ගෑනු අපිට වරදින්න වැඩි වෙලාවක් යන්නේ නෑ
ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය
ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්දගේ
සිතුවමින්
ගෑනු අපිට වරදින්න
වැඩි වෙලාවක් යන්නේ නෑ
"මාව ගමට එක්ක ගෙන යනවා නම් ආයේ මාව බලන්න නාවට කමක් නෑ."
මානවී එකවරම කියා පෑවාය. සුජිත් ඇතුළු සගයන් පිටත්ව ගොස් පැයක් දෙකක් ගතවන්නට ඇත.
නිනව්වක් නැත. කවදාවත් නැතුව මානවී නිර්මලා සමඟ තර්ක කරන්නට පටන් ගත්තාය. පළමු වරට
රඟපෑමට පෙනී සිටි දවසේ අත්තම්මා ගෙන් ගුටිකෑ අයුරු මානවීට සිහියට නැඟිණ. අදත් එදා
වගේමය.
"අම්මා, මේකේ දුක් විඳිනවා. අද ඕන තරම් ළමයි මේවායේ වැඩ කරන්නේ."
මානවී තර්ක කළාය.
"දුවේ හයියෙන් කියවන්න එපා. මේ ගමේ නෙවේ."
නිර්මලා බැරි තැන පැවසුවාය.
"ගමේ නෙවෙන විත්තිය මම දන්නවා."
මානවි යළිත් හඬ ඉස්මතු කළාය. නිහඬතාවයක් ඇතිවිණ. අසල්වැසි බිත්තියේ එහා කනකට මේ
රණ්ඩු සරුවල ගෙන යන්නට නිර්මලාට වුවමනාවක් නොවීය.
"අනේ කෙල්ලේ වඳින්නං. කෑ නොගහ ඉන්නවාද?."
නිර්මලා ඇඳ මත වාඩිවූවාය.
"මම දවස තිස්සෙම හිර ගෙයක වගේ, අම්මාට ඒ කාලේවත් මාව ඕන නැතිව ඇති."
මානවී ද කතා කළේ හඬ නොනැගෙන්ටය. වෙනදා රැය පහන්වනතුරු ගැයෙන මදුරුවන්ගේ ගීතය
හතරවටින් ඇසෙන වට වඩා හොඳින් අම්මාගේත් දුවගේත් කතාබහ ඇදී ගියේය. හාත්පස වුණේ කෑලි
කැපිය හැකි අඳුරය.
"මට හෙට උදේට මේ වැඩේට යන්න බැරි නම් ගමේ යන්නේ නෑ."
මානවී තිරහඬින් පැවසුවාය. අම්මාගේ ඇසෙන් නැගුණ කඳුළ මානවී දුටුවේ නැත. නිර්මලා
සියල්ල අවසන් යැයි සිතා ඇඳ මත වැතිරුණාය. මානවී වැතිර සිටියේ එයට යාබදවය.
"මං මේ ඔක්කොම කළේ ඔයා හින්දා. අප්පච්චි දාලා ගියාට මං ඔයාට දුකක් දුන්නේ නෑ. මෙහෙම
ගිහිල්ලා ඔයා අමාරුවේ වැටුණොත් ඔයා කව්ද මේවල දන්නේ?"
නිර්මලා ගේ හඬෙහි ඇතිවුණේ කෝපයක් නොවේ. අඩ අඳුරේ වුව සිත් කියවන්නට මානවී සමත් වූයේ
නම්, ඈ නිහඬ වනු ඇත.
අනතුරුව දෙදෙනාම නිහඬවන්නට තීරණය කළා වැන්න. තවත් කාලයක් නිසොල්මන්ව ඔවුහු සයනය මත
ගමන් කළහ. නිර්මලාට ඇසුණේ මානවී සුසුම් හෙළන හඬය.
මේ නාහෙට නාහන වයස. මොනව හරි කරගත්තොත්.
ඇය තනිවම සිතුවාය. අවුරුදු ගණනාවකට පෙර තමා ජීවිතයේ මුහුණ දුන්නේ මෙබඳු ගැටලුවකට
නොවුණත් මේ හා සමානවමය. පසුගිය කාලයේ දියණියට තමා විසින් ලබා දිය යුතු ආදරය ලබා
දුන්නේ තම මව්පියන්ය. ඇයට අනාගතයක් තනන්නට තම ජීවිතය වෙහෙසුණේ නැත්ද? යි නිර්මලා
කල්පනා කළාය.
ඇයට ඊළඟ මොහොතේ ඇසුණේ දොරට ගසන හඬකි. නිර්මලා මද වේලාවක් කල්පනා කළාය. දොරගුළු හා
ජනේලය අතරින් එළියක් වැටෙමින් පවතී. ඈ අසල තවමත් මානවී නිදාගත් ගමන්මය. නිර්මලා වහා
ඇඳෙන් පැන්නාය.
'නිර්මලා.'
ඒ ශ්‍යාමාගේ කාමරයේ උන් යුවතියක ගේ හඬය.
නිර්මලා දොර හැරියාය.
"ඒයි වැඩට යන්නේ නැද්ද?"
"හත් දෙයියනේ. මෙච්චර එළිවෙලා."
"එත් අපි හිතුවා උඹ ගමේ ගියා කියලා."
යුවතිය ආපසු කාමරයට යන ගමන් පැවසුවාය. මානවී ඇඳෙන් බැස්සාය.
"අද හොඳටම පරක්කු වුණා."
නිර්මලා පැවසුවේ, පෙරදා රාත්‍රිය අමතක කරන්නට මෙනි. මානවී කිසිත් නොකියා බිත්තියේ
තිබූ කැඩපතින් මුහුණ පිරික්සුවාය.
නිර්මලා කාමරයෙන් පිටව ගියාය. මානවි කල්පනා කළේ ඊළඟ පැය කිහිපය ගැනය. නිර්මලා තවත්
මොහොතකින් ආපසු ආවාය.
"දැන් වැඩට යන්න පරක්කු වෙනවා. හාෆ් ඩේ එකක් දාන්ඩ වෙනවා."
මානවී කිසිත් නොකිව්වාය. ඒ වෙනුවට ඇය මුහුණ සෝදන්නට යන්නට තීරණය කළාය. අම්මාද
දියණියද දෙදෙනාම එකිනෙකාට හොරෙන් ඔවුන්ගේ හැඟීම් ගිලගන්නට තීරණය කළා වැන්න.
ගෙයින් එළියට බසින මානවී දෙස නිර්මලා බලා සිටියේ හැඟීමකින් තොර බැල්මකිනි. මගේ දෝණි
ලස්සනයි. ඊළඟ මොහොතේ ඇයට ආඩම්බරයක් ඇතිවිණ. ඇතිවූ ආත්මානුකම්පාව ඊළඟ මොහොතේ ඇයගේ
සිත වෙලාගති. පාසලේ දක්ෂතම ශිෂ්‍යාව වූයේ නිර්මලාය. ඇය ඇහැට කනට පේන්නට සිටි
එකියකි. එපමණක් නොව පළාතේ ගෞරවයට ලක් වූ වෙද පවුලේ දියණියයි. පාරම්පරික වෙදකම ඈ අතට
පත්වනු ඇතැයි එකල සියල්ලෝ බලාපොරොත්තු වූහ. පොඩි වෙද හාමිනේ ඇයට ආදරයට පැවසූ නමයි.
පාරම්පරික වෙදකම මෙන්ම බටහිර වෛද්‍යවරියක වන්නට ඇයට පින් ඇතැයි සාමාන්‍ය පෙළ විභාගය
ඉහළින් සමත් වද්දී නිර්මලා ගැන දන්නා උදවිය විශ්වාස කළහ. ඒ සියල්ල සුළඟට ගියේය. අද
ද තාත්තාගෙන් උගත් අත් බෙහෙතෙක් හදිසියේ දෙන්නට නිර්මලා සමත්ය. මානවී ගැන ඇයට බිය
තියෙන්නේ ජීවිතටය මුහුණ දුන් අයුරු දන්නා නිසාය.
මානවී කාමරයට ආවාය.
"අර ළමයි එනවා කිව්වේ කියටද?"
මානවීට එකවර කන් අදහා ගත නොහැකි වූවා සේය. ඈ එකවරම හැරී බැලුවාය. නිර්මලා ඇඳුමක්
නවන්නට පටන් ගත්තාය.
"ඈ පුතේ අර ළමයි එනවා කිව්වේ කීයටද."
එවර මානවී උත්තර දුන්නාය.
"වෙලාවක් කිව්වේ නෑ. උදේ එනව කිව්වේ."
මානවී ගේ හඬ උස් වූයේ නැත.
"පොඩ්ඩක් කෝල් එකක් දාලා බලන්න. කීයටද එන්නේ කියලා."
නිර්මලා පැවසුවේ තමන් කරමින් සිටි කාර්යය නවතා දමන්නේ නැතුවමය. මානවී කිසිත් නොකියා
මොහොතක් සිටියාය. අත්තම්මාට මෙන් අම්මාට ළංවී සිටීමේ අවස්ථාවක් මානවීට නොවුණා සේය.
ඇය අම්මාගේ උරහිසට හේත්තු වූවාය. බොහෝ කලකට පසු වෙනදාට නැති උණුසුමක්, නිර්මාලාට
සිය දියණියගෙන් දැනිණ. ඇයගේ ඇසේ කඳුළක් ඉපැදිණ. එය පිටත නොදෙන්නට ඈ යටිතොල සපා
ගත්තාය.
"මගේ මැණික, මට ඔයත් එක්ක එන්ඩ ඕනා. හැබැයි ඉතින් අපි වැඩ කරන්නේ අපේ හිතුමනාපෙට
නිවාඩු ගන්ඩ පුළුවන් තැන්වල නොවේ. අපි ආණ්ඩුවල සේවකයෝ නෙමෙයිනේ. පුතේ ඔයා ගේ
පරිස්සම තියෙන්නේ ඔයාගේ අතේ."
"මං පරිස්සම් වෙන්ඩ දන්නවා අම්මා."
"ගෑනු අපිට වරදින්න මහ වෙලාවක් යන්නේ නෑ මැණික. අපේ වැඩපොලේ ඉන්නවා ඔය ඇට් කරන්න
හිතාගෙන ලෝකේ තිබුණ ඔක්කොම දන්දුන්න අය. මේ ලෝකේ අපි හිතන තරම් හොඳ නෑ මගේ දුවේ."
අම්මා එතරම් තමාට සමීප වූ දවසක් මානවීට නැතුවාය. චමින්දට තමා දියණිය නොව සහෝදරිය
යැයි හඳුන්වා දුන්නේ ඇයිදැයි අසන්නට ඇයට වුවමනාව තිබිණ. එය ඇගේ සිතේ කැකැරීමෙන් වද
දුන්නේය. එහෙත් මානවී ඒ හැඟීම ගිල දමා ගත්තාය. මේ සුන්දර මොහොත යළි අහිමි කර ගැන්මට
ඇය බිය වූවාය.
"අම්මා මා ගැන බයවෙන්න එපා. දැන් මං පොඩි ළමයෙක් නෙවේ.'
දුරකතනය නාද වූයේ ඒ අතරමය. මානවී වහා එය අතට ගත්තාය. ඒ සුජිත්ගෙනි. ඒ කතාවට කන්
දෙන්නට නිර්මලාට වුවමනා වුවත්, මානවීගේ පිළිතුරවල වූයේ කෙටි බවකි. "ඔව්, පුළුවන්,
තියෙනවා, නෑ" ඒ පිළිතුරු අතර විය. අනතුරුව ඇමතුම විසන්ධි කළ මානවී අම්මා දෙස
බැලුවාය. නිර්මලාගේ වූයේ විමසුම් සහගත බැල්මකි.
"තව පැයක් ඇතුළත එනවලු. මල් තියෙන ගවුමක් තියෙනවද කියලා ඇහැව්වා."
"තියෙනවා කිව්වද?"
"ඔව් කිව්වා."
"ඔයා ගිහිල්ලා කොච්චර වෙලා යනවද දන්නේ නෑ. කීයට ගෙදර එනවද?"
"යළිත් නිර්මලා ඇසුවාය."
"බලමුකෝ."
මානවී අපේක්ෂා සහගතව පිළිතුරු දුන්නාය.
මානවී ගවුමක් ඇඳ ගත්තාය. ඇය ඇඳ ගත් පසු නිර්මලා සිය දියණියගේ හැඩරුව දෙස ඕනෑකමින්
බැලුවාය. මගේ දෝණිට ජයසිරිමහ හාමුදුරුවන්ගේ පිහිටයි. තිස්තුන් කෝටියක දෙවියන්ගේ
ආරක්ෂාව ඈ සිතින් ප්‍රාර්ථනා කළාය.
"වරදින එකාට, කොහේ හිටියත් වරදිනවා."
නිර්මලා හිත හදා ගන්නට උත්සාහ කළාය. ශ්‍යාමා වරින්වර එබිකම් කළේ ඒ අතරය.
"අම්මා යන්න කිව්වා."
මානවී ඇයගේ සිතහි උපන් කුහුල බින්ඳාය. ශ්‍යාමාද මානවීගේ කම්මුල මිරිකුවාය.
"අනේ හොඳයි."
රථයක නලා හඬ ඇසුණු ඔවුහු පාර දෙස බැලූහ. පාර අයිනේ නතර කළ වාහනයකින් සුජිත් එදෙසට
ආවේය.
"කෝ ඇඳුම්."
මානවී තෝරා ගත් ඇඳුම පෙන්නුවාය.
"ඇයි ඒවායේ ඇඳුම් දෙන්නේ නැද්ද? ඉස්සර නම් පිච්චර්වල දෙනවලු නේද?"
ශ්‍යාමා ඇසුවාය. සුජිත් ගේ මුහුණේ සිනහවක් නැගිණ.
"ඒ ඉස්සරය."
මානවී තෝරා ගත් ගවුම සුජිත් ගේ සිතට ඇල්ලුවේ නැත.
"තව මුකුත් නැද්ද?"
ඔහු නිර්මලාගෙන් ඇසුවේය.
"අක්කාගේ උනත් බලන්නකෝ."
ඇඳුම් කිහිපයක්ම එළියට ඇදිණ. අන්තිමට නිර්මලා ඇගේ ඇඳුමක් දුන්නාය."
"ආ මේක හොඳා."
"මට අඳින්න පුළුවන්ද දන්නේ නෑ."
මානවී කෙඳරි ගෑවාය.
"බලන්ඩ දාගන එන්නකෝ."
මානවී ගෙට ගියාය. ඒ අතරවාරයේ සුජිත් නිර්මලා සමඟ කතාවට වැටිණ. රූ ගන්වන තැනට මෙතැන
සිට කිලෝමීටර් පහක් ඇත. නිර්මලාද එතැනට එයි. උදේ වරුවේ හදිසි නිවාඩුවක් ඉල්ලන ඇයට
දොළහ වන විට, රස්සාවට යන්නට හැක. ඇයගේ සිතට සැනසුමක් දැනිණ. අම්මාගේ ඇඟලුම ඇඟලාගත්
නිර්මලා කාමරයේ එළියට ආවාය.
"ෂා! මරුනේ."
සුජිත්ට කියැවිණ.
ලබන සතියේ
මානවීට ලැබෙන චරිතය කෙබඳුද?
|