වර්ෂ 2016 ක්වූ  දෙසැම්බර් 14 වැනිදා බ්‍රහස්පතින්දා




ආදර ෆැන්ටසියක රියැලිටි අරුමැසිය සරුංගල්

ආදර ෆැන්ටසියක රියැලිටි අරුමැසිය සරුංගල්

තරංග අතුරලිය නිෂ්පාදනයක්

නාලක විතානගේ නවතම නිර්මාණය

රාත්‍රියක තරුණියක සහ තරුණයකු සමාජ ශාලාවකදී අහඹු ලෙස හමුවේ. වයස අවුරුදු 30 - 35 ත් අතරය. අමිල සහ අසංකි ඔවුන්ය. ඔවුන් දෙදෙනා හමුවන මොහොතේදී යම් කනස්සල්ලකට සහ කලබලයකට පත් වූ ස්වරූපයෙන් මධුවිත පානය කරයි. ඒ අතරතුර නොසිතූ ලෙස කතාබහට වැටෙන දෙදෙනා ටික වේලාවකින් ඉහත ස්වරූපය වෙනස් කර ගනිමින් සැහැල්ලු විනෝදකාමී තත්ත්වයකට පත්වේ. මතින් සතුටින් සහ සංගීතයට නටමින් උපරිම විනෝදයක් ලබන අමිල සහ අසංකි සමාජ ශාලාව වැසීමට ආසන්න වත්ම එයින් පිටතට පැමිණේ. දෙදෙනාම පාරේ ඇවිදින්නේ සිනාසෙමින් ගීත ගයමිනි.

වෙහෙසට පත් දෙදෙනා පදික වේදිකාව මත වාඩි වේ. මේ වන විට වේලාව උදෑසන 5.00 පමණ වේ. මෙලෙස හිඳ ගනිමින් දෙදෙනා ජීවිතය පිළිබඳව කලකිරීම් ඇති බව දනවමින් ගැඹුරු කථා බහකට යෙදෙන අතර, අලුතින් ජීවිතය පටන් ගත යුතු යැයි දෙදෙනාගේම අභිලාශය වේ. එකවරම දුම්රියක නළා හඬක් ඇසෙන ඔවුන්ට අවබෝධ වන්නේ දෙදෙනා හිඳ සිටින්නේ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිට බවය. එකවරම දෙදෙනා තීරණය කරන්නේ කොළඹින් පිට ප්‍රදේශයකට යා යුතු බවය. නුවරඑළිය ප්‍රදේශයට ටිකට්පත් මිල දී ගන්නා ඔවුන් දුම්රියට ගොඩ වේ. සුන්දර ප්‍රදේශ පසු කරමින් සිනාබර මුවින් නුවරඑළිය ප්‍රදේශයට ඔවුන් ගමන් කරන්නේ තම ජංගම දුරකථනවල සිම්කාඩ්පත් ද වීසිකර දමමින්.

නුවරඑළියට එන දෙදෙනා හෝටලයක කාමර දෙකක නවාතැන් ගනී. ඇඳිවත පමණක් ඇති ඔවුන් දෙදෙනා ඇඳුම් පැලඳුම් මිලදී ගැනීමට නගරයට යයි. තම ණය කාඩ්පත් භාවිත කරමින් තම තමන්ට අවශ්‍ය දේවල් මිලදී ගනිමින් දෙදෙනා බොහොම සතුටින් කල් ගෙවයි. මේ අතරතුර දෙදෙනා අතර යම් බැඳීමක් ඇතිවන ඉඩකඩ ඉඟි පලවනු ඇත. මෙලෙස සතියක් පමණ ඒ මේ අත ඇවිදිමින් එකිනෙකා අඳුනා ගනිමින් කල් ගෙවන අතරතුර තම තමන්ගේ මුදල් ප්‍රමාණය අවම වනු තේරුම් ගන්නා දෙදෙනා රැකියාවක් සොයා ගත යුතු යැයි තිරණය කරයි. එලෙසම අමිලට සංචාර ආයතනයක කාර්යාල රැකියාවක් ද අසංකිට සංචාරක අවන්හලක වේටර්වරියක රැකියාවක් ද ලැබේ.

මෙතැන් සිට දෙදෙනා තම තමන්ගේ රැකියා හරහා හට ගන්නා මානසිත ආතතීන් සහ වෙහෙසට පත්වීම් මඟහරවා ගන්නේ දෙදෙනා හමු වී කතා බහ කිරීමෙන් හා සුන්දර ස්ථානවලට ගමන් කිරීමෙන්ය. මේ වන විට අමිල සහ අසංකි අතර ආදර හැඟීම් මතු වී ඇති අතර එහි උච්චතම අවස්ථාව ලෙස දෙදෙනා එය ප්‍රකාශ කරමින් පෙම්වතුන් බවට පත් වේ. මෙලෙස සුන්දර කාලයක් ගත කරන අමිල සහ අසංකි එකට ජීවත් විය යුතු යැයිි තිරණය කළ ද විවාහය පිළිබඳව දෙදෙනාගේම සැකය සහ බිය ඇතිවීම කුමක් නිසාදැයි කිසිවෙකුට නොතේරේ.

කෙසේ වෙතත් කුලී පදනමකට ලබා ගන්නා සුන්දර නිවසක පදිංචිවෙමින් එකට ජීවත් වීම ඔවුන් දෙදෙනා ආරම්භ කරයි. මෙතැන් සිට සූක්ෂම ලෙස දෙදෙනාගේ නොගැළපීම් ටිකෙන් ටික මතුවේ. එකිනෙකාගේ ජීවන රටාව පිළිබඳව අකමැත්ත, සැකය, අවිශ්වාසය දෙදෙනාගේ ආදරය දෙදරා යන මට්ටමකට පත් වේ. නිවස තුළ දෙදෙනාගේ ජීවිතය අවුල් ජාලාවක් බවට පත් වේ . කිසි විටෙක දෙදෙනා වෙනුවෙන් දෙදෙනා හිස නැමීමට උත්සුක නොවේ.

සැකය සහ අවිශ්වාසය උච්චතම අවස්ථාවක දෙදෙනාගේම මුදල් පසුම්බියවල ඇති ඡායාරූප දැකගන්නා දෙදෙනා මහත් කෝපයට සහ කලබලයට පත්වන්නේ ප්‍රේක්ෂකයා ද මවිත කරමිනි. එනම් සත්‍ය වශයෙන්ම අමිල සහ අසංකි විවාහක දෙදෙනකු වන අතර අමිලගේ බිරිඳ සහ අසංකිගේ ස්වාමියා අතර යම් ප්‍රේම සම්බන්ධයක් තිබීම දෙදෙනාගේ මුල් අවධියේ කලකිරීමට හේතුව වී තිබේ. අහඹු ලෙස මෙම පුද්ගලයන් හඳුනා ගන්නා අමිල සහ අසංකි කලබලකාරී ලෙස හැසිරෙන්නේ තම විවාහ ජීවිතය තුළ මෙලෙස බිඳ වැටීමක් ඇති වූයේ එකිනෙකාගේ කැප කිරීම් අවම වූ බව අවබෝධ කර ගනිමිනි. තම තමන්ගේ සහකරුවන්ගේ නොමඟ යාමට හේතුව තම තමන්ගේම වැරැදි බව දෙදෙනා දෙදෙනාටම දොස් කියා ගනී. නමුත් අවසානයේ දෙදෙනා තේරුම් ගන්නේ එකට ජීවත් වූ කෙටි කාලය තුළ වුණු අතපසුවීම් තම තමන්ගේ පෙර විවාහ ජීවිතවලට ද බලපෑ බවය. අමිල සහ අසංකි තම විවාහ සහකරුවන් නැවත හමුවෙමින් තම ජීවිතය නැවත ගොඩ නඟා ගනී.

මෙලෙස හමුවීම, ආදරය, විවාහය යන සිතුවිලි පදනම් කර ගනිමින් සංගීතයෙන් රසවත් වෙමින් ඉදිරියට ඇදෙන මෙම චිත්‍රපටය එකිනෙකාගේ සිතුවිලිවලට ගරු කරමින් ජීවිතයේ විවිධ කැප කිරීම් ඔස්සේ සාර්ථකත්වය විදහා දක්වන අපූරු සිනමා සිතුවමකි. සරුංගල් එම සිනමාපටය වේ.

සරුංගල් හැඩ කරන නළු නිළි පිරිවර:

චරිත් අබේසිංහ, චමත්කා ලක්මිණි, සාරංග දිසාසේකර, ශාලිකා එදිරිසිංහ, සූර්යා දයාරුවන්, ජනක රණසිංහ, චින්තක පීරිස්, සචිත්‍ර යශ්මින්ද, ජූලියා සෙනාලි කළුආරච්චි, සුනෙත් මැල්සිරිපුර, ටෂීර් මධුක විජේසිංහ

නිෂ්පාදන පිරිවර:

කැමරා අධ්‍යක්ෂණය - මංජුල කුමාරතුංග

සහාය අධ්‍යක්ෂණය - කැළුම් උඩුවාවල, පැතුම් ඒකනායක

කලා අධ්‍යක්ෂණය - ධනුක බාලාරච්චි

අංග රචනය - අරුණ ශාන්ත ජයසුරිය

ප්‍රචාරන සැලසුම් කටයුතු - කැට්ස් ටීම්

සංගීත අධ්‍යක්ෂණය - රංග දසනායක

විශේෂ ප්‍රයෝග, වර්ණ සංකලන සහ සංස්කරණය - තිලංක පෙරේරා

දෙබස් කැවීම සහ ශබ්ද සංයෝජනය - දිනේෂ් ඒකනායක

තිර රචනය සහ අධ්‍යක්ෂණය - නාලක විතානගේ

නිෂ්පාදනය - තරංග අතුරලිය, ඒ. පාරිස්ටර්