ජයඝෝෂා කරනවා. අනේ මටත් කවදා හරි එහෙම වෙන්න ඇත්නම් කියලා හිතුණු වාර අනන්තයි. මෙදා සැරේ මම ඒ කිරුළ දින්නා. ඒ ජයග්‍රහණය දරාගන්න බැරිවයි උඩ පැන්නේ.

ඩ්‍රීම් ස්ටාර් තරගාවලිය අතරතුර ඔබට වඩාත් අමතක නොවන අවස්ථාව මතකද?

ඔව්. වරෙක මං අමරදේවයාණන්ගේ මින්දද හීසර ගීතය ගැයුවා. ඒ අවසාන විසි දෙනා අතරෙදි. ඒ මොහොතේ විනිශ්චය මණ්ඩලයේ තිදෙනාම අසුන්වලින් නැඟිටලා මට සුභපැතුවා. අන්න ඒ අවස්ථාව කවදාවත් අමතක වෙන්නේ නැහැ.

සංවේදීතාවයට පත් වූ අවස්ථාවනුත් ඇති?

නැත්තේ නැහැ. මගේ යාළුවො එකින් එක ඉවත් වෙවී යන සෑම අවස්ථාවකදීම මට දුක හිතුණා.

ඔබේ ආදරණීය පාසල ගැන කතා නොකළොත් මෙතනදි අඩුවක් වේවි?

කඳාන මැසනොද් විදුහල මගේ පාසල. මගේ දෙවැනි මව. පාසලේ විදුහල්පති, ගුරු මණ්ඩලය, ශිෂ්‍යයෝ ඇතුළු සියලුම දෙනා මට මාර සහයෝගයක් දුන්නේ. ඒ වගේම රාගම මගේ ගමේ කට්ටිය. ඔවුන් ද මේ මොහොතේ මතක් කළ යුතුමයි.

වර්තමානයේ පවතින විරහ ගීත රැල්ල ගැන සුනීර මොන වගේ අදහසකද ඉන්නේ?

මම ඒ රැල්ලට බනින්නේ නැහැ. කාලෙන් කාලෙට එක එක වෙනස්වීම් වෙනවානෙ. මේකත් එහෙම දෙයක්. මං ඉන් පරිබාහිරවයි කටයුතු කරන්නේ.

ඒ කියන්නේ සුනීර සුභාවිත ගීතයේ උන්නතිය වෙනුවෙන් ද ක්‍රියා කරන්නේ?

සත්තකින්ම. මම ඉදිරියේදී මගේ අලුත් නිර්මාණ කරන්නේ හැමෝටම විඳින්න පුළුවන් ලෙසට. සුභාවිත ගීතය මගේ හඬින් තව ඔසවා තැබීමයි මගේ එකම වෑයම.