වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 18 වැනිදා බ්‍රහස්පතින්දා




හොරු අරන් ගිය විජයගේ පින්තුරේ

හොරු අරන් ගිය විජයගේ පින්තුරේ

'සරසවිය' පුවත්පතට 'යටගිය දවස' නමින් ලියන මේ ලිපි පෙළ කියවීමෙන් මගේ පැරණි මිතුරන් මෙන්ම අලුත් රසිකයන් ද යහපත් ප්‍රතිචාර දැක්වීම නිසා මට විශාල ධෛර්යයක් මෙන්ම සතුටක් ඇති වෙයි. මා කවදත් දින පොතක මගේ මතක සටහන් ලියා නොතිබුණි. එබැවින් ඒ ඒ කාලයේ සිදු වූ ඇතැම් සිද්ධීන් ගිලිහී ඇත. ලිපි පෙළ කියවන මගේ පැරණි මිතුරෝ 'ඇයි රන්ජිත් අර සිද්ධිය නොලිව්වේ මතකද? මමත් හිටියා?' වැනි වදන් පවසා අනතුරුව 'ඔයා පොතක් ලියන දවසක ඕක මතක ඇතිව ලියන්න' යැයි ද ඉල්ලීම් කරති.

එබැවින් එසේ ගිලිහී ගිය ඇතැම් සිදුවීම් මම සිතින් ආවර්ජනය කරමින් ලිවීමට අදහස් කරමි. විජය කුමාරතුංග නම් මානව හිතවාදී කලාකරුවා මිය ගොස් පෙබරවාරි 16 වැනි දිනට වසර 28 ක් සපිරුණි. විජය මට මුලින්ම හමු වූයේ කවදාදැයි මම අද සිහිපත් කරමි. 1968 දී පමණ මරදානේ ජයන්ත වීරසේකර මාවතට හැරෙන වම් පැත්තේ බස් ස්ටෑන්ඩ් එක අසල තිබූ දෙමහල් ගොඩනැගිල්්ලේ උඩු මහලේ පිහිටි ප්‍රේමසිරි කේමදාස මාස්ටර්ගේ 'සංගීත මංජරියේ' අපූරු සිම්ෆනියක පුහුණුවීම් පැවැත්වෙමින් තිබුණි. මෙම ඔපෙරාවේ පිටපත රචනය කර තිබුණේ තිලකරත්න සිල්වා (තිලකරත්න කුරුවිට බණ්ඩාර) විසිනි. මේ වන විට තිලකරත්න සිල්වාගේ නමින් 'විචාරකයෝ' නම් කෙටිකතා සංග්‍රහයක් ද ප්‍රකාශයට පත් වී තිබුණි. මම එය කියවීමි. මගේ මතකය හරි නම් 'තිලක් අයියා' මා මුල්වරට හඳුනා ගත්තේ කේමදාස මාස්ටර්ගෙනි.

එදා 'සිතිජය' ඔපෙරාවේ ගීත ලියූ සුනිල් ආරියරත්න නම් තිලක් අයියාගේ සහෝදරයා එනම් නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයීය සිසුවා ද හඳුනා ගන්නට ලැබිණ. සුනිල් ලියූ වික්ටර් රත්නායක හා සනත් නන්දසිරි ගැයූ 'කටුු කොහොළින් පිරුණු ලොවින්' ගීතය ද පුහුණු කරනු මම බලා සිටියෙමි.

'සිතිජය' ඔපෙරාවේ පුහුණුවීම්වලට සමන් බොකලවෙල, සෝමා හෙට්ටිගේ, අතුල සෝමසිරි සමඟ නවක නළුවකු වූ කඩවසම් තරුණයකු ද සහභාගි වූහ.

'මේ විජය කුමාරතුංග' යයි තිලක් අයියා විජය හඳුන්වා දුන්නා මතකය.

'සිතිජයේ' ඇතැම් පුහුණුවීම් අවසන් වනතුරුම මා 'සංගීත මංජරියේ' ගත කළේ පුදුම සතුටකිනි. 'ප්ලේන් ටී' වලින් සප්පායම් වන අපි අනතුරුව බොරැල්ල පැත්තට යන බස් නැවතුම්පොළට යන්නෙමු. විජය, සුනිල්, තිලක් හා මා ද මෙසේ බොරැල්ලෙන් බැස තෝස කඩේකට ගොස් කෙසෙල් කොළයේ තෝස හා උළුඳු වඩේ කා විසිර යන්නෙමු. විජය කටාන බස් එක අල්ලා ගැනීමට මා සමඟ කොස්ගස් හන්දියට ගොස් 104 වත්තල බස් එකට ගොඩ වන අතර තිලක් හා සුනිල් 176 බස් එකෙන් නුගේගොඩට යති.

මා 'විසිතුර'ට ලියන බව කී විට විජය සතුටට පත්ව මෙසේ කීවේය.

'ආයිත් රන්ජිත් විසිතුරට යන්නේ කවදාද?'

'හෙට යනවා'

'මට පුංචි උදව්වක් කරන්න පුළුවන්ද?'

'සත්තකින්ම'

'ඔයා අඳුනනවනේ පින්තුර ගන්න ආරියපාල?'

'ටිකක් දන්නවා'

'මේක දින පොතක්. මම මේක බුවුන් පේපර් බෑග් එකක දාගෙන යන යන තැන ගෙනියනවා. ඔයා මේක මම දුන්නා කියලා එයාට දෙන්න පුළුවන්ද?' මට දෙන්න තියෙන්නේ එකයි ඔයාට . . .'

'විජය මම දින පොත් පාවිච්චි කරන්නේ නෑ'

විජය හා මම කොස්ගස් හන්දියෙන් බැස ගතිමු. ඔහු පරාක්‍රම පාරේ පඩි පෙළ බැස සුගතදාස ස්ටේඩියම් එක පැත්තට ගියේ එතැනින් මීගමුව පැත්තට යන බස් එකක් අල්ලා ගැනීමටය. තමා පෙනී සිටි පළමුවැනි පුවත්පත් කතාවේ 'විසිතුරේ' පින්තූර ගත්ත කේ. එම්. ටී. ආරියපාලට දින පොතක් දීමට විජය අමතක නොකළා පමණක් නොව ආරියපාල පසු කලෙක අධ්‍යක්ෂණය කළ 'එක හිත' චිත්‍රපටයේ ද නොමිලයේ රඟපෑවේය.

විජය හමු වී දෙදිනකට පමණ පසු අපි 'නිම්වළල්ල' චිත්‍රපටයේ දර්ශන කිහිපයක් එහි අධ්‍යක්ෂ රංජිත් ලාල්ගේ මිනුවන්ගොඩ පීල්ලවත්තේ නිවසේ රූගත කිරීම් කරමින් සිටියෙමු. ඒ තිස්ස විජේසුරේන්ද්‍ර, අමරසිරි කලංසූරිය, ස්වර්ණා මල්ලවාරච්චි පෙනී සිටි දර්ශනයකි. මේ දර්ශනය නිම වෙනවාත් සමඟම මෝටර් සයිකලයක් පැමිණ එළිමහනේ නතර විය. ඉන් පැමිණි විජය කුමාරතුංග ලස්සන සිනවකින් මුව සරසාගෙන අප සමඟ සතුටු සාමීචියේ යෙදුණි. ඒ වන විට විජය තම ප්‍රථම චිත්‍රපටය තිරගතවීමට ප්‍රථම චිත්‍රපට කිහිපයක රඟපෑමට තෝරාගෙන තිබුණි. ඔහු පැමිණියේ අපට සහාය දැක්වීමට විනා චරිතයක් ඉල්ලා සිටීමට නොවේ.

චිත්‍රපටයේ ඊළඟ දර්ශනයට අවශ්‍ය භාණ්ඩයක් ගෙන ඒමට මට දිවුලපිටියට යාමට අවශ්‍ය විය. ඒ වන විට නිෂ්පාදන අංශයේ වෑන් රිය පිටතට ගොස්ය. රන්ජිත් ලාල් මා සමඟ මේ ගැන කතා කරන තැනට විජය ආවේය.

'විජය, මේ අපේ ආට් ඩිරැක්ටර් රංජිත් කුමාර'

'අපොයි මම මෙයාව අඳුනනවා. මාස්ටර්ගේ සංගීත මංජරියේදී අපි හමු වුණේ'

අපේ අවශ්‍යතාව කී විට විජය මට මෙසේ කීවේය.

'රන්ජිත් ඕක සුළු දෙයක්නේ. මගේ මොටෝ සයිකලයෙන් අපි දිවුලපිටි යමු. මේ ළඟනේ. මට කී විජය ගමනට ලෑස්ති විය. වේලාව රාත්‍රී 7 ට පමණ ඇත.

මා පිටුපස හිඳුවා අධික වේගයෙන් ඔහු පියඹූ අතර මම ඔහු තරයේ දෑතින් බදා ගතිමි.

තමා රඟ නොපෑ කුමන චිත්‍රපටයකට වුව ද විජය මිතුරු නිෂ්පාදකවරුන්ට හැකි හැම උපකාරයක්ම කිරීමට සැදී පැහැදී සිටියේය.

මා 'සරසවිය' පුවත්පතට සම්බන්ධ වූ පසු මුල්වරට ඔහු ගැන විශේෂාංගයක් ලිවීමට අවස්ථාව ලැබිණ. ඒ 1970 වසරේ මුලය. ඒ වන විට විජය පදිංචිව සිටියේ නාරාහේන්පිට තලකොටුව උද්‍යානයේ තම මවගේ සහෝදරයා වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ නිවසේය. සති අන්තයේ හෝ ෂූටිං නැති විට සීදූවේ මහ ගෙදරට ගියේය. තලකොටුවේ සිටිය ද විජය නිතර ගැවසුණේ 'සිළුමිණ' පුවත්පතේ උප කර්තෘ පී. බී. ඉලංගසිංහගේ(දැනට ඉරිදා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන උප කර්තෘවරයා වූ ඔහු පළමුවැනි ජාතික ගීතය ලියූ ගම්පොළ පී. බී. ඉලංගසිංහ නොතාරිස් රාළහාමිගේ පුත්‍රයෙකි). චමරියේය. මේ චමරියට ආව ගිය නිත්‍ය සාමාජික පිරිසක් වූහ. ධර්මසේන පතිරාජ, වික්ටර් රත්නායක, සනත් නන්දසිරි, මිල්ටන් මල්ලවාරච්චි, විජය රාමනායක, සෝමසිරි දෙහිපිටිය, පියසේන අහංගම, ලයනල් ප්‍රනාන්දු, එම්. පී. ජයතිලක (බචෝ), ඩබ්ලිව්. ජයසිරි, දයා තෙන්නකෝන්, ප්‍රැන්සිස් සියඹලාපිටිය, විමල් කුමාර් ද කොස්තා, සිරිල් වික්‍රමගේ මට මතක් වන නම්ය.

සෙම් චමරියට යාබද නිවසේ පදිංචිව සිටියේ ප්‍රකට ගීත රචක කේ. ඩී. කේ. ධර්මවර්ධනය. පී. බී. ගේ චමරිය පිටුපස ඇළ අයිනේ සිමෙන්තියෙන් තැනූ ආසන සහිත සමර් හවුස් එකක් විය. ඇතැම් සඳ ඇති රැයක විජය, පී. බී. ප්‍රමුඛ සගයෝ එහි වාඩි වී මිල්ටන් මල්ලවාරච්චි එහි පැමිණ ගයන හින්දි ගීත අසමින් සප්පායම් වෙති. ඇතැම් එවැනි සුන්දර රාත්‍රියකට මමත්, කුලරත්න ආරියවංශත් සහභාගි වන්නේ පී. බී. අපගේ සමීපතම මිතුරෙකු නිසාය. වික්ටර්, සනත් ගයන ගීත රාවයෙන් එදා අප ලැබූ ආස්වාදය අපමණය. පැමිණ සිටින සගයන්ට ඇතැම් රාත්‍රියක 'නූඩ්ල්ස්' සංග්‍රහයක් පී. බී. අතින් සකස් වෙයි. එහි සුවඳ අවට පැතිර යන්නේ බඩගින්න ඉක්මන් කරමිනි.

අප මධුවිතින් සප්පායම් වන හැම විටම පාහේ පී. බී. ගේ විශේෂිත 'කට්ට සම්බෝලය' බයිට් එක සඳහා ලැබෙයි. පීරිසි දෙකක රතුලූණු සහ උම්බලකඩ කෑලිය. ඒවා සම්බෝලය වන්නේ කටේ බැවින් මෙය එකල ප්‍රකට වූයේ පී. බී. ගේ 'කටේ සම්බෝලය' කියාය.

'සරසවිය' පුවත්පතට ප්‍රකට නළු නිළියන්ගේ ජීවිත කතාවක් පින්තූර සමඟ පළ කිරීමට මා කළ යෝජනාවට ප්‍රධාන උප කර්තෘව සිටි ලක්ෂ්මන් වික්‍රමසිංහගෙන් අවසර ලැබිණ. එය පටන් ගත්තේ විජයගෙනි. 'මගේ ජීවිත පොතින්' එම විශේෂාංගයේ නමය. මේ ලිපිය ලිවීමට කල් ඇතිවාම විජයගෙන් දිනයක් ලබාගත් මම පී. බී.ගේ චමරිය වෙත ගියෙමි. විජයගේ ළමා කාලයේ හා පාසල් කාලයේ ඡායාරූප ගෙන එන ලෙස මම ඔහුට කලින්ම කියා තිබුණි.

'රන්ජිත් මුළු ගෙදරටම තිබුණේ මගේ පුංචි කාලේ පින්තූර දෙකයි. අම්මා ඕව මට දෙන්න කැමැති වුණේම නෑ. දන්නවනේ මගේ පින්තූර ගෙනියලා පත්තරවලින් ආපහු ලැබුණේ නැති නිසා අම්මා දැන් පින්තූර දෙන්නේ නෑ. මේක ඔයා ඇස් දෙක වගේ රැකගෙන ගෙනත් දෙන්න'

ඊළඟ සතියේ විජයගේ ලිපිය සරසවියේ මැද පිටු දෙක පුරාම පළ වී තිබුණේ විජයගේ පුංචි කාලේ පින්තූර දෙකත් සමඟය. බ්ලොක්ස් කැපීමෙන් පසු එම පින්තූර දෙකත් රැගෙන විජය හමුවීමට මම පී. බී. ගේ චමරියට ගියෙමි. පින්තූර දෙක චමරියේ එල්ලා තිබූ තම කමිසයේ සාක්කුවේ දැමූ විජය 'ආපු එක මොනවා හරි කාලම යමු' මට කීවේය. එදින පී. බී., බචෝ, කොස්තා හා දෙහිපිටිය එහි සිටියා යාන්තමට මතකය. දිදාලයකින් එකක් සප්පායම් වී තෝර මාළු කරිය ඉඳිආප්ප සමඟ කා ඔවුන්ගෙන් සමුගත්තේ නාරාහේන්පිට සිට කොස්ගස් හන්දියට යන අවසාන 178 බස් එක අල්ලා ගැනීමටය.

පසුවදා පී. බී. ලේක්හවුසියේදී මට මුණ ගැසී කී කතාවෙන් මම අන්ද මන්ද වීමි.

'මාර වැඩේ, ඊයේ රෑ අපේ චමරියේ තිබුණ සේරම කමිස හොරු අරං ගිමින්. ඔයා දන්නවනේ අපි රෑ නිදා ගන්නේ ජනෙල් ඇරගෙන කියලා. ජනේලයෙන් කොක්කක් දාල ගන්න ඇති. සමහර විට විජයගේ කමිස කියලා කමිස හතරම අරං ගිහින්. විජයගේ ෆෑන්ස්ලා ද දන්නේ නෑ. අපරාදේ අර විජයගේ පුංචි කාලේ පින්තූර දෙක'.

ඊළඟ සතියේ මම 'සරසවිය'ට මේ සිද්ධිය ලියමින් සොරුන්ගෙන් ඉල්ලා සිටියේ අර පින්තූර දෙකවත් තලකොටුව ලිපිනයනට එවන ලෙසය. එහෙත් ඒ හොරු පින්තුර නැවත එවීමට තරම් කාරුණික නොවූහ. තමාගේ රසිකයන් වූ හොරුන් ඒවා සිහිවටන ලෙස තබාගෙන ඇතැයි විජය සිනාසෙමින් කීවේ ආයෙත් කිසිම පින්තූරයක් අම්මාගෙන් නොලැබෙන බව පවසමිනි.

'කලා' සඟරාවේ සංස්කාරක ආරියරත්න කහවිට මඟින් හැඳිනගෙන සිටි නීල් රූපසිංහ, ලෙනින් මොරායස්, සයිමන් මරවනාගොඩ, ඇන්ටන් ග්‍රෙගරි, වාමදේවන් මගේ මිතුරන් වූ අතර ඔවුනට වැඩි වැඩියෙන් මට 'සරසවියෙන්' උපකාර කිරීමට හැකි විය. නීල් එකල ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු විය. 'දැන් මතකද' චිත්‍රපටය සාර්ථකව තිරගත කිරීමෙන් පසු ඔහු 'හතර දෙනාම සූරයෝ' චිත්‍රපටය ආරම්භ කොට තිබුණි. නීල් මට වඩාත් සමීපවීමට තවත් හේතුවක් තිබුණි. ඔහුගේ නැඟණිය චාන්දනීත්, මගේ නංගී ප්‍රියන්ලතාත් බෞද්ධ කාන්තා විද්‍යාලයේ එකම පන්තියේ ඉගෙන ගත් මිතුරියන්ය. ඇතැම් දිනෙක නීල්ගේ කාර් එකකින් චාන්දනී නංගීව ගෙදර ඇරාලවාගෙන යති.

දිනක් විජය මට අහම්බෙන් මුණ ගැසුණි.

'රන්ජිත් කොහේද යන්නේ . . . වැඩක් තියෙනවාද?'

'එහෙමටම වැඩක් නෑ'

'එහෙනං මාත් එක්ක ගමනක් යමුද? නීල් අද රට යනවා. යමුද? එයාර් පෝර්ට් එකට ගිහින් විෂ් කරන්න'

එකල කෙනකු රට යනවා යනු දුර්ලභ දෙයකි.

'යමු. මමත් කැමැතියි නීල්ට විෂ් කරන්න' මම කීවෙමි.

විජයගේ මෝටර් සයිකලයේ නැඟුණු අපි දෙදෙනා වේගයෙන් කටුනායක ගුවන් තොටුපළ බලා පියාඹුවෙමු. ජාඇල හරියේදී මෝටර් බයිසිකලයේ පැච් එකක් ගියේ නොසිතූ ලෙසය. අපි බයිසිකලයෙන් බැස 'දැන් මොකද කරන්නේ' යයි සිතමින් සිටියෙමු. විජය දුටු තරුණයන් පිරිසක් ඔහු වට කර ගත්හ. විජයගේ ජනප්‍රියත්වය ඉහළටම තිබූ වකවානුවකි මේ.

'විජය අයියා හරි වැඩේ නේද වුණේ? මේ කොහේ යන ගමන්ද? සීදූවට යන ගමන්ද?'

'නෑ මල්ලී, මගේ හොඳම යාළුවෙක් රට යනවා. එයාට සුබ පතන්න යන ගමන්. දැන් මේක හදාගෙන යන්න ගියොත් ප්ලේන් එක ගිහින් ඇති'

තරුණයෝ තිදෙනෙක් අපෙන් මෑත් වී මොනවදෝ කතා කරන්නට වූහ.

'විජේ අයියා අපි මෙහෙම කරමු. මේ මල්ලිට මේ වර්ගයේම බයිසිකලයක් තියෙනවා. විජේ අයියා යාළුවත් එක්ක ඒකෙන් යන්න. අපි මේක හදලා තියන්නම්. අපේ ගරාජ් එකක් තියෙනවා. විජේ අයියා අපේ ප්‍රියතම නළුවා' එක තරුණයෙක් සිනාසෙමින් කීවේය.

'වෙලාවේ හැටියට ලොකු උදව්වක් මල්ලී'

තරුණයා මඳ දුරක් ගොස් නිවසකින් තම මෝටර් සයිකලය රැගෙන ආවේ තවත් කොලු බුරුත්තක් සමඟය.

විජය ජයග්‍රාහී ලෙස මා සමඟ වේගයෙන් කටුනායක බලා පිටත් විය. අප ගුවන් තොටුපළට යන විට නීල් අහස් යානයට නැඟීමට ගොස්ය.

අපි ප්‍රමාදය ගැන පසුතැවිලි වෙමින් වටපිට බැලුවෙමු.

'විජේ මොකක්ද ප්‍රශ්නෙ?'

අපි හැරි බැලුවෙමු. ලකී වානගුරු විජයගේ අත අල්ලා ගත්තේය. චිත්‍රපට නිළි මානෙල් වානගුරුගේ සොහොයුරා වූ ලකී ගුවන් තොටුපලේ එකල සේවය කළේය. ඔහු චිත්‍රපට නළුවෙක් ද වෙයි. කාරණය විජය පැහැදිලි කළ පසු ලකී ඇතුළට දිව ගියේය. ඔහු පැමිණියේ නීල් සමඟය. අපි නීල්ට සුබ පැතුවෙමු. ලකී එවලේ කළ උදව්වට විජය ඔහුට නොසෑහෙන්න ස්තුති කළේය.

අපි නැවත ජාඇළට එන විට තරුණයෝ විජය පිළිගැනීමට බලා සිටියේ පෙරහැරකිනි. මේ අතර සිටි තරුණියෝ අත සමරු පොත්ය.

'ඔන්න විජේ අයියා අපි බයිසිකලය හැදුවා'

'මල්ලී මේකේ අලාභය?'

'පිස්සුද විජේ අයියා. අපිට ඔයාට උදව්වක් කරන්න හම්බ වෙච්ච එකම සතුටක්. අපි මොනව හරි කාල බීලා ඉමුද? දැන් මහන්සිත් ඇති . . .'

'බොහොම ස්තූතියි, මේ කරපු උදව්වම ඇති'

තරුණියන් පිළිගැන් වූ කුරුම්බාවලින් අපි බඩකට පුරවා ගෙන ඔවුන්ගෙන් සමු ගත්තෙමු.

'රන්ජිත් වත්තලට ඇවිත් උපාලිව නොබලා ගියොත් දොස් අහන්න වෙයි' විජය වත්තල හන්දියේදී ඇලකන්ද පාරට බයිසිකලය හැරෙව්වේය.

උපාලී කීවේ නීල් රූපසිංහගේ වැඩිමහල් සොහොයුරාය. පිටරට රෙදිපිලිවලට වාරණයක් පනවා තිබූ කාලයකි ඒ.

'විජේ මට ලස්සන කමිස වගයකුයි, කලිසන් රෙදි ටිකකුයි ලැබුණා. ඔයාට ඕනෑ ඒවා තෝරා ගන්න' උපාලි අප පිළිගනිමින් ටික වේලාවකට පසු කිවේය.

'මම මේ කමිස රෙද්දයි, කලිසම් රෙද්දයි තෝරා ගන්නම්' විජය කියා මා දෙස බැලුවේය.

'රන්ජිත් අපේ පවුලේ යාළුවෙක්. මල්ලි ඔයත් තෝරා ගන්න' උපාලි කීවේය.

මම තෝරා ගත්තේ එක කලිසන් රෙද්දක් පමණි.

විජය හා මා අතර සම්බන්ධය ඔහු මිය යන තෙක්ම තිබුණි. ඒ අත්දැකීම් ලොකු පොතක් ලියා නිම කළ යුතුය. එය අනාගතයට භාර දෙයකි.