වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 18 වැනිදා බ්‍රහස්පතින්දා




අවුරුදු දහතුනක පේ‍්‍රමයක් දාහතර දා මල්ඵල ගනී

අවුරුදු දහතුනක පේ‍්‍රමයක් දාහතර දා මල්ඵල ගනී

මධූ - මියුරු ආදර අන්දරය

නව පරපුරේ නිළියක වන මධූ නිත්‍යානිගේ විවාහ ගිවිස ගැනීම උත්සවාකාරයෙන් පසුගියදා පැවැත්විණි. කලාකරුවන්ගේ හා නෑදෑ පිරිවරගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මංගල උත්සවය පැවැත්වුණේ පෙම්වත්න්ගේ දවසේයි.

පෙම්වතුන්ගේ දවසේම ඔබටත් මංගල සීනු හැඩවුණා නේද?

ලෝකයේම පෙම්වතුන්ට සමරන්න පුළුවන් හොඳම දවසක් ලෙසයි පෙම්වතුන්ගේ දිනය එළැඹුණේ. එදිනට අපේ ආදරයට වසර දහතුනක්. අපේ ආදරයත් ආත්මීය බැඳීමක් නිසා මේ දිනයේම ඒ බැඳීම තරකර ගත යුතුයැයි මා සිතුවා. ඒ අනුව බැලුව නැකත් ගැළපුණා. එදිනට අප විවාහ ගිවිස ගත්තා.

මේ ප්‍රේමය පාසල් ප්‍රේමයක් ද?

ඇත්තෙන්ම ඔව්. නවය වසරේදියි අපි ප්‍රේම කරන්න පටන් ගත්තේ. එන්සෙෆ් බෞද්ධ විද්‍යාලයේ ඉගෙනුම ලැබුව අපි දෙන්නාම ළදරු පාසල් යන කාලයේ පටන්මයි එකට පාසල් ගියේ. වසර දෙක හමාරක කාලයේ එයාගේ උපන්දිනය ළදරු පාසලේ දි සැමරුවා. එතැනදිත් ඔහු මුලින්ම මටයි කේක් කෑල්ල කවන්නේ. ඒක පුදුම සිදුවීමක්. එදා සිටිය යහළුවෝ දෙන්න රංග හා නිසිතමයි අදත් ඔහුගේ යහළුවෝ විදියට ඉන්නේ. මගෙත් ඒ චූටි කාලයේ යෙහෙළිය මිථිලාමයි අදත් හොඳම යෙහෙළිය වී සිටින්නේ. මම ඒලෙවල් කළේ විද්‍යා අංශයෙන්. ඔහු ඉගෙනුම සඳහා තෝරා ගත්තේ ගණිත අංශයයි. එත් ඒ කිසිවක් අපේ ආදරයට බාධාවක් වුණේ නැහැ. මේ වනවිට බැංකු නිලධාරියෙකු වන ඔහු මියුරු ලක්ෂිත කුමාරගේයි.

වසර දහතුනක ආදර අන්දරය ආරම්භ වුණු අයුරු ඔබට තවමත් මතක ද?

අපි දෙන්නා හිටියේ එකම පන්තියේ. එක ළඟ ඩෙස් දෙකකයි. ඒ වගේම අපි දෙන්නා හොඳ යහළුවෝ. ඒ දවස්වල පාසලේ ස්පෝට් මීට් තියෙන දවස්. ග්‍රීල් එක පුහුණුවීම්වලදි ඔහු මගේ ඇස්දෙක දෙසම බලාගෙන ඉන්න වගක් මට දැනුණා. ඒ අතර දවසක් එයාගේ යහළුවෝ දෙන්නා වුණු රංග, නිසිත මගේ ළඟට ඇවිත් ලියුමක් දුන්නා. ඒක ටොයිලට් එකට ගිහින් කියවලා බලලා උත්තරයක් දෙන්න කියලත් කිව්වා. මම, යෙහෙළිය මිථිලාත් එක්ක ගිහින් ලියුම බැලුවා. අද වගේ මට මතකයි ලියුමේ මුලින්ම ලියලා තිබුණේ මිල්ටන් මල්ලවාරච්චිගේ ගීතයක කොටසක්. ඒ ‘කලක සිටන් මා සිතේ යම් දෙයක් තිබුණා - එය කීමටයි ළතැවුණේ’ යන ගීත කොටසයි. කොහොම වුණත් ඒ ලියුම බලලා ඉරලා ටොයිලට් එකටම දාලා එන්නත් මා අමතක කළේ නැහැ. මොකද ඔහුමයි ඒ ඉල්ලීම කරලා තිබුණේ. ඒ ගැන මතක් වනවිටත් මට ගොඩක් දුකයි. ඒ මේ ලියුම හැර අනෙක් සියලුම ලියුම් අද දක්වාත් මං ළඟ තිබෙනවා. මේ ලියුමෙන් පස්සේ සති දෙකක්, තුනක් යනතුරුත් මම ඔහුගේ මුහුණු බැලුවේ නැහැ.

ඊට පස්සේ ද ඔහුට ආදරෙයි කියන්නේ?

ඊට පස්සේ දවසක ඉංග්‍රීසි පීරියඩ් එකේ දි ඔහු මේ ගැන මගෙන් ඇසුවා. මගෙන් පුන පුනා අහන මේ ප්‍රශ්නයට මං අන්තිමේ දී හා කිව්වා. අන්තිම පේළි දෙකේ කොන්දෙකේ එක ළඟ සිටිය අපි දෙන්නාගේ කතාව ඉංග්‍රීසි සර් දැක්කා. අපි දෙන්නාව පන්තියේ නැඟිට්ටවලා කතා කළේ මොකක්ද කියලා විමසුවා. ඒ වෙලාවේ මා පැවසුව බොරුවට වන්දි ගෙවන්න වුණේ මියුරුටයි. අන්තිමට මියුරුට පන්තියේදි දණ ගහන්න සිදුවුණා. අදටත් එයා ඔය සිදුවීම මතක් කරනවා.

ඔබ දෙදෙනාට දෙපැත්තෙන්ම මව්පියන්ගේ කැමැත්ත ලැබුණා ද?

අම්මත් ඉගැන්වුවේ මා ගිය පාසලේමයි. මියුරුගේ අම්මලාත් පාසලේ ම කැන්ටිම කළා. මේ දෙපිරිසටම අපේ ආදරය ගැන තොරතුරු ලැබිලා තිබුණා. කොහොම හරි අම්මා මගේ ලියුමක් හොයාගෙන තිබුණා. ඒ ගැන කිසිම දෙයක් මට කියන්නේ නැතිව ඒ ගැන මගෙන් ඇසුවා. මම ඇත්තම කිව්වා. ‘ඉගෙන ගන්න කාලයේ ඉගෙන ගන්න. ඊට පස්සේ ඕනෑම දෙයක් කරන්න.’ අම්මා අවසන් තීන්දුව දුන්නා. මියුරුගේ පැත්තෙන් ඒ වගේ විරෝධයක් නම් පැමිණියේ නැහැ.

ඒ කාලයේ සිදුවුණු අමතක නොවන සිදුවීමක් මතකයට නඟමු?

එදා පෝය දවසක්. මම අම්මට කිව්වේ එදා පන්තියක් තියෙනවා කියලා. එහෙම කියලා අපි චිත්‍රපටයක් නරඹන්න ගියා. අපි දෙන්නත් සමඟ මියුරුගේ අයියත් සිටියා. ආපසු එනවිට ඒ හැම දෙයක්ම ගෙදරට ආරංචි වී තිබුණා. ගෙදර ආවා විතරයි අම්මා මට කොස්සක් කැඩෙනතුරු පහර දුන්නා.

එදිනට ඔබව හැඩ කළේ කවුරුන්ද?

චම්පි සිරිවර්ධන අතින් තමයි මුල් දවසේ මා හැඩවුණේ. දෙවැනි දවස චන්දිමාල් ජයසිංහ මා හැඩ කළා. පළමු දවසේ ඔසරියෙන් හා දෙවැනි දවසේ ඉන්දියන් ඇඳුමෙන් මා සැරැසුණා. පළමු දවස ගංගාරාමේ දී මුදු මාරු කරගෙන, අත්සන් කරන කටයුතු සිදුකළා. එහිදි මගේ පාර්ශ්වයෙන් විවාහයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්මයා අත්සන් කළා. 15 වැනිදා තලවතුගොඩ ගෑන්ඩ් මොනාච් හෝටලයේ දී පැවැත්වුණු දෙවැනි දවසේ අපේ තීම් එක වුණේ බොලිවුඩ් නයිට් යන අදහසයි. පෝරුවේ චාරිත්‍ර නැතිව අනෙක් සියලු චාරිත්‍ර විවාහ උත්සවයක් විදියටම සිදුවුණා. මේ විදියට මේ සියල්ල අප කළේ තවත් වසර දෙකකින් ලංකාවට පැමිණ විවාහ උත්සවය ගන්න අදහසින්.

ඔබගේ විවාහයට බොලිවුඩ් නයිට් කියන තීම් එක තෝරා ගන්න විශේෂ හේතුවක් තිබෙනව ද?

බොලිවුඩය මට බොහොම සමීපයි. මගේ සීයාත්, ආච්චිත් වසර තිහක කාලයක් ජීවත් වුණේ ඉන්දියාවේ. එහිදියි අම්මා ඉපදෙන්නේ. ඒ නිසා ඉන්දියාව මට බොහොම සමීප රටක්. නැවතත් ඔවුන් ලංකාවට එනවා. මමත් හින්දි භාෂාවට බොහොම කැමැතියි. ඒ වගේම නිතරම මා හින්දි ෆිල්ම් නරඹනවා. මේ සියලු කාරණාවල එකතුවෙනුයි මෙවැනි තීම් එකක් නිර්මාණය වෙන්නේ.

විද්‍යා අංශයෙන් ඉගෙන ගන්න ඔබ නිළියක් වෙන්නේ කොහොම ද?

අපේ අම්මා කැමැති වුණේ මම ඈ වගේ ගුරුවරියක් වනවාටයි. ඒ නිසා අම්මාගේ අසාව ඉෂ්ට කරන්න ඕනෑ නිසා මම වසරක කාලයක් ගුරුවරියක් විදියට කටයුතු කළා. ඒ අතරයි මා නිළියක ලෙස රඟපෑම් කටයුතු ආරම්භ කරන්නේ. කාර්යයන් දෙකම එක්වරක කළ නොහැකි නිසා මා රංගනය තෝරා ගන්නවා.

ඔබ නිළියක් වනවාට ඔබේ පෙම්වතා කැමැති වුණා ද?

ක්ෂේත්‍රයට ආව මුල් කාලයේ නම් අම්මා වගේම ඔහුත් ඒ කටයුතුවලට මාත් සමඟ සහභාගි වුණා. එතැනදි ඔහු මේ ක්ෂේත්‍රය ගැන තේරුම් ගත්තා. ඊට පස්සේ ඔහු පැමිණියේ නැහැ. කාලයකට පස්සේ අම්මාත් රංගන ක්ෂේත්‍රය ගැන අවබෝධයක් ලබාගෙන රූගත කිරිම්වලට පැමිණීම නැවැත්තුවා. ඒත් දුර කොහෝ හරි රූගත කිරීම්වලට යනවිට අනිවාර්යයෙන්ම අම්මාත් මාත් සමඟ ආවා.

විවාහ කටයුතු නිසා මේ දවස්වල විකාශය වන ටෙලි නාට්‍යවලින් ඔබ ඉවත් වුණා ද?

ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘භවචක්‍ර’ හා දෙරණ රූපවාහිනියේ ‘ත්‍රී ඉඩියට්’ කියන ටෙලි නාට්‍යවලින් මා මේ මාසයේ තරමක් ඈත්වුණා. ඒත් මේ කටයුතු අවසාන වුණාට නැවතත් රඟපෑම් කටයුතුවලට සහභාගි වෙනවා.

ඉක්මනට විවාහ වෙන්න තීරණය කළේ මව්පියන්ගේ බලපෑම් නිසා ද?

අවුරුදු දහතුනක් කියන්නේ දිගු කාලයක්. මේ කාලය ඇතුළේ අපි දෙන්නම ගමන් ගියෙත්, කෑව බීව්වෙත් එකටමයි. ඔහු අපේ නිවෙස ළඟම නිසා ඔහු නිතරම සිටියේ මාත් සමඟමයි. මේ කාරණා නිසාත්, ඉදිරි අධ්‍යාපන හා රැකියා කටයුත්තක් සඳහා ඕස්ට්‍රේලියාවට යන්නත් අපි දෙන්නගේම අදහසක් තිබුණා. මේ නිසා ඒ සියල්ලටම පෙර විවාහ වෙලා යන්න යැයි මව්පියන් යෝජනා කළා.

ඒ කියන්නේ ඔබ රඟපෑමෙන් සමු ගන්නවා?

ටික කාලයකට මා රඟපෑමෙන් සමු ගන්නවා. මේ වනවිට භාරගෙන තිබෙන වැඩකටයුතු අවසන් කරලයි මා විදේශ ගත වන්නේ. වසර දෙකකට පස්සේ නැවතත් මා ලංකාවට පැමිණෙන්නයි සිතාගෙන ඉන්නේ. ඒ අතර හොඳ නිර්මාණයක් ලැබුණොත් රංගනයෙන් දායක වෙනවා. නැතිනම් නිවාඩු කාලය ගත කරලා ආපසු පදිංචියට ඕස්ට්‍රේලියාවටම යනවා.

මේ තරම් ඉක්මනට රංගන වෘත්තියෙන් සමු ගන්නට ලැබීම නිසා දුකක් දැනෙන්නේ නැද්ද?

ගොඩක් දුකයි. මේ ක්ෂේත්‍රයේ ඉන්න යහළුවෝ සියල්ලන්ම දමලයි මට ඒ රටට යන්න වෙන්නේ. ඒ වුණත් ඉදිරි අනාගතය දෙස බලද්දි, දුවා -දරුවන්ගේ අධ්‍යාපනය ගැන සිතද්දි ඒ තීරණය නිවැරැදියි කියලා මා සිතනවා. මේ තීරණය ගන්නේ අපි දෙන්නාත් සමඟම කතාබහ කරලා.