|
තරුණ සිනමාකරුවනට විවෘත අභියෝගයක්
ලාංකික සිනමාව අරබයා පිදෙන නවතම සිනමා සම්මානය පිළිබඳ මූලික හැඳින්වීමක් පසුගිය සතියේ 'සරසවිය' පුවත්පතේ පළ විය. එම සිනමා සම්මානය 'සරසවිය' සිනමා සම්මාන ගොන්නට එකතුවන නවතම සිනමා සම්මානයයි. එම සම්මානය මෙතෙක් 'සරසවිය' සිනමා සම්මාන ගොන්නේ සම්ප්‍රදායට එහා යන්නකි. වසර 53 ක් දීර්ඝ ඉතිහාසයක් හිමි ශ්‍රී ලාංකික මහා සිනමා සම්මාන උලෙළ වූ 'සරසවිය' මෙතුවක් සිය සිනමා සම්මාන පුදන ලද්දේ තිරගත කළ චිත්‍රපට සඳහාය. අදාළ වර්ෂයේ ජනවාරි සිට දෙසැම්බරය දක්වා කාලය ඇතුළත ලංකාවේ තිරගත කළ සිංහල චිත්‍රපට සඳහා එලෙස සම්මාන පිරිනැමිණ. එහෙත් මෙවර එම සම්මානවලට අමතරව හඳුන්වා දෙන නවතම සිනමා සම්මානය පිරිනමනු ලබනුයේ මෙතුවක් තිරගත නොකළ චිත්‍රපටයක් උදෙසාය. එමෙන්ම එය අධ්යක්ෂවරයකුගේ මුල්ම සිනමා කෘතිය විය යුතුය. ආරම්භයක් ලෙස දැනට ඒ සඳහා තෝරා ගැනීමට නියමිතව ඇත්තේ 2015 වසරේ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය මඟින් අනුමැතිය ලැබූ චිත්‍රපටයන්ය. මෙම සිනමා සම්මානය පිරිනැමෙනුයේ ලාංකික සැබෑ සිනමාවේ පීතෘවරයාණන් වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නමිනි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් යනු මෙරට නව සිනමාවකට මූලාරම්භය සැපයූ සිනමාවේදියාණන්ය. ඔහු සිය මුල්ම සිනමා සම්මානය දිනා ගත්තේ සිය ප්‍රථම කෙටි චිත්‍රපටය වූ සොලිලොකියු සඳහාය. එමෙන්ම ලාංකික සිනමා ඉතිහාසයේ සිය මුල්ම සිනමා කෘතිය ස්වීය අනන්‍යතාව ගොඩ නැං වූ සිනමාකරුවා වනුයේ ද ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. 1947 දී ආරම්භ කරන ලද අපගේ මුල්ම කතානාද චිත්‍රපටයේ සිට අධ්යක්ෂවරයකුගේ ස්වීය අනන්‍යතාව මුල්ම කෘතියෙන් එළිදැක්වීමට පුරා දස වසක් ගතවිණ. ඒ 1956 වසරේ රේඛාව වෘත්තාන්ත චිත්‍රපටය එළි දැක්වීම සමඟය. එමෙන්ම මෙරට ජාත්‍යන්තර සිනමා උලෙළකට සහභාගි වූ මුල්ම සිනමා කෘතිය ද රේඛාව විය. ඒ ලොව විශිෂ්ටතම උලෙළ වන කාන් උලෙළෙටය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නිර්මාණය කරන ලද ගම්පෙරළිය ලාංකික සිනමාවේ පමණක් නොව 'සරසවිය' සිනමා උලෙළේ ද අසමසම වාර්තාවක් තැබුවේය. එය මුල්ම 'සරසවිය' සිනමා උලෙළේදී හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනා ගත්තේය. ගම්පෙරළිය මුල්ම උලෙළේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනා ගැනීම හරහා 'සරසවිය' සම්මානය ඉහළ ප්රමිතිකරණයකට ද ලක් වූයේය. එම සම්මානය දිනා ගැනීම අත්‍යාවශයෙන්ම අගය කිරීමක්ය යන මිම්ම ඇති වූයේ ඒ සමඟය. මුල්ම 'සරසවිය' සම්මාන උලෙළ පවත්වන ලද්දේ 1964 මැයි 10 වැනි දිනය. එයින් මාස කිහිපයක් ගිය තැන එනම් 1965 ජනවාරි 21 වැනි දින නවදිල්ලියේ පැවති තුන්වැනි ඉන්දියානු අන්තර් ජාතික සිනමා උලෙළේදී ගම්පෙරළිය හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්රවීමෙන් 'සරසවිය' සම්මානයේ ප්‍රමිතිය වඩා තහවුරු විය. ගම්පෙරළිය අප ලද මුල්ම ජාත්‍යන්තර ජයග්‍රහණය ද විය. ලාංකික සිනමාවේ ඊළඟ පරම්පරාවන්ට මඟපෑදුණේ ද ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් එදා කළ අරගලය සමඟය. දකුණු ඉන්දියානු සිනමා මඩ ගොහොරුවේ හැදුණු ලාංකික සිනමාව එයින් නිර්මාණාත්මකව හා ආලේපවලින් මුදවා හැර රූපීය විශ්ව භාෂාව එහි ඉස්මතු කළ පසු එම මඟ අනුදත් ඊළඟ පරම්පරාවක් බිහි විණ. ලෝකයේ සෑම රටකම සිනමාව වෙනස් කරන මුල් පරම්පරාව හා ඊළඟ පරම්පරාව අතර අරගල ඇතිවීම ස්වභාවික සිද්ධියකි. එහෙත් පුදුමය නම් අපේ සිනමාවේ ඊළඟ පරම්පරාවන් සියල්ල ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගුරුතැන්හි ලා සැලකීමය. එක් එක් සිනමාකරුවන් සිය අනන්‍යතාවයන් ගොඩ නැංවුව ද ඔවුන් සියල්ලම දේශීය සිනමාවේ පීතෘවරයා ලෙස සලකන ලද්දේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. එමෙන්ම මේ සෑම පරම්පරාවක් වෙනුවෙන්ම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පෙනී සිටියේ පීතෘ දයාවෙන් යුතුවය. මෙවර 'සරසවිය' හඳුන්වා දෙන නවතම සිනමා සම්මානය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නමින් නම් කරන්නට 'සරසවිය' තීරණය කළේ එකී ගුරු ගෞරවය ඇතුවය. වර්තමාන තරුණ පරම්පරාව සිනමාකරණයෙහි දක්වන ප්‍රතිභාව මවිත කරවන සුළු එකක් බැව් අපගේ වැටහීමයි. පසුගිය වකවානුවේ සිනමා කර්මාන්තය ලොව පුරා තරුණයන් අත පෑන් පැන්සල්් ගෙන ලිපි ලියන මට්ටමට පරිවර්තනය විය. එබැවින් සිනමා කර්මාන්තය සඳහා තම නැණ පමණින් අවතීර්ණ වීමට වෙර දැරුවෝ බොහොමයකි. මේ බහුතරය අතර සිනමා රූපයේ ශාක්‍යතා මෙන්ම, ලෝක සිනමාවේ නූතන පරිවර්තනයන් හඳුනාගත් තරුණ තරුණියන් රාශියක් සිටිති. අවාසනාව නම් මේ ඇතැමුන් පිළිබඳ ජාත්‍යන්තර පවා අවධානය දිනා ගත්ත ද මෙරට දී ඔවුන් වෙත නිසි ගෞරවය දිනා නොගැනීමයි. සිනමාහලක හතර මායිමකටවත් වැද්දා ගත නොගත යුතු නිසි ප්‍රමිතියකින් පවා නොසෑදූ චිත්‍රපටවලට ලැබෙන ඉඩකඩ මෙරට සිනමා තරුණ පරම්පරාවට නොලැබීම අවාසනාවකි. පසුගිය වසර ගණනාව ඇතුළත මෙරට තිරගත වූ බොහෝ චිත්‍රපට නරඹන්නෙකුට ලාංකික සිනමාවේ අර්බුදය කවරක්දැයි වටහා ගත හැක. අතින් ගෙවා හෝ විශ්‍රාම යැවිය යුතු ඇතැමුන් (මේ ගොන්නේ අලුත් සිනමාකරුවන් කිහිප දෙනෙකු ද සිටී) නූතන තාක්ෂණයේ බල මහිමයෙන් මොකක් හෝ මඟුලක් අටවා ශාලාවල තිරගත කරවති. ඒ දකින ප්‍රේක්ෂකයන් සිංහල චිත්‍රපටයක් ආ සැනින් බියෙන් වෙව්ලති. කෙතරම් විශිෂ්ට චිත්‍රපට නිර්මාණය කළ ද තිරගත කරවීමට වරම් නොලද තරුණ සිනමාකරුවන්ගේ කිරිජ්ජපල්ල අත ගා බලන්නට තැත් කරන ප්‍රදර්ශකයන් හා බලධාරීන් ඔවුන්ගේ ප්‍රතිභාව ලත් තැනම ලොප් කරති. නූතන පරම්පරාවේ සිනමාව පිළිබඳ 'සරසවිය' පසුගිය කාලය මුළුල්ලේම බලා සිටියේ විවෘත මනසකිනි. ඔවුන්ගේ නිර්මාණ පිළිගත් ජාත්‍යන්තර සිනමා උත්සව සඳහා එක් වද්දී පවා ඒ දෙස විශේෂ අවධානයක් යොමු කළේ ද එබැවිනි. සම්මාන අතර සැබෑ සම්මාන කවරෙක් ද යන්න සොයා බැලීම ද එහිම කොටසකි. මෙරටදී අවධානයට පාත්‍ර වන තරුණ සිනමාකරුවන්ට නිසි තැන නොලැබෙනුයේ කවර වරදින්ද? මේ බොහෝ දෙනාගේ චිත්‍රපට සඳහා ප්‍රදර්ශනයේ පවා ඇති කරලනුයේ දැවැන්ත ගැටලුවකි. ඔවුන්ට නිසි අනාගතයක් හා මාර්ගයක් නොසාදන්නේ නම් මෙරට සිනමාවේ ඉදිරි අනාගතය ගැන කතා කිරීමෙන් පලක් වන්නේ නැත. ලෝකයේ බොහෝ රටවල තරුණ සිනමාකරුවන් අරබයා විවිධ ව්‍යාපෘති ගොඩ නැඟුනද ලාංකික සිනමාකරුවන් අරබයා එබඳු ව්‍යාපෘති පේන තෙක් මානයක තැනෙන්නේ නැත. ප්‍රතිභාපූර්ණ සිනමාකරුවකු ලෙස මෑත භාගයේ කැපී පෙනුණ ඉන්දික ෆර්ඩිනැන්ඩස්ගේ හෝ ගානා පොකුණ මෙරටදී තිරගත වනුයේ අප එය නරඹා වසර එකහමාරකට පසුවය. කොටින්ම චිත්‍රපටයේ පූර්ව ප්‍රදර්ශක පටයේ සඳහන් වනුයේ ද එය අගෝස්තු මාසයේ තිර ගත වන වගයි. චිත්‍රපටය තිරගත වනුයේ තවත් මාස තුනක් ඉක්ම වූ පසුය. මේ කාලය ඇතුළත මෙලෝ උපන් පුතෙකුට බලා සිටිය නොහැකි චිත්‍රපට කීයක් චිත්‍රපට නමින් තිරයට ආවාද? එම අවස්ථාවන් නව පරපුරට ලැබුණා නම් එය අපේ සිනමාවේ උන්නතිය සඳහා හොඳ අනාගත ආයෝජනයක් වන්නේය. වර්තමාන තරුණ පරපුරේ සිනමාකරුවන්ට ඇති වූ ගැටලු 70 - 90 දශකවලදී බිහි වූ තරුණ සිනමාකරුවන්ට බලපෑවේ නැත. එබැවින් ධර්මසිරි බණ්ඩාරනායක, ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර ආදීන් කිසිදු ලෙඩක් දුකක් කරදරයකින් තොරවම සිය චිත්‍රපට බිහි කළහ. ගත වූ දශකය ඇතුළත චිත්‍රපටයක් තැනීම කොයි හැටි වෙතත් තිරගත කරවා ගත හැකි වූයේ බලපුළුවන්කාරකමක් ඇත්නම් පමණි. වෙනස් කළ යුතව ඇත්තේ එයයි. 'සරසවිය' සිය නවතම සිනමා සම්මානය හරහා උත්සාහ කරනුයේ මෙකී අලුත් පරම්පරාවට පෙරමඟ ලකුණක් වන්නටය. අඳුරට සාප කරනවාට වඩා එක් ඉටි පන්දමක් හෝ දල්වන්නට උත්සාහ කිරීම යෙහෙකි. 'සරසවිය' සම්මානයෙන් ආශිර්වාදය ලත් පිරිස එමටය. ඒ සඳහා තරුණ පරම්පරාවට ආරාධනා කරනුයේ ද එබැවිනි. එම සම්මානය තෝරා ගනු ලබනුයේ ද අලුත් පරම්පරාවේ ගෞරවාදරය දැරූ පිරිසක් අතින් වීම විශේෂයකි. ඇත්ත නම් ඊළඟ පරම්පරාවේ සිනමාකරුවන් අතර වඩා හොඳ සිනමාකරුවකු තෝරා ගැනීම පහසු කරුණක් නොවේ. එබැවින් මෙතැන් පටන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානයේ උරුමය තරුණ සිනමාකරුවන්ටය. මේ මහා සිනමාකරුවාගේ නමින් පිදෙන සම්මානයේ මුල්ම හිමිකරු කවුදැයි සොයන්නට දැනටමත් සිනමා කර්මාන්තය උණුසුම්ව ඇත්තේය. |