වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 18 වැනිදා බ්‍රහස්පතින්දා




NEWS

ජෝතිපාල  සමරු මුද්දරය එළිදකියි

එච්. ආර්. ජෝතිපාලයන්ගේ අසූ වැනි ජන්ම දිනය නිමිත්තෙන් එතුමාණන් වෙනුවෙන් සමරු මුද්දරය සහ මුල් දින කවරයක් නිකුත් විය. ජෝතිපාල පදනම මඟින් ගංගාරාම විහාර ශාලාවේ සංවිධානය කළ විශේෂ උත්සවයකදී මෙය එළිදැක්විණි. ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා විය.

හෝගානා පොකුණට හැත්තෑ පහයි

සිංග මචං චාලිට පනහයි

හෝගානා පොකුණ සිනමාපටය තිරගතවීම ආරම්භ කොට මේ වන විට දින හැත්තෑ පහක් සම්පූර්ණ වී තිබේ. ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වන මෙය විදෙස් සම්මාන උලෙළයන් කිහිපයක්ම නියෝජනය කළ ළමා සිනමාපටයකි. ලූෂන් බුලත්සිංහල, අනසුයා සුබසිංහ, ජයලත් මනෝරත්න, ජයනි සේනානායක, දයාදේව එදිරිසිංහ, හයිසින්ත් විජේරත්න, සැනෙට් දික්කුඹුර, ගීතා කාන්ති ජයකොඩි, අමා විජේසේකර මෙහි චරිත මවති. හොගානා පොකුණට දින හැත්තෑ පහක් සපිරෙන විට ලාල් වීරසිංහගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන සිංග මචං චාලි සිනමාපටයට දින පනහක් සපිරිණ. එය එල්. එෆ්. ඩී. සහ එම්. පී. අයි. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වේ. සිංග මචං චාලි මේ වන විට ගම් මට්ටමේ සිනමා ශාලාවන්හි ද තිරගත වෙයි. ඩිලානි අබේවර්ධනගේ දියණි කවිශා කාවින්දි සිනමාවට එක්වන මෙහි ටෙනිසන් කුරේ, සුරාජ් මාපා, අනූෂා දමයන්ති ඇතුළු පිරිස චරිත මවති.

සුසිල් සමුගෙන වසර නවයයි

'සරසවිය' පුවත්පතෙහි හිටපු කතුවරයකු, නාට්‍යවේදියකු මෙන්ම රංගන ශිල්පියකු ද වූ සුසිල් ගුණරත්නයන් අප අතරින් වියෝ වී මෙම වසරේ පෙබරවාරි 23 වැනිදාට වසර නවයක් සපිරෙයි. කලා ලොවේ කොයි කාගෙත් හිතවතකු වූ සුසිල්ව ගෞරවයෙන් සිහිපත් කෙරුමකි මේ.

සැඟවුණු මිටියාවතට සූදානම්

පිටසක්වළ අභිරහස සිනමාපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසි නිර්මාල් රාජපක්ෂ සිය දෙවැනි සිනමාපටය නිර්මාණය සඳහා මේ දිනවල සූදානම් වෙයි. එය නම් කොට ඇත්තේ සැඟවුණු මිටියාවත යනුවෙනි. පිටස්තර ආක්‍රමණිකයන් පිරිසක් හට නතු වූ මායා ලොවකින් දිවි බේරා ගත් ප්‍රබල මායාකරුවෙක් තවත් සටන්කාමී පිරිසක් හා එක්ව මායා ලොව බේරා ගැනීමේ උත්සාහය ඇතුළත් මෙම සිනමා රචනයෙහි සම නිෂ්පාදනය මාධව මාරසිංහගෙනි.

සංගීතා වීරරත්න, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ඩබ්ලිව්. ජයසිරි, මහේන්ද්‍ර පෙරේරා, අර්ජුන කමලනාත්, කුමාර රණපුර, අකිල සඳකැලුම්, ලසන්ත කමලසිරි, අදීශ හේවාවසම් මෙහි චරිත මවති. සැඟවුණු මිටියාවතහි මුහුරත් උලෙළ මාර්තු මාසයේදී පැවත්වීමට නියමිතය.

කොළඹ අපි ආවා පළමු අදියර නිමයි

අංගානි, අනවරථ ආදී ටෙලි සිතුවම් නිර්මාණය කළ සුරංග ලක්මාල් සෙනෙවිරත්නගේ නවතම ටෙලි සිතුවම වන කොලඹ අපි ආවා හි පළමු අදියරේ රූපගත කිරීම් පසුගියදා නිම විය. දයාදේව එදිරිසිංහ, මනෝහාරි විමලතුංග, සම්පත් ජයවීර, සමනලී ෆොන්සේකා, මේධා ජයරත්න, සම්පත් ශ්‍රී ජයසිංහ, හර්ෂ තෙන්නකෝන්, එරංග ජීවන්ත, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, අයේෂා දිසානායක, නිරෝෂන් ඉලේපෙරුම, ලලින්ද්‍රා දිසානායක, අංජන ප්‍රේමරත්න, දිල්කි ලියනගේ, රොහාන් රණතුංග මෙහි චරිත මවති.

කොළඹ අපි ආවා හි කතා සංකල්පය සුරංග ලක්මාලිගෙනි. නිෂ්පාදනයෙන් සඳරුවන් ජයකොඩි සමඟ සුරංග ලක්මාල් සෙනෙවිරත්න දායක වෙති.

නිහාල් ප්‍රනාන්දුට මුදල් ත්‍යාගයක්

අසනීප තත්ත්වය හේතුවෙන් මේ වන විට කලා කටයුතුවලින් මඳක් ඈත්ව සිටින රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දුගේ සුවදුක් විමසීම සඳහා වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්. බී. නාවින්න මහතාගේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අධ්‍යක්ෂ සූධීර නිලංග විතාන සහ අමාත්‍ය මහජන සබඳතා නිලධාරි ධම්මික පී. බණ්ඩාර යන මහත්වරුන් පසුගියදා ඔහුගේ නිවසට ගියහ. එහිදී නිහාල් ප්‍රනාන්දු හට මුදල් පරිත්‍යාගයක් ද සිදු කරන ලදී. මේ එම අවස්ථාව සේයාරූගත වූ අයුරුයි.

උලත් එකයි පිලත් එකයි විශේෂ දැක්ම දා

හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ උලත් එකයි පිලත් එකයි සිනමාපටයෙහි විශේෂ දැක්මක් පසුගියදා මහරගම ඇමටි ලයිට් සිනමා ශාලාවේදී පැවැත්විණ. මේ සඳහා කලා ලොවේ සහෘදයන් රැසක් සහභාගි වී සිටියහ. එම අවස්ථාවෙහි සේයාරූ කිහිපයකි මේ. උපත් එකයි පිලත් එකයි දිනිත් චමින්ද රණසිංහ සහ කේ.ජේ.ඒ.නිශාන්තගේ නිෂ්පාදනයකි.
 

සත්සර අසිරියෙන් අප සනහා තිස්සසිරි නික්ම ගියේය

ප්‍රවීණ සංගීතවේදී, වාද්‍ය ශිල්පී තිස්සසිරි පෙරේරා තමන් විඳි සියලු දුක් ගැහැට, වද වේදනා නිමා කරමින් මේ වන විට ඔහුට උරුම සැනසිලිදායක ලෝකය වෙත නික්ම ගොස් ඇත. අවිහිංසක, අව්‍යාජ, සැබෑ කලාකරුවකුගේ වටිනාකම තුට්ටුවකටවත් මායිම් නොකරන මෙවැනි කුරිරු සමාජයක, ඔත්පළව දිවි ගෙවූ ඔහුට සැමට පොදු මරණය, රමණීය අත්දැකීමක් වූ වග නම් නිසැකය. තිස්සසිරි යනු සැබැවින්ම සත්සර විප්ලවවාදියෙකි. ඔහු සතුව තිබූ නිර්මාණශීලී ප්‍රතිභාව අතිශය දුලබ වාසනා ගුණයකින් ඔහුට උරුම වූවකි. එකී ප්‍රතිභාව විවිධ පැතිකඩ ඔස්සේ විහිද ගියේ මියුරු මියැසි ආනන්දයක සිහිලස අප හදවතට යා කරමිනි. අති දක්ෂ වයලීන වාදකයකු මෙන්ම සරපුවරු (කීබෝඩ්) වාදකයකු ලෙස ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹුණ තිස්සසිරිගේ මියුරු වාද්‍ය ඛණ්ඩයන් ඇතුළත් වූ ගීත දහස් ගණනකි. එම කර්ණ රසායන වාදනයන් එකී ගී පදවැල්වලට එක් කළ හෘදයාංගම මිහිරියාව අපමණය.

සංගීත සංයෝජකයකු ලෙසින් ද තිස්සසිරි මහත් ප්‍රතිභාවක් පළ කළ ශිල්පියෙකි. ස්වර රචනයේ ආත්මය සමඟ බද්ධව එහි භාව ප්‍රකාශනය වඩාත් කුළුගැන්වෙන අයුරින් ස්වර සංයෝජනයෙන් ඉටු කළ මෙහෙවර සුළුපටු නොවේ. බොහෝ තනු නිර්මාපකයන්ගේ ජනප්‍රිය ගීත රැසක ස්වර සංයෝජකයා තිස්සසිරි බව දන්නේ ටික දෙනෙකි. ඔහු තම නිර්මාණ දායකත්වය පිළිබඳ එකී රහස රැක ගනු විනා එළිපිට ඒ පිළිබඳ වහසි බස් දොඩන්නට ගියේ නැත.

ගුවන් විදුලි වාදක මණ්ඩලයේ නිත්‍ය වාද්‍ය ශිල්පියකු ලෙස දිගු කලක් සේවය කළ තිස්සසිරි, එහි පටිගත කළ ගීත රාශියකටම වාදනයෙන් දායක විය. රූපවාහිනී සංගීත වැඩ සටහන් රැසක ඔහුගේ රුව දැක ගැනීමට ද ප්‍රේක්ෂකයාට අවස්ථාව ලැබිණ. සෙසු වාද්‍ය ශිල්පීන් අතරින් එක්වරම තිස්සසිරිගේ රුව හඳුනා ගැනීමට කිසිවකුට අපහසු නොවූයේ ඒ හුරුව නිසාය.

මහමෙරක් වන් බරක් හිස මත පැට වී තිබුණ ද කිසි විටෙක ඔහුගේ මුවෙහි රැඳි සුන්දර සිනහව වියැකුණේ නැත. ජීවිතයේ සතුට මෙන්ම කඳුළ ද මීවිතට එක්කොට සැහැල්ලුවෙන් දිවි ගෙවන්නට මේ සරල මිනිසා පුරුදුව සිටියේය. ළතෙත් ගුණයෙන් පිරි ඔහුගේ සංවේදී, අවිහිංසක හදවත සැමට එකසේ දයාබර විය.

මෑත යුගයේ අතිශය ජනප්‍රිය වූ ගීත කිහිපයකම තනු නිර්මාණය හා සංගීත රචනය තිස්සසිරිගේ බව ඇතැමුන් දන්නේ නැත. ඔහු හීන්සීරුවේ ලතාවකට, කලාවකට යම් නිර්මාණයක්, දෙකක් කළා හැරෙන්නට ප්‍රසිද්ධිය පසුපස හඹා නොගියේය. ඩබ්ලිව්. ඩී. ආරියසිංහ ගැයූ 'මා ළඟටම තව ලං වෙලා' ගීිතයේ සංගීත අධ්‍යක්ෂවරයා තිස්සසිරිය. එය ආචාර්ය අජන්තා රණසිංහගේ පද රචනයකි. අමරසිරි පීරිස් ගයන 'ඉරි තැලුණු වලා' ගීතය ද තිස්සසිරිගේ තවත් අපූර්ව නිර්මාණයකි. අසංග ප්‍රියමන්තට ද ඔහු ජනප්‍රිය ගීත දෙකක් තනා දුනි. ඒ 'නුපුරුදු ඔබ දුටු පළමු දිනේ' සහ 'දීපාවලී දාට' ගීත දෙකය. ශෂිකා නිසංසලාගේ 'මහත්තයෝ' ගීතය ද තිස්සසිරිගේ ප්‍රතිභාවට කදිම නිදසුනකි.

හොරණ ශ්‍රීපාලියේ ආදි සිසුවකු වූ තිස්සසිරි සිය සෞන්දර්ය චාරිකාවට අත් පොත් තැබුවේ ද පාසල් වේදිකාවෙනි. පාසල් වියේදීම සමස්ත ලංකා ජයග්‍රහණ කිහිපයක් ලබා ගත් ඔහු අනාගතයේ දිනෙක දක්ෂ වාද්‍ය ශිල්පියකු වන බව සෙස්සන්ට ඉඟි කළේය.

කලක් රෝගාතුරව සිටි තිස්සසිරි තමා ඉක්මනින් මෙලොව හැර යන වග දැන හුන්නේය. ඒ බැව් ඔහු ළඟම හිතවතුන් කිහිප දෙනෙකුටම පවසා තිබිණ. එහෙත් ඔහු මරණයට බිය වූයේ නැත. ඒ කවදා, කෙසේ, කොතැනකදී හෝ ස්වභාව ධර්මයේ නියමයට අනුකූල විය යුතු බව ඔහු හොඳින් දැන සිටි හෙයිනි. නොමැරෙන මිනිසුන් විලස ජීවත්වන ඇතැම් උද්ධච්ච කලාකරුවන්ට තිස්සසිරි කියා දුන් අගනා පාඩම එයයි.