වර්ෂ 2016 ක්වූ  දෙසැම්බර් 14 වැනිදා බ්‍රහස්පතින්දා




ITN Saturday Night Movie

Platoon

ස්වාධීන රූපවාහිනි සේවයෙන් මේ සති අන්තයේ ගෙන එන ඉංග්‍රීසි චිත්‍රපටය වන්නේ, ඔලිවර් ස්ටෝන් විසින් අධ්‍යක්ෂණය කළ Platoon චිත්‍රපටය යි. 1986 වසරේදී තිරගත කෙරුණු එහි චාර්ලි ෂීන් ක්‍රිස් ටේලර් ලෙසින්ද ටොම් බ්‍රෙනෙගර් සාජන්ට් රොබට් බාන්ස් ලෙසින් ද, විලියම් ඩෙෆෝ සාජන්ට් ගෝර්ඩන් ලෙසින් ද ප්‍රධාන චරිත නිරූපණය කළා.

ක්‍රිස් ටේලර් සිය විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු පවා අතහැර වියට්නාම යුද පෙරමුණට යාමට තීරණය කරනවා. නමුත් එතැනට ගිය පසුව ඔහුගේ පරමාදර්ශී ප්‍රතිපත්ති ක්‍රම ක්‍රමයෙන් වියැකෙමින් බිඳ වැටෙන්නට පටත් ගනී. ක්‍රිස් සේවය කරන යුද හමුදා ඒකකයේ සාජන්ට් බාන්ස්ගේ විශ්වාසය වන්නේ, වියට්නාම ගම් වැසියන් කොන්ග් විප්ලවවාදීන්හට සහය ලබා දෙන බවයි. ඒ නිසාම ඔහු ගම්වැසයන් දෙස සැකමුසු බැල්මෙන් බලන අතර ඒකකයේ තවත් සාජන්ට්වරයකු වන ගොර්ඩ්න් ගම්වැසියන් දෙස යහපත් බැල්මෙන් බලන්නේ, ඔවුන් නිවැරදි මිනිසුන් ලෙස දකිමිනි. කොන්ග් විප්ලවවාදීන්ට මුහුණ දෙන අතරේ මේ හේතුව නිසාම මෙම හමුදා ඒකකය තුළ ද ගැටුම් ඇති වේ.

අධ්‍යක්ෂ ඔලිවර් ස්ටෝන් වියට්නාමයේදී ලද පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ගත් තොරතුරු රැගෙන නිර්මාණය කළ මෙම චිත්‍රපටය බෙහෙවින් තියුණු අයුරින් සානුකම්පිත බැල්මක් සහිතව නිර්මාණය කර ඇති බව විචාරක අදහසයි. හමුදා නිලධාරින් ලෙස බිම් මට්ටමේ අත්දැකීම් ගෙන දෙන චාර්ලි ෂීන් සහ විලියම් ඩෙෆෝගේ අගනා රංගනයන් ගෙන් මෙම චිත්‍රපටය ඔපවත් වී ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන්.

Platoon යනු ලොව ප්‍රධානතම සිනමා සම්මාන උලෙළවලදී සම්මානයෙන් පිදුම් ලබන්නට සමත් වූ හොලිවුඩ් චිත්‍රපටයක් බව ද කිව යුතුමය. එය ඔස්කාර් සම්මාන උලෙළේදී සම්මාන හතක් වෙනුවෙන් නිර්දේශ නාම අතරට එක් වී ඒ අතරින් හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම සංස්කරණය, හොඳම ශබ්ද පරිපාලනය යන සම්මාන දිනා ගන්නට සමත් වුණා. ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේදී හොඳම අධ්‍යක්ෂණය, හොඳම චිත්‍රපටය සහ හොඳම සහය නළුවාට හිමි සම්මානයන් ද එයට හිමි වුණා.