|
ලංකාවේ ශිල්පියකු නිසා ඉන්දියාවෙන් විරෝධයක්එදා කමල හසන් මා වෙනුවෙන් පෙනී සිටියා
මෙවර ‘හැඩවැඩමැද” ඔස්සේ ඔබ හමුවට පැමිණෙන්නේ ප්‍රවීණ අංගරචනා ශිල්පී රංජිත් වික්‍රමසිංහයි. නාරම්මල ප්‍රදේශයේ ඉපිද හැදී වැඩී සිය යහළුවා වන ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ යොමු කිරීමෙන් අංගරචනා ශිල්පයට පිවිසෙන රංජිත් පළමු සම්මානය ලබා ගන්නේ 1978 වසරේදී ය. ඒ හොඳම අංගරචනා ශිල්පියා ලෙස හොරණ පැවැති කෙටි නාට්‍ය උලෙළෙකදියි. මේ වනවිට සරසවිය සම්මානය ඇතුළු සම්මාන රැසකට උරුමකම් කියමින් අංගරචනා ශිල්පයෙන් දිගු ගමනක නිරතව සිටින ඔහු සිය අතීතයේ සිදුවීම් පිළිබඳ මෙසේ මතකයට නැඟුවේ ය.
වේදිකාවේ කළ අංගරචනයෙන් පස්සේ ඔබ අංගරචනය ඉගෙන ගන්න වෙහෙසෙනවා ද? ඒ කාලයේ ම දවසක් පත්තරේක දැන්වීමක සඳහන් කරලා තිබුණා ශේෂා පලිහක්කාර මහත්තයාට සහය අංගරචනා ශිල්පියෙක් වුවමනයි කියලා. මාත් සමඟ එතුමාව මුණ ගැහෙන්න ගිහින් ඒ ගැන කතා කළේ ක්‍රිෂ්ටි තමයි. එතැනදි මට පුංචි ටෙස්ට් එකක් විදියට පින්තූර ටිකක් ඇඳගෙන එන්න කියලා ශේෂ පලිහක්කාරයන් පැවසුවා. ඒ කටයුත්ත කළාට පස්සේ ඔහුගේ සහය අංගරචනා ශිල්පියා විදියට මාව තෝරා ගත්තා. සහයකයා ලෙස ඔබට පැවරුණේ මොනවගේ වැඩ කටයුත්තක් ද? මගේ ගුරුතුමා මුලින් ම සබීතා පෙරේරා මහත්මියගේ අංගරචනා කටයුතු කරන විට ඊට අවශ්‍ය කළමනා දෙන්නයි මට පැවරුණු මුල් ම කාර්යය වුණේ. ඒ වගේ ම නිතර ම ඔහු අංගරචනා කටයුතු කරන ආකාරය මම නිරීක්ෂණය කළා. මේ අතර ‘හිමකතර’ චිත්‍රපටයේ වැඩත් භාරවුණේ මගේ ගුරුතුමාටමයි. මමත් එහි කටයුතුවලට සහය වෙන්න ගියා. එහි රඟපෑ අයිරාංගනී සේරසිංහ මහත්මියට දමන්න තිබුණේ තරමක් බැරෑරුම් අංගරචනාවක්. දවස් කිහිපයක් ම මා ඒ අංගරචනා කටයුතු කරන්න උදව් කරනවා ඈ දැක්කා. දවස් කිහිපයකට පස්සේ මේ ප්‍රවීණ නිළිය මට ඒ කටයුත්ත භාරදෙන්න කියලා ශේෂා පලිහක්කාර මහත්තයගෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව මට තනියෙන් අංගරචනා කටයුත්තක් කරන්න භාර වෙන්නේ අයිරාංගනී සේරසිංහ මහත්මියගෙයි. ඊට පස්සේ එහි ම රඟපෑ ගීතා කුමාරසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය වැනි ප්‍රවීණ නළු - නිළියන්ගේ පවා අංගරචනා කටයුතුවල යෙදෙන්න මට අවස්ථාව ලැබුණා. මේ කටයුතු දෙස බලාගෙන සිටිය එහි අධ්‍යක්ෂවරයා වුණු ධර්මසිරි වික්‍රමරත්න කළ ඊළඟ චිත්‍රපටයේ ප්‍රධාන අංගරචනා ශිල්පියා ලෙස තෝරා ගැණුණේ මාවයි. මම පළමු වරට අංගරචනා ශිල්පියා වුණේ ලංකාවේ අධ්‍යක්ෂණය කළ ජාත්‍යන්තර චිත්‍රපටයක් වන ‘තවුසන් ෆ්ලවර්ස්’වලයි.
ගාමිණී ෆොන්සේකා සමඟ වැඩ කරන්න පහසු වුණා ද? කවුරු කොහොම කිව්වත් ඔහුත් සමඟ වැඩ කරන්න මම බොහොම කැමැතියි. මට මතකයි ‘ලව් වැන් වෝ’ කියන චිත්‍රපටයේ ඔහුට අංගරචනා කටයුතු කරන්න තිබුණේ බෝම්බයකට අහුවෙලා, විනාශවෙලා තිබෙන දර්ශනයක්. ඔහුට එහිදි කළ යුතු දේ මා පැහැදිලි කළා. ඒ ‘සර් මෙතැනදි බෝම්බයට මුහුණේ ගැලවුණු කෑලි හදන්න, ඔළුවේ ඉඳන් ලේ වක්කරන්න, වැලි දාන්න තිබෙනවා’ යනුවෙන්. ඒ අවස්ථාවේදි ඔහු ‘තමුසේ කැමැති දෙයක් කරනවා මගේ සියලු ම දේ තමුසෙට භාරයි.’ යනුවෙන් පැවසුවා. ඒත් එක්කම සිනහ වෙලා ‘අයිසේ මේක මතක තියා ගන්නවා. හැමෝටම මේ අවස්ථාව දෙන්නේ නැහැ’ කියලා විහිළුවක් කරන්නත් එතුමා අමතක කළේ නැහැ. ඒ වගේ බොහොම අපූරු මනුස්සයකුයි ගාමිණී ෆොන්සේකා කියන්නේ. අංගරචනා කටයුතුවලදි සිදුවුණු විශේෂ සිදුවීම් රැසක අත්දැකීම්වලට ඔබ මුහුණ දෙන්න ඇති නේද? ඒ කාලයේ ලැබුව සෑම අත්දැකීමක් ම සුන්දරයි. ඒ අතර ‘ක්‍රිස්තු චරිතය’ චිත්‍රපටයේ දී සිදුවුණු සිදුවීමක් මගේ මතකයට නැඟෙනවා. සුනිල් ආරියරත්න මහත්තයා අධ්‍යක්ෂණය කළ ‘ක්‍රිස්තු චරිතය’ චිත්‍රපටයේදිය. ලොකු කාන්තාරයක් වගේ පිට්ටනියකයිි රූගත කිරීම් කළේ. එහිදි අපට බොහෝදෙනෙකුට රැවුල් දාන්න සිදුවුණා. මේ රැවුල් ටික සුළඟට ගසාගෙන යන තරම්. එහෙම නොවුණත් ඒ සුළඟට රැවුල් විහිදිලා යන එක කිසිවකුටත් නවත්වන්න බැහැ. එතැනදි මගේ සහයට සිටියේ වසන්ත විට්ටච්චියි. මේ සිදුවීම අත්වින්ද අපි දෙන්නා අපූරු ගීතයක් නිර්මාණය කළා. ඒ සුනිල් ආරියරත්න මහාචාර්යතුමා ම ලිව්ව ගීතයකින්. ‘සුළංකපොල්ලේ - අලෝපු රැවුලේ කෑලි කැඩී විසිරිලා..... ’ යනාදි වශයෙන්. ඒ වගේ ම මේ හදපු ගීතය ඒ අවස්ථාවේ අපි බොහොම ළයාන්විතව ගායනා කරන්නත් අමතක කළේ නැහැ. එහි ළයාන්විත බවේ විහිදීම කොයිතරම් ද කිව්වොත් අප අසලට ආව මහාචාර්යතුමා ‘මේ උඹලා කාගේ ගීත කෑවත් කමක් නැහැ. මගේ ගීත කන්න එපා’ කියලා අපට තට්ටුවකුත් දැම්මා.
ජීවිතයේ වටිනාකම කොයිතම් ද කියලා දැනුණු දවසකුත් මේ සිදුවීම් අතර තිබෙනවා? ‘මදර් තෙරේසා’ චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර ඒ කම්ෆැනියෙන් ම ජර්මන් කර්මර්ෂල් එකක් කරන්න තංගල්ලට යන්න මට සිදුවුණා. එත් මට නිවාඩු තිබුණේ එක ම දවසයි. ඒ නිසා ඒ කටයුත්ත කරලා ආපසු ඊළඟ දවසේ නැවතත් මෙතැන ම මා සිටිය යුතුයි. මේ නිසා ඔවුන් කළේ රත්මලානෙන් මාව ෆ්ලයිට් එකක නංවා තංගල්ලට රැගෙන යෑමයි. අන්න චිත්‍රපට නොවෙයි මට මරණ බය දැනුණේ එදා තමයි. ප්ලේන් කඩා වැටෙන කාලේ ඇන්ටෙනෝ වගේ එහේ තිබුණු කබල් ම කබල් ප්ලේන් එකකයි රෑ අපි නැග්ගේ. ගැස්සි ගැස්සි ටික දුරක් ගිය ප්ලේන් එක ඉහළ අහසට නැග්ගුවා විතරයි වහින්න පටන් ගත්තා. විදුලි කොට කොට සුළි සුළඟක් වගේ සුළං හැමුවා. මට දැනුණේ ප්ලේන් එක කඩා වැටෙන්න තියෙන්නේ ඔන්න මෙන්න කියලයි. කොයිතරම් මා බය වුණා ද කිව්වොත් මට හොඳට ම ඇඬුණා. ඒත් අපට කිසිම දෙයක් වුණේ නැහැ. අන්තිමට මම ඒ ප්ලේන් එකේ එන්න බැහැයි කියලා කිව්වත් නැවත එන්න වුණෙත් ඒ ප්ලේන් එකේමයි. ඉන්දියාවේ කළ ‘ඉන්දියන්’ චිත්‍රපටයේ ඔබට අංගරචනා ශිල්පියා ලෙස කටයුතු කරන්නට අවස්ථාව හිමිවන්නේ කෙසේද? කැමිල් කැල්වට් කියන අංගරචනා ශිල්පිණියයි මාව මීට යෝජනා කර තිබුණේ. ඇය වැඩකළේ ලොස්ඇන්ජලිස්වල වෙස්මෝ කියන කම්ෆැනියෙයි. එය ප්රේරාස්තටික් නිෂ්පාදනය කරන තැනක්. එතැනින් තමයි ‘ඉන්දියන්’ චිත්‍රපටයට ප්‍රොස්තටික් අංගරචනය කරන්න අවශ්‍ය අංගරචනා ශිල්පියා එවලා තිබුණේ. වැඩ කරගෙන යන අතරේ දි ඒ ශිල්පියා මාසයක් පමණ වෙනත් කටයුත්තකට යන නිසා ඒ වෙනුවට කෙනෙකු එවන්න යැයි ඉන්දියන් චිත්‍රපටයේ පිරිස ඉල්ලීමක් කරලා තිබුණා. එතැනදියි කැමිල් කියලා තියෙන්නේ ඒකට ඇමෙරිකාවට එන්න වුවමනා නැහැ. ලංකාවෙන් ඒ වගේ දක්ෂ කෙනෙක් ගෙන්න පුළුවන් කියලා. ඒ අනුවයි මට ‘ඉන්දියන්’ ෆිල්ම් එකට ආරාධනා ලැබෙන්නේ. ඊට පස්සේ ඔහු නැවතුණ තැන ඉඳලා මා දිගටම ඒ කටයුත්ත කරගෙන ගියා. කමල් හසන් පැමිණි දවස්වලට විතරයි මට වැඩ තිබුණේ. ඉන්දියන් අය සමඟ වැඩ කටයුතු කරන්න පහසු වුණා ද? ඉන්දියන් අය ටිකක් අමුතුයි කියලා මට සිතුණා. මම එහෙම කියන්නේ හැමෝම ගැන නොවෙයි. මේ චිත්‍රපටයේ සිටිය සමහරු ලංකාවේ අංගරචනා ශිල්පියෙකු සහභාගි කර ගත්ත කියලා දැන ගත්තට පස්සේ වර්ජනය කරන්න සුදානම් වුණා. ඒ ප්‍රශ්නයට මැදිහත් වුණේ කමල්හසන්. ඔහු ඒ වෙලාවේ කියලා තිබුණේ එහෙමනම් මේ කටයුත්ත පුළුවන් කෙනෙක් ඇවිල්ලා කරන්න කියලයි. ඒ අවස්ථාවේ මේ අංගරචනා කටයුත්ත කරන්න කිසිම කෙනෙක් තමිල්නාඩුවේ සිටියේ නැහැ. ඒ නිසා ඊළඟට දිගටම ඒ මම අංගරචනා කටයුතු කරගෙන ගියා.
‘කමල් හසන්’ කියන්නේ මොනවගේ කෙනෙක් ද? බොහොම නිහතමානී කෙනෙක්. ඔහුගේ ඒ නිහතමානී බව හෙළිවන අපූරු සිද්ධියකට ඉන්දියාවේදී මට මුහුණ දෙන්න අවස්ථාව ලැබුණා. කමල්හසන් හමුවන්නටත් පෙර ම මා ඔහුගේ චිත්‍රපට රැසක් නරඹලා තිබුණා. මා ඉන්දියාවේ සිටිය කාලයේදියි ඔහු රඟපෑ ‘කුර්ති පූනල්’ කියන චිත්‍රපටය තිරගත වන බව දැන ගන්නට ලැබුණේ. එහි චිත්‍රපටයක් නරඹන්න නම් සති දෙකකටවත් කලින් ප්‍රවේශ පත්‍රයක් ගත යුතුයි. මට චිත්‍රපටය නරඹන්න ලැබුණු දිනය හරියටම ඉන්දියන් චිත්‍රපටයේ රූගත කිරීම් තිබුණු දිනයක්. ඒ ගැන මම කමල් සර්ටත් කිව්වා. එදා හවස යළිත් මම මේ ගැන ඔහුට මතක් කළා. ‘ඔයාට චිත්‍රපටය නරඹන්න පුළුවන්’ එක්වරම ඔහු පැවසුවා. ඒත් රූගත කිරීම් එදාට තිබෙනවා නේද කියන කාරණයත් මා ඔහුට යළිත් මතක් කළා. ඒ වෙලාවේ ඔහු පැවසුවේ ‘මගේ ෆෑන් කෙනෙක්ව ඩිසේබල් කරන්න මා කැමැති නැහැ’ යන්නයි. ඒ නියමිත දිනය උදාවුණා. ඔහු රූගත කිරීම්වලට පැමිණියේ නැහැ. හයිද්‍රාබාද් යනවා කියලා ගිහින් තිබුණා. මම දන්න විදියට රූගත කිරීම් කරන්නේ ඔහු එන දවසට පමණයි. එහෙම පැවසුවේ ඊළඟ රූගත කිරීම් තිබෙන්නේ කවදද කියලා මා විමසුවොත් ඔවුන් පවසන්නේ කමල් සර්ගෙන් අහලා කියන්නම් කියලයි. කොහොම හරි එදා මම ඒ චිත්‍රපටය නැරැඹුවා. කරදරකාර නිළියන් එහෙම මුණ ගැහිලා තියෙනවද? එක්තරා ටෙලි නාට්‍යයකදියි මට මේ කාරණයට මුහුණ දෙන්න වුණේ. කැලයක, හේනක තිබුණු මෙහි රූගත කිරීම් අතරදි අම්මා හා දුවගේ චරිතයයි මට අංගරචනා කටයුතු කරන්නට තිබුණේ. එහිදී අම්මා වඩා දුව ලස්සන විය යුතුයි. අම්මා ඒතරම් ලස්සන වෙන්න බැහැ. ඒක අම්මාගේ චරිතය කළ ප්‍රවීණ නිළියට ප්‍රශ්නයක් වුණා. මම අංගරචනා කටයුතු කරලා ගියාට පස්සේ ඇය ඇහිබැම හීනියට ඇඳගෙන, තොල් ආලේපන දමාගෙනයි ඒ සිදුවීමට මුහුණ දුන්නේ. නැවතත් මම ඇගේ අංගරචනාව සකස් කළේ ‘මොකද අම්මා කැලේට ගිහින් එන ගමන් සැලුන් එකකට ගිහින් ද එන්නේ’ කියලා විහිළුවක් කරන ගමන්. |