වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 18 වැනිදා බ්‍රහස්පතින්දා




බස් සංගම් වගේ අපිට ඉල්ලීම දිනා ගන්න බෑ

බස් සංගම් වගේ අපිට ඉල්ලීම දිනා ගන්න බෑ

- ටෙලිනිස සභාපති

අනුර මාධව ජයසේකර

ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය හෙවත් ටෙලිනිස ආරම්භ වූයේ මින් වසර විසි දෙකකට පෙරාතුවය. ඒ දේශීය ටෙලි නාට්‍ය කර්මාන්තයේ අභිවෘද්ධිය හා ටෙලි නාට්‍ය ශිල්පීන්ගේ වෘත්තීය සුරක්ෂිතභාවය වෙනුවෙනි. එහෙත් මේ වන විට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ පැන නැඟී ඇති අවුල්, වියවුල් රාශියකි. ඒවාට විසඳුම් සෙවීම ද අද ගැටලුවක් වී තිබේ. ඒ සම්බන්ධයෙන් ටෙලිනිසට ද ඇඟිල්ල දිගු වූයේ වරක් දෙවරක් නොවේ.

කෙසේ වුවද විවිධ අභියෝගයන් හමුවේ තවමත් ටෙලිනිස ක්‍රියාත්මක වන්නේ සිය වෘත්තීය අභිමානය රැක ගැනීම උදෙසාය. එහි වත්මන් සභාපති, ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ අනුර මාධව ජයසේකර අප හා මෙසේ එක් වන්නේ හෙට දින ජයගත යුතු අභියෝග මෙන්ම සිය වෘත්තීය ක්ෂේත්‍රය තුළ වර්තමානයේ උද්ගතව ඇති ගැටලු පිළිබඳ විමර්ෂණශීලී සංවාදයකටය.

ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ ආරම්භය සිහිපත් කළොත්?

ඇත්තෙන්ම 'ටෙලිනිස' ආරම්භ වුණේ එවැනි දැක්මක් සහිතව තමයි. 1993 නොවැම්බර් 15 වැනිදා තමයි මේ සංගමය ආරම්භ වෙන්නේ. ඒකට හේතු වෙච්ච වාස්තවික තත්ත්වයක් තිබෙනවා. ඒ කාලේ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යවරයාව සිටි ඒ. ජේ. රණසිංහ ඇමැතිතුමා තම බලය පාවිච්චි කරලා සෝමරත්න දිසානායකගේ 'අවසඳ' හා දයාරත්න රටගෙදරගේ 'මහ මෙර පාමුල' ටෙලි නාට්‍ය දෙක අත්තනෝමතික ලෙස විකාශය අත්හිටුවනවා. මෙන්න මේ තත්ත්වයට එරෙහිව තමයි එදා අපේ ප්‍රවීණ කලාකරුවෝ එකතු වෙලා ටෙලිනිස පිහිටුවා ගත්තේ. එහි මුල්ම සභාපතිවරයා වුණේ ආචාර්ය තිස්ස අබේසේකර. ප්‍රථම ලේකම් නීතිඥ ඩග්ලස් සිරිවර්ධන. ප්‍රවීණ නිර්මාණවේදීන් රැසක් එදා මේ සංසදයට සහය පළ කළා.

මේ වසර විසි දෙක පුරාවටම වරින්වර එබඳු ප්‍රශ්න ගැටලු ඇති වූ අවස්ථාවල 'ටෙලිනිස' ඒ වෙනුවෙන් පෙනී සිටියා?

ඔව්. එක් එක් කාලවලදී විවිධාකාර ප්‍රශ්න මතු වුණා. වරක් බෙනට් රත්නායකගේ 'මකර විජිතය' ටෙලි නාට්‍යය තහනමට ලක් වුණ වෙලාවේ ටෙලිනිස මැදිහත් වෙලා නඩුමඟට බැස්සා. ඒ නඩුවෙන් ඇත්තටම අපි දිනුවා. ඒ වගේ යම් යම් අවස්ථාවල ටෙලි නිර්මාණවේදීන්ගේ අනන්‍යතාවය හා ස්වාධිපත්‍යය වෙනුවෙන් අපි සක්‍රීයව මැදිහත් වුණා. ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් හා අභිමානය වෙනුවෙන් අරගල කළා. ඔබට මතක ඇති 2001 වසරේ එක්තරා පෞද්ගලික රූපවාහිනී නාළිකාවක් මඟින් ඉන්දීය ටෙලි නාට්‍යයක් සිංහලෙන් හඬ කවා විකාශය කළා. 'රන් දෙපැය' කියලා වෙනම ගුවන් කාලයක් වෙන් කරලා ඒ රස වින්දනයට අපේ ප්‍රේක්ෂකයේ පුරුදු කළා.

එබඳු කාරණා පිටුදකින්න මම හිතන්නේ ටෙලිනිස දැඩිව මැදිහත් වුණා?

අර 'ශාන්ති' වගේ ටෙලි නාට්‍යයක රඟපෑ මන්දිරා බේඩි වගේ නිළියක් මෙහාට ගෙන්වලා රතු පාවඩ දාලා පිළිගත්තේ. එදා අපි විරෝධය පළ කළා මේ ඉන්දීය ටෙලි නාට්‍යවලට හඬ කවන එක ගැන. ඒ කරපු අරගලයේ ප්‍රතිඵලයක් හැටියට එවකට පැවැති රජය එවැනි ආනයනික ටෙලි නාට්‍යය කොටසක් සඳහා රුපියල් 90,000 ක බද්දක් පැනෙව්වා. ඒ හරහා ඇති කළ මුදල් සංචිතයෙන් තමයි 'රන්මිහිතැන්න' ටෙලි සිනමා ගම්මානය ඇති කරන්නේ.

'ටෙලිනිස'ට නැඟුන චෝදනාවක් තමයි එය පැවැති රජයට පක්ෂග්‍රාහී වුණාය සහ එහි සාමාජිකයන් නොයෙක් වරප්‍රසාද ලබාගත්තාය කියන එක. එවැනි චෝදනා සංසදයේ ඉදිරි පැවැත්තමට හිත කර වුණේ නෑ නේද?

අපට එහෙම පක්ෂග්‍රාහී වෙන්න අවශ්‍ය වුණේ නෑ. දේශපාලනයෙන් වියුක්තව කර්මාන්තයේ ඉදිරි ගමන වෙනුවෙන් ඵළදායී ගමන් මඟකට අප අවතීර්ණ වෙලා තියෙනවා. අපේ සංසදයේ විධායක සභිකයන් ආණ්ඩුවේ යම් තනතුරු අරගෙන තිබුණේ ටෙලිනිසයේ සාමාජිකයන් හැටියට නෙවේ, එතුමන්ලාගේ කලා ක්ෂේත්‍රයේ තිබුණ නිපුනත්වය නිසා. එහෙම නැතිව ටෙලිනිස පාවිච්චි කරලා යම් යම් වරප්‍රසාද හා රැකියාවන් ලබා ගත්තාය කියන එක සම්පූර්ණ ව්‍යාජයක්. ප්‍රලාපයක්. මම තරයේ ප්‍රතික්ෂේප කරනවා 'ටෙලිනිස' නිසා යම් කෙනෙකුට තනතුරක් ලැබුණාය කියන චෝදනාව.

කොහොම වුණත් අවුරුදු විසි දෙකක කාලයක් පුරා ටෙලිනිස හරහා සිදු වූ වෘත්තීය අරගලය ප්‍රාණවත් මදි කියා ඇතැමුන් පවසනවා?

පවතින දේශපාලන බල අධිකාරියට සම්පූර්ණයෙන් විරුද්ධව ගිහිල්ලා උද්ඝෝෂණය කරලා බස් සංගමයක් වගේ අපට වෘත්තීය අයිතිවාසිකම් දිනාගන්න බෑ. ඒ වගේ අරගලයක් කරන්න ගියා නම් පැවැති රජයට ගතු කේලම් කියලා අපව බිඳවලා තමන්ගේ පටු අරමුණු ඉටු කරගන්න සූදානම්ව සිටි පිරිසකුත් හිටියා. ඉතින් එදා වගේම බලධාරීන් සමඟ යම් සංහිඳියාවක් ඇතුව තමයි මේ ගමන අද අපට යන්න වෙලා තියෙන්නේ.

ඒ කියන්නේ කලාකරුවෝ අතරෙම එහෙම අය ඉන්නවා?

කලාකරුවෝ අතරේම ඉන්නවා. අපේම තියෙන වැරැද්ද නිසා තමයි එක පැත්තකින් මේ අර්බුදය පැන නැඟිලා තියෙන්නේ. ඒ වගේම දේශපාලන බලාධිකාරිය සහ මාධ්‍ය ආධිපත්‍ය ගෙන යන අයත් එක්ක මේකට සොයා ගත්ත යම් යම් අනිසි ක්‍රමවේදයන් නිසා තමයි මේ තත්ත්වය උද්ගත වෙලා තියෙන්නේ.

එතකොට අපේම වැරැද්දක් කිව්වේ?

අනෙක් වෘත්තීය සමිති වගේ අපට නියාමනයක් පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. දැන් අපි ගත්තොත් රජයේ වෛද්‍ය සංගමය වගේ එහි කිසියම් ප්‍රමිතියක් තියෙනවා. ඔවුන්ගේ ප්‍රමිතිය තමයි M.B.B.S සහතිකය. එතකොට ඒ වගේ වෘත්තීය සුදුසුකම් තිබෙන පුද්ගලයෝ පිරිසක් තමයි ඒ සංගමයට ඒකරාශි වෙලා ඉන්නේ.

වෘත්තිකයෝ?

ඔව්. දැන් මේකේ සමහර අය ගත්තොත් ඒ අයට කිසිම වෘත්තීය සුදුසුකමක් නෑ. දැන් අපි කොහොමද අධ්‍යක්ෂවරයකුගේ සුදුසුකම පිළිබඳ නිර්නායකය ඇති කර ගන්නේ. අද මම ගිහින් නිෂ්පාදකවරයෙක් මුණගැහිලා ඒ නිර්මාණයට යම් මිලක් නියම කරගෙන ආවොත් හෙට තව කෙනෙක් ගිහිල්ලා ඊට අඩුවට වැඩේ බාර ගන්නවා. නිෂ්පාදකවරයාට අවශ්‍ය නෑ කවුද අධ්‍යක්ෂවරයා කියන කාරණාව. ඒක විකාශය වෙන නාළිකාව වැඩකුත් නෑ. නාළිකාවල ඉන්න අයට අවශ්‍යත් නෑ කවුද මේකෙ අධ්‍යක්ෂවරයා කියන කාරණය. ඒ නිසා මේ හැමදේකටම සුදුසුකමක් තියෙන්න ඕනෑ.

කලා උපාධියක් ගත්තා කියලා කලාකරුවෝ බිහි වෙන්නේ නෑ?

ඒක ඇත්ත. නමුත් මම කියන්නේ යම් ප්‍රමිතියක් අවශ්‍යයි. ඒ නියාමනයන් ඇති කර ගන්න හැමෝගෙම සහාය අවශ්‍යයි. ඔය ජනප්‍රිය මුහුණුත් මේකට එක් වෙන්න ඕනෑ. එහෙම වුණොත් තමයි ප්‍රබල හඬක් නඟන්න පුළුවන් වෙන්නේ. එකමුතු නොවුණොත් අපට මේ අභියෝග ජයගන්න බෑ. සමහරු තමන්ගේ ගෙයි එළිපත්ත උඩට ප්‍රශ්නය ආවාම තමයි කලබල වෙන්නේ. අපේ ධනේෂ්වර ක්‍රමයේ තිබෙන එක් නිෂේධනීය ලක්ෂණයක් තමයි මේ ගැටලුව.

ගුණාත්මක, හරවත් ටෙලි නාට්‍යය බිහි නොවීමට 'මෙගා' එහෙම් නැතිනම් දීර්ඝ ටෙලි නාට්‍ය රැල්ලත් හේතුවක් වුණා. ඊට එරෙහිවත් 'ටෙලිනිස' විරෝධය පළ කළා?

හඬ කැවූ ඉන්දීය ටෙලි නාට්‍යය රැල්ලට ප්‍රතිබද්ධව තමයි ඒවා පටන් ගත්තේ. ඉන් පස්සේ දේශීය වශයෙනුත් මේක ලොකු පිළිලයක් වුණා. ඊට එරෙහිව 2008 වසරේ අපි මහජන පුස්තකාලයේ විශාල උද්ඝෝෂණයක්, රැස්වීමක් පවත්වනවා. ඒ රැස්වීමට අතුරු සිදුරු නැතිව මේ කලා ක්ෂේත්‍රයේ අය ආවා. මෙගා කියලා ඒ නාට්‍යය හඳුන්වන එක වැරදියි. ඒවා වැල් ටෙලි නාට්‍යය. ඒ නම පටබැන්දෙත් මමයි. ඉතින් ඒ රැස්වීමෙන් පස්සේ අපි බලධාරීන් එක්ක සාකච්ඡා කරලා රාජ්‍ය මාධ්‍ය ආයතන දෙකේ විකාශය කෙරෙන වැල් ටෙලි නාට්‍යය කොටස් 100 දක්වා සීමා කළා. පෞද්ගලික මාධ්‍යවලට බලපෑම් කරන්න අපට පුළුවන් වුණේ නෑ.

නමුත් සීමාවෙන් ඔබ්බට ගොස් නිර්මාණකරණයේ යෙදුණු අයත් ඉන්නවා?

අපි මෙවැනි ක්‍රියා පිළිවෙතකට ගියේ ඇත්තෙන්ම ක්ෂේත්‍රයේ සමතුලිත බවක් ඇති කරන්න. මොකද සෘජුවම හත්දාහකට අධික පිරිසක් මේ වෘත්තියේ නියැළී සිටිනවා. එතකොට පුද්ගලයන් තිස් හතළිස් දාහක් එයින් රැකෙනවා. අර මෙගා රැල්ල දිගටම ගියා නම් එක පිරිසකට විතරයි වැඩ. අනෙක් අය නිකං. ඔබ කිව්වා වගේ ඇතැමුන් මේකට දේශපාලන මුහුණුවරක් දීලා, තමන්ගේ බඩ වියත ගැන හිතලා ඒ ප්‍රමාණය කොටස් එකසිය පනහ දක්වා වැඩි කර ගත්තා. ඒත් ටෙලිනිස විධායක සභිකයන් හැටියට අපි කිසිවකු ඒ සීමාව අතික්‍රමණය කළේ නෑ.

ඒ කියන්නේ ඔබටත් එහෙම ආරාධනා ලැබුණා?

මගේ 'සඳට අහස ආදරෙයි' ටෙලි නාට්‍යය ඉතාම ජනප්‍රිය වුණා. ඒකේ රේටින්ස් බලලා නිෂ්පාදක ජගත් විජේනායක මට යෝජනා කළා මේ ටෙලි නාට්‍යය කොටස් එකසිය ගාණකට හෝ දෙසීයකට දිර්ඝ කරමු කියා. නමුත් විධායක සභිකයෙක් හැටියට මම ඒ තීරණයට එකඟ වුණේ නෑ. මොකද කොටස් සීයේ සීමාවේ රැඳී ඉන්න බවට ප්‍රතිපත්තිමය තීන්දුවක් ටෙලිනිස අරගෙන තිබූ නිසා. නාලන් මෙන්ඩිස් මහතාටත් එහෙම ආරාධනාවක් ලැබුණා. ඒත් ඔහුත් එය ප්‍රතික්ෂේප කළා. අපි එහෙම ස්වයං වාරණයක් පනවාගෙන තිබුණා.

රාජපක්ෂ පාලන යුගයේදී තමන්ගේ ටෙලි නාට්‍යය ඉහළම මිලකට අලෙවි කර ගත් බවටත් චෝදනා නැඟුණා?

රාජපක්ෂ පාලනය ආරම්භ වෙනකොටත්, ඒ කියන්නේ 2005 යුගය වන විටත් හොඳ මිලක් තිබුණා ටෙලි නාට්‍යවලට ගෙවන. විශේෂයෙන්ම ඓතිහාසික ටෙලි නාට්‍යයවලට හොඳ මිලක් ගෙව්වා. 2005 'චක්‍රායුදය' ටෙලි නාට්‍යය නිර්මාණය කරමින් මම තමයි ඒ රැල්ල ආරම්භ කළේ. ඊට පස්සේ 'මහතලා සටන'. ඒ වගේ ටෙලි නාට්‍යවලට හොඳ මිලක් ගෙව්වා ඇත්තටම.

ඒ ටෙලි නාට්‍යවල කොටසකට කොපමණ මිලක් ලැබුණාද?

'චක්‍රායුදය'ට ලක්ෂ තුනක්. 'මහතලා සටන'ට ලක්ෂ තුන හමාරක් නැතිනම් හතරක්. මට විතරක් නෙවේ, ජයන්ත චන්ද්‍රසිරිට ඒ වගේ මුදලක් ලැබුණා 'සතර දෙනෙක් සෙන්පතියන්'ට. එතකොට සුදත් රෝහණගේ 'උතුවන්කන්දේ සරදියෙල්' එහෙම ඉහළ මිලක් ගෙවූ ටෙලි නාට්‍යයක්.

එතකොට මේවා කිසිම රාජ්‍ය අනුග්‍රහයකින් තොරව තමයි ලැබුණේ?

කිසිම රාජ්‍ය අනුග්‍රහයක් ලැබුණේ නෑ. ඒවායේ තිබුණු අන්තර්ගතය, ගුණාංගයන් ගැන සලකා බලලා එහෙම මුදලක් ගෙවන්න ධ්.ඊ.ව් බලධාරීන් තීන්දුවක් ගත්තා. පොදුවේ එහෙම චෝදනා නැඟුණාට ඒකට භාජනය වෙච්ච පුද්ගලයෙක් නෑ බලනකොට.

දැන් පසුගිය ආණ්ඩුව කාලේ ටෙලි නිර්මාණයක් විකාශය කරවා ගැනීමට යම් කප්පම් මුදලක් දෙන්න වුණා. මේක ඉතා සුක්ෂමව දේශපාලන අධිකාරිය විසින් පවත්වාගෙන ගිය ක්‍රියා පිළිවෙතක්. මේක විවෘත රහසක් වගේ තිබුණානේ ක්ෂේත්‍රය තුළ. හැබැයි මෙතනදි 'ටෙලිනිස' මුණිවත රකින එක?

අපි ඉල්ලීමක් කළා එහෙම අකටයුතුකම් අසාධාරණයන් වෙනවා නම් ලිඛිතව අපට දැනුම් දෙන්න කියලා. අවම ප්‍රතිචාරයක් තමයි ඒකට දැක්කුවේ. මහා සභා රැස්වීම්වලදී විවෘතව අප ප්‍රකාශ කර තිබෙනවා එහෙම අවස්ථාවන් තිබෙනවා නම් අපට දැනුම් දෙන්න කියලා. ටෙලි නාට්‍යයක් බාර ගන්න කොට අපට අනු අංකයක් දෙන්න. එතකොට ඒ ටෙලි නාට්‍යයට ලැබෙන ලකුණු ප්‍රමාණය දැනුම් දෙන්න කියලා අපි ඉල්ලීමක් කළා. එතකොට සමීක්ෂණ මණ්ඩලය කවුද? සමීක්ෂණ මණ්ඩලය හැංගිලා ඉන්නකොටනේ අකටයුත්තක් සිදු වෙන්න පුළුවන්.

සමීක්ෂණ මණ්ඩලවල සාමාජිකයන් පවා මුදල් ගත් බවට චෝදනා නැඟුණා?

ඔව්. එහෙම චෝදනා නැඟුණා. අපි ඒ නිසයි කියා සිටියේ සමීක්ෂණ මණ්ඩල සාමාජිකයන් හෙළි කරන්න කියලා. නිර්මාණකරුවා හැටියට අධ්‍යක්ෂවරයාටත් යම් අවස්ථාවක් දෙන්න ඕනෙ සමීක්ෂණ මණ්ඩලය සමඟ සංවාදයකට. කැමරා කෝන ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් මෙහි කැමරා භාවිතය දුර්වලයි කියලා තීන්දුවක් දෙනවා. එහෙම නැතිනම් තිර නාටකය, අධ්‍යක්ෂණය දුර්වලයි කියලා. එහෙම අවස්්ථාවල නිර්මාණකරුවාට අවස්ථාවක් දෙන්න ඕනෑ තමන්ගේ අදහස් හා මතවාද ගෙනහැර දක්වන්න. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඒකයි. ලිබරල් ප්‍රතිපත්ති මත ක්‍රියා කරනවා නම් ඒ නිදහස තිබෙන්න අවශ්‍යයයි.

තාමත් එහෙම නෑ?

ඔව්. තාමත් එහෙම නෑ.

මට කෙටියෙන් කියන්නකෝ ටෙලිනිස ප්‍රමුඛතා ලයිස්තුවේ තිබෙන ඉල්ලීම් මොනවාද?

වත්මන් මාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මැතිතුමාට අපි ඉදිරිපත් කළ යෝජනාවලියක් තියෙනවා. ඒක අපි 'සරසවිය' ඇතුළු පුවත්පත්වලටත් යොමු කළා. කිසියම් නියාමන මණ්ඩලයකින් මේ ටෙලි නාට්‍යය වර්ගීකරණය කරන්න කියලා. ඒ කියන්නේ ශ්‍රේණිගත කරන්න. ලකුණු මට්ටම අනුව A.B.C කියලා ශ්‍රේණිගත කරලා ඊට අදාල මුදල ගෙවන්න කියා අපි ඉල්ලීමක් කළා.

මොකක්ද ඒ මිල සූත්‍රය?

C ශ්‍රේණිය සඳහා එක් කොටසකට රු. 2,50,000 ක්. B ශ්‍රේණිය සඳහා රු. 3,00,000 සිට 3,50,000 දක්වා සහ ඒ ශ්‍රේණිය සඳහා රු. 4,00,000 ක් හෝ ඊට වැඩි මුදලක් ගෙවන්න කියා අප ඉල්ලා සිටියා. සමීක්ෂණ මණ්ඩලයේ නිර්යාකයන් අනුව එය සිදු කළ හැකියි. ඒ වගේම විදේශ ටෙලි නාට්‍යය පෙන්වීම උපරිම ලෙස සීමා කිරීමටත්, එවැනි ටෙලි නාට්‍යය කොටසක් වෙනුවෙන් දැනට අය කරන රු. 90,000 ක බද්ද රු. 2,25,000 දක්වා වැඩි කිරීමටත් අප යෝජනා කළා. ඒවාත් ඇතුළුව යෝජනා දහසයක් අපි අමාත්‍යවරයාට ඉදිරිපත් කර තිබෙනවා. මේ පිළිබඳ අදාල පාර්ශවයෙන් අපට ලැබී තිබෙන ප්‍රතිචාර සුබවාදියි.