වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 18 වැනිදා බ්‍රහස්පතින්දා




බනියි කියලා බය හිතිලා

බනියි කියලා බය හිතිලා

අපේ කලා ලොවේ මිත්‍රයකුගේ ජංගම දුරකථනය රිංග් වෙන්න පටන් ගත්තලු රෑ දොළහට එකට විතර. මේ වෙලාවේ කවුරු හරි ඉතින් කතා කරන්නේ මොකක් හරි හදිස්සියකට වෙන්න ඇති කියලා මිත්‍රයා දුරකථනය අතට ගත්තලු. මෙන්න බොලේ වැඩක්. ඒ ඇමතුම ටෙනිසන් කුරේගෙන්. මිත්‍රයා ෆෝන් එක ආන්ස්වර් කරන්න හදද්දිම එය විසන්ධි වුණාලු. ෂුවර් එකටම මොකක් හරි කරදරයක් තමයි කියලා හිතලා අර මිත්‍රයා ආයේ ආ පස්සට ටෙනීට ඇමතුමක් ගත්තලු. එදා ඒ පාර ටෙනියගෙ ෆෝන් එක ඕෆ්. මිත්‍රයා ඇඳ උඩ වාඩි වෙලා පැයක් විතර යනකම් ටෙනීට කෝල් ගන්නවා ගන්නවා. ඒත් වැඩ නැහැලු. බැරිම තැන ෆෝන් එක පැත්තකින් තියලා මිනිහා නිදාගෙන. පහුවෙනිදාට ආයෙත් ටෙනීගෙන් ඇමතුමක් එනවලු.

මචං මං ඊයේ රෑ කෝල් කළේ පොඩි පණිවුඩයක් කියන්න. එතකොටම මං වෙලාව බැලුවා. අඩේ, දොළහත් පැනලා. මං ටක් ගාලා ෆෝන් එක කට් කළා උඹ නිදි ඇති කියලා.

ටෙනී එහෙම කියද්දී මිත්‍රයා අහලා ඇයි ෆෝන් එක ඕෆ් කළේ කියලා.

මචං උඹ ඇහැරිලා මට ආයේ කෝල් කරලා බනියි කියලා හිතුණා. ඒකයි ඕෆ් කළේ.

ටෙනී ඇත්තම විස්තරේ කියපු නිසා මිත්‍රයටත් හිනා ගියාලු.