|
||
නූටාන් අවුට් වුණේ මගේ පන්දුවකින්
පිට පිටම දෙවරක් හොඳම අධ්‍යක්ෂක වූ තිස්ස ලියනසූරිය අතීත මතක සමඟින්
1964 වසරේ අභිමානවත් සිනමා සම්මාන උලෙළක අසිරිය මෙරට ජනතාවට ගෙන දෙමින් පළමු වැනි සරසවිය සම්මාන උලෙළ අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. සරසවිය තවත් අභිමානවත් සිනමා සම්මාන උලෙළකට සූදානම්වන මේ අවස්ථාවේදී එදා සිට අද දක්වා තම පළමු නිර්මාණ කාර්යය වෙනුවෙන් සරසවිය සම්මානයෙන් ඇගයුම් ලද්දෝ සොයා යන ගමනයි.
සිනමාවේ විශිෂ්ටයින් ඇගයෙන සරසවිය සම්මාන උලෙළේ 1966 වසර විශේෂිත වූයේ සාරවිට චිත්‍රපටය නිසාය. සාරවිට එම සරසවිය සම්ම්න උලෙළේ හොඳම චිත්‍රපටය ඇතුළුව සම්මාන දහයක් දිනා ගන්නට සමත් විය. සාරවිට චිත්‍රපටයේද විශේෂත්වයක් විය. එනම් සිනමාකරුවෙකුගේ කළුඳුල් සිනමා නිර්මාණයවීමයි. තිස්ස ලියනසූරිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූයේ සාරවිට සමඟිනි. එතැන් සිට සිංහල සිනමාවට සුවිශේෂ දායකත්වයක් දුන් තිස්ස ලියනසූරිය වෙනුවෙන් සරසවිය සම්මාන අතීතාවර්ජනය අද වෙන් කෙරේ. සරසවිය සම්මාන උලෙළේ දෙවැනි සම්මාන රාත්‍රිය ඔබටත් විශේෂිත වුණා? සරසවිය සම්මාන උලෙළ ඇත්තටම චාම් අභිමානවත් සම්මාන උලෙළක්. පළමු සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය වුණේ ගම්පෙරළිය. එය සිංහල සිනමාවට විශේෂ අවස්ථාවක් වුණා. සිනමාකරුවන්ගේ නිර්මණ ඇගයීම මොන තරම් නම් වටිනවාද? සම්මාන උලෙළට ක්ෂේත්‍රෙය් හැමෝම වගේ සම්බන්ධ වුණා. 1965 වසරේ දෙවැනි සරසවිය සම්මාන උලෙළේ දී ගැටවරයෝ සම අධ්‍යක්ෂණය වෙනුවෙන් මටත් සම්මානනීය වෙන්න අවස්ථාව ලැබුණා. එතැනදී මයික් විල්සන්ට සහ මට ඒ සම්මානය පිරිනැමුණා. අප දෙදෙනාම වේදිකාවට කැඳවලා සම්මානය ලබා දුන්නා. නමුත් මම ඒ මොහොතේදීම සම්මානය මයික් විල්සන්ගේ අතට දුන්නා. මොකද මම ගැටවරයෝ චිත්‍රපටයට සමබනධ වුණේ සහය අධ්‍යක්ෂවරයෙක් ලෙසින්. කොහොම වුණත් චිත්‍රපටය අවසානයේදී නාමාවලියට මගේ නම සම අධ්‍යක්ෂවරයෙක් ලෙසින් ඇතුළත් කරන්න මයික් තීරණය කළා. මම චිත්‍රපටය වෙනුවෙන් කළ වැඩ කොටස නිසාම මයික් එහෙම තීරණය කරන්න ඇති. ඒ කාලයේ සම්මාන උලෙළක අගය කලාකරුවෙකුට දැනුණේ කොහොමද? චිත්‍රපට වෙනුවෙන් සම්මාන උලෙළක් පැවැත්වීම හැම කෙනෙකු තුළම උනන්දුවක් බලාපොරොත්තුවක් ඇති කරන්න සමත් වුණා. ඒ වෙනවිට සම්මාන උලෙළක අත්දැකීම කාටත් අලුත් දෙයක් වුණා. මීට පෙර සම්මාන උලෙළ පැවතියත් මෙවැනි උත්කර්ශවත් සම්මාන උලෙළක් අත්විඳීන්න ලැබුණේ නැහැ. ඒ නිසා සරසවිය සම්මාන උලෙළ අපට විශේෂිත අවස්ථාවක් වුණා. ඇත්තටම කලාකරුවන් තුළ යම් පිබිඳීමක් ඇති කළා කිව්වොත් නිවැරදියි. ඒ වගේම තව තවත් හොඳ නිර්මාණ කරන්න උනන්දුව ඇති කිරීමේ ගෞරවය හිමිවෙන්නේ සරසවිය සම්මාන උලෙළටයි. 1966 වසරේ සරසවිය සම්මාන උලෙළ ගැන සිහිපත් කළොත්? එදා ඇති වූ සන්තෝෂය නම් කියලා නිම කරන්න බැහැ. ඒක මගේ ජීවිතයේ අමරණීය අවස්ථාවක්. සාරවිට මගේ ප්‍රථම ස්වතන්ත්‍ර සිනමා නිර්මාණය. එදා සරසවිය සම්මාන උලෙළේ සාරවිට චිත්‍රපටයට සම්මාන දහයක් හිමි වුණා. ඒක මම හීනෙකින්වත් හිතුවේ නැති දෙයක්. සාරවිට චිත්‍රපටයට හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ලැබීම වෙනමම දෙයක්. මම හොඳ නිර්මාණයක් කළා. අලුත් යමක් කළා. සිනමාවේ යම් වෙනසක් ඇති වූ නිර්මාණයක් කළා කියන සතුට මගේ හිතේ තිබුණා. නමුත් ඒ නිර්මාණය මේ තරම් සම්මාන දිනා ගනිවී කියලා නම් හිතුවේ නැහැ. කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති එම උලෙළට නූටාන්, සුනිල් දත් සමඟින් ෆිල්ම්ෆෙයාර් සඟරාවේ එවකට කර්තෘත්වය හෙබවූ බී. කේ කරන්ජියාත් සහභාගි වුණා. ඒ නිසාත් එම උලෙළ සුවිශේෂ වුණා. මට කරන්ජියා සමඟින් සම්මුඛ සාකච්ඡාවකටත් සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. මා ගැන වූ සටහන ෆිල්ම්ෆෙයාර් සඟරාවේ පළ කරන්න ඔහු කටයුතු කළා. මට එහි විශේෂිතම සිහිවටනය වන්නේ මගේ කුළුඳුල් අධ්‍යක්ෂණය හොඳම අධ්‍යක්ෂණය වීමේ සම්මානය මගේ ගුරුදේවයන් වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අතින් පිරිනැමීමයි. එය සොඳුරු මකත රැසකින් පිරි උලෙළක්ම වෙන්න ඇති? එදා සම්මාන උලෙළ එක රැයකින් අවසන් වුණේ නැහැ. නූටාන් ,සුනිල් දත් ඇතුළු කණ්ඩායම රැඳී සිටි කාලයේ ඔවුන් සහ ඔවුන් සමඟ පැමිණි කණ්ඩායමත් ලංකාවේ නළු නිළියන් සහ කාර්මික ශිල්පීන් ඇතුළත් කණ්ඩායමත් අතර ක්‍රිකට් තරගයක් පැවැත් වුණා. එය හැමෝටම විනෝදය ගෙන දෙන්නක් වුණා. නුටාන් අවුට් වුණේ මගේ පන්දුවකිනුයි. ඒ කාලයේදී සම්මාන උලෙළට ප්‍රේක්ෂකයන්ගේත් පුදුමාකාර උනන්දුවක් තිබුණේ. සම්මාන උලෙළට කලාකරුවන් රැගෙන යන්නේ විවෘත රථ පෙරහැරකින්. එය නරඹන්න මඟ දෙපස සෙනඟ පොරකමින් රැස්ව සිටියා මතකයි. ඒ වගේම කලාකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ හිත්වල පුදුමාකාර ගෞරවයක් ආදරයක් තිබුණේ. සම්මාන උලෙළත් සිනමා ලෝලීන්ගෙන් පිරී ඉතිරි ගියා. අද ඒ මතකයන් සිහිපත් වෙනවිට එහෙමත් පිරිසක් හිටියා නේද කියා විශාල සතුටක් ඇති වෙනවා. ඔබ සිනමාවට සම්බන්ධ වෙන්නේ පුංචි කාලයේ ඇති වූ බලපොරොත්තුවක් නිසාමද? සිනමාවට එන්න මගේ කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මට වුවමනා වුණේ නිවේදකයෙක් වෙන්න. පාසල් කාලයේදී පටන්ම මම ලංකා ගුවන්විදුලියට සම්බන්ධ වෙලා කටයුතු කළා. කේ. ඒ. ඩබ්ලිව් පෙරේරා මහතා තමයි මට ඒ අවස්ථාව ලබා දුන්නේ. රෙඩියෝ සඟරාව, ඉන්ස්පෙක්ටර් පෙරේරාගේ වික්‍රම වැසටහන්වලට සම්පාදනයෙන් සහ නිවේදනයෙන් දායක වුණා. ගුවන්විදුලයේ කටයුතු කරන කාලයේදී එතුමාගේ මඟ පෙන්වීම යටතේ ලෙස්ටර් මහත්තයාගේ සන්දේශය චිත්‍රපටයට සහය අධ්‍යක්ෂණයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. සිංහල සිනමාව දකුණු ඉන්දීය ආභාෂයෙන් මුදාගැනීමේ මෙහෙවරෙහි ඔබත් ප්‍රමුඛයෙක්?
මුල් කාලයේදී අපට බලන්න ලැබුනේ දකුණු ඉන්දීය සම්ප්‍රදායට අනුව නිර්මාණය වූ චිත්‍රපට. අපට ඒවා නොබලා ඉන්නත් බැරි වුණා. මුල්ම චිත්‍රපටය කඩවුණු පොරොන්දුව බැලුවා. ඊට පස්සේ ටිකක් හරි අපේම කෙනෙක් යමක් කරන්න හදනවා නේද කියන එක තේරුණේ සිරිසේන විමලවීරගේ සිනමා නිර්මාණවලින්. අම්මා, සීදේවි, සිරකරුවා වැනි චිත්‍රපට ඒ කාලයේ මා නැරඹු චිත්‍රපට අතරට ඇතුළත්. ඒ අතරවාරයේදී අපට විශේෂයෙන්ම හින්දි චිත්‍රපටත් බලන්න ලැබුණා. ඉංග්‍රීසි චිත්‍රපටත් බලන්න ලැබුණා. ඉතිං ඒ අතරවාරයේදී ලෙස්ටර් පීරිස් මහතමයාගේ සන්දේශය චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ලැබුණේ. ඇත්ත වශයෙන්ම අපේම සිනමාවක් තිබෙන්න ඕනි අපේකම සිංහල චිත්‍රපටවල තියෙන්න ඕනි කියන අදහස මට පහළ වුණේ මම සන්දේශය චිත්‍රපටයේ වැඩ කරන කාලයේදීයි. කලින් නැරඹු චිත්‍රපටවලට වඩා වෙනස් ආකාරයේ නිර්මාණයක් බව එවිට තමයි මට තේරුම් ගන්න හැකි වුණේ. එහි අපේකම තිබෙන බව තදින්ම දැනුණා. අප යායුතු මඟ මෙය බව සන්දේශය කරලා අවසන් වනවිට මම වටහා ගත්තා. ලෙස්ටර් මහත්තයා තේරා දුන් මේ මාර්ගයේ ගියොත් සිංහල යැයි කියන්න පුළුවන් චිත්‍රපට හදන්න අධිෂ්ඨානයක් ඇති වුණා. ඊට කලින් සිංහල චිත්‍රපටවල මට නම් සිංහල කියලා පේන්න තිබුණේ දෙබස් විතරයි. 1961දී මට සෙරන්ඩිබ් ආයතනයේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ රන්මුතු දූව චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ලැබීම ලොකු භාග්‍යයක්. එහි මම සහය අධ්‍යක්ෂවරයෙක් ලෙසින් කටයුතු කළා. ඇත්තෙන්ම මම යායුතු මඟ නිවැරදිවම පෙන්නුම් කළේ රන්මුතු දූව චිත්‍රපටය යි. ඉන් පසුව නිර්මාණය කළ ගැටවරයෝ චිත්‍රපටයත් සරසවිය සම්මාන රැසක් දිනා ගන්න සමත් වුණා. ඒ වගේම මූල්‍යමය අතිනුත් එය ඉහළ සාර්ථකත්වයක් ළඟාකර ගත්තා. සෙන්ඩිබ් ආයතනය ඊළඟ චිත්‍රපටය කරන විට තමයි මට මගේ හැකියාව උපරිමයෙන් පෙන්වන්න අවස්ථාව උදා වුණේ. චිත්‍රපටයේ කතාව ලිව්වේ කේ. ඒ. ඩබ්ලිව් පෙරේරා මහත්මයා. ඇතැම් අවස්ථාවල ඒත් මමත් එතුමා සමඟ හිටියා. සාකච්ඡා කළා. ඒ වෙනකොටත් මම දැනගෙන හිටියේ නැහැ සාරවිට අධ්‍යක්ෂණය කරන්නේ මම කියලා. චිත්‍රපටයේ කතාව ලියලා ඉවර වෙනකොට මට චිත්‍රපටයේ දර්ශන මැවිලා පේනවා. දැන් අතට ඕනි කැමරාවක් විතරනේ කියලා මට හිතුණා. අලුත් චරිත රිදී තිරයට හඳුන්වා දෙන්නත් ඔබ කටයුතු කළා? අපේ චිත්‍රපටවලට සම්බන්ධකර ගන්නා නළුවෙක් හෝ නිළියක් අපේම කෙනෙක් වෙන්න ඕනි කියන තීරණයේ අපි හිටියා. චිත්‍රපටයක චරිතයකට ශිල්පියෙක් තෝරා ගන්නා විට ඔහු හෝ ඇය තුළින් ඒ චරිත ලක්ෂණ දැක ගත යුතුයි. තිර පරීක්ෂණය ඒ වෙනුවෙන් වන හොඳම අවස්ථාවයි. ඒ අනුව තමයි සෝබනී අමරසිංහ ගැටවරයෝ චිත්‍රපටයට තෝරා ගැනෙන්නේ.ඇයත් මීට පෙර කිසි දිනෙක කැමරාවක් ඉදිරියේ රංගනයක් ඉදිරිපත් කළ ශිල්පිනියක් නොවෙයි. නමුත් ඇය සතු වූ දක්ෂතාවයක් තිබුණා. තිර පරීක්ෂණයේදී අපි එය හඳුනා ගත්තා. අපේ තෝරා ගැනීමේ නිවැරදිතාව මනාව පෙන්නුම් කළේ සරසවිය සම්මාන උලෙළේ දී ගැටවරයෝ රංගනය වෙනුවෙන් ඇය හොඳම නිළිය ලෙස පිදුම් ලැබීමයි. ඒක එක අතකින් අභියෝගයක්. මාලිනියත් අපි සොයා ගත්තේ වේදිකාවෙන්. මම අධ්‍යක්ෂණය කළ පුංචි බබා චිත්‍රපටයේ දී ජෝ අබේවික්‍රමගේ පෙම්වතියගේ චරිතය වෙනුවෙන් නිළියක සොයා යෑමේදීයි අපට ඇය හමුවුණේ. ඒකත් ප්‍රධාන චරිතයක්. එදා රංගනයේදීම මම තේරුම් ගත්තා ඇය කෙටි දුරක් ගිහින් නවතින කෙනෙක් නොවන බව. කාලයත් සමඟින් ඇය ඒබව ඔප්පුකර පෙන්වූවා. විශේෂයෙන්ම සිනමා ක්ෂේත්‍රයට පැමිණෙන්නට තම හැකියාව තියෙන්නම ඕනි. මොනතරම් රංගන පාසල්වලට ගිහින් ඉගෙන ගත්තත් තමන්ගේ හැකියාව නැතිනම් සිනමා ක්ෂේත්‍රෙය් සාර්ථකව රැඳෙන්න අපහසුයි. කෙටි චිත්‍රපට සහ වාර්තා චිත්‍රපට නිර්මාණකරණයේදීත් ඔබ සුවිශේෂයි? මගේ අවසාන වෘතාන්ත චිත්‍රපටය වූ නාරිලතා නිර්මාණය කළේ 1968 වසරේදීයි. අනතුරුව මට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙන් ලෙසින් රජයේ චිත්‍රපට අංශයට බැඳෙන්න අවස්ථාව උදා වුණා. මේ කාලය වෙනකොට වාර්තා සහ කෙටි චිත්‍රපට කෙරෙහිත් මගේ ලොකු උනන්දුවක් ඇති වෙලා තිබුණේ. ඒ සම්බන්ධයෙන් අත්හදා බැලීමක් කරන්නත් ආසාවක් තිබුණා. මගේ ප්‍රථම කෙටි චිත්‍රපටය වුණේ දීප්ති. එහි වෘත්තාන්ත චිත්‍රපටයක ගති ලක්ෂණත් තිබුණා. කොහොම හරි එහිදී වාර්තා හා කෙටි චිත්‍රපට නිර්මාණය වෘත්තාන්ත චිත්‍රපට කරනවාට වඩා අපහසු කටයුත්තක් බව තේරුම් ගියා. නමුත් කාලයත් සමඟ මම එයට හුරු වුණා. බැසිල් රයිට් වැනි නිර්මාණකරුවන්ගේ පුහුණුව ලබන්න ලැබීමත් මෙහිදී සඳහන් කළ යුතුමයි. එය මගේ කෙටි හා වාර්තා චිත්‍රපට නිර්මාණකරණයේ ඉදිරි ගමනට ලොකු ශක්තියක් වුණා. මම බොහොමයක් වාර්තා චිත්‍රපට නිර්මාණ කළේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙනුවෙන්. මොකද කෘෂිකර්මය කියන්නේ මම ගොඩක් ආසා කළ විෂයක්. ඒ අනුව මම නිර්මාණ කළ කිරි චිත්‍රපටයට ජාත්‍යන්තර බර්ලින් කෘෂි චිත්‍රපට උලෙළේ රන් සම්මානය හිමි වුණා. ලෝක ආහාර සංවිධානයෙන් පැවැත්වූ සිනමා උලෙළේදී ඔසයිරිස් සම්මානය මට හිමි වුණා. එදා සිංහල සිනමාව සහ වර්තමානයේ සිංහල සිනමාව අතර වෙනස ඔබ දකින්නේ කොහොමද? කොහොමත් සිනමාව හැමදාම එක විදියටම පවත්වාගෙන යන්න බැහැ කියන කාරණය සිනමාකරුවන් හැටියට අපි තේරුම් ගත යුතුයි. කාලය අනුව එය වෙනස් විය යුතුයි. හැබැයි අතීතය දෙස හැරිලා බලන කොට නම් යම් යම් බාධක නිසා අපි බලාපොරොත්තු වූ විදියට සිංහල සිනමාව ඉදිරියට යාම නම් ඇණ හිටලා තියෙන බව පේනවා. නමුත් අපේ රටෙත් හොඳ නිර්මාණ කරන්න ශක්තියක් තියෙන හොඳ තරුණ පිරිසක් ඉන්නවා. ඒවගේම අපි දැන් අලුත් යුගයකට අවතීර්ණ වෙලා ඉන්නේ. ලෝකයේ අලුත් දේ සමඟින් නවීන තාක්ෂණයට අපි යා යුතුයි. මොන හේතුවක් නිසාවත් මේ ගමන නවතින්න බැහැ.
|
||