|
රෑ මනමාලිගේ රූ වරුණ
ගාමිණී ෆොන්සේකාගේ සිනමා ප්‍රකාශනය - 3
චරිත හතරේ පළමු වැන්නා ‘ජගත්’ ය. ඔහු කඩවසම් තරුණයෙකි. ගාමිණි ෆොන්සේකා මෙම චරිතය උපයෝගී කරගෙනය, අනෙක් චරිත හා සංවාදයක යෙදෙනුයේ. ගාමිණි මෙම ‘ජගත්’ගේ චරිතය විටෙක නළවයි, විටෙක උස්සා පොළවේ ගසයි, තවත් විටෙක එලව එලවා පහර දෙයි. බස් වහරෙන් කියන්නේ නම් ගාමිණි විසින් ජගත් ව ‘තම්බයි’ ‘තෙම්පරාදු කරයි’ :රොස්ට් කරයි නැත්නම් ‘බේක් කරයි’. සිනමා පටයේදී සිදුවන හැම දෙයම සිදුවනුයේ ජගත්ටය.
"සාගරයක් මැද " විශිෂ්ට සිනමා පටයක් විය. එලෙසම එහි එකිනෙකාට පරයන රගපෑමක් තිබුණි. ගාමිණි ෆොන්සේකා තම ද්විත්ව චරිතයෙන් මුළු සිනමා පටයම තම අනසකට ගත්තද, එහි හිඩැස් අතරින් මොලදන්ඩගේ චරිතය රගපෑ තිරයට හදුන්වා දුන් කමල් අද්දරආරච්චිව මතුවන්නට වීම වැළැක්විය නොහැකි විය. දොස්තර මොලදන්ඩගේ චරිතය ගාමිණී ගේ සුපුරුදු වීර චරිතයෙන් මෑත් වුනිද ඔහු සිරගෙදර සිටින විට , මර්වින් ජයතුංග සමග ඇතිවන ආරවුල තුලින් අර "චන්ඩියා" "සූර චෞරයා" චරිත ඉස්මතු වන්නට විය.එහෙත් මොලදන්ඩගේත්, රාමනයක්ගේත් චරිත යුගලේ ඇති පරස්පර විරෝධතාවය ගාමිණී විසින් ඉදිරිපත් කලේ වෙන් වෙන් දෙදෙනෙකු වශයෙනි. අපට හැගුණෙත් දෙදෙනෙක් ලෙසමය. අයිරාංගනී සේරසිංහ ඉතාමත් සුළු චරිතයක් වූවද ප්‍රසස්ත රගපෑමක නියැලී තිබුණි. සියලු චරිත ගාමිණි විසින් මනාව හසුරවා තිබුණේ ඔහුගේ හසළවූ දැනුම උපයෝගී කරගෙනය. අධ්‍යක්ෂණයේදී හැම රූප රාමුවක් ගැනම ගාමිණි මනා අවබෝධයකින් පසුවී තිබු හෙයින් සාගරයක් මැද හී,විචාරකයෙකුට දොසක් සොයා ගැනීම අවම වී තිබුණි. 1982 සරසවි සම්මාන උළෙලේදී " සාගරයක් මැද " හොදම චිත්‍රපටය ඇතුළු සම්මාන ගණනාවකට හිමිකම් කීය. හොදම නිෂ්පාදනය ආනන්ද අබේනයකටද, හොදම අධ්‍යක්ෂණය ගාමිණි ෆොන්සේකාටද, හොදම සහය නිළිය අයිරාංගනී සේරසිංහට ද , හොදම තිර රචනය ධර්මශ්‍රී මුණසිංහටද, හොදම සංස්කරණය ඩී.බී.නිහාල්සිංහට ද, හොදම කලා අධ්‍යක්ෂණය එරල් කෙලිටද ,හොදම වේශනිරූපණය ශේෂා පලිහක්කාරටද , ලැබුණු අතර, වසරේ ජනප්‍රියම චිත්‍රපටය ලෙසද "සාගරයක් මැදට" සරසවි සම්මානය හිමි විය. එම වසරේ ජනප්‍රිය නළුවා වූයේද ගාමිණි ෆොන්සේකාය. එහෙත් එම වසරේ ජනාධිපති සම්මාන උළෙලේ නම් " සාගරයක් මැද " වෙනුවෙන් කිසිදු සම්මානයක් ලැබුවේ නැත. අයිරාංගනී සේරසිංහට පමණක් කුසලතා සම්මානයක් ලැබුණි. ගාමිණි ෆොන්සේකාගේ 6 වෙනි චිත්‍රපටය බිහිවූයේ ගාමිණි ෆොන්සේකාගේ රංගනය නොමැතිවය. ඔහු රග නොපා ඔහු විසින් අධ්‍යක්ෂණය කළ එකම චිත්‍රපටය තිරගත කලේ 1982 පෙබරවාරි මාසයේය.ඒ "රෑ මනමාලි"ය. "සාගරයක් මැද " අධි සාර්ථකත්වයෙන් පසු ගාමිණි වෙනස්ම මාදිලියේ සිනමා පටයක් කරන්නට සිතන්නට ඇත. එකිනෙකට වෙනස් වූ තේමාවන් මත සිනමා නිර්මාණයේ යෙදුනු ඔහු, "රෑ මනමාලි"තුළින් ,අභිරහස් මිනීමැරුමක්, හා ඒ පසු පස හඹා යන පොලිස් නිලධාරියෙකු වටා ගෙතුණු ,තරමක බටහිර "ඩිටෙක්ටිව් " ගනයේ සිනමා පටයක් ඉදිරිපත් කිරීමේ අත්දැකීම ලබා ගැනීමට යුහුළු වන්නට විය. චරිත හතරක් ගැටෙන්නට ඉඩදී පසුව තීව්ර වී යන්නට ඉඩ හැරු ගාමිණි " රෑ මනමාලි" තුළ ඔවුන් සතර දෙනාව සන්නද්ධ කරේ ඔවුනටත් නොදැනීමය. එම චරිත හතර උපද්දවූ ඔහු ඔවුනට නිදහසේ වැඩෙන්නට ඉඩ හැර, චරිත තුළට ඔවුන් ආරුඪ වූ පසු, ගාමිණි විසින් යකදුරාගේ චරිතයට අවතීර්ණ වී ,ඔවුන්ව මෙහෙය වුයේ, මහා බලි තොවිලයක් මෙහෙයවන්නක් මෙනි. එතරම් ඝට්ටනයක් එම චරිත හතර තුල ඇති කෙරු ගාමිණි " රෑ මනමාලි" තුළින් සිනමා රිද්මය වෙනස් කිරීමට මුල පිරීය. කුතුහලය ඇතිවෙන්නේ කෙසේද? ඒ කුතුහලයෙ රිද්මය පවත්වා ගන්නේ කෙසේද? එම රිද්මය අඩු වැඩි වන්නේ කෙසේද ,ප්‍රේක්ෂකයාගේ දැහැන තුලට එම රිද්මය රිංගන්නේ කෙසේද, ඉන් පසු ප්‍රේක්ෂකයා රිද්මයානුකුලවන්නේ කෙසේද ,යන සිනමා රිද්ම භාෂාව සිංහල චිත්‍රපට ප්‍රේක්ෂකයන්ට දැනෙන්නට ඉඩ හැරියේද ගාමිණි ෆොන්සේකාගේ මේ සිනමා ප්‍රකාශනය වූ "රෑ මනමාලි"හරහාය.. චරිත හතරේ පළමු වැන්නා "ජගත්" ය. ඔහු කඩවසම් තරුණයෙකි. ගාමිණි ෆොන්සේකා මෙම චරිතය උපයෝගී කරගෙනය,අනෙක් චරිත හා සංවාදයක යෙදෙනුයේ. ගාමිණි මෙම "ජගත්"ගේ චරිතය විටෙක නළවයි, විටෙක උස්සා පොලවේ ගසයි, තවත් විටෙක එලව එලවා පහර දෙයි. බස් වහරෙන් කියන්නේ නම් ගාමිණි විසින් ජගත් ව "තම්බයි " "තෙම්පරාදු කරයි" :රොස්ට් කරයි" නැත්නම් "බේක් කරයි". සිනමා පටයේදී සිදුවන හැම දෙයම සිදුවනුයේ ජගත්ටය. තනිවම විසු,මැදිවියට එළඹුණු , දියවී යන තාරුණ්‍යය පාට වලින් සිත්තම් කෙරු "ආශා"ට තාරුණ්‍යයේ එළිපත්තේ සිටින ජගත් ව තම සිරුර හා සතපවන්නට ඇය සතුව තිබු එකම ආයුධය ඇයගේ වස්තුවය. මුල සිටම එය පැහැදිලිය. තරුණයෙක්, මැදිවියේ ගැහැනියකගේ උකුලේ නැළවෙන්නේ, "මා බාල කාලේ, අම්මාගේ තුරුලේ "ලෙසින් නොවේ .අතෘප්තිමත් වූ රාගය නිසාය. එහෙත් රාගය තිබුනේ ජගත් ලගය. ආශා ට අවශ්‍ය වූයේ රැකවරණය, හා තරුණයාගේ ජවයෙන් පිරුණු පපු පෙදෙසින් නැගෙන උනුසුමය. ජගත් තමුන්ට වඩා වයසින් ලාබාල වූවද ආශා ට ජගත්ව තමාගේම කරගැන්මට උවමනා විය. එහෙත් ජගත්ට පෙම්වතියක් සිටියේය. ඇය මනෝරි වෛද්‍යසේකරය.බැලූ බැල්මට ඇය මෝස්‌තර නිරුපිකාවක් සේය. එසේ නම් ජගත් මේ කරන්න යනුයේ "ඩබල් ගේම්" එකක් ද?. ඔව් ආශාගේ වස්තුවට එලූ දැලකි.එයට මනෝරිවද සම්බන්ධ කර ගනී. . ඒ අතරේදී ආශා ගේ හදිසි මිය යෑම අබිරහසක් විය. ඉන්ස්පෙක්ටර් සුරවීර, සාජන්ට් රුබේරු සමග ජගත් පසු පසත්, මනෝරි පසු පසත් එළවීම "රෑ මනමාලි" හී මුඛ්‍ය තේමාව වූ අතර එම එලවීමම එහී කුතුහලයේ තීව්ර බව වැඩිවෙන්නට විය. ගාමිණි ෆොන්සේකා " රෑ මනමාලි" චිත්‍රපටය ගෙන ගියේ වෙනත් ඉසව්වක් හරහාය. කථාව හා තිරනාටකය ලියු සුහෙර් හමීඩ් ගෙන ආ කුතුහලය තුළට ගාමිණි රිද්මය රිංගවිය.. ඔහු ඒ රිද්මයානු කුතුහලය අඩු වැඩි කරමින් සිනමා පටය තුල කිසියම් ත්‍රාසයක් ලබා දුන් අතර තෝරා ගත් ශිල්පීන් හරහා අපූරු රංගන යුද්ධයක් ඇති කළේය. ගාමිණී එතෙක් අධ්‍යක්ෂණය කෙරු "පරසතු මල්"," උතුමාණෙනි" "මයුරිගේ කථාව " බාදුරා මල්" සහ "සාගරයක් මැද" චිත්‍රපට තුල තිබු ආකෘතිමය පරස්පර බව උච්චතම වුයේ " රෑ මනමාලි" තුලින්ය. මිනිසුන්ගේ හා ගැහැණුන්ගේ හෘදයේ ඇතුලාන්ත ස්පන්දනය තුළ ඇති පෞද්ගලීක ආත්මාර්ථකාමිත්වයත් , රහසේ ඔවුනොවුන් තනිවම තම හදවත සමග කරන සංවාදයන් මුහුණු ඉරියව්වලින් මතු කර ප්‍රේක්ෂකාගාරයට විසි කර ප්‍රේක්ෂකයන්ද එම සංවාදයන්ට සම්බන්ධ කර ගැනීමේ , සිනමා කලාව, "රෑ මනමාලි " තුළින් ගාමිණි ෆොන්සේකා මනා ලෙස ඉදිරිපත් කලේය . " පරසතු මල් " සිට "සාගරයක් මැද" දක්වා ඔහු විසින් භාවිතා කල සිනමා භාෂාව තවත් ඉස්සව්වක් කරා ගෙන ගියේ "රෑ මනමාලි" තුලිනි. සෞන්දර්ය, ආදරය, රාගය,භීෂණය,දුෂණය,හා දේශපාලනය වැනි විවිධ තේමාවන් තුල පරසතු මල් සිට සාගරයක් මැද දෝලනය වූ ගාමිණී "ඩිටෙක්ටිව්" නොහොත් රහස් පරීක්ෂක ගනයේ කථාවක් තම සිනමා ප්‍රකාශනයට එකතු කර ගත්තේ තමනට විවිධ වූ ශෛලයේ සිනමාව හා ගැටෙන්නට උවමනා නිසා විය හැක,යන ආත්ම විශ්වාසය උඩය. ගාමිණි ෆොන්සේකා "බ්‍රැන්ඩඩ්" සිනමාව තුල රැදී සිටියේ නැත. ඩේවිඩ් ලීන් ගේ සිනමාව ගත් විට ඔහු රැදී සිටියේ අර ""බ්‍රැන්ඩඩ්"" සිනමාව තුලය. "ලෝරන්ස් ඔෆ් ඇරබියා " "ඩොක්ටර් ශිවාගෝ" " ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි " "පැසේජ් ටු ඉන්දියා" "රයන්ස් ඩෝටර්" "ග්‍රේට් එක්ස්පෙක්ටේෂන් " "ද ග්රෙටස්ට් ස්ටෝරි එවර් ටෝල්ඩ්" වැනි චිත්‍රපට වල ඔහුගේ අනන්‍යතාවය පෙනුනි. හින්දි සිනමාව තුලද යාෂ් චොප්රා ගේ හැම චිත්‍රපටයකම ඔහුගේ අභාසය රැදී තිබුණි. එහෙත් ගාමිණි ෆොන්සේකා ගේ සිනමාවේ හැම චිත්‍රපටයකම තිබුනේ එකිනෙකට පරස්පරවය. කොතැනකවත් ඔහුගේ "බ්‍රැන්ඩ්" එක තිබුනේ නැත. පරසතු මල් බලා අවුරුදු ගණනාවක්ම ගතවී හෝ ඔහුගේ "උතුමාණෙනි" නරඹන විට, මේ පරසතු මල් හැදු ගාමිණි ගේම චිත්‍රපටයක් ද යන සැකය ඇතිවෙන්නේ ඔහු එකිනෙකට වෙනස් තේමාවන් මෙන්ම, ඔහුගේ අධ්‍යක්ෂන ක්‍රම මාරු කෙරු නිසාය. ඩේවිඩ් ලීන් ගේ චිත්‍රපට නරඹන විට මේ චිත්‍රපටය ඩේවිඩ් ලීන් ගේ යැයි සිතට එන සේ, ගාමිණි ගේ චිත්‍රපට නරඹන විට එන්නේ නැත. ගාමිණීගේ සිනමා ප්‍රකාශන වල වෙනස එයය. "රෑ මනමාලි " තුලද එම වෙනස දැඩිව පෙනෙන්ට තිබුණි. විශේෂයෙන් එහි ශිල්ප හරඹයට දී තිබු ප්‍රබලත්වය, චිත්‍රපටය බලවත් කලේය. ඔහුගේ "මයුරිගේ කථාව තුලද ඒ ශිල්ප හරඹයම තිබුනද, ,එය බලවත් නොවූ නිසා දියාරු විය. නමුත් "රෑ මනමාලි" තුලින් ඔහු එම වරද නිවැරදි කර තිබුණි. එහෙයින් "රෑ මනමාලි" ගාමිණී ෆොන්සේකා ගේ සිනමා ප්‍රකාශනය තුල සුවිශේශීත සලකුණකි. චරිත සතරක් අන්ත සතරකට ගොස් එක මංසන්දියකදී හමුවන විට ඒ චරිත සතරට බොහෝ දේ සිදුවී හමාරය. ජගත්, ආශා,මනෝරි,හා ඉන්ස්පෙක්ටර් සුරවීර යන චරිත හතර තුල සුහෙර් හමීඩ් විසින් තිර නාටකයේ වැඩි ඉඩකඩක් සුරවීරට දුන්නද, නො එසේනම් ගාමිණී විසින් හිත මතාම ඉන්ස්පෙක්ටර් සුරවීරගේ චරිතය ප්‍රබල කලේද යන්න දන්නේ ඔවුන් දෙදෙනාය.නමුත් හැම චරිතයක්ම අභිබවා සුරවීර ගේ චරිතය වීර චරිතයක් කෙරවීම තුල චිත්‍රපටයට හානියක් සිදුවිය. එම හානිය තව තවත් තීව්ර වූයේ, ඉන්ස්පෙක්ටර්ගේ චරිතයට පන පෙවූ ටෝනි රණසිංහ නිසාය. ගාමිණි ෆොන්සේකා මෙම චිත්‍රපටය තුල රග නොපා, එය ටෝනි රණසිංහට දුන්නේ ඔහුගේ දක්ෂතාවය දන්නා නිසාත්, එලෙසම ඔහුගේ අතිජාතක මිත්‍රයා නිසාත්ය. අර හානිය ටෝනි රණසිංහගෙන් සිදු වූයේ , ඔහු එම චරිතය අතී දක්ෂ ලෙස ඉදිරිපත් කෙරු නිසාය.එලෙසම එම රංගනයෙන් අනෙක් රංගන යටපත් වීමය.සිදුවූ විනාශය එයයි. ටෝනි රණසිංහ ගාමිණීගේ මෙතෙක් හැම සිනමා ප්‍රකාශනයන් තුල රගපෑවෙය. "පරසතු මල්" හී අර්ධ ප්‍රධාන චරිතයක් වූ සිරිසේන ව සාර්ථක ලෙස ප්‍රති නිරූපණය කෙරු ටෝනි ඉන්පසු " උතුමාණනි" චිත්‍රපටයේද , රගපෑවේය."මයුරිගේ කථාව" තුල ප්‍රධාන පිරිමි චරිත 2 කක් තිබුණි . එයින් එක් ප්‍රධාන චරිතයක් ටෝනිට භාර දුනි. එලෙසම "බාදුරා මල්" චිත්‍රපටයේද අර්ධ ප්‍රධාන චරිතය ටෝනි විසින් රගපෑ අතර "සාගරයක් මැද" හී නම් ටෝනිට ලැබුනේ සුළු, ඉඩක්ය. ඒ අනුෂ්කා මැදිවකගේ පෙම්වතා ලෙසය. නමුත් " රෑ මනමාලි" හී ටෝනිට ලැබුනේ ප්‍රධාන චරිතයය. අනෙක් හැම චිත්‍රපටයකම ටෝනිට ගාමිණි ෆොන්සේකා සමග රගපෑමට සිදුවුනිද "රෑ මනමාලි " චරිතයේ ප්‍රධාන "බර" දී තිබුනේ ටෝනි රණසිංහටය. එය කලකට පසු ටෝනි රණසිංහ විසින් රගපෑ උත්කෘෂ්ට රංගනයක් විය. එම චරිතය තුල ටෝනිට අත පය දිගහැර රගපෑමට ඉඩ කඩ තිබුණි.ගාමිණි සමග රගපාන විට ගාමිණි මුළු චිත්‍රපටයම අත් පත් කරගන්නා හෙයින් ටෝනිට සිදුවන්නේ, ගාමිණීගේ සිදුරු අතරින් තම රංගන ශිල්පය පෙන්නුම් කරන්නටය. ජගත් ලෙස රවින්ද්‍ර රන්දෙණියත්- ආශා ලෙස වීණා ජයකොඩිත් , මනෝරි ලෙස අකුෂල්යා චෙල්ලියාත් එකිනෙකට පරයන රගපෑමක නිරත විය. ,සාජන් රුබේරු ලෙස ඇන්තනි සි.පෙරේරා රගපෑ අතර සෙසු චරිත ධර්මශ්‍රි මුණසිංහ ,ශාන්ති ලේඛා, පියදාස ගුණසේකර,චන්ද්‍රා කළුආරච්චි, විමල් කුමාර ද කොස්තා, සෝමසිරි දෙහිපිටිය සමග දමිත් ෆොන්සේකා රගපෑහ. බර්නාඩ් රෙජිනෝල්ඩ් ගේ සංස්කරනයෙන්ද , එම් .කේ.රොක්සාමි සංගීතයෙන්ද, සිරිල් ඒ සීලවිමල හා ධර්මශ්‍රී මුනසිංහ ගේ දෙබස් රචනයෙන්ද පරිපුර්නවූ "රෑ මනමාලී" කැමරා අධ්‍යක්ෂණය කරමින් නිෂ්පාදනය කලේ වී.වාමදේවන්ය. 1983 ජනාධිපති සම්මාන උළෙලේ හොදම නිළිය සම්මානය ලැබුනේ "රෑ මනමාලි "චිත්‍රපටයේ ආශාගේ චරිතය රගපෑ වීණා ජයකොඩිට ය. ටෝනි රණසිංහගේ රංගනයත්,ගාමිණී ෆොන්සේකාගේ අධ්‍යක්ෂනයත් එම ජනාධිපති සම්මාන උළෙලදී නොසලකා හැර තිබුණි.
(ලබන සතියේ තව කොටසක්)
|