වර්ෂ 2016 ක්වූ  දෙසැම්බර් 14 වැනිදා බ්‍රහස්පතින්දා




තරුණයන් වෙනුවෙන් ආයෝජනය කරන්න ඩේවිඩ් ලීන් එදා කිව්වා

තරුණයන් වෙනුවෙන් ආයෝජනය කරන්න ඩේවිඩ් ලීන් එදා කිව්වා

රංජිත් කුරුප්පු

මේ පාර පොතක් නෙවෙයි. චිත්‍රපටයක් කරන්නයි සුදානම. මේ වතාවේ ඇවිත් මගේ පිරිස මුණගැහිලා චිත්‍රපටයේ පූර්ව කටයුතු සුදානම් කළා. චිත්‍රපටයට තිබෙන්නේ ළමා තේමාවක්. ජර්මන් ශ්‍රි ලංකා සම නිෂ්පාදනයක්. වැඩි විස්තර දැන්ම කියන්න බෑ. මොකද අපි ලබන වසරේ මුල මාධ්‍ය වලට විස්තර ඇතුව සියල්ල දැනුම් දෙනවා. මොකද මේ චිත්‍රපටයේ ගොඩක් විශේෂිතා තිබෙනවා.

දෙන්න පුළුවන් හොඳම පරමාදර්ශ දෙක තමයි ගාමිණී ෆොන්සේකයි ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයයි. නිධානයයි පරසතු මලුයි ගන්න. ඒ චිත්‍රපට වල තිබුණු සිනමාරූපී ගතිය තිරයකින් හැරෙන්න අපිට වෙන මාධ්‍යයකින් ගන්න පුලුවන්ද? බැහැ නේද? සත්‍යජිත් රේ වතාවක කියනවා, තීරණාත්මක දර්ශනයක හැරෙන්නට වචන පාවිච්චි නොකළ යුතුයි කියලා.

සිනමාව හරියට කරනවා නම් ලංකාවේ කරන්න ඕනෑ තරම් ප්‍රස්තුත තියෙනවා. මමත් එන අවුරුද්දේ වැඩේට බහිනවා. මගේ චිත්‍රපටයේ තීරණාත්මක වැඩ බොහොමයක් කරන්නේ තරුණ පරම්පරාවේ අය. ප්‍රවීණයන්ට මගේ වැඩේ තව එකක් විතරයි. ඒත් මම දන්නවා තරුණ අය මේ වැඩේට අලුත් ජීවයක් දෙනවා. ධනුෂ්ක ගුණතිලක වගේ ලෝකය ගැන හැදෑරීම් කරපු තරුණ කැමරා ශිල්පියෙක් මගේ කැමරා අධ්‍යක්ෂවරයා වෙන්නේ ඒ අනුව. තවත් කිහිප දෙනෙක් ඉන්නවා.

රංජිත් කුරුප්පු එදත් අදත් යම් නාමයක් උපයාගත්තානම් ඒ ලේඛන කලාවෙන් විය යුතුය. පරිවර්තන ග්‍රන්ථ කරණයේ බොහෝ විට යෙදී සිටින රංජිත් පරිවර්තනය කළ යුත්තේ මොනවාදැයි තෝරාගැනීමේදී යම් ශුරතාවක් දක්වන ලේඛකයෙකි. දශක කිහිපයක සිටම ග්‍රන්ථ 15 කට ආසන්න සංඛ්‍යාවක් පරිවර්තනය කළ රංජිත් ලංකාවේ එතෙක් මෙතෙක් ප්‍රකාශන සමාගම් ගෙවූ ඉහළම කතෘභාගවලටද හිමිකම් කියූ ලේඛකයෙකි. කලකට ඉහත ලෝකයේ බිහිවූ අතිශය ජනප්‍රිය ශෘංගාර සාහිත්‍ය ශානරයට අයත් ‘FIFTY SHADES OF GREY’ නවකතාව සිංහලයට පරිවර්තනය කළේ රංජිත් කුරුප්පු ය. ඒ ‘ප්‍රේම සැදෑවෝ’ නමින් මෙරට අතිශය ජනප්‍රිය වූ කෘතියයි. ඊටත් ප්‍රථම ඔහු පරිවර්තනය කළ ‘කාන්තාරයේ කුසුම’ කෘතියද මෙරට කියවන්නන් අතර අතිශය ජනප්‍රිය එකක් විය. එමෙන්ම එය ලෝකයේද දැඩි අවදානයකට පාත්‍ර වූ කතා තේමාවකි. එවන් ලෝක මට්ටමේ තේමාවන් සිංහලයට හැරවූ රංජිත් කුරුප්පු සිනමාවේ කරන්නේ මොනවාදැයි සාධාරණ පැනයක් නැගෙනවා නොඅනුමානයි.

ඇත්තෙන්ම ග්‍රන්ථ කරණයට පෙර ඔහුගේ ප්‍රියතම මාධ්‍යය වූයේ සිනමාවයි. ඔහු නියැළී සිටියේද සිනමාවෙහිය. ඔහුගේ නිවසේ පරිසරයත් බොහෝ විට සැකසුණේ සිනමාව වෙනුවෙනි. රංජිත් කුරුප්පු ගේ පියා වනුවේ ද එවකට සිනමාවේ යම් ජනප්‍රියත්වයක් තිබූ ධර්මදාස කුරුප්පු ය. සිය තරුණ අවදියේ ආචාර්ය නිහාල්සිංහයන් සමඟ සහය අධ්‍යක්ෂවරයෙක් ලෙස ක්‍රියාශීලිව වැඩ කළ ඔහු සිනමාවේ සැලකිය යුතු ගමනක් ඈත දශකයන් වල ගොස් තිබේ. නමුත් 70 දශකයේ මුල් අවදියේම රංජිත් ජර්මනියට සංක්‍රමණය වීම නිසා සිනමාව තුලින් දුරස් වුවද නැවත 90 දශකයේ ඔහු සිනමාවට පැමිණියේය. බොහෝ දෙනෙකු දන්නා ‘පවන රළු විය’ නම් ඒ මත භේදයකට තුඩු දිය හැකි තාලයේ ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ රංජිත් කුරුප්පු විසිනි.

එදා ජර්මනියේ බොන් නුවර සිනමා සක්විති ගාමිණීගේ අතින් පහන් දල්වා පවන රළු විය එළිදැක්වුණු පසු අද වන තුරුත් ඔහු නිශ්ශබ්දව සිටියේ ඇයිද යන්න විමසිය යුත්තකි. නමුත් සාහිත්‍යකරණයේදී ඔහු අතින් එය සිදු නොවුණි. නමුත් මේ දිනවල ඔහු ලංකාවට පැමිණ තිබෙන්නේ සිය දෙවැනි චිත්‍රපටයේ පූර්ව වැඩ කටයුතු සුදානම් කිරීම වෙනුවෙනි. රංජිත් ගේ මේ වෑයම ප්‍රේක්ෂකයන්ට සුබ ආරංචියක් වන බව කලින් දැන සරසවිය ඔහු හා සම්මුඛ වීම ඇරඹීය. ජර්මනියත් ලංකාවත් එක්ව කරන සම නිෂ්පාදනයක් ලෙස කලකට පසු ඔහු ඔහුගේ වෑයම හඳුන්වා දුනි. ඔහු හා මා අතර වුණු සැහැල්ලු සංවාදය මෙසේය.

ඔබ නිතර ජර්මනියේ සිට ලංකාවට එනවාද?

ඔව්. මම නිතර නිතර ලංකාවට එනවා. මම ජර්මනියේ හිටියට එතරම් දුරස් නෑ ලංකාවට.

මේ වතාවේ ඔබ ලංකාවට අවේ පොතක් පල කරන්න නෙවෙයි කියලා මට විශ්වාසයි...

ඔබ හරි. මේ පාර පොතක් නෙවෙයි. චිත්‍රපටයක් කරන්නයි සුදානම. මේ වතාවේ ඇවිත් මගේ පිරිස මුණගැහිලා චිත්‍රපටයේ පූර්ව කටයුතු සුදානම් කළා. චිත්‍රපටයට තිබෙන්නේ ළමා තේමාවක්. ජර්මන් ශ්‍රි ලංකා සම නිෂ්පාදනයක්. වැඩි විස්තර දැන්ම කියන්න බෑ. මොකද අපි ලබන වසරේ මුල මාධ්‍ය වලට විස්තර ඇතුව සියල්ල දැනුම් දෙනවා. මොකද මේ චිත්‍රපටයේ ගොඩක් විශේෂිතා තිබෙනවා.

බර්ලින් නුවර ගෙවන විවේකී කාලය නැති කරගෙන ඔබ මෙහෙට චිත්‍රපට කරන්න එන්නේ මොනවා බලාපොරොත්තුවෙන් ද?

අපේ සිනමාව තියෙන්නේ අර්බුදයකනේ. මට ඒ ගැන පැහැදිලි චිත්‍රයක් තියෙනවා. කළ යුත්තේ මොකක්ද කියලා මම දන්නවා. ඒ දේ කරන්න පුළුවන් නිර්මාණ කරන අයට විතරයි.

මොකක්ද ඔබේ ආස්ථානය?

මම පැහැදිලිව කියන්නේ එක දෙයයි. අද ලංකාවේ තිරය වෙනුවෙන් සිනමාවක් නෑ. ඒ වෙනුවට තියෙන්නේ ටෙලිවිෂන් එකෙනුත් පෙන්නන්න පුළුවන් නිර්මාණ ගුණය අඩු රූප.

තව ටිකක් පැහැදිලි කළොත්?

කොටින්ම කියනවා නම් ලංකාවේ තියෙන්නේ සිනමාව නෙවෙයි. ටෙලි නාට්‍ය. සිනමාවේ කියලා පෙන්වන රූප කිසිවක් සිනමාවට ඔබින ඒවා නෙවෙයි. වෙන්න ඕනෑ දේ තමයි සාමාන්‍ය රූපය අතික්‍රමණය කරමින් තිරය වෙනුවෙන් රූපය සෑදීම. ඒක දැවැන්ත වැඩක්. තිරය වෙනුවෙන් හදන රූපයක් කවදාවත් පොඩි මොනිටර් එකක බලන්න බෑ. ඒක වෙනම මාධ්‍යයක්. වෙන දැවැන්ත වින්දනයක් එතනින් ලැබෙන්නේ.

ඔබ ඔය රූපය ගැන දරන තක්සේරුව ජර්මනියෙන් ලැබෙන විශ්වීය අත්දැකීම් මත පදනම් වෙනවා කියලා මට හිතෙනවා.

ඔබ හරි. මම පොඩි උදාහරණයක් කියන්නම්. මට සෑහෙන්න කලකට උඩදී හමුවුණා ජර්මනියේ තරුණ සිනමා අධ්‍යක්ෂවරයෙක්ව. මට මතකයි ඒ දවස් වල තමයි ‘ලෝඩ් ඔෆ් ද රින්ග්ස්’ පළමු චිත්‍රපටය එළියට ආවේ. ඒ දවස් වල මම ලංකාවට ඇවිත් ගිය නිසා ඒ චිත්‍රපටය කවුරු හරි මට දුන්නා. අන්තර්ජාලයෙන් බා ගත කරපු පයිරේටඩ් කොපියක්. මම අර අධ්‍යක්ෂ වරයාගෙන් ඇහුවා ඔබ මේ චිත්‍රපටය බැලුවද කියලා. ඔහු කිව්වා නැහැ කියලා. මම ඊට පස්සේ ඇහුවා මං ළඟ ඒ චිත්‍රපටය තියෙනවා බලන්න දෙන්නද කියලා. විශ්වාස කරන්න ෂෙනාල් ඔහු වික්ෂිප්ත වෙලා කිව්වා එපා එපා කියලා. ඔහු කිව්වේ මම ඒ දේ බලන්නේ තිරයෙන් විතරයි. වෙන මාධ්‍යයකින් නෙවෙයි කියලා. ඒ කියන්නේ ඔයාට වුණත් පැහැදිලිව පේනවා ඇති මිනිස්සු තිරයයි අනෙකුත් මාධ්‍යයයි වෙන් කරගන්නේ කොහොමද කියලා.

වර්තමානයේ ලංකාවේ නිර්මාණකරුවෝ තිරයයි පුංචි තිරයයි අතර වෙනස අඳුරන්නේ නැතිද?

මම ඔයාට මෙහෙම කියන්නන්. ඔය බලල ඇතිනේ ජයන්ත චන්ද්‍රසිරි ගේ දඬුබස්නාමානය ටෙලි නාට්‍යය. මම නම් හිතන්නේ දඬුබස්නාමානය කියන්නේ පුංචි තිරය අතික්‍රමණය කරපු නාට්‍යයක් කියලා. සිනමා තිරයයි පුංචි තිරයයි අතර මැද්දක තමයි ඒ නාට්‍ය තියෙන්නේ. ඒ කියන්නේ ටෙලියක අපි දකින සාමාන්‍ය ගුණ දඬුබස්නාමානය ඉක්මවූවා. ඒ වගේ අපේ නිර්මාණකරුවෝ කරන්න ඕනෑ විශාල තිරය සඳහා කරන වැඩ. මම ජර්මනියෙන් උදාහරණයක් කියන්නන්. බර්ලිනයට කිට්ටුව තියෙනවා ගමක් ‘ගොඩස්බර්ග්’ කියලා. මේ ගමේ විතරක් තියෙනවා සිනමා ශාලා 12ක්. මමත් ඒ ගමට ගිහින් චිත්‍රපට බලල තියෙනවා. සති අන්තෙට එහෙම කලින් බුක් කරලා තමයි චිත්‍රපටයක් බලන්න යන්න වෙන්නේ. එච්චරටම මේ ගමේ සිනමාව දියුණුයි. ඇයි එහෙම වෙන්නේ? එකේම අනෙක් පැත්ත. ජර්මනියේ නොමිලේ බලන්න පුළුවන් රූපවාහිනි නාලිකා තියෙනවා පනස් ගාණක්. යූරෝ 15ක් ගෙව්වොත් නාලිකා 150ක් විතර බලන්න පුළුවන්. මේවයෙත් සිනමාව පෙන්වනවා. නමුත් මිනිස්සු සිනමාහලට යන එක නවත්වන්නේ නැහැ. ඇයි ඒ? රූපවාහිනියෙන් ගන්න බැරි විශාල සිනමාවක් සහිත සිනමාපට තියෙන්නේ මේ ශාලාවල විතරයි.

ලංකාවේ තරුණයෝ මේ රූප භාෂාව අතික්‍රමණය කරාවිද?

බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි වගේ චිත්‍රපට කරපු ශ්‍රීමත් ඩේවිඩ් ලීන් හරි අපූර්ව කතාවක් කියනවා 80 දශකයේ. ඔහු කියනවා එවකට හොලිවුඩ් නිෂ්පාදකයන්ට ඔබ දැන් තරුණයන් වෙනුවෙන් ආයෝජනය කරන්න. ඔබ ඔවුන්ට දැන් ආයෝජනය නොකළහොත් ඔවුන් නුදුරේදීම ටෙලිවිෂන් එක වෙතට ඇදී යාවී කියලා. ඇත්තටම ඔහු කියපු දේ එදා සිද්ධ වුණා. අපිටත් ඉන්නවා හොඳ තරුණයෝ. මම සමහර නිර්මාණ දැක්ක ගොඩක් අයගේ. නමුත් මට කියන්න තිබෙන්නේ කලින් කියපු දේමයි. ඔවුන් තිරය වෙනුවෙන් සිනමාව කරලා නැහැ. ගුණාත්මකව තිබුණත් එවුන්ගේ ඒ රූප තිරය වෙනුවෙන් විශේෂ නැහැ. ඒවා අපිට ටෙලිවිෂන් එකෙනුත් පේනවා. එහෙම වුණාම කොහොමද මේ කර්මාන්තය පවතින්නේ. මිනිස්සු එන්නේ නෑ සිනමාව බලන්න. කරන්න ඕනෑ දේ තමයි දිගින් දිගටම මෙය හදාරන එක.

මේ මොහොතේත් ලංකාවේ හදාරපු පිරිසක් යම් යම් ආකාරයෙන් ඉස්මතුවෙමින් ඉන්නවා. ලංකාවෙන් ඔවුන්ට දෙන්න පරමාදර්ශයක් නැතිද?

මොකද නැත්තේ. දෙන්න පුළුවන් හොඳම පරමාදර්ශ දෙක තමයි ගාමිණී ෆොන්සේකයි ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයයි. නිධානයයි පරසතු මලුයි ගන්න. ඒ චිත්‍රපට වල තිබුණු සිනමාරූපී ගතිය තිරයකින් හැරෙන්න අපිට වෙන මාධ්‍යයකින් ගන්න පුලුවන්ද? බැහැ නේද? සත්‍යජිත් රේ වතාවක කියනවා, තීරණාත්මක දර්ශනයක හැරෙන්නට වචන පාවිච්චි නොකළ යුතුයි කියලා. ඒ වගේම මට මතකයි ලන්ඩනයේ වෙච්ච සිදුවීමක්. 84 අවුරුද්දේ එවකට බී.බී.සී ආයතනයේ සභාපති බ්‍රයන් බැක්ස්ටර් සංවිධානය කළා ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා උළෙලක්. ලන්ඩනයට ආපු ලෙස්ටර් මහත්මයාව බී.බී.සී සිංහල සේවයෙන් සම්මුඛ සාකච්ඡාවක් සඳහා ගෙන්නුවා. ජි.ඩී.එල් පෙරේරා තමයි සාකච්ඡාව මෙහෙයවූයේ. ඔහු ඇහුවා එතැනදී වැදගත් ප්‍රශ්නයක්. ඔබට සිංහල හරිහැටි කතා කරගන්නත් බැරුව කොහොමද ඔය මට්ටමට සිංහල චිත්‍රපට හදන්නේ කියලා. මගේ භාෂාව සිංහලවත් අනෙකක්වත් නෙවෙයි සිනමාව තමයි මගේ භාෂාව කියලා ලෙස්ටර් මහත්මයා කිව්වා. ඒවා තමයි අපිට දෙන්න පුළුවන් පරමාදර්ශ.

හොඳයි. දැන් ඔබත් සුදානම් යළි සිනමාවට එන්න. පිටිය දැන් සුදානම්ද?

සිනමාව හරියට කරනවා නම් ලංකාවේ කරන්න ඕනෑ තරම් ප්‍රස්තුත තියෙනවා. මමත් එන අවුරුද්දේ වැඩේට බහිනවා. මගේ චිත්‍රපටයේ තීරණාත්මක වැඩ බොහොමයක් කරන්නේ තරුණ පරම්පරාවේ අය. ප්‍රවීණයන්ට මගේ වැඩේ තව එකක් විතරයි. ඒත් මම දන්නවා තරුණ අය මේ වැඩේට අලුත් ජීවයක් දෙනවා. ධනුෂ්ක ගුණතිලක වගේ ලෝකය ගැන හැදෑරීම් කරපු තරුණ කැමරා ශිල්පියෙක් මගේ කැමරා අධ්‍යක්ෂවරයා වෙන්නේ ඒ අනුව. තවත් කිහිප දෙනෙක් ඉන්නවා. මම ඒ විස්තර පස්සේ කියන්නම්.

දැන් ඔබේ පදිංචිය බර්ලින්වල නිසා ඔබ ලෝක ප්‍රකට බර්ලින් සිනමා උලෙළට නිතර යැවෙනවා ඇති?

පහුගිය වසර කිහිපයේ මම ගියා බර්ලින් උළෙලට. ඒක බොහොම විශේෂ උළෙලක්. චිත්‍රපට බලන්න පුදුම තරඟයක් තියෙන්නේ. සිනමාහල් බොහෝ ගණනක චිත්‍රපට පෙන්වනවා. සමහර මිනිස්සු රෑට ඇවිත් පාරේ නිදාගන්නවා සීතලේ ගැහි ගැහි පහුවෙනිදා තියෙන චිත්‍රපටයේ පෝලිමට ඉන්න. මට මතකයි වතාවක් ෂාරුක් ඛාන් ආවා බර්ලින් උලෙළට. ඒ එනවයි කියන ආරංචියට මිනිස්සු පොර කාලා පාරවල් අවහිර වුණා. ඒ පාර බර්ලින් සංවිධායකයින් ඔහුව හෙලිකොප්ටරයකින් ගෙනත් ප්‍රධාන ශාලාව ඉස්සරහ තමයි බැස්සුවේ. ජර්මනියේත් දැන් එහෙමයි වෙන්නේ.