වර්ෂ 2016 ක්වූ  දෙසැම්බර් 14 වැනිදා බ්‍රහස්පතින්දා




කණ්ඩායම් නර්තනයෙන් පැමිණ නම් දිනුවෝ

කණ්ඩායම් නර්තනයෙන් පැමිණ නම් දිනුවෝ

කලා ලොවේ තරුවක් බවට පත් වීම කලාවට පෙම් බඳීන ඕනෑම කෙනෙකුගේ සිහිනයක්. කලා ලොවට පිවිසුණ ද තරුවක් බවට පත්වීම ඒ හැම දෙනාටම ඉටු කර ගන්නට ලැබෙන අවස්ථාවක්ද නොවේ. මේ අතර එක රැයකින් තරු බවට පත් වන්නෝද නැතුවාම නොවේ. කෙසේ නමුත් පහල සිට ඉහළට ගොස් දිළෙන තරු බවට පත් වූ අයද කලා ලොවේදී අපට හමු වේ. මේ අය සාර්ථක ගමනකට වාසනාව පමණක් හේතු කරගන්නට සමත් අය නොවන බවත් ඔවුන් අප්‍රමාණව කැපවීමෙන්, නොපසුබට උත්සාහයෙන් තම ගමන පැමිණි බවත් කිව යුතුමයි.

බොලිවුඩය දෙස බැලීමේදී නර්තනය සහ බොලිවුඩ් එකිනෙකා සමඟ ගැඹුරු සබඳතාවක් ඇති බව හොඳීන්ම පෙනෙනා දෙයක්. එහිදී නර්තනයකින් විචිත්‍රවත් වූ හින්දි සිනමාපටයක් නොමැති තරම්. මේ අතරේ කැපී පෙනෙන්නේ කණ්ඩායම් නර්තනය යි. එහිදී බොලිවුඩ් සිනමා කර්මාන්තයේ කීර්තියට පත්වූ බොහෝ බොලිවුඩ් නළු නිළියන් මෙලෙස කණ්ඩායම් නර්තනයන් ඔස්සේ තම සිනමා ගමන ආරම්භ කළ බව ඔබ නොදන්නවා විය හැකියි. එදා චිත්‍රපට කණ්ඩායම් නර්තනාංග සහ ගීත ඇල්බමවල නර්තනයන්ට දායකවී සිට අද වන විට බොලිවුඩයේ ඉහළ සාර්ථකත්වයක් ළඟා කර ගනිමින් ඉහළින් වැජඹෙන බොලිවුඩ් තරු කවුරුන් දැයි බලමු.

සරෝජ් ඛාන් යනු බොලිවුඩයේ ඉහළින්ම වැජඹෙන චිත්‍රපට නර්තන නිර්මාණකාරිණියක්. 1958 වසරේදී ක්ෂේත්‍රයට පැමිණි ඇය මේ වන විට Nagina, ABCD: Any Body Can Dance, Saawariya, Veer-Zaara, Dilwale Dulhania Le Jayenge,Mohra චිත්‍රපට ඇතුළුව ගීත 2000ට අධික සංඛ්‍යාවකට නර්තන නිර්මාණයන් සිදුකර තිබෙනවා. මධුරි ඩික්සිත්ගේ අපූරු රංගනයන් නිරූපිත  Thanedaar (1990) චිත්‍රපටයේ ""Tamma Tamma Loge"  සහ  Beta  (1992) චිත්‍රපටයේ"Dhak Dhak Karne Laga"  ඇතුළුව ජනප්‍රිය ගීත රැසක් ඒ අතරට ඇතුළත්. Devdas (2002), Hum Dil De Chuke Sanam (1999), Guru (2007) චිත්‍රපටවල නර්තන නිර්මාණ ඇය වෙත ෆිල්ම්ෆෙයාර්, ඉන්දීය ජාතික සහ අමෙරිකානු නර්තන නිර්මාණ සම්මාන හිමිකර දී තිබෙනවා. නමුත් සරෝජ් ඛාන් නර්තන නිර්මාණ ක්ෂේත්‍රයට පිවිසෙන්නට පෙර කණ්ඩායම් නර්තන ශිල්පිණියක් ලෙස 1958 වසරේ තිරගත කෙරුණු අශෝක් කුමාර් සහ මධුබාලා රැඟූ Howrah Bridge  චිත්‍රපටයේ  ‘Aaiye Meharbaan ගීතයට නර්තනයෙන් දායක වූ අයුරු දැක ගන්න පුළුවන්.

රෙමෝ ඩී සූසා දැන් බොලිවුඩයේ අධ්‍යක්ෂවරයකු ලෙසින් ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගන්නට සමත් වී තිබෙනවා. ඒ පසුගිය වසර කිහිපය තුළ ඔහු විසින් අධ්‍යක්ෂණය කෙරුණු ABCD: Any Body Can Dance, A Flying Jatt  චිත්‍රපට සමඟින්. නළුවකු ලෙසින්ද තම රංගන දායකත්වය ලබා දෙන ඔහු මේ වන විට බොලිවුඩයේ මෙන්ම කොලිවුඩයේද ඉහළ ජනප්‍රියත්වයක් ලද චිත්‍රපට රැසකට නර්තන නිර්මාණය කළා. Enthiran,Krrish 3,Jai Ho, Bajrangi Bhaijaan, Bajirao Mastani, Tevar වැනි ජනප්‍රිය චිත්‍රපටවල නර්තන නිර්මාණයට පිවිසි මඟ ඔහු විවර කර ගත්තේ ප්‍රථමයෙන් Rangeela චිත්‍රපටයේ කණ්ඩායම් නර්තන ශිල්පියකු ලෙසින් සිනමා ක්ෂේත්‍රයට පිවිසෙමිනි.

සුෂාන්ත් සිං රාජ්පුත් මේ වනවිට බොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඉතා කෙටි කලකින් බොලිවුඩය තුළ තම අනන්‍යතාව තහවුරු කර ගන්න ඔහුට හැකියාව ලැබුණා. ඔහු ප්‍රථමවරට චරිත නිරූපණයකට දායක වුණේ 2013 වසරේ Kai Po Che චිත්‍රපටයටයි. අනතුරුව PK, Detective Byomkesh Bakshy!, M.S. Dhoni: The Untold Story, Raabta  චිත්‍රපට ඔස්සේ තම රංගන ප්‍රතිභාව දැක්වූ සුෂාන්ත් ක්ෂේත්‍රයට පිවිසියේ Dhoom  2 චිත්‍රපටයේ "Dhoom Machale"  ගීතයේ නර්තන ශිල්පියකු ලෙසින්.

මෝසතර නිරූපණ ක්ෂේත්‍රයේ මෙන්ම බොලිවුඩයේ රංගන ශිල්පිනියක ලෙසින්ද ජනප්‍රිය ඩේසි ෂා  Hate Story 3, Jai Ho සහ කන්නඩ බසින් නිර්මාණය කළ Bodyguard  වැනි චිත්‍රපටවල රංගනයන් සමඟින් කා අතරත් කතාබහට ලක් වුණා. සම්මානනීය නර්තන නිර්මාණ ශිල්පියකු සහ අධ්‍යක්ෂවරයකු වන ගනේෂ් ආචාර්යා යටතේ ඇය සහය නර්තන ශිල්පිනියක් ලෙසින් වසර දහයක පමණ කාලයක් සේවය කර තිබුණා. ඇයගේ සිනමා ගමනේ ආරම්භය සනිටුහන් කරන්නේ 2003 වසරේ Tere Naam  චිත්‍රපටයේ "Lagan Lagi"  ගීතයේ සහය නර්තන ශිල්පිනියක ලෙසින්.

ඩියා මිර්සා ජනප්‍රිය නිළියක් වන්නට පෙර 2000 වසරේ දී මිස් ඒෂියා පැසිෆික් කිරුළ දිනා ගන්න සමත් වුණා. අනතුරුව ප්‍රධාන චරිතයක් නිරූපණයක් කළේ 2000 වසරේ තිරගත කෙරුණු Rehnaa Hai Terre Dil Mein Çl²rf»xë. Tumko Na Bhool Paayenge, Dum, Koi Mere Dil Mein Hai, Jai Veeru ඇතුළුව මේ වනවිට චිත්‍රපට රැසකට දායක වන්නට ඇය සමත් වී තිබෙනවා. නමුත් ඇය පළමුවෙන් සිනමාවට සම්බන්ධ වන්නේ දකුණු ඉන්දීය චිත්‍රපටවල සහය නර්තන ශිල්පිනියක ලෙසිනි. අරවින්ද් සාමි සහ ඊෂා කෝපිකර් රංගනයෙන් දායක වූ En Swasa Kaatre චිත්‍රපටයේ ගීතවල ඩියාගේ නර්තනයන් දැක ගන්න පුළුවන්.

ශහීඩ් කපූර් වර්තමානයේ බොලිවුඩයේ ඉහළින්ම වැජඹෙන්න සමත් රංගන ශිල්පියෙක්. සම්මානනීය නළුවකු බවට පත්ව සිටින ඔහුගේ නම කී සැණින් සිහි වන්නේ Jab We Met, Udta Punjab, Haider,Ishq Vishk, R... Rajkumar, Fida  වැනි චිත්‍රපට යි. මේ වනවිට සිය බොලිවුඩ් ගමන සාර්ථක කර ගෙන සිටින ශහීඩ් බොලිවුඩයට පිවිසියේද කණ්ඩායම් නර්තන ශිලිපියකු ලෙසින් බව කීවොත් ඔබ පුදුමයට පත් වේවි. එයට සාක්ෂි Taal  චිත්‍රපටයේˆKahin Aag Lage Lag Jaye" ගීතය සහ Dil Toh Pagal Hai චිත්‍රපටයේ "Mujhko Hui Na Khabar"ගීත නැරඹුව හොත් ඔබට හමුවේවි.

බොලිවුඩයට නර්තන නිර්මාණ ශිල්පිණියක ලෙසින් පැමිණ, අධ්‍යක්ෂවරියක, නිෂ්පාදකවරියක මෙන්ම නිළියක ලෙසින්ද ජනප්‍රිය වීමට ෆාරා ඛාන් සමත් වී තිබෙනවා. මේ සියලුම අංශයන්හි ඉහළම පෙළේ නම රඳවන්නට සමත් වී සිටින ඇයගේ පළමු නර්තන නිර්මාණය වූයේ, අමීර් ඛාන් රංගනයෙන් ඔපවත් වූ Jo Jeeta Wohi Sikandar චිත්‍රපටයේ "Pehla Nasha"  ගීතය යි. ඇයගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය Main Hoon Na. ෆාරා පළමු ෆිල්ම් ෆෙයාර් සම්මානය ලැබුවේ 1998 Dil Se..  චිත්‍රපටයේ "Chaiyya Chaiyya" ගීතය වෙනුවෙන්. මේ සියල්ලටම පෙර ඇය 1986 වසරේ තිරගත වූ Sadaa Suhagan  චිත්‍රපටයේ ගෝවින්දාගේ නර්තයක් දැක්වෙන"Hum Hain Naujawan"  ගීතයට සහය නර්තන ශිල්පිනියක ලෙසින් දායක වී තිබනවා.

අර්ෂාඩ් වර්සි බොලිවුඩයේ ජනප්‍රිය නළුවෙක් සේම නිෂ්පාදකවරයක්. ඔහු 2007 වසරේදී Lage Raho Munna Bhai  චිත්‍රපටයේ රංගන වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේ හොඳම විකට නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා. Golmaal චිත්‍රපට මාලාව ඇතුළුව, Jolly LLB, Munna Bhai M.B.B.S., Dhamaal,Salaam Namaste වැනි චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබා දී සිටින ඔහු ප්‍රථමව අනිල් කපූර්, ජිතේන්ද්‍ර සහ මීනක්ෂි ශේෂාද්‍රි රංගනයෙන් දායක වූ Aag Se Khelenge (1989)  චිත්‍රපටයේ "Help Me" ගීතයට සහය නර්තන ශිල්පියකු ලෙසින් නර්තනයෙන් දායක වුණා.