වර්ෂ 2016 ක්වූ  දෙසැම්බර් 14 වැනිදා බ්‍රහස්පතින්දා




රහස් දූපතෙන් මුවන් පැලැස්සට ගිය ස්වර්ණා කහවිට

රහස් දූපතෙන් මුවන් පැලැස්සට ගිය ස්වර්ණා කහවිට

මට ගී ගයන්න හැකියාවක් තිබුණා. සෑම සිකුරාදාවකම තියෙන සාහිත්‍ය සමිතියේ මට කවියක් හෝ ගීතයක් ගයන්න අවස්ථාව ලැබෙනවා. ගුරුතුමියකගේ දිරි ගැන්වීමකින් මම ගුවන් විදුලියේ ‘ළමා මණ්ඩපයේ’ පරීක්ෂණයට ඉදිරිපත් වුණා. පළමුවෙන් කරුණාරත්න අබේසේකර අයියව හඳුනාගන්න ලැබුණේ එදායි. මට ළමා මණ්ඩපයේ ගීත ගයන්න අවස්ථාව ලැබුණා.

මීට වසර 48 පෙර තිරගත වූ ‘බිනරමලී’ සිංහල සිනමාවේ සුවිශේෂිත චිත්‍රපටයක් වූයේ එය පසුබිම් කරගත් ‘මුවන් පැලැස්ස’ ගුවන් විදුලි නාට්‍යය නිසාය. ඒ චිත්‍රපටයේ බිනරමලී ලෙස රඟපෑ නිළිය නම් ප්‍රේක්ෂක ඔබට කොහෙත්ම අමතක වන්නේ නැත. ඇගේ නම ස්වර්ණා කහවිටය. ඇය ඉන්පසු චිත්‍රපට කිහිපයක රඟපෑවත්, බිනරමලීගේ චරිතය පමණක් රඟපෑවත් ඇගේ නම සිනමා රංගන ඉතිහාසයේ නොමැකෙන සලකුණ තබන්නීය. ඇය දැන් සිනමාවෙන් සමුගෙන මාලිගාවත්ත ජාතික නිවාස සංකීර්ණයේ ඊ-1,2/3 නිවසේ පදිංචිව සිටින්නීය.

මා ස්වර්ණා හඳුනන්නේ 1966 වසරේ සිටය. ඇගේ දෙවැනි අයියා වූ ආරියරත්න කහවිට ඒ කාලයේ සිනමාස් සමාගම විසින් ප්‍රකාශිත ‘කලා’ සිනමා සඟරාවේ සංස්කාරකවරයාය. පාසල් වියේ සිටම චිත්‍රපට ගැන ලිපි ලිවීමට නොතිත් ආසාවෙන් සිටි මට මුල්වරට සිනමා සඟරාවකින් ඒ අවස්ථාව ලබා දුන්නේ කහවිට මහතාය. මේ නිසා මට සිනමාවට සම්බන්ධ කලාකරුවන් රැසක් හඳුනා ගැනීමට අවස්ථාව ලැබුණු අතර කොටහේනේ වාසල පාරේ පිහිටි ඒ මහතාගේ නිවසට ද යාමට අවස්ථාව ලැබුණි. මේ නිසා ස්වර්ණා හා විශේෂයෙන් ඇගේ සොහොයුරිය චන්ද්‍රා සහ ඇගේ සැමියා මට සැලකුවේ සහෝදරයකුට සමාන ආදරයකිනි.

කහවිටගේ දෝන ලීනා ස්වර්ණලතා පෙරේරා 1951 නොවැම්බර් 01 වෙනිදා කොටහේනේ උපත ලැබුවාය. ඇගේ පියා ඇල්ප්‍රඩ් පෙරේරා ලේක්හවුස් ආයතනයේ කලක් සේවය කොට පසුව ව්‍යාපාර කටයුතුවලට යොමු වී ඇත. මව ඇඩ්ලින් විල්ප්‍රඩ් පෙරේරාය. ස්වර්ණා පවුලේ බාලයාය. ලොකු අයියා වූ බර්නාඩ් ද දෙවැනි අයියා වූ ආරියරත්න ද අද ජීවතුන් අතර නැත. ලොකු අක්කා ශ්‍රියාලතා කැලණියේ ද, පුංචි අක්කා චන්ද්‍රලතා වත්තල ද පදිංචිව සිටී.

‘මම ඉගෙනීම ලැබුවේ කොටහේන මධ්‍ය විද්‍යාලයේ. (එදා නිල්වීදිය විද්‍යාලය) මම පුංචි කාලේ අසු වූ චෝක් හෝ පැන්සල්වලින් බිත්තිවලත්, කඩදාසිවලත් චිත්‍ර අඳිනවලු. ඒ වගේම අම්මගේ සාරියක් ඇඳගෙන, කුඩේකුත් අරන් අඩි උස සපත්තු දෙකක් දාගෙන බෝනික්කන්ට පහර දෙමින් උගන්වන බව අම්මා පසු කාලෙක කිව්වා. පාසලේ කැමතිම විෂයය සාහිත්‍ය පාඩම. අකමැතිම පාඩම ගණිතය. චිත්‍රවලට පන්තියේ වැඩිම ලකුණු ලැබුණේ මට. චිත්‍රයක් ඇන්දොත් මගේ ඩ්‍රෝවින් පොත පන්තිය වටේ යනවා. මම වරක් අඳින ලද චිත්‍රයක් ජපානේ චිත්‍ර තරගයකට යැව්වා. මට විෂයය ලෙස ලැබී තිබුණේ අම්මා මුළුතැන්ගෙයි වැඩ කරන අන්දම හා පැදුරු වියන අන්දමයි. මම පාසල ඇරිලා ගෙදර ගියේ බස් එකෙන්. අපේ චිත්‍ර මිස් කෙනෙක් යන්නේ කාර් එකෙන්. ඇය පදිංචි වෙලා හිටියේ කොටහේනේ අපේ ගෙවල් ළඟ. ඒ නිසා මාව ඇය පාසල ඇරී කාර් එකෙන් ගෙදරටම යන්න ඉඩ ලැබෙනවා.

මට ගී ගයන්න හැකියාවක් තිබුණා. සෑම සිකුරාදාවකම තියෙන සාහිත්‍ය සමිතියේ මට කවියක් හෝ ගීතයක් ගයන්න අවස්ථාව ලැබෙනවා. ගුරුතුමියකගේ දිරි ගැන්වීමකින් මම ගුවන් විදුලියේ ‘ළමා මණ්ඩපයේ’ පරීක්ෂණයට ඉදිරිපත් වුණා. පළමුවෙන් කරුණාරත්න අබේසේකර අයියව හඳුනාගන්න ලැබුණේ එදායි. මට ළමා මණ්ඩපයේ ගීත ගයන්න අවස්ථාව ලැබුණා. මේ ගීත හදල දුන්නේ තිලකසිරි ප්‍රනාන්දු හා ඩී. ඩී. ඩැනී යන අයියලා. කරු අයියා ගීත ලියලා දුන්නා. දවසක් මගේ මතය හරි නම් සිංහල අවුරුදු උත්සවය කිට්ටුව ළමා ගීත තුනක් පටිගත කරලා මායි, අක්කයි ගෙදර එන්න රෑ වුණා. ගෙදර අය බය වෙලා හොඳටම. ‘මීට පස්සේ රේඩියෝ සිලෝන් පැත්තේ පස් පාගන්නේ නැහැ’ කියලා තාත්තා මට බැනලා කිව්වා. එදායින් පස්සේ මගේ ගීත කීම නතර වුණා.’

ස්වර්ණා හත්වැනි පන්තියේ් ඉගෙන ගන්න කාලයේ සිදු වූ සිද්ධියක් මතක් කළා. ඇගේ පන්තියේ කුසුමා නම් මිතුරියක් සිටි අතර ඇය දිනක් ස්වර්ණා ඇතුළු මිතුරු මිතුරියන්ට ජර්මනියේ සිටි ඇගේ සොහොයුරකු ඒ රටේ දී දුටු නැටුමක් ඔහු තම නැඟණියට උගන්වා තිබුණි. ඇය ඒ බව රස කර වර්ණා කළා. ඒ අවස්ථාවක පන්ති භාර ගුරුතුමිය පාඩමක් බලන්න කියා කාර්යාලයට ගොස් ඇත.

‘අනේ කුසුමෝ අර ජර්මන් නැටුම කරන්නකෝ’ යි ස්වර්ණා ඇයට බලකර සිටියාය.

ගුරුතුමිය පැමිණීම පමා වෙතැයි සිතූ කුසුමා මිතුරියගේ බල කිරීමට පන්ති කාමරයේ බිම වැතිරි නැටීමට පටන් ගෙන ඇත. මේ නැටුමට මුළු පන්තියම කෙතරම් ආකර්ෂණය වූවා ද යත් ගුරුතුමිය එන තෙක්ම ‘හූ’ තබමින් බලා සිටියෝය.

‘නාඩගම් නටනවා, තව දවස් කීයද විභාගෙට?’

එසේ ඇය කීවත් කුසුමාගේ නැටුමට ගුරුමියගේ සිනහව නතර කර ගත නොහැකි වී ඇත. ඒ දිනවල වාර විභාගයට කිට්ටු නිසා කුසුමාට සමාව ලැබී ඇත. ඇය මේ සිද්ධියෙන් හොඳටම බය වී තිබුණි. කුසුමා ටික කලකින් හදවත් රෝගයකින් අකාලයේ මිය යාම තමාට දැරිය නොහැකි වේදනාවක් වූ බව ස්වර්ණා අපට පැවසුවාය.

‘මම සිනමාවට එක් වූ කාලයේ අවසන් වරට ඇය මට සුබ පැතූ අයුරු මට මතක් වෙන කොට කඳුළු එනවා. මා ඉගෙන ගන්නා කාලයේ සාත්තු සේවිකාවක් වෙන්න මට ලොකු ආසාවක් තිබුණා. ඒත් ජ්‍යෙෂ්ඨ විභාගයෙන් ගණිතය අසමත් වී සෙසු විෂයයන් සමත් වීම හෙදියක් වීමේ සිහිනය බොඳ වුණා’ ඇය කීවාය.

ඒ කාලයේ ආරියරත්න අයියා ‘කලා’ සිනමා සඟරාව සංස්කරණ නිසාත් සිනමාස් සමාගමේ සේවය කරන නිසා ගායකයන් නළු නිළියන් නිතර ගෙදරට පැමිණ ඇත. ජෝතිපාල, මිල්ටන් පෙරේරා, මොරිස් දහනායක, ඇන්තනි සී. පෙරේරා, ක්‍රිස්ටි ලෙනාඩ්, සේනාධීර රූපසිංහ, ලෙනින් මොරායස්, වාමදේවන්, සන්ධ්‍යා කුමාරි, හියුගෝ මාස්ටර්, වෙන්කට් මේ අතර වූහ. අපේ ගෙදර ගාවයි රොබින් ප්‍රනාන්දු, සුදේශ් ගුණරත්න හිටියේ. ස්වර්ණාට සිංහල හා හින්දි චිත්‍රපට බැලීමට අවස්ථාව ලැබුණේ අයියා නිසාය. සිනමාස් සමාගමේ සිනමාහල්වල තිරගත වූ සෑම චිත්‍රපටයක් ඇය පවුලේ අය සමඟ නැරැඹුවෝය. දිලිප්, රාජේන්ද්‍ර කුමාර්, වෛජයන්තිමාලා, රාජ් කපූර්, නූටාන් ඇය ප්‍රිය කළ නළු නිළියන්ය.

‘නළු නිළියන් මෙන්ම හාපුරා කියා සන්දේශයෙන් පසුව රන්මුතුදූවත් දැකීමෙන් චිත්‍රපටයක රඟපෑමට ආසාවක් ඇති වුණා. ගෙදරින් අවසර නොලැබුණත් ඒ ආසාව ටිකෙන් ටික වර්ධනය වුණා. පුවත්පතක් නිසා අර්වින් ජයමාන්න නිපද වූ මිලි මීටර් 16 ප්‍රමාණයේ වර්ණ චිත්‍රපටයක් වූ ‘රහස් දූපත’ චිත්‍රපටයේ ළමා චරිතයක් රඟපෑමට ලැබුණා. එතකොට මගේ වයස අවුරුදු 13 ක් විතර ඇති. මුතු බෙල්ලන් සොයමින් යන හොරු පිරිසක් හා රහස් දූපතක් ගැන මේ චිත්‍රපටයේ කතාව විකාශනය වුණේ. මේ චිත්‍රපටයේ රාණි ලෙස මාත්, සිරිල් කොඩිතුවක්කු, මාක් සමරනායක, සිසිර පියසේන, ග්‍රේස් ජයමාන්න, කේ. ඩී. ඇල්ප්‍රඩ් රඟපෑවා. සිරිල් පසුව ‘සිරිල්කොඩි’ නමින් ‘හදිසි විවාහය’ චිත්‍රපටයෙත් රඟපෑවා. ඔහු අද ජීවතුන් අතර නැහැ. අර්වින් ජයමාන්න, බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ ඥාති පුත්‍රයෙක්. මේ චිත්‍රපටය තිරගත වුණේ 1967 මාර්තු 10 වෙනිදාය. රඟපෑමට යන්න මට ලොකු සටනක් කරන්න සිදු වුණා. අම්මා වරෙක මට බැන්නා. ගැහැව්වා. ඒ හැම විටම මම මුරණ්ඩු වුණා.’

ස්වර්ණා අවිවාහකව සිටීම ගැන ඇසූ විට ඇය තම අතීත සිද්ධියක් සිහිපත් කළාය.

‘මට පාසලේ ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණේම නැහැ. එහෙත් අපේ කොටහේනේ නිවස අසල පදිංචිව සිටි තරුණයෙක් මට ආදරය කළා. මමත් හදවතින්ම අවංකව ආදරය කළේ මේ තරුණයාට. මේක ගෙදරට ආරංචි වුණා. තාත්තා, අයියලා යුද්ධ ප්‍රකාශ කළා. කුලමල ඇද්දා. එහෙත් මම එන්න එන්නම මුරණ්ඩු වුණා. මම ඔහු වෙනුවෙන් වසර 5 ක් බලා හිටියා. ඔහුත් මා ගැන බලාපොරොත්තුවෙන් හිටියා. ඔහු ඇමරිකාව බලා ගියේ ඊට පස්සේ. අද ඔහු විශේෂඥ වෛද්‍යවරයෙක්. මේ සිද්ධියෙන් පස්සේ මම සදාකාලිකව අවිවාහකව සිටීමට සිතා ගත්තා.’

ස්වර්ණා ‘රෑනගිරව්’ චිත්‍රපටයේ සුළු චරිතයක් රඟපෑවාය. එහි අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී කල්දේරා හා ආරියරත්න අයියා සබඳතා මත. 1963 සිට ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ ‘මුවන්පැලැස්ස’ ගුවන් විදුලි නාට්‍යයට කහවිට පවුලම ඇහුම්කන් දුන්නේ ආසාවකිනි. ඒ නාට්‍යය ප්‍රචාරය වන වේලාවට ඔවුන් පිටතට නොගියහ. එහි එන නෙතලි නානායක්කාර නිරූපණය කළ බිනරමලීගේ චරිතයට ස්වර්ණා ඇලුම් කළාය. මුවන්පැලැස්ස ගුවන් විදුලි නාට්‍යය ඇසුරෙන් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන බවත් ඒ සඳහා නවක නිළියක් අවශ්‍ය බව ‘සරසවිය’ පුවත්පතේ කුමාරදාස වාගිස්ටගේ ‘තිර තරු තොරතුරු’ ප්‍රවෘත්ති පිටුවේ සඳහන් කර තිබුණි. ස්වර්ණා, තමාගේ කලා ජීවිතයට දිරි දුන් චන්ද්‍රා අක්කාත් සමඟ රහසේ කතිකා කරගෙන ගෙදරට හොරා ඉල්ලුම් පත්‍රයක් දැම්මාය. ඇයට කැඳවීමක් ලැබිණ.

‘මම චන්ද්‍රා අක්කාත් සමඟ රත්මලාන ගුවන් තොටුපල පාරේ දොස්තර මුදලිනායක සෝමරත්න මහතාගේ නිවසට ගියා. එදින විනිශ්චය මණ්ඩලයට මුදලිනායක මහතා සමඟ ඩී. බී. නිහාල්සිංහ, ගුණරත්න රත්නායක යන මහත්තුරු හිටියා. මට චිත්‍රපටයේ තිර නාටකය දීලා කියවන්න දෙබස් ටිකක් දුන්නා. පස්සේ මගේ ලිපිනය ලියාගෙන පසුව දැනුම් දෙන්නම් කිව්වා. එදා මම ගෙදර ආවේ දෙගිඩියාවෙන්. එදින හවස අක්කලත් චිත්‍රපටයක් බලන්න සූදානම් වෙමින් සිටින විට දොස්තර මුදලිනායක සමඟ තව කිහිප දෙනෙක් අපේ ගෙදර ආවා.

‘අපි ස්වර්ණාව ‘බිනරමලී’ චිත්‍රපටයේ බිනරිට තෝරා ගත්තා’ දොස්තර මුදලිනායක කියන කොට මට හිතා ගන්න බැරිව ගියා. මම අම්මට වැඳලා චිත්‍රපටයට යන්න අවසර ගත්තා.’

ස්වර්ණා කියන්නේ තමාට බිනරි වැනි ගැඹුරු චරිතයක් රඟපාන්නට ලැබේවි කියා නොසිතූ බවය. චරිතය රඟපෑමට හැකිවේදැයි බියකුත් ඇති වූ බවය. ඇය දඹුල්ල කණ්ඩලමේ 1 1/2 වත්තේ දී මුලින්ම රූපගත කිරීමට මුහුණ දී ඇත. පියදාස ගුණසේකර, ඩී. ආර්. නානායක්කාර, වික්‍රම බෝගොඩ, ශාන්ති ලේඛා වැනි ප්‍රවීණ නළු නිළියන් සමඟ රඟපෑමට ලැබීම ඇයට ලොකුම අභියෝගයක් විය. චිත්‍රපටයේ එක දර්ශනයක රෙදි පොට්ටනියකුත් අතැතිව දරුවකුත් වඩාගෙන තුරුලු කරගෙන කඳු මුදුනක සිට යන දුෂ්කර අවස්ථාව ඇය සිහිපත් කළේ ද භීතිය සහිත මුහුණකිනි. වරෙක ඇය පය ලිස්සා වැටී ඇත. එහෙත් දරු පැටියා නම් අතහැර නැත. කටු පඳුරු අතරේ පැටලෙමින්, ලේ ගලමින්, කන්දකින් පෙරළී වැටී තුවාල ලැබූ අයුරු චිත්‍රපට ජීවිතයේ ලැබූ ලොකු අත්දැකීමක් බව ඇය කීවාය.

කොතරම් කටුක අත්දැකීම් ලැබුව ද ස්වර්ණාගේ වාසනාවන්ත චිත්‍රපටය වූයේ ‘බිනරමලී’ය. එය 1969 වසරේ අතිශය ජනප්‍රිය චිත්‍රපටය වූ අතර 1970 සරසවිය සම්මාන උලෙළේ දී හොඳම චිත්‍රපට නිළියට හිමි සම්මානය ඇය දිනා ගත්තාය.

‘එදා මගේ ජීවිතයේ වාසනාවන්තම දවස. මම ප්‍රධාන චරිතය රඟපෑ ප්‍රථම චිත්‍රපටයටම සරසවිය සම්මානයක් ලැබීමම සතුටක් නොවේ ද? එදා වඩාත් සතුටු වුණේ චන්ද්‍රා අක්කා. අම්මා සතුටු කඳුළු හෙළුවා. ආරියරත්න අයියාගේ තිබුණ සතුට අපිට නොව තම මිතුරන්ට පළ කර තිබුණා’ ස්වර්ණා කීවාය.

ඉන්පසු ඇය චිත්‍රපට 22 ක රඟපෑවාය. ඒ අතර 1971 පූජිතයෝ, රන් ඔන්චිල්ලා, අබිරහස, 1973 හොඳයි නරකයි, 1974 ඔන්න බබෝ බිල්ලෝ එනවා, 1975 සිරිල් මල්ලි, සූරයා සූරයාමයි, ලස්සන දවසක්, 1976 හරිම බඩු තුනක්, උන්නත් දාහයි මළත් දාහයි, ඔන්න මාමේ කෙල්ල පැනපි, 1977 හරි යන කොට ඔහොම තමයි, නිවෙන ගින්න, 1978 සසර, 1981 දයාබර නිලූ යන වෘත්තාන්ත චිත්‍රපටත්, සහන් එළිය, රත්තරන්, තංගමේ තංගම් නම් වාර්තා චිත්‍රපට ද වෙයි. මේ කාලය තුළ ඇය ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ, විජය කුමාරතුංග, තිස්ස විජේසුරේන්ද්‍ර ආදීන් සමඟ රඟපෑමට අවස්ථාව ලැබිණ.

80 දසකයේ සිනමාවෙන් සමුගත් ඕ ජපන් බස හදාරා ජපානයට ගියාය.

‘දැන් මම ගත කරන්නේ ඉතා සැහැල්ලු ජීවිතයක්. බැඳීම් නැති, වගකීම් නැති නිදහස් ජීවිතයක්. මම දැන් ආගමික ජීවිතයකට නැඹුරු වෙලා ඉන්නේ. මගේ උපන් දිනේට වැඩිහිටි නිවාසයකට දානයක් දෙනවා. දෙමටගොඩ නගරයේ විහාරස්ථානයට දානයක් දෙනවා. මට එයින් අධ්‍යාත්මික සුවයක් ලැබෙනවා. මගේ තනියට ඉන්නේ ලොකු අක්කාගේ දියණිය.නිවාඩු ලැබෙන ලැබෙන හැටියට අක්කලා දෙන්නගේ ගෙවල්වලට යනවා.’

‘මීට වසරකට ඉස්සර මම ගෙදර වැටිලා රෝහල් ගත වෙලා හිටියා. පුංචි කාලේ ඉඳලාම මම කැරපොත්තන්ට බයයි. දවසක් දවල් ගෙදර ඉන්න කොට ඉඟිලෙන කැරපොත්තෙක් මගේ ඇඟේ වහලා මම දඟලලා ගෙදර ටයිල් පොළොවේ වැටුණා. මගේ ඉණේ හිප් එක පැනලා මාස තුනක් දුක් වින්දා. ඇඳේම හිටියා.’ ස්වර්ණා කීවේ අපේ ජීවිතේ දැන් ඔහොම තමයි. අය පැත්තට වඩා වැය පැත්ත බර වැඩියි’ කියාය.

අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්