වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




මකර ට පස්සේ රජා මං වහලා

මකර ට පස්සේ රජා මං වහලා

චාමික හත්ලහවත්ත

චාමික හත්ලහවත්ත වර්තමානයේ වේදිකා නාට්‍ය කලාවේ නියැළෙන තරුණ නාට්‍යකරුවන් අතර දැනුවත් බවකින් එහි නියැළෙන්නෙකි. මේ වනවිට වේදිකාවට නැඟෙන වේදිකා නාට්‍ය වෙනස් මඟක් කරා යොමු කිරීමේ අදහසින් අලුත් නිර්මාණ බිහි කිරීමේ ප්‍රයත්නයක නියැළී සිටින ඔහු තවත් නැවුම් නිර්මාණයක් රැගෙන ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණ සිටියි. ඒ ‘රජා මං වහලා’ වේදිකා නාට්‍යය සමඟිනි. එය අද (19) සවස 3.30 සහ 6.30ට ටවර් රඟහලේදි වේදිකා ගතවෙයි. මේ ඒ පිළිබඳත්, වර්තමානයේ නාට්‍ය කලාව පිළිබඳත් චාමික හත්ලහවත්ත සමඟ කළ සාකච්ඡාවකි.

මේ අලුත්ම වේදිකා නාට්‍යයත් වේදිකාවට පිවිසෙන්නේ නාට්‍ය පිළිබඳ ඔබ කරන ලැබූ පර්යේෂණයක ප්‍රතිඵලයක් මත ද?

ඔව්. ‘රජා මං වහලා’ කියන්නේ ඊළඟට මම කළ පර්යේෂණාත්මක නාට්‍යයයි. කොහොමත් මම නාට්‍යයෙන් නාට්‍යයට පර්යේෂණයක් කරන්න කැමැති කෙනෙක්. එහෙම නැතිව එකම විදියේ නාට්‍ය කරන්න මා කැමැති නැහැ. ‘රජා මං වහලා’ කියන්නෙත් ඒ වගේ වෙනස්ම නාට්‍යයක්. සමහර විට මගේ ‘මකරට තිබුණු හැඩතල මේ නාට්‍යයෙත් තියෙන්න පුළුවන්. නමුත් මේ නාට්‍යය වෙනම හැඩයක නාට්‍යයක්.

මකරට වේදිකා නාට්‍යයෙන් ඔබ වෙස් මුහුණුවලට වෙනස්ම අර්ථයක් අරගෙන ඇවිත් තිබුණා. ඉන් වෙනස් වෙන්න මේ නාට්‍යයට ඔබ දුන් හැඩය කුමක් ද?

‘රජා මං වහලා’ වේදිකා නාට්‍යයෙන් මා උත්සාහ කරන්නේ කතන්දර කියන කලාව වේදිකා නාට්‍යයට ගෙනෙන්නටයි. ඒක මමම ගෙනෙන කලාවක් කියලා මා කියන්නේ නැහැ. මේ කලාව ලෝකයේ තිබුණා. බොහෝවිට නාට්‍ය කලාව ආරම්භ වෙන්නේ කතන්දර කියන කලාවත් එක්කයි. ග්‍රීසියේ හෝමර්ගේ ඉලියඩ් සහ ඔඩිසි කියන මහා වීර කාව්‍ය දෙක විශාල ප්‍රේක්ෂකාගාරයකට කියලා දෙන අය සිටියා. මහභාරතය, රාමායනය වගේ කතා විශාල ප්‍රේක්ෂකාගාරයකට කියලා දෙන කතන්දරකාරයන් සිටියා. අපිත් කතන්දරවලින් නේ රසවත් වෙලා තියෙන්නේ. බොහෝවිට ලංකාවේ නාට්‍යයක් කළොත් කතන්දරයක් තියෙන්න ඕනෑ. විශේෂයෙන්ම ආසියාවේ මිනිස්සු කතන්දර කියන කලාවට කැමැතියි. පුංචි කාලයේ අපි වුණත් ආච්චිලාගෙන්, අම්මලාගෙන්, සීයලාගෙන් ඇතැම් විට තාත්තාලාගෙන් කතන්දර අහලා රස විඳලා තියෙනවා. ඒ නිසා මේ මගින් මම උත්සාහ කරන්නේ මේ කතන්දර කියන කලාව වේදිකා නාට්‍යයට රැගෙන එන්නයි.

ඒ විදියට කතාන්දර කලාව වේදිකා නාට්‍යයට රැගෙන එන ගමනේදි ඒ කාර්යය ඔබ කරන්න උත්සාහ කරන්නේ කුමන ආකාරයෙන් ද?

කතන්දර කියන්නෝ පස්දෙනෙක් එකතු වෙලා කතන්දර තුනක් ඉදිරිපත් කරනවා. මෙහි පසුතලය විදියට යොදා ගන්නේ තීන්ත බැරල් අටක් විතරයි. ඒ අට පාවිච්චි කරලයි මම මේ කතන්දර තුන ඉදිරිපත් කරන්නේ. එක්වරම බැලූ බැල්මට මේ කතා එකිනෙකට සම්බන්ධ කතන්දර තුනක් වගේ නොපෙනුණත් අවසානයේ පැහැදිලි වෙන්නේ ඒවා එකිනෙකට ගැළපෙන බවයි. ඒවා අපේ ජීවිතය පිළිබඳව, අප ජීවත් වන සමාජ, ආර්ථික, දේශපාලන පසුබිම පිළිබඳව නියෝජනය කරන කතන්දර කියන එක අපට වැටහෙන්න පටන් ගන්නවා.

පර්යේෂණ නාට්‍යයක් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි.

මේ වනවිට මම අපට පූර්වයෙන් ඉන්න නාට්‍යකරුවන් ගැන අධ්‍යයනයක නිරත වුණා. ඒ මගේ දර්ශනපති උපාධිය සඳහා මා කළ ශ්‍රී ලංකාවේ රංග ශෛලියේ සිදුවුණු පර්යේෂණ ගැනයි. එහිදි සරච්චන්ද්‍රයන්, සුගතපාද ද සිල්වා, හෙන්රි ජයසේන වගේ නාට්‍ය ශිල්පීන් මගේ අවධානයට ලක්වුණා. එවිටයි මට තේරුණේ ඔවුන් කොයිතරම් දේවල් නාට්‍ය කලාවට කරලා තියෙනවද කියලා. එහෙම බලන විට අපි කරන්නේ එකම නාට්‍ය කියලා හැඟෙන්න ගන්නවා. මේ නිසා එකම නාට්‍යයක් කරලා වැඩක් නැහැ. නාට්‍ය පර්යේෂණ සිදුවිය යුතුයි කියන මතයේයි මා ඉන්නේ. එකම නාට්‍යයක් දිගටම කරනවා වගේ නොවෙයි පර්යේෂණයක් කිරීම අපහසුයි. ඒ කියන්නේ සමාජ අන්තර්ගතයෙන් විතරක් නොවෙයි නාට්‍යයක ආකෘතියෙනුත්, කතා කරන දෙයත් පර්යේෂණයට ලක්විය යුතුයි. ඒ වගේ නිර්මාණයක් සමාජට ආව ගමන් බොහොම අමාරුවකයි වැටෙන්නේ. එහිදි මිනිස්සු ඒ ගැන ප්‍රශ්න කරනවා වගේම ඒ නිර්මාණයට කුඩු වෙන්න ගහන්නත් පුළුවන්.

මේ වනවිට ඔබගේ පර්යේෂණයක ප්‍රතිඵලයක් විදියට බිහිවුණු නිර්මාණවලට යම් සාධාරණයක් ඉෂ්ට වෙලා තියෙනවද?

ඒක ගැන මට කියන්න බැහැ. ඉස්සර සරච්චන්ද්‍රයන් නාඩගම් ආකෘතියෙන් පර්යේෂණයක් කරන විට, නාඩගම් ගැන හැදෑරුව විචාරකයෝ සිටියා. ඒ කාලයේ සාහිත්‍යයෙන් පෝෂණය වෙලා තිබුණා. නමුත් අද මම කෝලම් කළා කියලා විචාරකයෙක් ඉන්නවද කෝලම් ගැන අධ්‍යයනය කරලා ඒ නාට්‍ය ගැන විචාරය කරන්න. එහෙම නැත්නම් මට ඒ ගැන ලියන්න බැහැ නේ. අපි මොන විදියට නිර්මාණ කළත් ඒ වගේ තත්ත්වයක් තමයි වර්තමානයේ දකින්නට ලැබෙන්නේ. එහෙම වුණාම මම වගේ නිර්මාණකරුවකුට වෙන්නේ අසාධාරණයක්.

මේ වේදිකා නාට්‍යයටත් ඔබගේ ඔය කියන දේශපාලන කියැවීම බලපෑවා ද?

‘රජා මං වහලා’ නාට්‍යයේදිත් මා කතා කරන්නේ අපි ජීවත් වන සමාජ, දේශපාලන, ආර්ථික පසුබිමයි. එය දිග හැරෙන්නේ කතන්දර තුනක් විලාසයෙන්. මෙහි පළමු කතාව සුරංගනා කතාවක්. ඒකේ තියෙන්නේ වහලෙක්ගේ කතන්දරයක්. ඊළඟ කතන්දරය දුටුගැමුණු රජතුමාගේ කතන්දරයයි. ඔහු ගැන වෙනස් මානයකින් කතා කරන්නට මා වෙහෙස ගත්තා. ඒ වග හැඟෙන්න නම් ඉතා සියුම්ව මේ නිර්මාණය නැරැඹිය යුතුයි. තුන්වැනි කතන්දරය සිදුවුණේ මීට වසර පහළොවකට කලින්. ශිෂ්‍ය යෙක්, තමන්ගේ පාසලේ ශිෂ්‍යාවක්ව පිහියෙන් ඇනලා මරනවා. ප්‍රේමය ලබා ගන්න පිහියෙන් ඇනලා මරනවද ආදී වශයෙන් ඒ ගැන පත්තරවල විවිධ දේ පළවුණා. මෑතකත් ඒ ගැන කතා කරලා තිබුණ මා දැක්කා. මේ කතාව මට සමීප කතාවක්. ඊළඟ මම ඒ ගැන සෙව්වා. ඒ කතන්දරයයි මගේ තුන්වැනි කතාව වෙන්නේ. මේ කතන්දර තුනම බද්ධ කරලයි මේ නාට්‍යය කරන්නේ.

කතාවක් කියන එක පහසු දෙයක් නොවෙයි. ඒ වගේම කතාවක් වේදිකාවක් මතට ගෙනැත් ප්‍රේක්ෂකයන් රදවා ගැනීම ඊටත් වඩා අපහසු දෙයක්. මේ තත්ත්වය ජය ගන්නට ඔබ අදහස් කළේ කුමන ආකාරයෙන් ද?

මුලින්ම මගේ දුවට කතන්දර කියා දෙන්න මම සුරංගනා කතන්දර පොත් කිහිපයක් ගේනවා. ඒවා මම එයාට කියලා දෙනවා. ඒ වෙලාවෙදි එයාට කොහොමද කියලා දෙන්නේ කියන කාරණය ගැන මම සිටියේ අධ්‍යයනයෙන්. ඒ කතාව කියන කොට දුව, මගෙන් එක එක දේවල් අහනවා. මේ අතරදි ඇයට මේ කතන්දරය කියන්න මට විවිධ රංගන කටයුතුවල නියැළෙන්න වෙනවා. විවිධ හඬවල්වලින් කතා කරන්න වෙනවා. මෙන්න මේ වගේ විවිධ උපක්‍රම භාවිත කරන්න වෙනවා. අපේ යුගයේ වගේ නොවෙයි මේ යුගයේ ළමයෙකුට කතාවක් කියන්න ලෙහෙසි පහසු නැහැ. ඒ විදයට මම දුවත් එක්ක ඒ කාරණය පුරුදු පුහුණු කළා. ඒ අනුවයි කතාවක් කොහොමද කිව යුත්තේ කියන ආකෘතිය මගේ සිතට පිවිසෙන්නේ.

මේ නාට්‍යයට ඔබ සම්බන්ධ කර ගන්නේ වර්තමානයේ ටෙලි නාට්‍ය කාලාව ඇතුළේ ජනප්‍රිය නළු - නිළියන් පිරිසක්. ඒකට විශේෂ හේතුවක් තිබෙනව ද?

නාට්‍යයක් කරද්දි මගේ තෝරා ගැනීම වෙනස්. එහිදි නිර්මාණයක් සමාජ ගත කරන්නේ කොහොමද කියන කාරණයටත් අපේ අවධානය යොමු විය යුතුයි. ඒ සියල්ලම මා පෙළ ගස්වන්නේ අධ්‍යාපනය කියන කාරණය මූලික කරගෙනයි. මා තෝරා ගන්න නළු - නිළියන් සම්බන්ධයෙන් වෙනත් අයට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එහෙත් මා ඔවුන්ව තෝරා ගන්නේ යම්කිසි අරමුණක් ඇතිවයි. එහිදි මාත් සමඟ වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනෑ, වෙලාවට එන්න පුළුවන් වෙන්න ඕනෑ කියන දේවල් මා අනිවාර්යයෙන්ම විමසා බලනවා. ඒ වගේම ඕනෑම කෙනෙක් දන්න දෙයක් තමයි මම නාට්‍ය කරන්නේ බොහොම වෙහෙස මහන්සි වෙලා කියන එක.

විශේෂයෙන් මගේ නාට්‍යවලදි පුහුණුවීම් රැසයි. මේ නාට්‍යයේදි කතාවක් තමයි මා ප්‍රේක්ෂකයා අතරට අරගෙන යන්නේ. ඒක ලෙහෙසි කාරණයක් නොවෙයි. ඒ සඳහා මා එක එක දේවල් පාවිච්චි කළා.රංගනයෙන් සනත් විමලසිරි, සරත් කරුණාරත්න, උමයංගනා වික්‍රමසිංහ, තෙරුණි ආශංසා, තිලංක ගමගේ කියන නළු - නිළියන් තමයි නාට්‍යය සඳහා දායක වන්නේ. වේදිකා ආලෝකකරණයෙන් චන්දන අලුත්ගේ, වේදිකා පසුතලයෙන් ප්‍රදීප් චන්ද්‍රසිරි, සංගීතයෙන් තිලංක ගමගේ යන ශිල්පින් මට සහයෝගය දැක්වූවා. ඔවුන් නාට්‍යයේ අගදි නොවෙයි මගේ නිර්මාණයට සම්බන්ධ වෙන්නේ. ආරම්භයේ දි පටන්ම මා සමඟ මේ නිර්මාණයට ඔවුන් දායක වුණා. ඇඳුම් නිර්මාණයෙන් සුවිනීතා පෙරේරා, අංගරචනයෙන් ප්‍රේම් ජයන්ත කපුගේ, වේදිකා පරිපාලනයෙන් හිමාෂි විතානගේ, තරිඳු මධුශංක, ජෙනාඩ් දුලංජය සමඟ කසුන් හා පෙළ මතක් කිරීමෙන් දිනුක සිතරුත් මීට සහය වෙනවා. දර්ශන සංවිධානය කරන්නේ සුසිල් වික්‍රමසිංහයි. මේක අපූරුව නාට්‍ය කණ්ඩායමේ ඉදිරිපත් කිරීමක්.

‘රජා මං වහලා’ නාට්‍යය වේදික ගතවන පළමු දර්ශනයේ දී ඔබ අධ්‍යාපන කටයුත්තකුත් මූලික කරගෙන තිබෙන බවක් අසන්න ලැබුණා ?

මේ නාට්‍ය රංග ගතවන 3.30 දර්ශනයේ දි ඒ සඳහා සහභාගි වන සිසුන්ට 1.00 සිට 3.00 වනතුරු වැඩමුළුවක් සංවිධානය කරලා තියෙනවා. විශේෂයෙන් මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයට මේ කටයුත්ත විශේෂයි. එහිදි නාට්‍ය හා රංග කලා විෂයය කරන අයට ඒ විෂයය ගැන ප්‍රශ්න සාකච්ඡා කිරීමකුයි සිදුවන්නේ. ඒ සඳහා පාසල් ළමයින්ට ආරාධනා කරමින්, නාට්‍යයත් නරඹන්න කියලා සියලුදෙනාටම මා ආරාධනා කරනවා.