|
කල්යාණියේ මංගලම් ගීතය විවාහයට ලැබුණු තෑග්ගක්
කල්‍යාණි පෙරේරා මිල්ටන් පෙරේරා ගැන සිහිපත් කරයි
ජේ. ඒ. මිල්ටන් පෙරේරා අපට හිටිය දුර්ලබ ගණයේ ගායකයෙක්. ගායන ලෝකයේ ශෝක ගීත, විරහ ගීත ගායනයෙන් හිනිපෙත්තේ වැජඹුණු ඔහු විරහ ගීත උච්ච ස්වරයෙන් වේදනාත්මකව ගායනා කිරීමේ අප්‍රමාණ දක්ෂතාවයක් පෙන්වනු ලැබීය. යෞවනයේ හද පත්ලේ සිටි එකම ගායකයා 1991 ඔක්තෝබර් 24 වැනිදා ජීවන ගමනෙන් සමුගත්තා අපට මතකය. එනිසාම අපි ඔහු පිළිබඳ එදා මතක ආවර්ජනයක යෙදෙන්නට අපි අද තෝරා ගනු ලැබුවේ එදා මිල්ටන් පෙරේරාගේ හද අරක් ගත් ඔහුගේ ආදරණීය බිරිය කල්‍යාණි පෙරේරාය. මේ ඇයත් සමඟ කතාබහක නියැලෙන සොඳුරු මතක ආවර්ජනයකි. ඔබට සුවිශේෂී වූ දින වකවානුවක තමයි අපිට කතාබස් කරන්න ලැබුණේ? ඔව්. මහත්තයා නැති වෙලා අවුරුදු විසි හතරක් වෙන දින වකවානුවක්. මේ ගමනත් මම එයා සිහිපත් කරලා සංඝයා වහන්සේ නමක් ගෙදරට වඩමවා බණ කියලා සාංඝීක දානයක් පිරිනැමුවා. දැන් අවුරුදු විසි හතරක්ම මම එයා වෙනුවෙන් මේ කටයුත්ත සිද්ධ කළා. මේ සොඳුරු කලාකාරයාගේ නික්ම යාම ඔබට කොයි ආකාරයේ සංවේදී බවක් ද ඇති කළේ? ඒ වේදනාව අදටත් මට තියෙනවා. මිල්ටන් එදා ගැයූ ගීත අදටත් මාධ්‍ය හරහා විකාශය වෙනවා. ඒ වගේම මගේ චලක චමුපති පුතා ඒ තාත්තාගේ ගීත අදටත් ඉදිරියට ගායනා කරනවා. ඒ ගැන මට ලොකු සතුටක් තියෙනවා. වෙලාවක මට හිතෙනවා මිල්ටන් මාව තනි කරලා ගිහින් නැහැ කියලා. එයා ජීවත් වෙනවා වගේ හැඟීමක් මට දැනෙන්නේ. එයාගේ හැඩරුව තියෙන පුත්තු තුන් දෙනෙක් මට දීලා තියෙන නිසාත්, එයාගේ කට හඬ මට පුතාලා නිසා අහන්න ලැබෙන නිසාත් එයාගේ තිබුණ ජීවමාන ගුණ සුවඳ මට අදටත් දැනෙනවා. මිල්ටන් පෙරේරා එදා ඔබට හමු වුණේ කොහොමද? ඒක දිග කතාවක්. මම කෙටියෙන් කිව්වොත් අපි අතර ආදර සම්බන්ධයක් තිබුණා. කොහොමද ඔය සම්බන්ධයට මුල පිරුවේ? එයාගේ නංගි කෙනෙක් වූ ලිලී විවාහ වුණා මගේ ලොකු අම්මාගේ පුතා සමඟ. ඒ නිසා එයා ඈතින් මගේ නෑදෑ කෙනෙකුත් වෙනවා. මුලින්ම ඔබ මිල්ටන්ව දැක්කේ? මට හරි මතකයක් නැහැ එයා ගැන. පස්සේ කාලෙක මම චිත්‍රපටවල රඟපෑවා. මම රඟපෑ චිත්‍රපටවල සින්දු කිව්වේ මිල්ටන්. ඔය විදියට චිත්‍රපටවල රඟපාන්න ගිය වෙලාවෙදි තමයි එයාට මම ගැන අදහසක් ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔබත් නිළියක්? ඔව්. මම චිත්‍රපට හතක රඟපෑවා. ඇන්තනි සී. පෙරේරාත් මගේ තාත්තා සෝමපාල ලියනගේත් හරිම යාළුවෝ. ඒ නිසාම ඇන්තනි සී. පෙරේරා මම ගොඩක් ලස්සනයි කියලා තාත්තාගෙන් චිත්‍රපටවල රඟපාන්න ඉල්ලලා. ඒ ඉල්ලීමට අම්මා නන්දනී වික්රමාරච්චිත් කැමැති කරගෙන තාත්තා මාව චිත්‍රපටවල රඟපාන්න එක්කන් ගියා. මොනවද ඔබ රගපෑ එවක චිත්‍රපට? අදට වැඩිය හෙට හොඳයි, උඩරට මැණිකේ, ප්‍රවේසම් වන්න, ආත්ම පූජා, හොඳින් ඉන්න, සුළි සුළඟ මම අනු පිළිවෙළින් රගපෑවා. හොඳින් ඉන්න චිත්‍රපටයේ දෙවැනි උප ප්‍රධාන චරිතය රඟපෑවේ මම. ඇයි සිනමාව තුළ දිගටම රැඳී නොසිටියේ? මහත්තයා මම රඟපාන්න යනවට කැමැති වුණේ නැහැ. එයා මාව බඳින්න ඉස්සෙල්ලා ඉඳලම මට කිව්වේ මේවට එන්න එපා. ගෑනු ළමයෙකුට මේවා හොඳ නැහැ කියලා. ඒ කතාව ඔබ ඇහුවා? ඔව්. ඒ වගේම මම චිත්‍රපටවලින් ඈත් වෙන්න තවත් එක හේකුක් තිබුණා. මට චිත්‍රපටවල ලව් කරන්න බැරි ගතියක් තිබුණා. නළුවා අතින් අල්ලන කොට රඟපෑමක් වුණත් අවශ්‍ය සීන් එක ගන්න බෑ මගේ හිතේ තියෙන ලැජ්ජාව නිසා. කරපු චිත්‍රපට ටිකත් කළේ බොහොම අමාරුවෙන්. ඒ කාලේ මම ලෙනින් මොරායස්ගෙන් මොන තරම් බැනුම් අහලා තිබුණ ද නළුව අතින් අල්ලන කොට හෙමින් සැරේ අත අහකට ගන්නවට. ඔබ නමින් කල්‍යාණි වුණාට චිත්‍රපටවල නම ගියේ අජන්තා කියලානේ? මේකයි ඒකට හේතුව. මගේ උප්පැන්නයේ තියෙන්නේ කළ්‍යාණි ලියනගේ කියලා. මට ආදරේට ගෙදර අය කිව්වේ අමිතා කියලා. ඒකට හේතුව මගේ නම දැම්ම ජ්‍යෝතිෂවේදියා කිව්වලු අයන්න මුල් කර ගත්ත නමකින් මට නිතර කතා කරන්න කියලා. එතකොට චිත්‍රපටවල නම ගියේ? අමිතා ලියනගේ කියලා. ඔබේ නංගිත් රඟපෑවා නේද? නංගි අජන්තා. එයත් සුළි සුළඟ, තෙවත චිත්‍රපටවල රඟපෑවා. මම තරම් එයා රඟපෑවේ නැහැ. කල්‍යාණි, මිල්ටන් එක් කළේ විජය ස්ටුඩියෝ එකලු නේද? ඒක ඇත්ත. මම රඟපාන්න විජය ස්ටුඩියෝ එකට යනවා. ඔය යනකොට එයා මම ගැන උනන්දු වෙනවා. මට මේ තැන්වලට ආවහම පරෙස්සම් වෙන්නලු. එයාගේ සමහර යාළුවන්ට කියනවා මම දන්න කියන නංගි කෙනෙක්, මොනවත් එහෙම අනම් මනම් කියන්න කරන්න හදන්න එපා කියලා. ඔය විධියට එයා මම ගැන උනන්දු වෙන්න පටන් ගත්තා. අන්තිමට දවසක් එයා මට කැමැතියි කියලා මූණටම කිව්වා. ඔබ හනික හා කිව්වා? අපෝ නෑ. මම කිව්වා අපේ සම්බන්ධයකට කවදාවත් අම්මලා කැමැති වෙන්නේ නැහැ කියලා. එයා කිව්වා ඔයා මට නැති වුණොත් මම ජීවිතේ නැති කර ගන්නවා කියලා. මට එහෙම කියන කොට ලොකු බයක් හිතට දැනුණා. එයා මට ආදරෙයි කියලා ලියුම් එව්වා. මට සින්දු ලියලා කිව්වා. ඔය විදියට ගොඩක් හැල හැප්පිලි මධ්‍යයේ අන්තිමට අම්මා තාත්තාගේ ආශිර්වාදයෙන් අපි දෙන්නා විවාහ වුණා. අදටත් එයා මට ලිව්ව ලියුම් මා ළඟ තියෙනවා. මිල්ටන් ඔබ වෙනුවෙන්ම ගීත ගායනා කළා නේද? මාව බඳින්න ඉස්සෙල්ලාත්, බැන්දට පස්සෙත් එයා මා වෙනුවෙන්ම සින්දු දහයක් විතර කිව්වා. කල්‍යාණි ඔබ නෑසූ කතාවක් . . ., සිහින දෙව් දුවේ . . ., සඳුන් ගසේ සමන් වැලක් . . ., මා කිව්වේ නැත්තේ . . ., ඔබේ රන්වන් කේශ කලාපේ . . . ඔය වගේ සින්දු ගොඩක් කිව්වා. කල්‍යාණි මංගලම්...ගීතය ඔබට ලැබුණු මංගල තෑග්ගලු නේද? කරු අයියා (කරුණාරත්න අබේසේකර) තමයි ගොඩක් සින්දු ලිව්වේ. මට ලිව්ව හැම සින්දුවක්ම ලිව්වේ කරු අයියා. කල්‍යාණි මංගලම් ගීතය කරු අයියා ලිව්වේ අපේ වෙඩින් එකට ඇවිත්. මොහොමඩ් රාෆි ගයන ලග්ජා ගලේ දිල්රුබා හින්දි ගී තනුවට තමයි මේ ගීතය ලියලා අපි දෙන්නා අතට එයා දුන්නේ. මට මතකයි මේ ගීතය එදා අපේ වෙඩින් එකේ මහත්තයා ගායනා කළා. කලයාණි මිල්ටන් යුවලගේ විවාහයේ සාක්ෂිකරුවන් වුනේ? අපි 1969 සැප්තැම්බර් 26 වැනිදා විවාහ වුණා. අපේ විවාහයේ සාක්ෂිකරුවන් වුණේ ආර්. ප්‍රේමදාස මහත්තයත්, වී. ඒ. සුගතදාස මහත්තයත්. එදා කොළඹ නව නගර ශාලාව කලාකරුවන්ගෙන් පිරිල ඉතිරිලා ගියා. වෙඩින් තෑග්ගට ලැබුණු කාර් එකෙන් ඒ දවස්වල සංගීත සංදර්ශනවලට ගියේ ඔබ දෙපලමද? මහත්තයගේ අයියා කෙනෙක් අපිට වෙඩින් එකේදී ස්ටුඩ් බේකර් කාර් එකක් තෑගි කළා. මේ කාර් එකෙන් තමයි අපි රට වටේ ප්‍රසංගවලට ගියේ. මමත් එයාගේ තනියට කාර් එකෙන් ප්‍රසංගවලට ගියා. පුදුම රසික ප්‍රසාදයක් තමයි මිල්ටන්ට තිබුණේ. ලේසියෙන් සින්දුවක් කියලා බැහැලා එන්න බැහැ. ඔටෝග්‍රාෆ් දෙනවා අත්සන් කරන්න. තව සින්දු කියන්න කියලා ඉල්ලනවා. ඒ දවස්වල මටත් ආඩම්බරයි එයාට තිබුණ රසික ප්‍රතිචාර දැකලා. දරුවෝ, පවුලේ අලුත් තොරතුරු කොහොමද? චලක චමුපති පුතා අවුරුදු දෙකක් අමෙරිකාවේ ඉඳලා ජූලි මාසයේ තමයි ලංකාවට ආවේ. එයා අදටත් ප්‍රසංග වේදිකාවේ සින්දු කියනවා. අරෝෂ අසංග පුතා මියන්මාර්වල රැකියාවක් කරනවා. බාල පුතු පමෝද් ප්රියුෂාන් එංගලන්තයේ රැකියාව කරනවා. එයා අවුරුදු පහළොවකට පස්සේ මේ දවස්වල ලංකාවට ඇවිත් ඉන්නවා. මම හාට් පේෂන් කෙනෙක්. හෘද සැත්කමකුත් කළා. මම මහත්තයා නැති වුණාට පස්සේ මාලිගාවත්තේ තිබුණ ගේ විකුණා දැමුවා. මට එහි ගත කිරීමට තිබුණ අපහසුතා නිසාම දැන් මම ජීවත් වන්නේ අම්මාගේ මහ ගෙදර. මට කියලා ගෙයක් නැහැ. මෙහෙ නැවතිලා ඉඳලා තමයි මම ජීවත් වෙන්නේ. මට ඕනේ දැන් පිනක් දහමක් කරගෙන මගේ පාඩුවේ වැටිල ඉන්න ගෙයක්. 'ආදරයේ කඳුළු බිඳුව' විරුදාවලිය ලත් මිල්ටන් පෙරේරාට ආදරය කළ රසික රසිකාවන් අදටත් ඔබ සමඟ කතාබහ කරනවා ඇති? මහත්තයාගේ රසිකාවියක්ව සිටි තැනැත්තියක් තමයි චිත්‍රානි ගුණසේකර. ඇය මහත්තයා ගැන පත්තරවල පළ වූ ලිපි පින්තුර එකතු කරලා නිර්මාණය කරපු මට මිල කරන්න බැරි විශාල ප්‍රමාණයේ පොතක් තිළිණ කළා. ඔය විදියට එක එක අය මට නිර්මාණ එවලා තියෙනවා. ලිපිනය මතක් කළොත්? 217/6/1, ජය මාවත, මීගහවත්ත, දෙල්ගොඩ. මිල්ටන්ට ආදරය කළ රසිකයන්ට කතා කරන්න හිතුණොත් 011-2976098 දුරකථනයට කතා කරන්න.
|