වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 18 වැනිදා බ්‍රහස්පතින්දා




Hollywood

හැරී පොටර් සිහින චාරිකාවක

ඩැනියෙල් රැඩ්ක්ලිෆ් හෙවත් හැරී පොටර් චිත්‍රපට මාලාවේ හැරී පොටර්ට රඟපෑ රංගන ශිල්පියා ගැනයි මීළඟ ප්‍රවෘත්තිය. මේ වනවිට 26 වන වියේ පසුවන ඩැනියෙල් පළමුවරට රංගනයට එක්වූයේ වයස 10 දී ඩේවිඩ් කොපර්ෆීල්ඩ් කතා මාලාවකට දායක වෙමින්. මේ දිනවල ඔහු “ජංගල්” නම් චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් ඇති බවයි ආරංචි. ජංගල් චිත්‍රපටය ‘වුල්ෆ් ක්‍රීක්’ නම් චිත්‍රපටයේ අධ්‍යක්ෂක ග්‍රෙග් මැක්ලීන් ගේ නිර්මාණයක්.

ජස්ටින් මොන්ගෝ රචනා කර ඇති ‘ජංගල්’ චිත්‍රපටය ජාත්‍යන්තරව ජනප්‍රියත්වයට පත් ‘යෝසී ඝින්ස්බර්ග්’ නම් නවකතා රචකයාගේ ‘ජංගල්’ නම් නවකතාව ආශ්‍රයෙන් ලියන ලද්දක් බවයි ආරංචි. සංචාරකයින් සතර දෙනෙක් ඇමේසන් වනාන්තරයේ අරඹන සිය සිහින චාරිකාව භයානක සිහිනයක් වන සැටි මෙම චිත්‍රපටයේ දැක්වෙන බවයි කියවෙන්නේ.

කේට් වින්ස්ලට් සහ විල් ස්මිත් එක්වෙයිද?

විල් ස්මිත් ප්‍රධාන චරිතය රඟ දක්වන ‘කෝලැටරල් බියුටි’ නම් කතාමාලාවට කෙට් විස්ලට් ව එකතු කර ගැනීමේ සාකච්ඡා සිදුවන බව හොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරනවා. නිව්යෝර්ක් හි ප්‍රචාරණ විධායකයෙක් වන ස්මිත් මෙම කතාවේදී බරපතළ පුද්ගලික ගැටලුවකට මුහුණ දෙන බව සඳහන්. ඔහුගේ හිත මිතුරන් මේ ආතතියෙන් ගැලවීමට උපායක් සකස් කරන අතර උපාය සාර්ථක වන්නේ කිසිවෙකුත් නොසිතූ වෙනස්ම ආකාරයකට බවත් චිත්‍රපටයේ විස්තරයන්හි තව දුරටත් සඳහන් වනවා.

පෙබරවාරි මාසයේ රූගත කිරීම් ඇරඹෙන මෙම චිත්‍රපටය 2016 දෙසැම්බර් මාසයේ නිකුත් වීමට බලාපොරොත්තු වන බවත් මේ ආරංචියේ සඳහන් වනවා. ‘ස්ටීව් ජොබ්ස්’ නම් චිත්‍රපටයේ ‘හොඳම සහායක නිළිය’ ට හිමි සම්මානයට නාම යෝජනා වී ඇති කේට් වින්ස්ලට් නිසාත් හොඳ තත්වයකට එනු ඇති බවත් සමහරුන් අදහස් දක්වනවා.

තරාජි පී. ගණිත විශාරදයෙක් වී...

‘හිඩ්න් ෆිගර්ස්’ 2017 වසරේ තිරගත වීමට සැලසුම් කර ඇති චිත්‍රපටයක්. ‘එම්පයර්’ කතාන්ගයේ රඟන රංගන ශිල්පිණියක් වන තරාජි පී. එහි ගණිත විශාරදයෙකුට රංගනයේ යෙදෙන බව ආරංචියි. ‘හිඩ්න් ෆිගර්ස්’ නවකතාවක් ආශ්‍රයෙන් නිර්මාණය කෙරී ඇති කතාවක් වන අතර ‘අප්‍රිකානු ඇමෙරිකානු කාන්ත්වා චරිතයක් වටා මෙම කතාව ගෙතී ඇති බව සඳහන්.

ඇති බුද්ධිමත් ගණිතඥයෙකු වන ජොන්සන් ඇගේ සහචරයිනුත් (තවත් කාන්තා චරිත දෙකක්) සමඟ ඇමෙරිකානු ඉතිහාසයේ බරපතළම මෙහෙයුම - ‘ජෝන් ගලෙන් නම් අජටාකාශ ගාමියා පෘථිවිය වටා කක්ෂ ගත කිරීමත් ඔහුගේ ආරක්‍ෂිත ව නැවත පැමිණීමත් සාර්ථකව නිම කරති. ස්ත්‍රී පුරුෂ භාවය, ජාතිය, වෘත්තීය මට්ටම් යන සියල්ල මේ කටයුත්ත වෙනුවෙන් කැපකරන මෙම කාන්තා චරිත ගැන කියවෙන මෙම චිත්‍රපටය ටෙඩ් මෙල්ෆිගේ අධ්‍යක්ෂණයක්.

ජොනී ඩෙප් වංචාකාරයෙක් ?

සුප්‍රසිද්ධ හොලිවුඩ් තාරකාවක් වන ජොනී ඩෙප් ගැන අටුවා ටීකා ලිවීම අවශ්‍ය නැහැ. එත් මේ පවසන්නේ ඔහු ගැන මීට පෙර අසා නොමැති කතාවක්. ජොනී ගේ පළමු විවාහය කල් පැවතුනාක් නොවේ. නළුවකු වීමටත් පෙර, 1983 වසරේ විවාහ වූ ඔහු 1986 දී ඒ විවාහයෙන් සමුගත්තා. ජොනී නැවතත් විවාහ වූයේ පසුගිය (2015) වසරේදීයි. එසේ නමුත් ජොනීට 1998 සිට 2015 දක්වා සහකාරියක් (වැනේසා පැරදිස්) සිටි අතර ඇයගෙන් දරු දෙදෙනකුගේ පියකුද වූවා.

කෙසේ නමුත් ජොනී ළඟදී නිකුත්වූ ‘පීපල්’ සඟරාවට අත්වැරදීමකින් පවසා ඇත්තේ ඔහු 2011 සිටම වත්මන් බිරිඳ වන ඇම්බර් හර්ඩ් හා සම්බන්ධ වී සිටි බවයි. තත්වය එසේ නම් ජොනී සිය එවකට සහකාරිය සහ දරුවන් දෙදෙනාගේ මව වන වැනේසාට වංචාසහගත සහකරුවකු වී ඇත. ඒ වසර තුළ මේ සිද්ධිය මෙලෙස වාර්තා නොවූවද, ඩෙප් සහ වැනේසා අතර ගැටුම්කාරී තත්වයක් මතුවී ඇති බව මාධ්‍ය වාර්තාවල පළවී තිබුණා.

Fast  8 හි සැතිරිය

MadMax : Fury Road  චිත්‍රපටයේ රඟපෑ චාලීස් තිරෝන්, Fast  8 චිත්‍රපටයේ සතුරු චරිතයට රංග දක්වන බව ආරංචියක් මේ දිනවල හොලිවුඩයේ පැතිරී යනවා. 40 වන වියෙහි පසුවන චාලිස් , ‘ඩෙවිල්ස් ඇඩ්වකේට් මිටි ජෝ යන්’ සහ ‘ද සීඩර් හවුස් රූල්ස්’ වැනි චිත්‍රපට වලින් නමක් දිනාගෙන සිටිනවා. Fast  8, Fast and the Furious චිත්‍රපට මාලාවේ අට වන දිගහැරුමයි. ච්රිස් මෝගන් මේ දිනවල එහි තිරරචනය කරගෙන යන අතර, එෆ්. ගේරි ග්‍රේ මේ වසරේ අග භාගයේ සිට චිත්‍රපටයේ අධ්‍යක්ෂණ කටයුතු කිරීමට භාර ගෙන ඇත. චිත්‍රපටයට ගැහැනු සතුරෙක් යොදාගැනීමට නියම වීමත්, තිරෝන්, ගේරි සමඟ ‘ද ඉටැලියන් ජොබ්’ චිත්‍රපටයේ රඟපා තිබීමත් ඉහත ආරංචිය තවත් ශක්තිමත් කරයි.