|
කඳුළක පාවී ගීය තැනූ තුසිත අල්විස්
සහය අධ්යක්ෂවරයකු හා ගායකයකු ලෙස භූමිකා කිහිපයකින් ම ඔබ හමුවට පැමිණෙන තුසිත අල්විස් මොරටු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මීට අමතරව වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවකු ලෙස වෘත්තිය මට්ටමින් කටයුතු කරන හේ චිත්‍රපටවල මෙන්ම ටෙලි නාට්‍යවලද සහය අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කර ඇත. තුසිත සිය නිර්මාණ ජිවිතය පිළිබඳ මෙසේ අප සමඟ පවසන්න අමතක නොකළේ ය. “මම සහය අධ්‍යක්ෂවරයෙකු විදියට මුලින්ම සහභාගි වන්නේ නාලන් මෙන්ඩිස් මහත්තයාගේ ‘මම නොවෙයි මම’ හා ‘වසන්තය ඇවිල්ලා’ කියන ටෙලි නාට්‍යවලටයි. මා නැවතත් පසුගිය කාලයේ සහය අධ්යක්ෂවරයාගේ භූමිකාවට පිවිසුණා. ඒ ‘විජය- කුවේණි’ හා ‘ඇහැළේ පොළ කුමාරිහාමි’ කළ සුගත් සමරකෝන්ගේ ‘අපේ කාලයේ පටාචාරා’ චිත්‍රපටයෙන්. ඒ වගේ ම මා සුගත් සමරකෝන් කියන අධ්යක්ෂවරයා හා ප්‍රවීණ නළු මහේන්ද්‍ර පෙරේරා යටතේ රංගනය පිළිබඳත් හැදෑරුවා. ‘මම නොවෙයි මම’, ‘වසන්තය ඇවිල්ලා’, ‘හයවෙනි පටුමග’, ‘නිරංජනා’ කියන ටෙලි නාට්‍යවල මගේ රංගනය ඔබට දැක බලා ගත හැකියි. සංගීතය පිළිබඳ මා හැදෑරුවේ රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, ආනන්ද වීරසිරි යන ගුරුවරු යටතේයි. සංගීතය හදාරලා තිබෙන නිසා මගේ ම කියලා නිර්මාණ කිහිපයක් කරන්න මා සිතුවා. ඒ අනුව මේ වනවිට මා ගායනා කළ මුල්ම ගීතය වෙන්නේ ‘කඳුළක පාවී’ කියන ගීතයයි. එහි පදරචනය කළේ මමයි. තනු නිර්මාණය කළේ සංගිතවේදී මහින්ද බණ්ඩාරයන් විසින්. ඊළඟට කළ නිර්මාණ නම් ‘සඳරේණු හිනහුණ දා’ හා ‘ඔය ඇස්දෙක මගේ කියා’ ගීත දෙකයි. මේ දවස්වල මේ ගීත දෙකම බොහොම ජනප්‍රියයි. ඒ වෙනුවෙන්ම මියුසික් වීඩියෝ දෙකක්ම මා නිර්මාණය කළා. මේ ගීත දෙරණ, හිරු, ස්වර්ණවාහිනිය යන රූපවාහිනි සේවාවල විකාශය වෙනවා. Music.lk හා You Tube ඔස්සේත් මේ ගීත දෙක මට ආදරය කරන අයට අසන්නට හැකියි. මේ ගීත දෙකටම පදරචනයෙන් සහභාගි වුණේ මමයි. ‘සඳරේණු’ ගීතයේ තනු නිර්මාණය විකුම් ශ්‍රී වන අතර සංගීත සංයෝජනය සිදුකළේ රංග දසනායකගේ හිට් ෆැක්ට්‍රි ස්ටුඩ්යෝවෙන්. ‘ඔය ඇස්දෙක’ කියන අලුත්ම ගීතයේ තනු නිර්මාණය කළේ නව පරපුරේ තනු නිර්මාණ ශිල්පියෙකු වන ලහිරු ප්‍රමෝද්. එහි සංගීත සංයෝජනය රංග විශ්ව කුලගෙන්.” මේ වනවිට නවරත්න ගමගේ, රොෂාන් ප්‍රනාන්දු, දුලිප් විරැන්ඩෝ නිර්මාණකරුවන්ට රූප රචනා කර ඇති මේ තරුණයා සිය කලා ජීවිතයේ ලැබුණු සුවිශේෂී අවස්ථාවක් ලෙස සලකන්නේ ඉන්දීය චිත්‍රපට පසුබිම් ගායක සෝනු නිගම්ගේ ශ්‍රී ලංකා ප්‍රසංගයේ දී එහි නිර්මාණ ශිල්පියකු ලෙස කටයුතු කිරීමට ලැබීමයි. ඉදිරියේ දී නැවතත් අලුත් ගීතයක් ඔස්සේ ඔබ හමුවට පැමිණීමට සිටින තුසිතගේ අනාගත බලාපොරොත්තුව චිත්‍රපටයක් හෝ ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීම ය. තුසිතගේ උදව් අවශ්‍ය නම් 076 – 8522493, 071 – 7950095 යන දුරකථන අංක ඔස්සේ ඔහුව ඇමතිය හැකිය.
|