|
කර්මාන්තයක් කිව්වට සිනමාව යකඩ කම්මලක් නෙවෙයි‘දඩයම’ නිෂ්පාදක රබීන් චන්ද්‍රසිරි හෙට (19) ප්‍රදර්ශනය ඇරැඹෙන ‘පටීභාන’ චිත්‍රපටයෙන් අධ්‍යක්ෂණයට
‘පටීභාන’ යනු සත්‍ය අවබෝධයයි
2015 - සා(ර්)ක් ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළේ හොඳම අධ්‍යක්ෂවරයා වූයේ රබීන් චන්ද්‍රසිරිය. සිය කුලුඳුල් සිනමා කෘතිය ‘පටීභාන’ (PERCEPTION) හරහා එසේ ජාත්‍යන්තර ඇගයීමට පාත්‍රවීම රබීන්ගේ නිර්මාණශීලී ප්‍රතිභාවට කදිම නිදසුනකි. රබීන් සිනමාවට ආගන්තුකයකු නොවේ. 1983 වසරේ තිරගත වූ වසන්ත ඔබේසේකරගේ ‘දඩයම’ නිෂ්පාදකවරයා රබීන්ය. එබඳු විශිෂ්ට චිත්‍රපටයකට අර්ථපති දායකත්වය දැරූ රබීන් යළි මෙසේ සිනමාවට එක් වන්නේ දිගු කලකට පසුය. M.P.I. මණ්ඩලයේ සිනමාහල්වල හෙට (19) සිට ප්‍රදර්ශනය කෙරෙන සිය කුළුඳුල් චිත්‍රපටය පිළිබඳ අධ්‍යක්ෂවරයා අප සමඟ කළ කතාබහකි මේ. ‘පටීභාන’ ඔබේ කුලුඳුල් සිනමා නිර්මාණය? ඔව්. මගේ පළමුවැනි චිත්‍රපට අධ්‍යක්ෂණය. ඒ වගේම මෙහි කතාව සහ තිර රචනයත් මගේ. ‘දඩයම’ චිත්‍රපටය නිෂ්පාදනය කරලා අවුරුදු තිස් තුනක් වෙනවා මේ වෙන කොට. යළි සිනමාවට එන්නේ මේ චිත්‍රපටයෙන් තමයි. ඇයි මෙච්චර කල් නිහඬව සිටියේ? සිනමාව මගේ වෘත්තීය නෙවෙයි. මම රැකියාව කළේ රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ. වසර දොළහක සේවා කාලයකින් පසු මම ඉන් ඉවත් වී බලයලත් මිනින්දෝරුවකු ලෙස කටයුතු කළා. ඒ අතරෙයි මට නැවතත් සිනමාවට එන්න ඕනෑ කියලා හිතුණේ. අලුත් මානයකින් තමයි ඔබ නැවත සිනමාවට එක් වන්නේ. ඇයි අධ්‍යක්ෂවරයෙක් ලෙස අලුත් භූමිකාවකට පිවිසෙන්න අදහස් කළේ? මට හිතුණා චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ හැකියාව මට තිබෙනවා කියලා. හුඟක් වෙලාවට නිෂ්පාදකයෙක් කිව්වම ගණන් ගන්නේ බිස්නස්කාරයෙක් විදිහට. ලංකාවේ පුරුදු වෙලා තියෙන්නේ එහෙමනේ. නිර්මාණය අධ්‍යක්ෂකගේ. නිෂ්පාදකයා එතකොට ව්‍යාපාරිකයෙක්. නමුත් මම ව්‍යාපාරිකයෙක් නෙවෙයි. ඒ නිසයි අධ්‍යක්ෂවරයෙක් විදිහට සිනමාවට දායක වෙන්න හිතුවේ. චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න ඕනෑ කෙනකුට පුළුවන්. නමුත් අධ්‍යක්ෂණය ඊට වඩා වෙනස්, සංකීර්ණ කාර්යයක්. එතනට එන්න පසුබිම සැළසෙන්නේ කොහොමද? ‘දඩයම’ චිත්‍රපටය ඉතාමත් සමීපව තමයි මම වසන්තත් එක්ක කරගෙන ආවේ. හැම එකකටම මමත් සම්බන්ධයි. එහි නළු නිළියන් පවා තේරුවේ මම. දර්ශන තල තේරුවෙත් මම සම්බන්ධ වෙලා. ඉතින් මට යම් පෙරහුරුවක්, අත්දැකීමක් ලැබුණා ඒ කටයුතුවලින්. අනෙක ඉතින් පොඩි කාලේ ඉඳන්ම මම චිත්‍රපට නැරඹුවා. එයිනුත් චිත්‍රපට ගැන පොඩි දැනුමක් තිබුණා. ඒ වගේම සිනමාව ගැන කියවපු නොයෙක් පත පොත් මට උපකාරී වුණා මේ චිත්‍රපටය නිර්මාණයේදී. ඒ නිසා අධ්‍යක්ෂණය විශාල අභියෝගයක් වුණේ නෑ? ඇත්තෙන්ම. අද බොහෝ විට පරිගණක තාක්ෂණය ඇසුරෙන්නේ චිත්‍රපට නිර්මාණය වෙන්නේ. මම ඒ තාක්ෂණය හොඳින් දන්නවා. මේ චිත්‍රපටයේදී ඒ දැනුමත් මට හුඟක් ප්‍රයෝජනවත් වුණා. ‘පටීභාන’ කියන නමේ අර්ථය එක්වරම අපේ ප්‍රේක්ෂකයාට වැටහෙන්නේ නෑ මම හිතන්නේ? ‘පටීභාන’ කියන්නේ ‘අවබෝධය’ කියන එකයි එතකොට අවබෝධය වෙන්නේ සත්‍යයනේ. සත්‍යය අවබෝධය කියන තේරුම තමයි පාලි වචනයෙන් ‘පටීභාන’ කියන්නේ. මිනිසකුගේ ජීවිතය සාර්ථක වෙන්න නම් එයාට අවබෝධය තියෙන්න ඕනැ. නැතිනම් යන්නේ වැරදි මාර්ගයක. හරි මාර්ගයක ගිය කෙනා තමයි සමාජයට කරදරයක් නැතිව ජීවත් වෙන්නේ. කෙනෙක් අපරාධයට යොමු වෙන හැටි සහ සත්‍ය අවබෝධය තුළින් යහපත් මිනිසකු බවට පත් වෙන හැටි තමයි මේ චිත්‍රපයට මම පාදක කර ගත්තේ. ඇයි විශේෂයෙන්ම මේ වගේ කතා සංකල්පයක් තෝරා ගන්න හේතුව? පාර තොටේ මිනිස්සු මරලා දාපු යුගයක් තිබුණා. ඒ වගේ දේවල් නිතරම පුවත්පත්වල පළ වුණා. මේවා කවුරු කළාද කියා දන්නේ නෑ. හැබැයි මේ ඝාතනයට ලක් වුණ අය පාතාලයට සම්බන්ධයි කියන කාරණය තමයි සමාජයට ගියේ. පාතාලයෙක් වුණත් මේ විදිහට මරා දමන එක හරි ද කියන සිතිවිල්ළ මගේ හිතට ආවා. උසාවියක් නෑ හැබැයි දණ්ඩනය නියම වෙලා ඉවරයි. මේ මිනිස්සු පුනරුත්ථාපනය කරන්න බැරිද, ඇයි මේ විදිහට පාර තොටේ වෙඩි කියලා මරලා දාන්නේ කියන සිතිවිල්ල මගේ සිතට ආවා. ඒ ඔස්සේ තමයි මම මේ කතා පුවත ගොඩ නැඟුවේ. කිසියම් සත්‍ය පුවතක් ඊට පසුබිම් වුණාද? නෑ. මේක මනඞකල්පිත කතාවක්. හැබැයි පදනම් වුණේ අර කාරණාව. කෙනෙක් පාතාලයෙක් වෙන්නේ ඇයි? එසේ වූ පමණින් ඔවුන් මරා දැමිය යුතුද? ඔවුන් පුනරුත්ථාපනය කළ නොහැකිද සහ ඇත්ත වශයෙන්ම එහෙම ඇඩ්‍රස් නැති මරණවලට ගොදුරු වූ අය සැබෑ පාතාලයන් ද කියන කාරණා ඔස්සේ තමයි මේ කතාව මම ගෙතුවේ. ‘තරු සංකල්පය’ නැතිනම් මේ ‘ස්ටාර් කොලිටිය’ත් එක්ක තමයි වර්තමානයේ බොහෝ චිත්‍රපට නිර්මාණය වන්නේ. නමුත් ඔබ මෙහි ප්‍රධාන චරිතයට තෝරා ගෙන තිබෙන්නේත් නවක නළුවෙක්? ඔව්. සියයට අනූවක් විතර නවකයෝ තමයි මම මේ චිත්‍රපටයට දායක කර ගත්තේ. මට ඕනෑ වුණේ මම මවාගත්ත චරිතයට පණ පොවන්න පුළුවන් රූපයක් තිබෙන කෙනෙක්. එහෙම හොයන කොට මට හුඟක්ම හමු වුණේ අලුත් කට්ටිය. තව එකක් තියෙනවා, හැමදාම දකින මුහුණුවල කිසිම නැවුම් ගතියක් නෑනේ. ඒ නිසයි මම එහෙම නවකයන් පිරිසකුත් යොදා ගත්තේ. සමහරු මේ චිත්‍රපටයක රඟපෑවේ පළමු වතාවට. නළු නිළියන්ගෙන් ඔබ බලාපොරොත්තු වුණ දේ ඉෂ්ට වුණාද? ඇත්තටම නවකයින් වුණාට ඔවුන්ගේ රඟපෑම් ආධුනික නෑ. චිත්‍රපටය නැරඹු හැමෝම ඒ රඟපෑම් අගය කරමින් කතා කළා. දැන් මේ චිත්‍රපටයේ නායක හාමුදුරුවෝ ඇත්තම හාමුදුරුනමක් ද කියලා මගෙන් සමහරු ඇහුවා. මොකද ඒ තරමටම සාර්ථකව ඒ චරිතය ඔහු නිරූපණය කළා. ඔහු අපේ ගම් ප්‍රදේශයේ කෙනෙක්. දැන් සම්පත් ශ්‍රී ජයසිංහ කියන ජනප්‍රිය රූපවාහිනී නිවේදකයා, නළුවෙක් බවට පත් කර තිබෙනවා ඔබ මේ චිත්‍රපටයෙන්? මම රූපවාහිනියෙන් ඔහු දැක්කාම හිතුවා ‘පොඩි සිරා’ ගේ චරිතයට සම්පත් සුදුසුයි කියලා. මේ චරිතය ඔහු හරහා නිරූපණය කර ගත හැකි බවට මට ලොකු විශ්වාසයක් තිබුණා. සම්පත්ව මම කළින් හඳුනන්නේ නෑ. ඊට පස්සේ මම එයාට කතා කරලා මේ බව කිව්වා. තිර නාටකය කියවලා ඔහු කැමැත්ත ප්‍රකාශ කළා මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න. ඒ වගේම නිරෝෂන් විජේසිංහ තමයි අනෙක් ප්‍රධාන චරිතය රඟපාන්නේ. පොලිස් පරීක්ෂකවරයාගේ චරිතය. ඔහුත් තමන්ගේ චරිතයට සාධරණය ඉටු කර තිබෙනවා. සෙසු නළු, නිළියන් පිළිබඳ සිහිපත් කළොත්? ශානිකා බණ්ඩාර, සැම්සන් සිරිපාල, චන්ද්‍රසෝම බින්දුහේවා, මනීෂා නාමල්ගම, සමන් අල්මේදා, රෝහිත් මාන්නගේ, නිමල් යටිවැල්ල, කුමාර වඳුරැස්ස, හෂිනිකා කරල්ලියද්ද, වසන්ත අඹගහලන්ද ඇතුළු නළු නිළි පිරිසගේ රංගන දායකත්වය විශාල පිටිවහලක් වුණා මට මේ චිත්‍රපටය සාර්ථක කර ගැනීම සඳහා. ‘පටීභාන’ ගීතවලින් තොර චිත්‍රපටයක්? ඔව්. මේ චිත්‍රපටයේ ගීත නෑ. මට ඕනෑ වුණේ අලුත් විදිහකට, අලුත් ආරකට මෙහි සංගීතය නිර්මාණය කරවා ගන්න. නදීක ගුරුගේට මම ඒ කාර්යය පැවරුවා. ඔහු ඉතා හොඳින් ඒ කාර්යය නිමා කර තිබෙනවා. සා(ර්)ක් ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළේ හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මානයට පාත්‍ර වීම මම හිතන්නේ ඔබේ නිර්මාණ දිවිය ආරම්භයේම ලත් ආශිර්වාදයක්? ‘පටීභාන’ චිත්‍රපටය බලලා සා(ර්)ක් විනිශ්චය මණ්ඩලයේ කාර්ය මණ්ඩලය ඒ ගැන සෑහෙන්න වර්ණනා කළා. ඔවුන් සතුටු වුණා මේ චිත්‍රපටය ගැන. සම්මානය හිමිවෙනකල්ම මම දැනගෙන හිටියේ නෑ එහෙම සම්මානයක් මට තියෙනවා කියලා. ඔබ හොඳම අධ්‍යක්ෂවරයා වුණාට හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වුණේ ‘මෝටර් බයිසිකල්’. හොඳම අධ්‍යක්ෂණයෙන් තොර හොඳ චිත්‍රපටයක් තියෙනවාද? මේ ගැන කොහොමද ඔබට හිතෙන්නේ? ඒ ගැන කතා කරන්න මම වැඩිය කැමැති නෑ. මොකද මම සම්මාන බලාගෙන මේ චිත්‍රපටය හැදුවේ නෑ. හොඳම චිත්‍රපටය නොවුණ එක ගැන තරහකුත් නෑ. එතැන කිසියම් නෙගැළපීමක් තියෙනවා කියලා ඔබට හිතෙන්නේ නැද්ද? නොගැළපීමක් තියෙන්න පුළුවන්. ඒත් ඒක මට ප්‍රශ්නයක් වුණේ නෑ. ඒ නිසා මම ඒ ගැන කතා කරන්න කැමතිත් නෑ. කලාත්මක ධාරාවේ චිත්‍රපටවලට කවදත් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණේ එතරම් ඉහළ ප්‍රතිචාරයක් නෙවේ. ඒක ඔබ දන්නවා. ඉතිං ඇයි කිසියම් අවදානමක් දරාගෙන මේ වගේ චිත්‍රපටයක් කරන්න තීරණය කළේ? කලාත්මක, වාණිජ කියලා තිබුණට පසුගිය කාලේ ඔය දෙපාර්ශවයේම චිත්‍රපට එතරම් සාර්ථක වුණේ නෑ. එහෙම සාර්ථක වුණ චිත්‍රපටයක් දෙකක් ඇති. නමුත් මම මේ කියන්නේ පොදුවේ. හැබැයි කලාත්මක චිත්‍රපටවලට හැමදාම තිබුණා එක ස්ථාවර මට්ටමක්. ඒ තත්ත්වය තාම තිබෙනවා. එතකොට කලාත්මක චිත්‍රපට කියලා මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි, නිකං ඔහේ ගලාගෙන යන චිත්‍රපට ප්‍රේ්ක්ෂකයෝ වැළඳ ගත්තේ නෑ. මම කියන්නේ මේ චිත්‍රපටයේ තියෙනවා යම්කසි හරයක්. ඒ හරය ජනතාව තේරුම් ගනියි කියලා මම හිතනවා. වර්තමානයේ නිෂ්පාදකවරුන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගය තමයි තමන්ගේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය සඳහා මුදා හැරීම මම හිතන්නේ ඔබටත් ඒ ප්‍රශ්නයට මුහුණ දෙන්න වුණා? විශේෂයෙන්ම කියන්න ඕනෑ මේ පිටපත් මුද්‍රණයට විශාල මුදලක් වැය වෙනවා. එක් කොපියකට ලක්ෂ එක හමාරක් විතර. මම මේ චිත්‍රපටයේ කොපි විසි පහක් මුද්‍රණය කළා. ඒක තමයි දරාගන්න බැරි. නමුත් මේක ඩිජිටල් කරනවා නම් ඒ මුදල හුඟක් පහලට බහිනවා. ඒක කරන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. එතකොට D.C.P තාක්ෂණය යටතේ මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන්නේම නැද්ද? එම පහසුකම් තිබෙන සිනමාහල් කිහිපයක අපි ඒ තාක්ෂණයෙන් චිත්‍රපටය ප්‍රදර්ශනය කරනවා. දැන් මේ D.C.P තාක්ෂණයෙන් චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන්න අර එක ප්‍රින්ට් එකකට යන මුදලින් සියයට දහයක විතර ප්‍රමාණයක් තමයි වැය වෙන්නේ ප්‍රදර්ශනයට පෙර ඔබ චිත්‍රපටය සියලුම මණ්ඩලවලට පෙන්නුවා? සියලුම මණ්ඩලවලට පෙන්නුවා. මුලින්ම ඉල්ලුවේ M.P.I. මණ්ඩලය. දුරකතනයනේ මට කතා කරලා ඉල්ලීමක් කළා චිත්‍රපටය අපට දෙන්න කියලා. ඒ ඉල්ලීමට ගරු කිරීමක් වශයෙන් මම ඒගොල්ලන්ට දුන්නා. ‘දඩයම’ තිරගත වෙන කාලේ අපේ රටේ සම්භාව්‍ය පස් වැනි මණ්ඩලය තිබුණා. බොහෝ විට කලාත්මක යැයි සැළකෙන චිත්‍රපට ප්‍රදර්ශනය වුණේ එහි. නැවත එබඳු මණ්ඩලයක් පිහිටුවීමේ අවශ්‍යතාවයක් ඔබ දකිනවාද? එහෙම දෙයක් කළොත් ඉතාම අගනා දෙයක් ඒක. සම්භාව්‍ය චිත්‍රපටවලට එහෙම වෙනම මණ්ඩලයක් පත් කරනවා නම් ඒක ඉතාම කාලෝචිත දෙයක්. අත්‍යවශ්‍ය දෙයක්. දැන් අපි දන්නවා තරුණ සිනමාකරුවන් වැඩි නැඹුරුවක් දක්වන්නේ කලාත්මක සිනමාවට. ඉතින් ඔවුන් නිර්මාණයක් කරලා අතරමං වෙනවා නම් ඒකෙන් වැඩක් නෑනේ. එවැනි මණ්ඩලයක් ඇති කිරීම ඔවුන්ගේ අනාගතයටත් හොඳ අත්තිවාරමක්. කවුරු මොන තීන්දු තීරණ ගත්තත් සිනමාවේ ඉරණම රැඳී තිබෙන්නේ ප්‍රේක්ෂක ජනතාව අතේ? ඒක ඇත්ත. ප්‍රේක්ෂකයන්ගෙන් මා ඉල්ලා සිටින්නේ හැකි පමණ චිත්‍රපට නරඹලා සිනමාවට, සිනමා ශිල්පීන්ට ශක්තියක් වෙන්න කියලා. එතකොට මේ ක්ෂේත්‍රය දිගු කලක් පවතියි. ප්‍රේක්ෂකයන් සතුටු කරන්න පුළුවන් චිත්‍රපට තැනීම, නිර්මාණය කිරීම සිනමා ශිල්පීන්ගේ වගකීමක්. මේ සත්‍යය තේරුම් නොගෙන ආවට ගියාට චිත්‍රපට කෙරුවොත් හෝලුත් වැහිලා, නළු නිළියන්ට යන එනමං නැති වෙලා මේ සිනමාව සම්පූර්ණයෙන්ම අතුගෑවිලා යාවි. චිත්‍රපට සංස්ථාව හරහා සිනමාවේ ඉදිරි ගමනට ඵලදායි මෙහෙවරක් සිදු වන්නේ නෑ කියලා චෝදනාවක් නැඟෙනවා? සිනමාව වෙනුවෙන් තීන්දු, තීරණ ගන්නා ප්‍රධාන ආයතනය චිත්‍රපට සංස්ථාව නිසා එවැනි චෝදනා එල්ල වෙන එක ස්වභාවිකයි. සංස්ථාව මැදිහත් වෙලා වහාම මේ සිනමාහල් නවීකරණය සහ ඩිජිටල්කරණය සඳහා පියවර ගත යුතුයි. සිනමා ශාලා හිමියන්ට ලක්ෂ එකසිය පනහක් විතර දීලා මේක කරන්න බෑ. ඉතින් ඒ සම්බන්ධයෙන් මේගොල්ල මැදිහත් වෙලා වහාම වැඩ පිළිවෙලක් දියත් කරන්න ඕනෑ. සංස්ථාව මඟින් හෝ රජය මඟින් හෝ කොහොම හරි ඒක කරන්න ඕනැ. එහෙම වැඩ පිළිවෙලක් දියත් නොවුණොත් සිනමා කර්මාන්තයට වැඩි ආයුෂක් නෑ. එහෙම සෙයියාවක් පෙනෙන්න තියෙනවාද? එහෙම සෙයියාවක්වත් පෙනෙන්න නෑ. එක්තරා චිත්‍රපට නිෂ්පාදකයකු මෑතකදී ප්‍රකාශ කළා චිත්‍රපට සංස්ථාව අයිති විය යුත්තේ කර්මාන්ත අමාත්‍යාංශ්‍යටයි කියා. ඔබ මොකද ඒ ගැන හිතන්නේ? මේක ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ තියෙනවාද, කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තියෙනවාද කියන එක නෙවෙයි ප්‍රශ්නය. රජයේ ඇමැතිවරයෙක් පත් කරලා සංස්ථාව හරහා එයා මේ වැඩ පිළිවෙල දියත් කරවන්න ඕනෑ. ඒක කර්මාන්ත ඇමැති කළත් එකයි. මුදල් ඇමැති කළත් එකයි. වැඩෙයි කෙරෙන්න ඕනෑ. කර්මාන්තයක් කියලා යකඩ හදන කම්මලක් නෙවෙයිනේ මේක. කලාවත් සම්බන්ධ වෙන කර්මාන්තයක් මේක. ඒ තත්ත්වය තේරුම් අරගෙන තමයි ඉදිරි වැඩ පිළිවෙල සකස් වෙන්න ඕනෑ. විෂය භාර ඇමැතිවරයා නැතිනම් අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා මැදිහත් වී අපේ සිනමාව රැක ගත යුතුයි. සිනමාවට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියන කාරණාව තමයි ඔබ ඔය කියන්නේ? අනිවාර්යනේම ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යමයි.
|