|
සචිත්‍ර හා ලහිරුකා A/L අනුත්තර හා අහිංසා වූ හැටි
මේ මස 18 වැනිදා සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වීමට නියමිත රොහාන් පෙරේරාගේ ‘ඒ ලෙවල්’ චිත්‍රපටය උසස් පෙළ ළමයින්ගේ ජීවිතවල ඇතුළාන්තය විදහා දැක්වෙන අපූර්ව සෞන්දර්යත්වයෙන් යුත් සිනමා සිත්තමකි. අප සියල්ලන්ටම සොඳුරු පාසල් කාලය යළිත් සිහිපත් කරන, වර්තමානයේ සිටින පාසල් ළමුන්ට පාසල් කාලය යන්න මේ යැයි සිහිපත් කරන, පාසල් ආදරය විය යුත්තේ මේ යැයි සිහිපත් කරන ‘ඒ ලෙවල්’ සොඳුරු ආදරණීය චිත්‍රපටයකි. ඒ සොඳුරු පාසල් ළමයින්ගේ ජීවිතය අතරින් රිංගා ඉන් ඔබ්බට යමින් සිදුවෙන, සිදුවිය හැකි ළමා අතවර පිළිබඳ ප්‍රශ්න කරන, ඊට විසඳුම් සොයා යා යුතු බව කියන ‘ඒ ලෙවල්’ පවුලේ චිත්‍රපටයකි. මේ චිත්‍රපටයේ ඒ ලෙවල් ළමයින් ලෙස පණ පොවන්නේ ඒ ලෙවල් හදාරමින් සිටින ළමයින් පිරිසකි. ඒ අතරින් ප්‍රධාන චරිත වන්නේ අනුත්තර හා අහිංසායි. ඔවුන් දෙදෙනාගේ ජීවිතය හරහා දිග හැරෙන ‘ඒ ලෙවල්’ චිත්‍රපටයේදී ඒ චරිත රඟපෑමේදී විඳී අත්දැකීම් ඇසුරින් හා ඔවුන්ගේ ජීවිත පිළිබඳ යෙදුණු සාකච්ඡාවක් ඇසුරින් මේ ලිපිය සැකසෙයි. “මතකයන් සිත පාරවයි වසන්තේ කොහෙදෝ ගිහින් ජීවිතේ තැනක නැවතිලා මැකී යයි පිය සටහන් පාසලෙන්...... සෙනෙහසක් නෑවිදින් ඇවිදින් ගියා මුදුවදන් මතකෙන් ගිලිහී ගියා හසරැල්ල සුළඟේ .... දැවටී ගියාවේ බිඳුණු සිත පෑරුණා රහසේ ආයෙමත්...
වසන්තයේ හොරැහින් අසලින් ගියා රාත්‍රිය දිගු වී බොඳවී ගියා මටම මා අතහැරී නොහැරී ගියාවේ පාළුවේ තනිවුණා මතකේ ආයෙමත්
මතකයන් සිත පාරවයි වසන්තේ කොහෙදෝ ගිහින් ජීවිතේ තැනක නැවතිලා මැකී යයි පිය සටහන් පාසලෙන්......” ඒ පාසල් දිවියේ මිහිරියාව යළිත් අප හදවතේ සනිටුහන් කරන ‘ඒ ලෙවල්’ චිත්‍රපටයේ එන මේ ගීතය අපගේ හදවතට යළිත් පාසල් කාලය දෙස හැරි බලන්නට කරන ආරාධනාවක් වැන්න. ඒ ආරධනාව සිහිපත් කරන අනුත්තරගේ සෙනෙහස පිරුණු නිහඬ බව රැගත් ආදරණීය මුහුණ අපගේ හදවතේ ඇඳෙන්නේ නොමැකෙන මතකයක් ලෙසිනි. සොඳුරු බව සපිරුණු ඒ අනුත්තරගේ චරිතයට පණ පොවන්නේ චරිතය තරම්ම සොඳුරු තරුණයෙකි. හේ සචිර විජේසිංහ ය. නුවර කටුගස්තොට ප්‍රදේශයේ උපන් සචිර මේ වනවිට සිටින්නේ කොළොම්පුරවරයේයි. ඒ ඒ ලෙවල් ප්‍රතිඵල අපේක්ෂාවෙන් තාවකාලිකව රැකියාවක නිරත වෙමිනි. මීට වසරකට පමණ පෙර ඒ ලෙවල් චිත්‍රපටයේ අනුත්තරගේ චරිතයට සචිරව තෝරා ගැනෙන විට ඔහු සිටියේ නුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ වාණිජ අංශයේ ඉගෙන ගනිමිනි. ප්‍රාථමික අංශවල ඉගෙන ගන්නා කාලයේදී හැරෙන්නට සචිර ඊට පසුව කිසිදිනෙක පාසලේ විවිධ ප්‍රසංගයකට තියා යහළුවන්ගේ ඉල්ලීමකදී වත් ගීයක් ගැයුවකු නොවේ. එහෙත් ඔහු ක්‍රීඩාවට දැක්වූයේ මහත් ඕනෑකමකි. එමෙන්ම චිත්‍ර ශිල්පයට ද ඒ හා සමානවම ඔහු ආදරය කළේ ය. දිනෙක ඔවුන්ගේ පාසලේ නාට්‍ය හා රංග කලාව උගන්වන ටීචර් සචිරුගේ පන්තියට පිවිස පැවසුවේ කිසිදිනෙක නොසිතූ කතාවකි. “ටීචර් පන්තියට ඇවිල්ල කිව්වේ හවස චිත්‍රපටයකට තෝර ගන්න පිරිසක් එනවා ඒ නිසා ඒකටත් ඉඳලා යන්න කියලා. අධ්‍යක්ෂවරයාගේ නම විදියටත් කිව්වේ වෙනත් කෙනෙකුගේ නමක්. කොහොමවුණත් අපි සියලුදෙනාම ඒ වැඩේට ඉන්න කතා කර ගත්තා. හවස පාසල ඇරිලා ඉන්රැක්ට් ක්ලබ් එකේ තිබුණු ප්‍රදර්ශන වැඩකට මට යන්න සිදුවුණා. ඒ වැඩේත් එක්ක ටීචර් කිව්ව වැඩේ මට අමතක වෙලයි තිබුණේ. ඒත් ඒ වැඩේ අවසන් වෙලා මා යළිත් පාසලට පැමිණියේ යහළුවන් සමඟ යළිත් නිවෙසට යන්න සිතාගෙනයි. ඒ වනවිටත් මගේ යහළුවන් ඇතුළු අනෙක් අය තෝරා ගැනීමේ පරීක්ෂණයට සහභාගි වී සිටි නිසා මා එළියේ සිටියේ ඔවුන් පැමිණෙනතුරුයි. ඔවුන් සියලුදෙනාම අවසන් වූ පසුව මාව දුටුව අධ්‍යක්ෂතුමා මට කතා කළා. ඊට පස්සේ මාත් සමඟ විස්තර කතා කළා. ඒ වගේම මගේ දුරකථන අංකය ඉල්ලා ගත්තා. ඒත් අධ්‍යක්ෂතුමා ගොඩක් වෙලා මාත් සමඟ කතා කළා නිසා මේ චිත්‍රපටය ගැන යම් බලාපොරොත්තුවක් මගේ සිතේ නොතිබුණාත් නොවෙයි. ඒ පරීක්ෂණයෙන් සතියකට පසුව ඔහු මට කතා කරලා පැවසුවේ ඔයාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ගොඩක් දුරට තේරෙයි, සූදානම් වෙලා ඉන්න කියන පණිවුඩයයි. අවසානයේ කොහොමහරි මාවත්, මගේ පන්තියේ සිටි යහළුවන් දෙදෙනකුත් චිත්‍රපටයට තෝරාගෙන තිබුණා.” පාසලේ සිදුවුණු මේ සිදුවීම ගැන සචිර මුලින්ම දැනුවත් කළේ අප්පච්චිව ය. ඊට පසුව අයියලා දෙන්නාවත් දැනුවත් කළ ඔහුට නිවෙසෙන් ලැබුණේ යහපත් ප්‍රතිචාරයක් නොවේ. එලෙස වූයේ ඒ චිත්‍රපට පිළිබඳ ඔවුන්ගේ සිතේ තිබුණු අදහස් නිසාම ය. කෙසේ වුවද සචිරගේ අප්පච්චිත්, ලොකු අයියාත් අධ්‍යක්ෂවරයාට කතා කිරීමෙන් පසුව සචිරට චිත්‍රපටයේ රඟපෑමට අවසර ලැබිණි. “ඒ ලෙවල්’ චිත්‍රපටයේ අනෙක් ප්‍රධාන කතා නායිකාව අහිංසා ය. අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණදෙමින් ජීවිතය ජය ගන්නට ඈ දරන තැතත් ඒ ඒ අවස්ථාවල ඈ ක්‍රියාකරන බුද්ධිමත් බවත් සිනමා ප්‍රේක්ෂකයන්ගේ සිත් ගන්නේ ඉබේම ය. අනුත්තර තරමටම අපේ හදවතේ ලැගුම් ගන්නා අහිංසාට පණ පොවන්නී ලහිරුකා ඒකනායක ය. “මාතලේ ඉපදී හැදී වැඩුණු මම පාසල් යන්නේ මාතලේ ශ්‍රී සංඝමිත්තා ජාතික පාසලටයි. මා ඒ ලෙවල් කරන්නේ ලබන වසරේයි. ඒ වාණිජ අංශයෙන්. කුඩාකල පටන්ම මා ඉගෙන ගත් විෂයයන් අතරින් වඩාත් කැමැත්තක් දක්වන්නේ සංගීතයටයි. ඒත් මා සංස්කෘතික මධ්‍යස්ථානයේදී නාට්‍ය හා රංගකලාවයි හැදෑරුවේ. කමල් පී. අලහකෝන්ගේ ‘යෝධයාගේ උයන’ වේදිකා නාට්‍යයේ මා රඟපෑවා. ඒ නාට්‍යය 2010 රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ නියෝජනය කළා. ගීතයක රූපරචනාවකට සිටියා. නිල්හාන් ඒකනායකගේ ‘ඉට්ස් මී’ කියන කෙටි නාට්‍යයේ මා රඟපෑවා. ඒ නාට්‍යය මධ්‍යම පළාත් නාට්‍ය උලෙළේදි පළමු තැන දිනුවා. ඊට සම්මාන හයක් පමණ ලැබුණා. ඒ වනවිට මා ඕ ලෙවල් කරන කාලයේ. වැඩිපුරම කමල් සර්ගේ වේදිකා නාට්‍ය කිහිපයකයි රඟපෑවේ. මා ඕ ලෙවල් සංගීතය කළත් උසස් පෙළ සඳහා තෝරා ගත්තේ වාණිජ අංශයයි. සංගීතයට ආසා නිසා උසස් පෙළ අවසන් වුණාට පසුව සංගීතය දිගටම හදාරන්නයි සිතාගෙන සිටින්නේ.” වයලීනය, ඇතුළු සංගීත භාණ්ඩ කිහිපයක්ම වාදනය කිරීමේ හැකියාව ඇති ලහිරුකාගේ නිවෙසට දිනක් පැමිණියේ සිය නාට්‍ය ගුරුතුමා වූ කමල් ය. ඔහු සමඟ පැමිණ තිබුණේ කිසිදිනෙක නුදුටු අමුත්තෙකි. “ඒ අමුත්තා රොහාන් සර්. ඔහුත් සමඟ කමල් සර් එනවිට මම සිටියේ මිදුල අතුගාමින්. ඔවුන් ඇවිත් අපේ නිවෙසේ අයත් සමඟ කතා කළා. ඊට පසුව රොහාන් සර් මාත් සමඟ කතා කළා. ඒ සර් මාත් සමඟ කතා කළේ මොකටද කියලා මම දැනගෙන සිටියේ නැහැ. ඒත් ඔහු එකපාරටම දුව මේ කතා කරන්නේ මොකටද කියලා දන්නවාද යනුවෙන් මගෙන් විමසුවා. චිත්‍රපටයක රඟපාන්න කිව්වට පස්සේ මට හොඳටම බය සිතුණා. මට හවස 6ට දුරකථන ඇමතුමක් දෙන්නම් කියලා ඔවුන් යන්න ගියා. අපේ ගෙදර අයත් මුලින්ම නම් මා රඟපානවාට කැමැති වුණේ නැහැ. ඒත් 6ට ඒ කිව්ව ඇමතුම ආවේත් නැහැ. මම ඒ වෙලාවේ නිවෙසේ අයට පැවසුවේ ඔන්න මාව චිත්‍රපටයට තේරිලා නැහැ කියලයි. ඒත් ඒ ඇමතුම ආවේ 7.30 විතර. ඒ චරිතයට මාව තෝරාගෙන තිබෙන බවත්, ඊට පස්සේ දවසේ ඇග්රිමන්ට් සයින් කරන්න එන්න කියලා කිව්වා. එදාත් අපේ නිවෙසේ අය කලා ක්ෂේත්‍රය ගැන අහන ආරංචි නිසා බයවෙලයි හිටියේ.” ලහිරුකා පවුලේ සිව්වැන්නී ය. ඇයට වැඩිමහල් අක්කලා දෙදෙනෙකි. අයියා කෙනෙකි. පවුලේ බඩපිස්සී නංගී ය. ඔවුන් සියලුදෙනාම බලාගන්නී අම්මා ය. අවසානයේ ඒ සියල්ලන්ගෙන්ම ලහිරුකාගේ රඟපෑමේ අදහසට අවසර ලැබිණි. “චිත්‍රපටයේ තිරචනය මගේ අතට ලැබුණා. ඒක මා මුල ඉඳලා අගටම කියෙව්වා. චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කිරීමට පෙර මුලින්ම අපට වැඩමුළුවක් තිබුණා. ඒ හරහාත් ගොඩක් දේ ඉගෙන ගැනීමට අපට හැකිවුණා. ඒත් මුලින්ම මා රඟපෑවේ අහිංසාගේ චරිතය නොවෙයි. අම්මා විදියට තේ එකක් ගේන්නයි මට තිබුණේ. ඒ නිසා ඇත්තටම මම රඟපාන්නේ අහිංසාගේ චරිතයද කියලා මටත් සිතා ගන්න බැරිවයි සිටියේ. එතැන සිටි අනෙක් ළමයි එක්ක මුලින්ම නම් කතා කළේ නැහැ. ඒ නිසා ඔවුන් සිතාගෙන සිටියේ මම ආඩම්බරයි කියලා. ඒත් පසුව අපි හැමෝම යහළු වුණා. අහිංසාගේ චරිතය රඟපාන්නට මට රොහාන් සර් ගොඩක් උදවු කළා.” සචිර ද ඒ වැඩමුළුට සහභාගි වූ ළමෝ අතර සිටියහ. ඒ අනුත්තර වීමට ය. “අපට මුලින්ම සහභාගි වීමට සිදුවුණේ තලවතුඔය මධ්‍ය මහා විද්‍යාලයේ පැවැත්වුව වැඩමුළුවකටයි. ඒ වැඩමුළුව හරහා අප බොහෝ දේ ඉගෙන ගත්තා. ඊට පස්සේ ජුලි මාසයේ රූගත කිරීම් ඇරැඹුවා. ඒ වනවිට ඇත්තටම මම බොහොම බයෙන් සිටියේ. මොකද වරද්දන්න බැහැ. ඒ සියලුදේත් එක්ක අධ්‍යක්ෂතුමාගේ උපදෙස් පිළිපදිමින් මා අනුත්තරගේ චරිතය ප්‍රතිනිර්මාණය කළා. ඔහු පැවසුවේ අනුත්තර කියන්නේ මම බවයි. ඒ චරිතයට අවශ්‍ය සියලු දේම මා ළඟ තිබෙන බවයි ඔහු පැවසුවේ. අනුත්තරගේ පෙනුම, ඔහු හොඳ යහළුවන් හා නරක යහළුවන් කියන හැමදෙයක් ම අහගෙන මැද මාවතේ කටයුතු කිරීම වැනි දේවල් ඒ අතර තිබුණා.” “ඔබත් සැබෑවටම අනුත්තර වගේද?” “බොහෝදුරට මමත් අනුත්තර වගේම තමයි. අප දෙදෙනා අතර පොඩි වෙනස්කම් කිහිපයකුයි තිබෙන්නේ. ඒත් මට නම් පාසල් යන කාලයේදිවත්, අද වනවිටත් ආදරවන්තියක් නැහැ. ඒ කාලයේ එහෙම සිතගත් අය සිටියා. ඒත් මගේ සිතේ තිබුණු ආඩම්බරකම නිසාම මා ඒ අය පස්සේ ගියේ නැහැ. අධ්‍යාපනයටයි මුල්තැන දුන්නේ. හැබැයි ඕ ලෙවල් ලියලා නම් සිතුවේ එවැනි කෙනෙකුට අනිවාර්යයෙන්ම ආදරය කරන බවයි. ඒත් ඒ ලෙවල්වලදි ඒ අදහස වෙනස් වුණා. ඒ වුණත් මා දවසක ආදරය කළොත් අනුත්තර විදියටම මා ආදරය නොකරාවි. ඒත් ඒ වගේ ප්‍රශ්නයකට මා ආදරය කරන කෙනා මුහුණු පෑවොත් ඒ ගැන සොයා බලාවි. එය විසඳා ගැනීමට උදවු කරාවි.” ඒ අතර “ලහිරුකාත් අවිහිංසාට සමානද?” මම අවිහිංසාගෙන් විමසුවෙමි. “තිරරචනය කියවද්දි අහිංසාත්, මමත් එක වගේ යැයි මට හැඟුණා. ඒත් මම පන්තියේදි ටිකක් දඟයි. අහිංසා තරම් අහිංසකත් නැහැ. අහිංසාට පැමිණි ප්‍රශ්න නොතිබුණත් වෙනත් ප්‍රශ්නවලට ඕනෑතරම් මා මුහුණ දීලා තිබෙනවා. ඒ නිසා අහිංසා මට ආගන්තුක වුණේ නැහැ. මගේ සියලුම ප්‍රශ්න මා කතා කරන්නේ ගෙදර අය සමඟයි. විශේෂයෙන්ම පොඩි අක්කී සමඟයි. අනෙක් අක්කි පදිංචි වී සිටින්නේ කොළඹ බණ්ඩාරගම ප්‍රදේශයේයි. ඒ ලෙවල් ලිව්වාට පස්සේ මම කොළඹට පැමිණීමටයි සිතාගෙන ඉන්නේ. ඉස්සර නම් කොළඹට කැමැති නැහැ. දැන්නම් කොළඹ ටිකක් පුරුදු නිසා කැමැතියි.” ‘ඒ ලෙවල්’ පවසන්නේ අනුත්තර හා අහිංසා යන චරිත මේ සමාජයට අවශ්‍ය චරිත බවයි. ඒ ඔවුන්ගේ අදහස් හා හැඟීම්වලින් වර්තමාන සමාජය සමන්විත විය යුතු බැවිනි. “අද සමාජයේ දකින දේවල් එක්ක අනුත්තර කියන්නේ මේ සමාජයට අවශ්‍ය චරිතයක්. තමන් ආදරය කරන කෙනා බැහැ කිව්වාට පස්සේ අද පාසලේ ඉන්න ළමයකු නම් කරන දේවල් එක්ක අනුත්තර වෙනස්ම විදියටයි ආදරය කරන්නේ. ඔහු මධ්‍යස්ථව සිතන කෙනෙක්. ඒ වගේමයි අහිංසාත්. මොන ප්‍රශ්න ආවත් ජීවිතය ජය ගන්න සිතන කෙනෙක්. බොහොම ආදරණීයව ආදරය දකින කෙනෙක්.” සචිර එලෙස පවසන්නේ අනුත්තර හා ලහිරුකා ගැන ය. දෙදෙනාගේ රඟපෑමට දෙදෙනාගෙන් ලැබුණු සහයෝගය අපමණය. “මා රඟපාන චරිතය දිගටම රඟපාන්නට මගේ අනෙක් පැත්තේ චරිතයෙන් ලැබෙන සහයෝගය බොහොම වැදගත්. එහෙම නැතුව මගේ රඟපෑම සාර්ථක කර ගන්න බැහැ. ඒ නිසා අනුත්තරගේ චරිතය ගොඩනඟන්නට මට ලහිරුකාගෙන් ලැබුණු සහයෝගය අපමණයි.” “මටත් එහෙමමයි. මගේ චරිතය ගොඩනඟන්නට සචිර අයියාගෙන් ගොඩක් ලොකු සහයෝගයක් ලැබුණා.” ඔවුන් දෙදෙනාගේ ම සිත්වල අනාගත බලාපොරොත්තු රැසක් පොඳීබැඳ ඇත. ඒ අතර දිගටම රංගනයේ නියැළීමට යම් අදහසක් ඔවුන්ගේ සිතේ නැතුවාම නොවේ. “ආරාධනා ලැබුණොත් රඟපානවා. ටෙලි නාට්‍ය හා චිත්‍රපට කියලා වෙනසක් මට නැහැ. ඒත් හොඳ නිර්මාණවලට පමණක් මා දායක වේවි. අධ්‍යක්ෂවරයා ඇතුළු වැඩිහිටියන් අපට උපදෙස් දී තිබෙන්නේ ඒ විදියටයි.” “රඟපෑම් කටයුතු කිරීමට ඒ තරම් මා කැමැති නැහැ. මා වඩාත් කැමැති සංගීතයටයි. ඒත් රංගන කටයුතුවලට ආරාධනා කළොත් රඟපානවා. ටෙලි නාට්‍යවලට වඩා චිත්‍රපටවල රඟපාන්න කැමැතියි. රොහාන් සර් එක්ක නැවතත් වැඩ කරන්න ලැබුණොත් නම් වඩාත් කැමැතියි.” සචිර හා ලහිරුකා පවසන එවදන් තීරණය කිරීමට තවත් කාලයක් තිබේ. ඒ ඔවුන්ගේ ජීවිතය තවම ආරම්භ වූවා පමණි. රූගත කිරීම් අතර ගෙවුණු ඔවුන් සියල්ලන්ගේම ජීවිතවලට ඒ හමුවීම් එක්කරන ලද්දේ වෙනස්ම අත්දැකීමකි. එහිදි සචිරට හා ලහිරුකාට විවිධ අකරතැබ්බවලට මුහුණදීමට සිදුවිය. “රූගත කිරීම්වලදි මට කනේ පාරක් කන්න තියෙනවා. ඒ අවස්ථාවේ ගහන කෙනාට තිබෙන්නේ මට දකුණු අතින් ගහන්නත් ඒ එක්කම මට වැටෙන්නත්. පුහුණුවීමේදි හරියට කළා. රූගත කිරීමට පෙර ගන්න ටේක් එකේදි සිදුවුණේ ඔහු මට දකුණු අතෙන් ගහන්නේ නැතිව වම් අතෙන් කනේ පහර ගැසීමයි. එහිදි ඇත්තටම මට කනේපාර වැදුණා. ඒ පාරේ සැර කොයිතරම්ද කිව්වොත් අවසානයේ මට දවස් ගණනක් කන්නත් බැරිවුණා. ඒ පැත්ත හොඳටම රිදෙන්න ගත්තා. ක්‍රිකට් මැච්එක පරාද වීම සම්බන්ධයෙන් වරද භාර ගන්න වෙන්නේ අශාන්ටයි. ඒකට ලැබෙන දඬුවමක් විදියට අපි ට්‍රිප් එක ගිහින් ඔහුව දෙපාරක්ම වැවට දැම්මා.” “එක වෙලාවක මටත් යහනි අක්කටත් කෑම කන දර්ශනයක් තිබුණා. එතැනදි රොහාන් සර් අපට කිව්වේ කෑම ටික කන්න කියලයි. අපිත් ඒ ගැන දෙපාරක් සිතන්නේ නැතිව කෑම පාර්සල් දෙකම කාගෙන කාගෙන ගියා. නැවත බලන කොට අපේ කෑම කන ඉක්මන්කම ගැන රොහාන් සර් මොනිටර් එක ළඟ කම්මුලට අතත් තියාගෙන බලන් ඉන්නවා. හැමෝම බලාගෙන ඉඳලා හොඳටම හිනාවුණා. ඒ අතර රොහාන් සර් කිව්වේ ඔය තරම්ම කන්න පෙරේත බව දන්නවා නම් අපි කෑම පැකට් දෙක තුනක්ම ගෙනැත් දෙනවා කියලා. අන්තිමට ටේක්වලදි සීරුව මුරුන්ගා පොතු තමයි අපි දෙන්නටම කන්න වුණේ.” ඒ අතර අහිංසා තමාට මුහුණදීමට සිදුවන ඛේදය හමුවේ චිත්‍රපටයේදී ශෝකයට පත්ව හඬා වැටෙන්නීය. ඒ හඬා වැටීමට ලහිරුට උමාලි මෙන්ම තුමිඳුත් බොහෝ සේ උදව් කළහ. “උසාවියේදි මා අඬන දර්ශනයක් තිබෙනවා. එතැනදි අයියා ගැන කියලා මම අඬන දර්ශනයේදි මා ඉදිරියේ තුමිඳු අයියා හිටගෙන ඉන්නවා. ඒ වෙලාවෙදි මට දුක හිතෙන සිදුවීමක් මතක් කර ගන්න කියලා රොහාන් සර් කිව්වා. මම ඇස්දෙක වහලා දුක හිතෙන සිදුවීමක් මතක් කර ගත්තා. ඊට පස්සේ කෑගහලා ඇත්තටම ඇඬුවා. ඒ දර්ශනයේදි මා අඬන්නේ ඇත්තටමයි.” එවැනි සිදුවීම් රැසක් මැද රූ ගැන්වුණු ඒ ලෙවල් චිත්‍රපටයේදි සචිරටත්, ලහිරුකාටත් උදව් කළ අය බොහොමයකි. ඒ අතරින් අධ්‍යක්ෂ රොහාන් ඇතුළු මුළු කණ්ඩායමටත්, පාසලේ විදුහල්පතිතුමා විදුහල්පතිතුමියගෙන් ලැබුණු සහයෝගයටත් ඔවුහු තුතිපුදන්නට අමතක නොකළහ. ඔවුන්ගේ රංගනය රැගත් ‘ඒ ලෙවල්’ චිත්‍රපටයේ මංගල දැක්ම පෙළ ගැසී තිබෙන්නේ අද ය. ඒ නිසා සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන නව මුහුණු අතරට ගැනෙන සචිර හා ලහිරුකාට සරසවිය පුවත්පත ඔස්සේ පිදෙන මේ ලිපිය තෑග්ගක් ලෙස පිළිගන්වන අතරම අපි ඔබටද ඔවුන්ගේ දස්කම් නරඹන්නට 18 වැනිදා සිට සිනමා ශාලාවලට පැමිණෙන්නැයි ආරාධනා කරමු. “එන්න, ඒ ‘ඒ ලෙවල්’ නරඹන්න”
|