වර්ෂ 2016 ක්වූ  දෙසැම්බර් 14 වැනිදා බ්‍රහස්පතින්දා




කොල්ලා නම් හැඩයි අක්කේ

කොල්ලා නම් හැඩයි අක්කේ

පැමිණ සිටි අමුත්තන් ඉදිරියේ හිස ඔසවා බලන්නට තිබුණ ආසාව බිනරි යටපත් කර ගත්තේ ආයාසයෙනි.තමන් හරියට යන්ත්‍රයක් වැන්න.ඉතාලියට යන්නට සරෝජා විසින් ගොඩ නගන ලද සිහිනය අලුත් ආකාරයට සිද්ධ වෙමින් පවතී.පසුගිය දවස් කිහිපයේ හැන්දෑවට හැන්දෑවට අම්මාත් තාත්තාත් ගෙදර කුටු කුටු ගෑ කතාන්දරය දැන් එළිපිටම සිදුවෙමින් පවතී.

‘ලබන ඉරිදාට කට්ටියක් ගෙදරට ඒවි.’

තාත්තා පැවසුවේය.

‘ඒ ළමයා එන්නේ ඔයාව බලන්න’

අම්මා ආරංචිය ට තවත් ආලවට්ටමක් දැම්මාය.කිසිදු දෙයක් නොතේරෙන ගාණට බිනරි ඇඟිලි විකන්නට පටන් ගත්තාය.

‘මේ කාලයේ වෙන ළමිස්සියෝ කොල්ලො දුසිම් ගණන් හොයා ගන්නවා .මේක අපිටම හොයන්න වෙලා’

තාත්තා පැවසුවේ සෙනරත් මාමාටය.ඔහු බිරියගේ සහෝදරයෙකි.කොළඹ ලොකු ඉස්කෝලෙක විද්‍යාව උගන්වයි.

රටේ ලෝකේ ඇහෙන කයි කතන්දර වල හැටියට අපේ කෙල්ල ගැන එහෙම කතන්දරයක් ඇහෙන්න නෙමේ මං හැදුවේ’

අම්මා පැවසුවේ ආඩම්බරයකිනි.

චුට්ටං මුදලාලි සිය හැඟිම් සිර කර ගෙන සිටියා වැන්න.විිවාහ යෝජනාව ගෙනැවිත් තිබුනේ පුවත්පතක මගිනි.පුවත්පතේ දැන්වීම පළ කරන්නට උපදෙස් දුන්නේ කඩේට නිතර ආගිය බැංකුවේ මහත්තයෙකි.කඩයට එන හැමෝම සමග හොඳ සම්බන්ධයක් ගොඩ නංවා ගන්නට චුට්ටං මුදලාලි දැන සිටියේය. ගනුදෙනු කරු යළි තමන්ට වුවමනා වෙන කෙනෙක්ද හදිස්සියේ කොළඹට බැස ගත් එකෙක් ද කියන්නට චුට්ටං උගත්තේ බිස්නස් එකට අත ගැසූ දවස් වලය.කොයි කවුරුත් සමග සුහදව කතා කරන්නෙකු බැවින් ගනුදෙනු කරුවන්ගෙන් ද අඩුවක් නොවිණ.වැඩ කරන්නට ළං කළ යුතු තැනැත්තාත් අත් හළ යුතු තැනැත්තාත් ගැන චුට්ටං උගත්තේ මාකට් එකට බැස්ස දවස් වලය .මේ නිසාම චුට්ටං ට උදව් ගත හැකි අය එමට සිටියහ.පුවත්පතේ දැන්වීමට බොහෝ දෙනෙක් ලිපි එවූහ.ඒ බොහොමයක් වැදගැම්මකට නැති ඒවා වග චුට්ටං ගේ අදහස විය.පිටකොටුවේ ව්‍යාපාරික පවුලක එකම දියනිය වෙනුවෙන් සුදුුසු දියනියක මව්පියන් සොයන වග දැන්වීමේ පළ කර තිබිණ. එයට උත්තර රාශියක් ලැබිණ.එයින් සිත් ගත්තේ කිහිපයකි. කේන්දරය අවශ්‍ය බව කියා තිබුණ හෙයින් හැමෝම කේන්දරය ද එවා තිබිණ.එවන ලද ලියුම් වල මොකක් හෝ අඩුවක් දකින්නට චුට්ටං ට පුළුවන් කමක් තිබිණ.

‘ලෝක අන්ඩයෝ.මුං හිතං ඇති මෙහෙම ලිව්වාට අපි කැමැති වෙයි කියලා.පිටකොටුවේ බිිස්නස් කරනවා කියන්නේ ලෝකේම එක්ක ඉන්නවා කියන එක තමා’

චුට්ටං සිය බිරිය හමුවේ උදාරම් බවක් පළ කළේය.අන්තිමට තෝරා ගැනුනේ ඉතාලියේ රැකියාවක් කරන කැළණිය පැත්තේ පවුලක තරුණයෙකි.කේන්දරය හොඳීන් ගැලපෙන බැව් දෙපාර්ශවයේම දැන ගන්නට ලැබිණ.ලියුම් ගනුදෙනු දෙකකි.ඉතිරි කතා බහ දුරකතනයෙනි.චුට්ටං දන්නා හඳුනන දෙන්නෙකු ලවා දියනියගේත් යෝජිත තරුණයාගේ ත් කේන්දර ගලපා බැලුවේය.ඒ වැඩි හොඳටය.

‘වැරැද්දක් නෑ’

උත්තරය ලැබිණ

‘මට ඉන්නේ ඔච්චරයි’

චුට්ටං කේන්දරය බැලූ මහත්තයාට පැවසුවේය.

‘කොහොම උනත් දුව ගේ කේන්දර ගලපන්න ටිකක් අමාරුයි.මේ දවස් එයැයිට ටිකක් අපලයි.මං වත් පිලිවෙත් ටිකක් කරන්න කියලා දෙන්නම් කෝ’

අන්තිමට කේන්දරය බැලූ කේන්දර පත්තරයක මහත්තයා පවසා තිබිණ. ඔහුට ගාස්තුවට අමතරව අලුත් පළතුරු ටිකක් ද ඔතා දෙන්නට චුට්ටං මුදලාලි අමතක නොකළේය.

පසුගිය දවස් වල ද දියනිය වෙනුවෙන් බිරින්දෑ බෝධි පූජාවක් පැවැත්වූ වග චුට්ටං ට සිහියට නැගිණ.

බිනරිගේ ආ විවාහ යෝජනාව නිසා සෙනරත් ඉස්කෝලේ මහත්තයා ද ඔහුගේ භාර්යාව ද දියනිය ද පාන්දරම චුට්ටං ගේ නිවසට ආහ.

දහයට පමණ වෑන් රථයක් නිවස සමීපයට ආවේය.චුට්ටං වහා දිව ගියේ තමන් ගැන හොයන පිරිස යැයි සිතමිනි.ඒ ඔවුන් නොවීය.

‘කවුද මේ රත්නායක මාවත කියලා එකක් හොයනවා‘ සිදූ වු වරද වසා ගන්නට මෙන් චුට්ටං පැවසුවේය.බිරිය ගේ සොහොයුරා ඉදිරියේ තමන්ට තරමක මදි පුංචි කමක් දැනෙන වග චුට්ටං ගේ සිත කියයි. මොනවා වුනත් තමන්ට නැති උගත් කමක් ඒ අයට ඇත.උගත් කමත් අවශ්‍ය වන්නේ මේ වගේ වෙලාවටය.

පාරේ යන එන වාහන දෙස චුට්ටංගේ ඇස යොමුව තිබිණ.

මෝටර් රථයක් නිවස ඉදිරිපිට නතර විය.චුට්ටං ගෙයින් එලියට බැස්සේ සෙනරත් ඒ ගැන පැවසූ පසුවය

‘අය්යේ අර කවුද’

මුලින් වතාවේ සිදු වූ වරද ඔහුගේ සිතේ තැන්පත්ව තිබිණ.

‘තිස් හතෙන් දෙක ගෙදර’

චුට්ටං මුදලාලි ගේ මුහුනේ සිනහවක් ඇඳීණ.සෙනරත් ද ඔහු පසුපසින් ආවේ යුතුකමක් හැටියටය.

ජාතික ඇදුම ඇඳ ගත් වැදගත් පෙනුමැත්තෙක් රථයේ ඉදිරි අසුනන් බිමට බැස්සේය.

‘අපි එනවාය කීවේ.මං කරුණාතිලක’

චුට්ටං කට පුරා හිනාවෙමින් ආයුබෝවන් කියා අමුත්තන් පිළිගනු බිනරි බලා සිටියේ කාමරයේ සිටය.ඇයව හැඩ වැඩ කොට ඇන්දවා දැන් පැයකටත් වැඩිය.අඳීන ලද සාරිය කිහිප වරක්ම ලිහා අදින්නට සිදු විය.ඒ හිතට මදි නිසාය.සෙනරත් මාමාගේ නැන්දා ඇයට සහාය විණ.ඒ මදිවට මාමාගේ දියනිය කිහිප වරක්ම ඇයව විහිළුවට ගත්තාය .හොඳ වෙලාවට ඇගේ සොයුරා නිවසට නොපැමිණීම ගැන බිනරි සිතින් පින් දුන්නාය.ඔහුට උසස් පෙළ පන්ති නිසා නිවාඩුවක් ඇත්තේම නැත.ආවා නම් කනක් ඇසී සිටින්නට නොහැකි වනු ඇත.

මෝටර් රථයේ කිටි කිටියේ තද වී සිටි පිරිස එයින් එළියට බැස්සේ නිදහස් ලෝකයකට පිවිසෙන්නා වැනි හැඟිමකිනි.මෝටර් රථය අලුත් එකකි. රථය පැදවූයේ තරුණයා හීන් සීරුවේ වාහනය නිවස ඉදිරිපිට සෙවනක් අසලින් නතර කළේය.රථයෙන් බට වැඩිහිටි කාන්තාවක් ද තරුණයෙක් ද තාරුණ්‍ය නොඉක්මවූ ගැහැනුන් දෙදෙනෙක්ද නිවසට ගොඩ වැදුනේ ගෙහිමියන්ගේ අචාරසමාචාර මැදය.

බිනරි තව වතාවක් කැඩපතින් හැඩ බැලුවාය.උදෑසන නොතිබුණ ප්‍රබෝධයක් ඇයගේ සිතේ ඇති වෙමින් තිබිණ.එහෙත් අමුත්තන් හමුවට යන්නට ඇයට මැලිකමක් ද දැනෙයි. කවදාවත් නොදැනුණු ලැජ්ජාවකින් ඇය ගේ සිත කළඔන්නට පටන් ගෙනය.ඇය හැරී බැලුවාය.නැගණිය ගෙයි දොර මුල්ලෙන් බලා සිටින්නේ සාලයේ වන සිදුවීම් ගැනය.එහි සිදු වන කතාවට උනන්දුවෙන් කන් දෙන්නට බිනරි ට වුවමනා වුනත් එය හොඳීන් ශ්‍රවණය කළ නොහැක.නැන්දා කුස්සියේ පිළියෙළ කළ ආහාර සකසන්නේ සාලයට ගෙන එන්නටය.

‘කොල්ලා නම් හැඩයි අක්කේ.ඒ ඇවිත් තියෙන්නේ එයාගේ අම්මායි,තාත්තායි ,නැන්දයි.අක්කයි අක්කගේ මහත්තයයි.කොල්ලා ඉතාලියේ අය්යා බැංකුවේ’

උත්පලා විස්තර කළාය.අනතුරුව යළිත් දොර මුල්ලට වැදුන ඇය නැවත ආපසු දිව ආවාය.

‘එයාගේ නැන්දා ටීචර් කෙනෙක්.අපේ තාත්තා අඳුනා ගත්තා.අය්යාගේ වයිෆ් වැඩ කරන තැන කිව්වා මට ඇහුණේ නෑ’

බිනරි කිසිත් නොකියා සිටින්නට උත්සාහ කළාය.හිටි අඩියේ ඇයගේ සිතට විනෝද් සිහියට ආවේය.හිටියා නම් මේ මොහොතේ මොකක් හෝ කියනවා ඇත.

‘දුවේ යං’

අම්මා කාමරයට ආවාය.

‘උත්පලා බලන්න අක්කගේ සාරි පොට’

නැන්දා ද කාමරයට පිවිසයාය.ඒ බුලත් හෙප්පුවක් ද ඇතැතිවය.එය බිනරි ගේ අතට ලැබිණ.ඇය බුලත් තට්ටුව සමග කාමරයෙන් එළියට ආවාය.ඇගේ පසුපසින් මවද නැන්දනිය ද සොයුරිය ද කාමරයෙන් එලියට පිවිසිණ. ඉදිරියට පැමිණි මාමා විසින් මග පෙන්වූ ලකුණු ඇතිව ඇය මුලින්ම සැටියේ වාඩි වී සිටි තරුණයාට බුලත් අත දුන්නාය.ඔහු එය පිළි ගෙන ඇයට ආචාර කළේය.අනතුරුව බිනරි මාමා විසින් පෙන්වන ලද ආකාරයට අනිත් වැඩිහිටියන්ට ද ආචාර කළාය.

‘දුවත් ඔහොම වාඩිවුණානං’

තාත්තාගේ හඬ ඇයට ඇසුනේ සිහිනෙයෙන් මෙනි.ඇය අසල පුටුවක වාඩිවුනේ බිම බලා ගනිමිනි.

‘මේ තමයි මගේ එකම දුව’

දැන් වැඩිහිටියන් ඔවුන්ගේ කතා බහකය.මනමාලයා ගේ මුහුණ බලන්නට උපන් ආසාව බිනරි මැඩ ගත්තේ ආයාසයෙනි.කතා කළොත් කතා කරනවා ඇය අන්තිමට සිතා ගත්තාය.

‘දුව රස්සාවක් කරන්නේ නෑ නේද?’ පැමිණි සිටි කාන්තාවක් ඇසුවාය.ඇය මනමාලියගේ මව විය යුතුය.

බිනරි නැහැයි කියන්නට හිස සැලුවාය.

‘මොනවට රස්සා කරනවද ? එයැයි හොඳට ඒ ලෙවල් කළා.මම කිව්වා තියෙන දෙයක් ‍වෙන කාටවත් යැ.රස්සාවලුත් ඕන නෑ කිව්වා.ඔය විශ්වවිද්‍යාලවලට මම කැමැති නෑ.

කාටත් කලින් තාත්තා උත්තර දෙන්නට පටන් ගත්තේය.

අපි නම් හමුබ වුණේ විශ්වවිද්‍යාලයේ දී තමයි

අය්යා ගේ භාර්යාවයැයි හදුන්වා දුන් තැනැත්තිය පැවසුවේ කතාවේ අතර මැදට එක් වෙමිනි.

‘නෑ.මං කිව්වේ මගේ ළමයාට එහෙම යවන්න වුවමනාවක් තිබුණේ නෑ.මොකේ රස්සාවක් කරන්නයැ’

චුට්ටං පැවසුවේ සිනහවක් නගා ගනිමිනි.

‘අපේ ළමයා දැන් අවුරුදු පහක් ඉතාලියේ .එයාට මෙහෙ අය්යා වගේ රස්සා කරන්න බෑ කිව්වනේ‘

‘ඉතාලියේ අපේ දුවගේ හොඳම යාළුවා ඉන්නවා. මේ දවස් වල ලංකාවේ.එයාගේ වෙඩින් එකට ලෑස්ති වෙනව’

චුට්ටං කතාව තවත් පැත්තකට යොමු කළේය.එය වඩා හෙඳ බව සෙනරත්ට සිතිණ.පවුල් දෙකේම වර්ණනාව එකිනෙකා පරයයි.තාත්තා සරෝජා ගැන කතා කරතැයි බිනරි සිතුවේ නැත.