වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 18 වැනිදා බ්‍රහස්පතින්දා




සිල්බිඳගත් වීඩීයෝව නිසා මගේ ගීතය විනාශ වුණා

සිල්බිඳගත් වීඩීයෝව නිසා මගේ ගීතය විනාශ වුණා

රන්ජන් සාලිය පෙරේරා

රන්ජන් සාලිය යන ගායකයා පිළිබඳ වැඩි දෙනෙකුගේ අවධානය යොමු කරන්නේ ත්‍රිවිධ හමුදාවන් වෙනුවෙන් නිර්මාණය වූ මුහුද දෙබෑ කරන (අපෙන් එකකි ඒ මිනිසා) ගීතය සමඟිනි. එය ළයාන්විතව ගයා ගායන ශිල්පියකු වශයෙන් කලඑළියට ආ ඔහු ඉන් පසු කාලාන්තරයක් නිහඬ චරිතයක් වූයේය. නැවතත් රන්ජන් සාලිය කරළියට පැමිණ සිටියි. ඒ සිල් බිඳ ගත්තෙ ගීතය කැටුවය.

පසුගිය දිනවල මහත් වූ ආන්දෝලනයකට තුඩුදුන් එම ගීය සමිතා සමඟ ගැයුවේ රන්ජන් බව වැඩි දෙනකු දන්නේ නැත. අපේ මේ කතාවට ඔහුව කැඳවා ගත්තේ ද සිල් බිඳ ගත්තෙ ගීතය පිළිබඳ වැඩිපුර අදහස් විමසීම් අටියෙනි.

රන්ජන්, අළු යට සැඟව තිබූ ගිනි පුපුරක් වගේ ඔබ යළිත් උඩට ආවේ රටේම අවධානයට ලක්වෙමින්?

ඔව්. මම අපි වෙනුවෙන් අපි ගීතය ගැයුවට පස්සේ තරමක් නිහඬ වෙලා හිටියේ. ඒ කාලය අතරතුරදී නව නිර්මාණයක් කළේම නැහැ. ඔය අතරේ තමයි මට ඇරැයුමක් ලැබෙන්නේ සිල් බිඳ ගත්තෙ ගීතය ගයන්න.

ඒ කොයි කාලෙද?

අදින් අවුරුදු තුනකට විතර පෙර.

සංගීත ක්‍ෂෙත්‍රයේ ඔබ හෙමින් ගමනක යෙදෙන බව පේනවා. ඒ වගේම තෝරා බේරාගෙන ගීත ගායනයෙහි යෙදෙනවා කියලත් දැනෙනවා. එහෙව් තත්ත්වයක් මත මොන පදනම යටතේ ද සිල් බිඳ ගත්තෙ වැනි ගීතයක් ගැයුවේ?

එය සංගීතවත් කළේ ඉරාජ්. මම ඔහුගේ පෙර නිර්මාණ ගැන සෑහීමකට පත් වන්නේ නැහැ. නමුත් කාගේ වුණත් හොඳ දෙයක් තියෙනවා නම් ඉතාම ඉහළින් අගය කරන කෙනෙක් මම. ඔය ගීතයේ ඩමිය අහන්න ලැබුණු වෙලාවේ මට දැනුණා මේක ඉරාජ් හදපු වෙනස්ම ගීතයක් කියලා. ඒකයි කියන්න එකඟ වුණේ.

මෙහි වීඩියෝව මේ වන විට යම් කතිකාවතක් ගොඩ නඟන්නට සමත් වෙලා තියෙනවා?

ඒක ඇත්ත. නමුත් එම වීඩියෝව දන්න භාෂාවෙන් කිව්වොත් අන්තිම පහත්. ජරාම ජරා වීඩියෝවක්.

ඔබ දැනුවත් වෙලා හිටියේ නැතිද එය ගැන?

කොහෙත්ම නැහැ. මගේ කිසිදු අනුදැනුමකින් තොරවයි වීඩියෝව නිර්මාණය කොට රිලීස් කරලා තියෙන්නේ.

ඒකද ඔබ වීඩියෝවේ නැත්තේ?

ඔව්.

ඔබ ඇයි සිල් බිඳ ගත්තෙ වීඩියෝව සඳහා විරෝධය පළ කරන්නේ?

එම ගීතයට මීට වඩා හොඳ සහ ලස්සන වීඩියොවක් කරන්න තිබුණා. මුලදි මුලදි ඔය වීඩියෝව නරඹපු අය මටත් බැන්නා. නමුත් මම එයට සම්බන්ධ නැති වග දැනගත් පසුව ඒ බැනුම් නැවතුණා. මං මේ සංගීත ක්ෂේත්‍රය තුළ ක්‍රමානුකූලව ආව කෙනෙක්. ආවට ගියාට සින්දු කිව්වේ නැහැ. මං බොහොම අමාරුවෙන් හදාගත්තු නම පොඩ්ඩක් හරි විනාශ වෙනවා බලාගෙන ඉන්න මට බැහැ. ඒ වුණාට මේ වන විට වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයිනේ.

කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔබ මේ ගැන මොන යම් හෝ ද්වේෂයකින් ඉන්නවා කියලා?

ඔය ප්‍රශ්නය අහපු එක හොඳයි. මම පසුගියදා පුවත්පත් කිහිපයකටම ඔය වීඩියෝවට විරුද්ධව කතා කළා. එතකොට කට කතාවක් පැතිරුණා මං මේ ගීතයේ අයිතිය ගන්න තමයි මේ හදන්නේ කියලා. මට මේකේ අයිතිය ඕනෑ නැහැ. අඩුම ගානේ රිඟිං ටෝන්වලින් එන මුදලවත් මට එපා. මට තියෙන එකම කනගාටුව මේ ගීතය විෂුවල් එකක් හරහා විනාශ කිරීම. මේ හින්දම මගේ ප්‍රසංග වේදිකාවකදීවත් සිල් බිඳ ගත්තෙ ගීතය කියන්නේ නැහැ.

ඔබ සාමාන්‍යයෙන් ගීතයක් ගයන්නට පෙර සැලකිලිමත් වන කරුණු මොනවාද?

මගේ මතයට අනුව ගීතයක් වුණාම ඒක සංගීතයෙන් පරිපූර්ණ එකක් වෙන්න ඕනෑ. ගීතයක ජනප්‍රියත්වයට ඉතා තදින් බලපානවා එහි සංගීතය. එහෙයින් මං පළමුව බලන්නේ ගීතයේ සංගීතය දිහා. ඊට පසුව පදමාලාව.

ඔබේ මේ දිිනවල වැඩ කටයුතු කොහොමද?

මේ මාසේ අග මන්දර පව්ව නමින් සංගීත ප්‍රසංගයක් පැවැත්වෙනවා. එහි සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වන්නේ දර්ශන රුවන් දිසානායක. මම ඇතුළු හඬවල් පහකින් ප්‍රසංගය ගීතවත් වෙනවා. එයට අවශ්‍ය ගීත කිහිපයක් පටිගත කළා. ඊට අමතරව ප්‍රසංගයේ රිහසල්වලට සහභාගී වෙනවා මේ දිනවල.

මේ වසරේදී ඔබ චිත්‍රපට ගීත ගායනයටත් පිවිසීමට නියමිතයි නේද?

ඔව්. මගේ පළමු චිත්‍රපට ගීතය ගයන්නේ නලීන් මාපිටිය මහත්මයාගේ තානාපතිලගේ නිවස සිනමාපටය වෙනුවෙනි.

මේ වසරේදී එය සිදුවේවි.

ඔබ මේ වන විට වෘත්තීමය ගායකයෙක්ද?

ඔව්. මගේ වෘත්තීය ගායනය.