|
||||
අද ජය ගත යුතු අභියෝගය ආකර්ෂණීය චිත්‍රපට තැනීමයි
උදයකාන්ත වර්ණසූරියගෙන් දිනේෂ් ප්‍රියසාද්ට පිළිතුරක්
දිනේෂ් ප්‍රියසාද් යනු සිනමාව ගැන ඇසූ පිරූ අයෙකු මෙන්ම ලාංකේය සිනමාව පිළිබඳ ප්‍රේමයෙන්, අවංකව, භක්තිමක් ලෙස කටයුතු කරන සිනමා සහෘදයෙකු වශයෙන් පළමුවෙන් හඳුන්වනු කැමැත්තෙමි. සිනමාව හා ඊට අවශේෂ කරුණු පිළිබඳව ඔහු වරින් වර පුවත්පත්වලට ලියන ලිපි මඟින් ද ඒ බව වඩාත් සනාථ වෙයි. සිනමාව පිළිබඳ ඔහුගේ කාර්මික දැනුමෙන් හා ඇසුරෙන් ද මගේ සිනමා ජීවිතය ලැබූ පෝෂණය ද ඉමහත්ය. සිනමා නිර්මාණකරුවෙකු මෙන්ම සොඳුරු හිතවතෙකු වශයෙන් ද ඔහු අගය කරන්නට මම නොපැකිළෙමි. කලක සිට සරසවිය පුවත්පත ඔස්සේ සිංහල සිනමාව පිළිබඳ මතවාද ඇතුළත් ඔහුගේ ලිපි පෙළ නොකඩවා කියැ වූ මා සංවාදය සඳහා විවෘත කළ ' බජට් එකට හරි යන්නට දිගින් අඩු වූ අපේ චිත්‍රපට' ගැන ලිපිය අරභයා මගේ අදහස් කිහිපයකුත් ලියා එවන්නට මා හට සිත් විය. දිනේෂ් අද දවසේ සිංහල සිනමාවේ අර්බුදයක් ගැන කතා කරන්නේ මීට වසර ගණනාවකට පෙර මෙරට සිනමාවේ තිබූ ආනන්ද ශ්‍රීය අතීතයක් ගැන පුන පුනා මතක් කරමිනි. එහෙත් නව නිපැයුම් හා විවිධ හැලහැප්පීම් මත සුන්දර අතීතය සුනු විසුණු වී ගොස් වෙනස්ම ආකාරයකට වර්තමාන සිනමාව අද අප ඉදිරියේ ගොඩ නැඟී ඇත. බොහෝ විට එය යහපත් මෙන්ම අයහපත් ද විය හැකියි. අයහපත් වූ විට අපේ සිත් රිදුම් දෙයි. එහෙත් අකැමැත්තෙක් වුවත් පවතින යථාර්ථයට මුහුණදීමට අපට සිදු වෙයි. අපගේ සිනමාව ආරම්භ වනුයේ දකුණු ඉන්දියාවෙනි. ඉන්දියානු ආභාසය නිසා සිංහල චිත්‍රපටවලට විචාරකයින්ගෙන් ලැබුණේ අප්‍රමාණ ගැරහීමකි. එදා සිංහල සිනමාව හසුරුවනු ලද්දේ ධනපති සමාගම් අතළොස්සක් විසිනි. සිනමාකරුවන් ඔවුන්ගෙන් ලැබූ කෙනෙහිලිකම්, දුක් ගැහැට ඒ කාලයේ සිනමාවේ තිබූ ලොකුම අර්බුදය විය. පසු කලෙක ඡන්ද පොරොන්දුවක් ඉටු කිරීමක් ලෙසින් ලැබූ චිත්‍රපට සංස්ථාව ඔස්සේ කිසියම් කාලයකට ඒ කෙනෙහෙලිකම් යටපත් විය. ඒ සමඟම විදේශීය චිත්‍රපට මෙරටට ගෙන්වීම ඇණ හිටීමෙන් හොඳ විදේශිය චිත්‍රපටයක් නැරඹීමේ අයිතිය ද මෙරට පේ‍්‍රක්ෂකයාට අහිමි විය. විනෝදවීමට චිත්‍රපටවලට සමගාමීව වෙනත් මාධ්‍යයක් ද නොමැති වූ හෙයින් කිසිවකු තරාතිරම නොබලා සිනමා ශාලාවලට සෙනඟ පිරෙන්නට විය. ඒ සමඟම සිනමාවේ ස්වර්ණමය යුගය උදා විය. එහෙත් පසු කලෙකදී නිෂ්පාදනය කෙරෙන හැම චිත්‍රපටයක්ම ප්‍රදර්ශනය කිරීමට චිත්‍රපට සංස්ථාව බැඳී සිටි හෙයින් හොඳ චිත්‍රපටවලට වඩා නිසරු චිත්‍රපටවලින් අවුරුදු හතර පහ දක්වා චිත්‍රපට ප්‍රදර්ශන පෝලිම දිග් ගැසෙන්නට විය. ඊට පසුව 79 වර්ෂයේ රූපවාහිනියේ සම්ප්‍රාප්තියත් සමඟ සිනමා ශාලාවේ සිටි ප්‍රේ්ක්ෂකයෝ ගෙදර සාලයේ ඇති රූපවාහිනී පෙට්ටිය වටා එක් රැස් වෙන්නට පටන් ගත්හ. සිනමාවේ ස්වර්ණමය යුගය බිහි කළ නිහාල්සිංහ මහතා ද සිනමාව අතහැර රූපවාහිනියට මාරු විය. 83 වර්ෂයේ ආරම්භ වූ ත්‍රස්තවාදී ගැටුම් හේතුවෙන් සිනමා ශාලා බොහෙමයක් ද වැසී ගියේය. මේ විවිධ කාරණ ඔස්සේ ප්‍රේක්ෂක සහභාගිත්වය අඩුවීමේ හේතුවෙන් සිනමාවේ ඊළඟ අර්බුදය කෙමෙන් ගොඩ නැඟෙන්නට විය. පසු කලෙකදී ඊට පිළියමක් ලෙසින් සිනමාවේ වැඩි කොටසක් යළිත් පුද්ගලික අංශය වෙත මුදා හරිනු ලැබීය. අඩු වැඩි වශයෙන් ජයග්‍රහණ හා පසුබෑම් ඔස්සේ අද දක්වා සිනමාවේ ගමන් මඟ මට දැනෙන්නේ ඔය ආකාරයටය. ලාංකේය සිනමාවේ අර්බුදය එය උපන් දා සිටම පැවතුණු බවත් මෙයින් අපට වැටහෙයි. අද සිනමාවේ අර්බුදය පැන නැඟී ඇත්තේ පැරණි සිනමාවට සම කළ නොහැකි අන්දමේ වෙනත් වේශයකිනි. අද ලෝකයට සමගාමීව ලංකාවේ අලුත් චිත්‍රපට තිරගත කෙරෙයි. සිනමා ශාලාවක නැරඹිය නොහැකි නම් චිත්‍රපටය තිරගත වී දින කිහිපයකට පසු ඩී වී ඩී මාර්ගයෙන් එය නැරඹීමේ හැකියාව දැන් පවතී. කොම්පියුටරයේ බොත්තම් කිහිපයක් එබූ පමණින් ලෝකයේ ඕනෑම චිත්‍රපටයක් එහි තිරයට ගෙන ආ හැකියි. නවීන තාක්ෂණය ඔස්සේ පැමිණෙන මේ කිසිවක් අපට අපේ සිනමාවේ අර්බුදයට පිළියම් වශයෙන් නැවැත්විය නොහැකියි. විවිධ මාධ්‍ය ඔස්සේ සිනමාව මෙසේ ලෝකයට විවර වෙද්දී සිනමා ශාලාවට පමණක් ගොස් චිත්‍රපට නැරඹීමට ප්‍රේක්ෂකයා නොපෙලඹීම ගැන අපට ඔවුන්ට දොස් පැවරිය හැකිද? අපි කළ යුත්තේ අනෙකුත් විනෝද මාධ්‍ය ඔස්සේත් ආදායම් ලබා ගැනීම මෙන්ම විවිධ උපක්‍රම හා පෙලඹවීම් තුළින් හැකි තරම් ප්‍රේක්ෂකයින් සිනමා ශාලා තුළට ගෙන්වා ගැනීමට උත්සාහ දැරීමයි. උපක්‍රම හා පෙලඹවීම් වශයෙන් මා අදහස් කරන්නේ රූපවාහිනියෙන් බැහැර වූ අපූර්ව කතා තේවාවන්, සිනමාහල්වලින් පමණක් ආස්වාද කළ හැකි තාක්ෂණික ඉදිරිපත් කිරීම් හා ප්‍රේක්ෂකයින් කුතුහලයට පත් කරවන විවිධ වෙළඳ ප්‍රචාරක ක්‍රමවේදයන්ය. නමුත් මූලිකවම චිත්‍රපටය තුළ කතාවත් සමඟ මුසුවන සිද්ධීන් හදවතට නොදැනෙන්නේ නම් ඉහත සියලු කාරණා ද ප්‍රේක්ෂකයා වෙතින් නිතැතින්ම ප්‍රතික්ෂේප වෙයි. සිනමා අර්බුදය පිළිබඳ දිනේෂ් ප්‍රියසාද්ගේ බොහෝ කාරණවලට මා එකඟය. ප්‍රක්ෂේපණය ඇතුළු සිනමා ශාලාවල යටිතල පහසුකම් හීන වීම, චිත්‍රපට ආ සැණින් ඩීවීඩී පිටපත් එළිදැක්වීම, මිල අධික ප්‍රවේශපත් වැනි කාරණා අද කාලයේ සිනමා ශාලාවලට ප්‍රෙක්ෂකයින් පැමිණීම අඩුවීම කිසියම් දුරකට බලපානවා විය හැකිය. නමුත් ඒ පිළිබඳව මේ සියල්ලටම වඩා බරපතළ කාරණය ලෙස මා දකින්නේ ප්‍රේක්ෂකයින් තෘප්තිමත් වන ආකාරයේ සැබෑ සිනමා ආශ්වාදයක් ලැබිය හැකි ගුණාත්මකබවින් යුතු විනෝදාත්මක හෝ කලාත්මක චිත්‍රපටවල හිඟකමයි. මෙරට සිනමා ප්‍රේක්ෂකයින්ගෙන් සියයට අනූ පහක් පමණ ප්‍රමාණයක් චිත්‍රපටයක් සිනමාහලක පෙන්වන්නේ ඩිජිටල් තාක්ෂණයෙන් ද එසේත් නැත්නම් මිමී 35 පටල පටිියෙන්දැයි දන්නේ නැත. පැහැදිලි රූපයන් මෙන්ම ශබ්දයක් ඇත්නම් ඔවුන් තෘප්තිමත්ය. එහෙත් චිත්‍රපටය මෙලෝ රහක් නැත්නම් ශාලාව තුළ මොන සැප පහසුකම් තිබුණත්, ප්‍රවේශ පත්‍ර නොමිලේ දුන්නත් ප්‍රේක්ෂකයා සිනමා ශාලාව පැත්ත පළාතේ එන්නේ නැත. අද දවසේ මා මෙතෙක් ලැබූ අත්දැකීම් ඔස්සේ කිව හැක්කේ චිත්‍රපටයක් සාර්ථක ලෙස තිරගත වන බවක් අප දකින්නේ සිනමාහලේ දෙවන පෙළ (ර්‍ණච්ඛ්) ආසනවල සෙනඟ ගැවසීමෙනි. අද මෙන්ම තවමත් වැඩි ප්‍රමාණයක් චිත්‍රපට නරඹන්නේ මධ්‍යම පාන්තික ජනතාවයි. එහෙයින් සිනමා කර්මාන්තයට වැඩි ශක්තියක් ලැබෙනුයේ ඔවුන් ඉලක්ක කරගෙන තැනෙන චිත්‍රපටවලිනුයි. ගැලරිය අද දවසේ සිනමා අර්බුදයට එක්තරා පිළියමක් ලෙසින් දිනේෂ් නඟන අදහස පිළිගැනීමට මම මැළි වෙමි. කොතෙක් හොඳ චිත්‍රපටයක් වුවත් අද සිනමා ශාලාවක් තුළ හවුස්ෆුල් තත්ත්වයක් ලබා ගත නොහැක්කේ ඉදිරි පෙළ ආසනවල ප්‍රේක්ෂකයින් වාඩි කිරීමට ඇති අපහසුතාවය නිසාය. නිවසේ සුවපහසු පුටු කොතෙකුත් තිබියදී සිනමා ශාලාවකට මුදල් ගෙවා ගොස් ඉදිරි පෙළ අසුනකට වි බෙල්ල ඇද කරගෙන අපැහැදිලි රූප නරඹන්නට අද දවසේ ප්‍රේක්ෂකයා සූදානම් ඇති බවක් මා නම් සිතන්නේ නැත. බජට් එකට සරිලන පරිදි චිත්‍රපට ධාවන කාලය අඩු කිරීම පිළිබඳ දිනේෂ්ගේ අනික් තර්කය දෙසටත් හැරෙමු. එදා චිත්‍රපටයක ධාවන කාලය පැය තුනකට ආසන්න හෝ ඊටත් වඩා වැඩි විය. එදා සිනමාවට සමාන්තර ලෙස වෙනත් ප්‍රබල විනෝද මාධ්‍යයක් නොවූ හෙයින් ද ජන ජීවිතය අද තරම් සංකීර්ණ නොවූ හෙයින් ද එතරම් කාලයක් සිනමා ශාලාවක් තුළ අකමැත්තෙන් හෝ ගත කිරීම එදා ප්‍රේක්ෂකයින්ට එතරම් ගැටලුවක් නොවීය. නළු නිළි ආකර්ෂණය ද බෙහෙවින් බලපෑවේය. නමුත් සිනමාව ජන ජීවිතයට අත්‍යාවශ්‍ය අංගයක් නොවන කාලය සමඟ හැල්මේ දුුවන අද ප්‍රේක්ෂකයින් පැය ගණනාවක් සිනමාහලක් තුළ රඳවා ගත හැකිද? චිත්‍රපටයක ධාවන කාලය අඩු කිරීමෙන් විශාල නිෂ්පාදන වියදමක් අඩු කර ගත හැකිය යන කාරණය සැබෑය. නමුත් එයම පදනම් කරගෙන චිත්‍රපට නිර්මාණ කෙරෙන්නේ නම් එය වංචනික ක්‍රියාවකි. අනෙක් අතට වැඩි ධාවන කාලයක් උදෙසා නීරස ලෙස චිත්‍රපටය දිග් ගස්සන්නේ නම් කිසිවෙකුට එයින් සිදුවන සෙතක් නැත. දෙපැයක් හෝ ඊට ආසන්න කාලයක් චිත්‍රපටයක ධාවන කාලයක් සඳහා අද හොඳටම ප්‍රමාණවත් යැයි මට සිතේ. ගුණාත්මක බව හීන නොකර ගනිමින් ප්‍රබල හෝ අපූර්ව කතාවක් නීරස නොවන අන්දමින් එවන් කාලයකට හකුළුවා ආසාවෙන් හා කුතුහලයෙන් යුතුව අවසානය දක්වා බලා සිටිය හැකි චිත්‍රපටයක් නිර්මාණය කිරීම අද දවසේ සිටින චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට ඇති ලොකුම අභියෝගයයි. එමෙන්ම ඩිජිටල්කරණය කළ සෑම සිනමා ශාලාවකම අද දවසේ රාත්‍රී 9.30 දර්ශනය නොමැතිවම දර්ශන වාර හතරක් පැවැත්වේ. එහෙයින් වැඩි ධාවන කාලයක් සහිත චිත්‍රපට අද නවීන සිනමා ශාලාවල පෙන්වීම පිළිබඳ ප්‍රායෝගික ගැටලුවක් ද පැන නැගී ඇත. ගාමිණී ෆොන්සේකලා, ජෝතිපාලලා සිටියත් ගැලරියේ සිට විසිල් ගසන ප්‍රේක්ෂක පිරිසක් අද දවසේ නිර්මාණය කළ හැකි යැයි මම නොසිතමි. අද චිත්‍රපටයක් තැටියකින්, රූපවාහිනියෙන් හෝ අන්තර් ජාලයෙන් නැරඹිය හැකි වුවත් සැබෑ සිනමා ආශ්වාදයක් ලැබීමට නම් හොඳ තත්ත්වයේ සිනමා ශාලාවකට යා යුතුය යන සිතුවිල්ල අනෙකුත් සියලු කාරණා අබිබවා නැඟී සිටී. එහෙයින් අද සිදු විය යුතු වන්නේ අනෙකුත් විනෝද මාධ්‍යවලට මැසිවිලි නැඟීමත්, ස්වර්ණමය යුගයන් මෙනෙහි කරමින් හීල්ලීමත් නොව ප්‍රේක්ෂකයා සිනමා ශාලාවට රැගෙන ඒමට පොලඹවන ආකාරයේ විවිධ තේමාවන්ගෙන් හා සිනමාත්මක අගයෙන් යුතු විවිධ තේමාවන්ගෙන් හා සිනමාත්මක අගයෙන් යුතු ගුණාත්මක චිත්‍රපට තැනීමය. එම යථාර්ථයට මුහුණ දිය නෙහැකි නම් අද දවසේ කිසිම චිත්‍රපට නිර්මාණකරුවෙකුට මෙම ක්ෂේත්‍රයේ පය ගසාගෙන සිටිය නොහැකිය.
|
||||