වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 18 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

‘නින්ජා ශ්‍රී ලංකා’ පුංචි තිරයෙන් දකින්න අසයි

1997 වසරේ තිරගත වූ රොබින් ප්‍රනාන්දු, දමිත් ෆොන්සේකා, සංගීතා වීරරත්න රංගනයෙන් දායක වූ ‘නින්ජා ශ්‍රී ලංකා’ චිත්‍රපටය කිසිදු රූපවාහිනි කාලිකාවකින් ප්‍රදර්ශනයකර නැත. එය රූපවාහිනි නාලිකාවකින් විකාශය කරන්නේ නම් අගය කොට සළකමි.

මනහර මහින්ද
බෙලිගල

මුහුණු පොතේ සිනමා පිටුව විශේෂයි

ෆේස්බුක් සිංහල සිනමා පිටුව නම් හොඳයි. එයින් අපිට සිනමාව පිළිබඳ බොහෝ දේ දැන ගැනීමට හැකිවීම විශේෂයි.

මිලාන් යසිරු ශ්‍රී
කොළඹ

මිත්‍රශීලී යුරේනි

යුරේනි අක්කේ ඔයා නිහතමානී මිත්‍රශීලී රංගන ශිල්පිනියක්. රංගනයටම කොටු නොවී ගායන හැකියාව ද පෙන්වන්නේ නම් හොඳයි. ඔබේ රූපය වඩාත් ගැළපෙන්නේ රිදී තිරයටයි. ඔබේ අනාගතයට මගේ සුබපැතුම්.

හර්ෂ විරාජ්
නාලවලාන
ගෝනාවිල

ස්කයිලයිට් කලාවේ උන්නතියට සවියක්

සිංහල සිනමාවට 69 වසරක් සපිරීම සිහි කරනු පිණිස චිත්‍රපට නිෂ්පාදක හා අධ්‍යක්ෂ සුරංග ද අල්විස් 'ස්කයි ලයිට්' සිනමා ශාලාව ඉදි කිරීම කලාවේ උන්නතියට දිරිදීමකි. තවත් සිනමා ශාලාවක් ඉදි කිරීමට ඔබට වාසනාව ලැබේවා!

ලියනගේ සෝමරත්න ද සිල්වා

'පියසේන විලා'
මරදාන
අහුන්ගල්ල

එදත් අදත් කවදත් බබළන තරු

අනුන්ගේ ගී ගයමින් මාධ්‍ය මඟින් පායන තරු වල්ගා තරු වගෙයි. 60, 70 දශකවල ගුවන්විදුලියෙන් ආ තරු අදටත් ඉදිරියෙන්ම බැබළෙනවා. ඒ තරුවලට අභියෝග කරන්න කිසිම තරුවකට හැකියාවක් නැහැ.

ජයන්ත අමරතුංග
චන්දන පොකුණ
පොළොන්නරුව

ස්වාධීන රූපවාහිනියේ ටෙලි සිත් පිනයි

ස්වාධීන රූපවාහිනි සේවය විසින් දිනපතා විකාශය කෙරෙන සෑම ටෙලි නාට්‍යයක්ම ප්‍රේක්ෂක සිත් පිනවන සුළුය. ඉදිරියටත් එවැනිවූ නිර්මාණ ඉදිරිපත් කිරීම අගයමි.

එච්. එල් තිලකසිරි ද සිල්වා
මරදානවත්ත
මීටියාගොඩ

ඔබේ ගමන සාර්ථක වේවා!

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කටයුතු කරන ගායක ගායිකා සංගමයේ නව සභාපතිවරයා ලෙසින් පත් වූ කීර්ති පැස්කුවල් ඇරඹූ ගමන් මග ප්‍රශංසනීයයි. ඔබේ ඉදිරි ගමන සාර්ථක වේවා.

සුනිල් විජේසිංහ
මතුගම

සරත් සිල්වාගේ සටන් මතක අතරේ

ත්‍රාසය, භීතිය සමඟ චිත්‍රපට නරඹන විට සටන් අධ්‍යක්ෂ සරත් සිල්වාගේ අති දක්ෂ සටන් මෙහෙයුම ප්‍රශංසනීයයි. රංගනයේ යෙදෙමින් ද ඔබ කළ මෙහෙවර සුවිශේෂයි. ජීවන්, රන්ජන්, සනත් වැනි වූ නළුවන්ට වීරයාගේ චරිතය මෙහෙය වන්නට සටනින් කළ දිරිමත් කිරීම අගයමි. අද අප අතර නැතත් ඔබේ නිර්මාණ තවත් කාලයක් ඒ මතක සුරකිනු ඇත.

මිල්ටන් ප්‍රනාන්දු
නව එක්සත් මාවත
මූදුකටුව

අනේ කාලේ වනේ වාසේ

ඇතැම් ටෙලි නාට්‍ය විකාශය වන විටදී පසුබිමෙන් සිනහ හඬ පටයක් ක්‍රියාත්මක කෙරෙන්නේ ප්‍රේක්ෂක අපට සිනා නොයන නිසා වෙන්න ඇති. අනේ කාලේ වනේ වාසේ. විකට ටෙලි නාට්‍ය කලාව.

සුනිල් චන්ද්‍රසේකර
යාගොඩමුල්ල
කොටුගොඩ

එරල් ප්‍රනාන්දු පමණයි

අද මෙන් තාක්ෂණය නොදියුණු යුගයක සංගීත ක්ෂේත්‍රය උඩු යටිකුරු කරමින් ලතින් ඇමරිකානු සංගීතය ස්ව උත්සාහයෙන් අධ්‍යයනය කර සිංහල ගීතයට මුසු කළ නෙවිල් ප්‍රනාන්දු මතකය රැක ගත යුතුය. එදා ඔහු ගැයූ ගී අදත් ඇගයෙන්නේ එහි වටිනාකම නිසයි. එය තවත් ඉදිරියට ගෙන යාමට සිටින එකම උරුමකරුවා සොයුරු එරල් ප්‍රනාන්දු පමණකි. නෙවිල් ප්‍රනාන්දුගේ මතකය සමඟින් ඒ ගී යළිත් ගැයීම ඔබෙන් අපේක්ෂා කරමු.

සුසිලා පතිරාජ
පුබුදුගම
උස්වැටකෙයියාව

වෙළෙඳ දැන්වීම් විතරයි

අපි දැන් බලන්නේ වෙළඳ දැන්වීම් විතරයි. වෙළෙඳ දැන්වීම් විනාඩි විස්සයි. ටෙලි නාට්‍ය විනාඩි දහයයි. ටෙලි නාට්‍ය අවසානයි. මතු සම්බන්ධයි.

සරත් සේනාධීර
කලඑළිය
ජාඇල

පැරණි ගීත රැප් කිරීම හොඳ නැහැ

පැරණි ගීත රැප් කර ගායනා කිරීම සුදුසු නැත. එයින් ඒ පැරණි මියුරු ගීවල රසය විනාශ වෙයි. පැරණි ගායක ගායිකාවන්ගේ මියුරු හඬින් ළයාන්විතව ගැයූ ගීත ඇතැම් නවකයන් තමන්ගේ ගී මෙන් ගැයීම අද සුලබය. ඒ නිසා පැරණී ගීත ප්‍රචාරය කරන විට එම ගීතවල මුල් ගායනය කළ ශිල්පියා, තනුව හා සංගීතය පිළිබඳ දැනුවත් කරන්නේ නම් මැනවි.

දිනේෂ් ගුණසේකර
නූපේ
මාතර

ළබැඳි මිතුරිය මේඛලා

උපතින් ලද හැකියාවත් දක්ෂතාවයත් කැටි කොට ගෙන වාසනා ගුණයෙන් සපිරි මේකලා වසුන්දරා වසර පහක් පුරා ජෝති රාත්‍රිය සමඟින් අපේ ආලින්දයට පැමිණි ළෙංගතු නිවේදන මිතුරියකි. එච්. ආර්. ජෝතිපාලයන්ගේ අසූ වැනි ජන්ම දිනය නිමිත්තෙන් 'ලොවට උරුම සදාදර ජෝති' ග්‍රන්ථය සම්පාදනය කිරිම අගයමි. ඒ වෙනුවෙන් මගේ හද පිරි කුසුම් ඔබට පිළිගන්වමි.

ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු
බටහිර අධිකාරිමුල්ල
දූනගහ

සිනමාවේ ආලෝකය නිවී ගියා

සිනමා ලොවේ ආලෝකය නිවී ගියා
අපගේ විජය වෙන් වී විසි අට වසරක් ගෙවුණා
රිදී තිරේ රැඟූ රැඟුම් තවමත් මැවෙනා
විජය ඔබ මිය ගිය බව සිතමු කෙසේ
දවසින් දවස අපගේ මතකයේ වෙසේ . . .

අතුල රම්‍යසිරි
පානදුර

මල් සහ චිත්‍රපට

පරසතු මල් - මල්සර දෝණි
බාඳුරා මල් - මලට නෙඑන බඹරු
තුත්තිරි මල් - මල් සරා
කිණිහිරියා මල් - අත්තික්කා මල්
එක ඉත්තක මල් - ඉන්දුට මල් මිටක්
කැලෑ මල් - මල්දෙණියේ සිමියොන්

ඊ. දයානන්ද ද සිල්වා
'ඩයනා'
සීනිගම
හික්කඩුව

ප්‍රතිචාර සඳහා නවතම අංකයක්
0719538072

 

S.M.S

ඩිනක්ෂිගේ රැඟුම් හැඩයි

ඩිනක්ෂි ඔබේ රැඟුම් හරිම ලස්සනයි. තරු අතර දිදුලන්න ඔබට සුබපැතුම්!

සුනිල් බී. වේහැල්ල
ගෝනපොල

අලුත් ගී අහන්න ආසයි

නිරෝෂා විරාජිනීගේ අලුත්ම ගීත අහන්න ආසයි.

එස්. වීරසිංහ
අනුරාධපුර

මතකය සුන්දරයි

සිනමා රසික අප අමන්දානන්දයට පත් කළ අයේෂා වීරකෝන්ගේ මතකය සුන්දරයි.

ආර්. එම්. එච්. රත්නායක
කිරිඳිවැල

පූජාගේ රංගනය සම්මානනීය වේවා!

පූජා උමාශංකර්ගේ රංගනයෙන් හැඩ වූ පත්තනි චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ලස්සනයි. එහි පූජාගේ රංගනය විශිෂ්ටය. එම රංගනය සම්මානනීය වේවා යැයි පතමි!

අවිෂ්ක
මීගමුව

ඉනෝකාට සුබපැතුම්

ඉනෝකා සත්‍යාංගනී සින්ඩ්‍රෙල්ලා සමඟින් පැමිණීම සතුටක්. සින්ඩ්‍රෙල්ලා සිනමා නිර්මාණය තිරගත කිරීමට සුබපතමි.

ජයේ
මාතර

එන්සිනා ඔබට නිවන් සුව!

දිවි රග මඬලෙන් සමුගත් කෝපි කඩේ එන්සිනාට නිවන් සැප ලැබේවා!

පී. වයි. අනුලාවතී
අවිස්සාවේල්ල

නාමල් උඩුගමට

ඔබ යළිත් පිබිදුණා
අපගේ වාසනාවට
ආදර ගීතයෙන්:
අප ඇමතූ ඔබ
දෙවියෝ රකිත්වා . . .

සුනිල් බී. වේහැල්ල
ගෝනපොල

ජෝතිගේ සමරු මුද්දරය අගෙයි

අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලයන්ගේ අසූව වැනි ජන්ම දිනය නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම පිළිබඳ අපගේ ප්‍රසාදය.

ආනන්ද වික්‍රමආරච්චි
ඉහළ තල්දූව