|
මා නැති දිනෙක මගේ ගී මුනුපුරා බලා ගනීවිඇන්ජලින් ගුණතිලක කියයි
රෝස පැහැයෙන් දිලෙන ඝණ්ටාර මල් පඳුරේ මල් මදනල වැදී සෙලවෙන්නේ මට අත වනන්නාක් මෙනි. වෙනදාටත් වඩා සොඳුරු වූ ගෙමිදුල වසා පැතිර ගත් තුරු කිහිපයේ සෙවණ මේ නිවැසියන්ගේ මෙන්ම එහි පිවිසෙන්නන්ගේ ද ගතේ විඩාව නිවා සනසන්නේ ඉබේම ය. ගෙමිදුලට පිවිසෙන විට ම දකුණු පස තිබෙන යෝධ ජම්බු ගස කපා දැමීම නිසා එහි නැවතත් දලු ලා වැඩෙන අතුඉති මිහිකත සිප ගන්නට මෙන් බිමට නැමී තිබේ. ගෙමිදුලේ සීමාව සලකුණු කරන වම්පස තාප්පය දිගට වවා ඇති විවිධ වර්ගයේ තුරු කියා පාන්නේ ඔබ ආදරය කරන ගීත කෝකිලාවිය වන ඇන්ජලින් ගුණතිලකගේ දෑතේ අත්ගුණ යයි. මෙවර සුපහන් නිවහනෙන් අප පිවිසියේ සුවදුක් සොයන අදහසෙන් ඇන්ජලින්ගේ නිවහන වෙත ය. “එන්න.... එන්න.......” සුපුරුදු ලෙස ම ගේට්ටුව විවෘත කරමින් රිදීසීනු හඬ පරදවමින් ඇය අප ඇමතුවා ය. “වෙනදාටත් වඩා මිදුල ලස්සනයි.” අප හමුවට පැමිණෙන්නට පෙර ම මගේ සිතේ රජ කළ සිතුවිල්ල මම වචනවලට පෙරළීමි. යළිත් මට ඇසුණේ රිදී සීනු හඬ පරදන ඇගේ සිනහවයි. “ඔයා දන්නව නේ කොහොමත් මම හැමදාම කැමැති මිදුල වගේම නිවෙසත් ලස්සනට තියා ගන්න කියලා. ඉස්සර වගේ දැන් මට වත්ත තනියම නම් ශුද්ධ පවිත්‍ර කරන්න බැහැ. ඒ නිසා පසුගිය දවස්වල එහෙම කෙනෙකුට එන්න කියලා මම ශුද්ධ පවිත්‍ර කරලා දැම්මා. ඒත් වල්පැළ හැදුණොත් නම් ඒ කිසිම පැළයකට මගේ මල් පැළ අතර ඉඩක් දෙන්න මම සූදානම් නැහැ. මගේ වැඩේ නිතරම ඒවා පැළ වුණොත් ගලවා දමන එකයි.” ප්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලින් ගුණතිලක පවසන්නී ය. “ඉතිං.... ඉතිං......” දිගු කතාබහකට මුල පුරන අදහසින් මම ඇගෙන් විමසීමි. “මේ දවස්වල මම බොහොම විවේකයෙන් යුතුව නිවෙසට වී කාලය ගත කරනවා. ඒ අතර මොකක් හෝ උත්සවයකට ආරාධනා ලැබුණොත් සහභාගි වෙනවා. හැමදාම ඉරිදාට පල්ලියට ගිහින් දෙවියන් වහන්සේගෙන් ආශිර්වාදය ලබා ගන්නවා. ” ගෙමිදුල මෙන්ම නිවෙස ඇතුළත ද පිරිසිදුවට තබා ගැනීමට ඇන්ජලින් බොහෝ වෙහෙස මහන්සි වන්නී ය. ඒ කටයුතුවලට අත දෙන්නේ ඇගේ ආදරණීය සැමියා ලෙස්ලි මහින්ද ය. ඉදිකටුවයි, නූලයි මෙන් කොහේ ගියත් එදා පටන් එක්ව වෙසෙන සුන්දර යුවළක වන ඔවුහු බොහොම ආදරණීයව ජීවිතය ගෙවති. “එහෙත් පසුගිය කාලයේ ඔබට, ඔහුගෙන් තරමක් වෙන්ව ඉන්නට සිදුවුණා” “ඒ අපේ මහත්තයට කළ හෘද සැත්කම නිසා. එයාගේ හෘදයේ නාල කිහිපයක්ම අවහිර වෙලා තිබුණු නිසා නවලෝක රෝහලේ දි සැත්කමකට සහභාගි වෙන්න ඔහුට සිදුවුණා. ඒ කාලයේ මමත් සිටියේ ඔහුගේ ළඟමයි. ඒ වෙනතුරු කිසිම දවසක මම තනියම ගෙදරට වෙලා ඉඳලා නැහැ. සැත්කම කළාට පස්සේ නම් වෛද්‍යවරු ඔහු ළඟ ඉන්න කිසිම කෙනෙකුට ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා දැඩි සත්කාර ඒකකයේ සිටිය දවස් කිහිපයේ මම හිටියේ නිවෙසට වෙලා. ඒ දවස් ටිකේ නවසීලන්තයේ ඉන්න මගේ ලොකුදුව අපි ගැන හිතලම ලංකාවට ආවා. ලොකු දුවත් එක්ක ඇගේ පවුලේ හැමෝම ආවා. මගේ මිනිබිරිය කල්ශිකා ඇන්ජලිනාත් ආවා. ඇගේ ආදරය මැද ගෙවුණු කාලය සිතේ තිබුණු සෝ තැවුල් තරමක් හෝ දුරු කර ගන්නට ඉඩ හසර පෑදුවා. ඈ බැලේ නර්තනය පුහුණු වන ශිල්පිනියක් නිසා ඒ දේවල් ගැන කියමින්, කරමින් තමයි අප දෙදෙනා කාලය ගත කළේ. ඈ සිටි නිසා ලෙස්ලි නැති අඩුව මට ඒ තරම්ම දැනුණේ නැහැ. ලෙස්ලිව බලන්න යන කටයුතුත් දුවලා දෙන්නාම එකතුවෙලා කළ නිසා මට ඒ තරම් මහන්සි වෙන්න ලැබුණේ නැහැ.” මේ වනවිට ලෙස්ලි සිටින්නේ සුවදායක තත්ත්වයක ය. තව ටික කලක් විවේකීව සිටින්නට ඔහුට සිදුවෙයි. “නිවෙසේ කටයුතු සියල්ලම කෙරෙන්නේ තවමත් ඔබගේ දෑතින්මයි?” “නැත්නම් මේ නිවෙසේ කටයුතු කෙරෙන්නේ මගේ අත්දෙකෙන්ම තමයි. නිවෙසේ උයන පිහන කටයුතුවලට වුණත් කිසිම කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි දෙන්නට අවශ්‍ය කෑම හදන්නේ මම තමයි. සමහර වෙලාවට අපි දෙන්න වෙනසකටත් එක්ක එළියෙන් කෑම කන අවස්ථා තිබෙනවා. මේ අතර උදව් අවශ්‍ය කෙනෙකු හිටියොත් අපට පුළුවන් විදියට ඒ කෙනාට උදව් කරන්නත් අපි අමතක කරන්නේ නැහැ.” සෑමදිනෙක ම අනෙක් අයට උදව් කරන්නට කැමැති ඇන්ජලින් ගුණතිලකගේ මේ පුරුද්ද තවමත් එසේම ය. මේ කතාබහේ ආ ගිය තොරතුරු අතර දී පසුගිය කාලයේ ඇගේ ගීත කිහිපයක් වෙනස් කළ අය පිළිබඳ ද පවසන්නට ඇය අමතක නොකළා ය. “අනෙක් අයට මා නිතරම කියන්නේ අනුන්ගේ ගීත ගයන්නේ නැතිව තමන්ගේ ගීත පමණක් ගයන්න කියලයි. මගේ ගීත ටික එහෙමම තියෙන්න දෙන්න කියලයි. මම නැති දවසක මගේ මුනුපුරා ඉමාල් ජූඩ් ඒ නිර්මාණ ගැන බලා ගනීවි.” ඇන්ජලින් පවසන්නේ ඇගේ ගීතවලට විවිධ වෙනස්කම් කරමින් ගයන අයට නෝක්කාඩුවක් නඟමිනි. ඈ සියලු නිර්මාණ අනාගතයේ දී භාර දී තිබෙන්නේ ඇගේ මුනුපුරාට ය. ඔහු ද සංගීතයට බෙහෙවින් ආදරය කරන්නෙකි. මේ වනවිටත් ඔහු සංගීතයෙන් විවිධ නිර්මාණවලට දායක වී ඇත. ඇයගේ අනාගත බලාපොරොත්තුව ඔහු ය. “පසුගිය කාලයේ ඔබ කළ ප්‍රසංගයට ලැබුණු ප්‍රතිචාර කොහොම ද?” “ඒ ප්‍රසංගයේදි ලැබුණු ප්‍රතිචාර බොහොමයි. ඒ විදියට රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරයි අපට අලුත් ජීවයක් ලබා දෙන්නේ. එදා පටන් ම අද දක්වාමත් රසිකයන්ගේ ඒ ලැබෙන ආදරයේ කිසිම අඩුවක් මා දකින්නේ නැහැ. ලොකු, පොඩි සියලුදෙනාම ළඟටම ඇවිත් ආදරයෙන් කරන ඒ කතාව ඇත්තටම බොහොම හෘදයාංගමයි. ” ඇන්ජලින් ඒ සිහිපත් කරන්නේ ඈ ලබන්නා වූ රසිකයන්ගේ ආදරය පිළිබඳයි. එදා මෙන්ම සුන්දර ලෙස ගී ගයන ගීත කෝකිලාවක වන ඇය පසුගියදා ද අලුත් ගීත කිහිපයක් ම ගැයුවා ය. “පසුගිය කාලයේ කලින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඇතුළේ තිබුණු ප්‍රසංගයකට මට සහභාගි වුණා. ඒ ප්‍රසංගයේ දි එහි සිටිය මට ආදරය කරන තරුණ තරුණියෝ හැමෝම එකතුවෙලා ආරාධනාවක් කළා. ඒ දැන් කටහඬෙන් අපට අහන්නට ගීත තැටියක් කරන්න කියලා. ඒ අනුව මා අලුත් ගීත කිහිපයක් ම කළා. ඒ ගීත කිහිපයම විවිධ චැනල්වලට විකාශය කරන්න මා ලබා දුන්නා. ” මේ ගීත අතරට ඇය ගැයූ බොදු බැති ගීයක් ද ඇතුළත් ය. එය පසුගිය දිනවල විකාශය වූයේ ජාතික රූපවාහිනියේ විකාශය වූයේ රූප රචනාවක් ද සමඟිනි. ඒ රූප රචනයේ ඇන්ජලින් පෙනී නොසිටියේ ඈම එක්තරා ප්රතිපත්තියක රැඳී සිටින බැවිනි.
‘බුදුන් දෙසූ සේ සසරේ අපගේ ආරාධනයෙන් ඇය ඒ බුදුබැති ගීතය මධුර ලෙස ගයන්නී ය. ඒ අතරතුර අපගේ කතාබහ අතරට පැමිණයේ ලෙස්ලි ය. මේ දෙදෙනාට නිරෝගීමත් හෙටක් පතමින් අපි ඒ සොඳුරු කැදැල්ලෙන් සමුගතිමු.
|