වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




මේ ඉලන්දාරියාට තැනක් හදමු

මේ ඉලන්දාරියාට තැනක් හදමු

කොළඹ අන්තර් ජාතික සිනමා උලෙළ සමාප්තියේදී හොඳම ශ්‍රී ලාංකික චිත්‍රපටයට හිමි නෙට්පැක් සම්මානය මෝටර් සයිකල් චිත්‍රපටයට හිමි වූ අවස්ථාව මගේ නෙතඟට කඳුළක් උපදවාලන්නට සමත් විය. ඒ ගැටවරයකු වන ශමීර රංගන නාඔටුන්න තම කුලුඳුල් චිත්‍රපටය උදෙසා කළ කැපවීම පෞද්ගලිකව මා දැන සිටි' හෙයිනි. දැන් මේ තරුණයාට පමණක් නොව එබඳුම තරුණයන්ට මෙරට සිනමා ලෝකය ඇතුළත යහපත් හෙට දවසක් නිර්මාණය කළ යුතුව ඇත.

පසුගිය දෙවසර ඇතුළත ලාංකික සිනමාවේ රුව ගුණ තේජස වැඩිවීම උදෙසා දීර්ඝකාලීන බලාපොරොත්තු ඇතුව කරන ලද මහත්ම මෙහෙය වූ කලී කොළඹ අන්තර් ජාතික සිනමා උලෙළ පැවැත්වීම යැයි මම කිහිප වරක්ම කරුණු සහිතව සටහන් කර ඇත්තෙමි. මෙවර කොළඹ සිනමා උලෙළ පමණක් නොව එයට පෙර නිමා වූ යාපනය සිනමා උලෙළ ද මුළු දුන්නේ තරුණ තරුණියන්ගේ එක් රොක් වීමෙනි. සිනමාව යනු තාරුණ්‍යයේ මාධ්‍යයකි. එයට දායක වන්නට ඒ පිළිබඳ අලුත් ආකාරයෙන් සිතන්නට සමත් පරම්පරාවක් අප වටා ද බිහි වෙමින් පවතී. මේ ඇතැමකුගේ අවාසනාව නම් ඔවුන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීර්ස්, ධර්මසේන පතිරාජ පමණක් නොව ලෙනින් මොරායස්ලා පිළිබඳ හඳුනාගන්නට පෙරාතුව ක්වෙන්ටින් ටැරැන්ටිනෝලාගේ සිනමාව ගැන දැන ගැනීමය. ලෝකය විශ්ව ගම්මානයක්ව මුළුමහත් සිනමාව අතැඟිලිවලට එක්වද්දී ලාංකික සිනමාව තරුණ පරම්පරාවෙන් දුරස්ථ වෙමින් පවතී.

කොළඹ අන්තර් ජාතික සිනමා උලෙළේ තුන් වැන්නේදී ශ්‍රී ලාංකික චිත්‍රපට පිළිබඳ ප්‍රත්‍යාවලෝකන දැක්මක් පැවැත්වීම අත්‍යාවශ්‍ය කරුණක්ව ඇත. සාමාන්‍යයෙන් ලෝකයේ ඕනෑම රටක සිනමා උලෙළකදී තම රටේ සිනමාව පිළිබඳ ප්‍රත්‍යාවලෝකන දැක්මක් පැවැත්වීම සාමාන්‍යයෙන් සිදුවීමකි. එය එක්තරා ආකාරයකට අපේ සිනමාව පිළිබඳ ඊළඟ පරම්පරාව දැනුම්වත්වීමක් විය හැකිය. එමෙන්ම මෙම සිනමා උලෙළ සඳහා දැනට නොමිලයේ පිරිනැමෙන ප්‍රවේශ පත්‍රයට යම් සහන මිලක් අය කිරීම ද අවශ්‍ය වේ. සිනමා විද්‍යාර්ථින් උදෙසා ඔවුන්ගේ හැඳුනුම්පත් අනුව නොමිලයේ ප්‍රවේශ පත්‍ර පිරිනැමුව ද මුළුමහත් චිත්‍රපට ජාලය සඳහා දැරිය හැකි සහනදායි මිලකට ප්‍රවේශ පත්‍ර සඳහා අය කිරීම කිසිවකුගේ හෝ විරුද්ධත්වයක් ඇති වන්නක් නොවේ.

කොයි හැටි වෙතත් මෙම සිනමා උලෙළින් ප්‍රයෝජනය නොලබන බහුතරය අයත් වනුයේ අපේ නව පරපුරේ වෘත්තීය සිනමා නළු නිළියන් බව පැහැදිලිය. මාන්නය පසෙකලා උගත යුතු ශිල්පයක් විවිධ පටු අදහස් ඉස්මතු කරලමින් ලැබිය හැකි ඵල ප්‍රයෝජන අත්හැර දමන්නට ඔවුන් අතරින් බහුතරයක් සමත්ව සිටිති. ජාත්‍යන්තර සිනමා උලෙළකදී සිනමා රසිකයන් සමඟ එක් වී චිත්‍රපට නැරඹීම ලෝකයේ බොහෝ රටවල අලුත් පරම්පරාවේ නළු නිළියන්ගේ සම්ප්‍රදායයි. එවායේ විශේෂ ආරාධිතයන් සහභාගි වන්නේ සමාරම්භක හා නිමා වන උලෙළට පමණි.

චිත්‍රපට උලෙළක් පැවැත් වූ සිනමා ශාලා සියල්ල එකවර පිරී ඉතිරී යෑම හරහා ලාංකික සිනමාවේ ප්‍රබෝධයක් ඇති වෙතැයි යන පටු සිතුවිල්ලට හෝ සිහින දකින්නට අප කැමැති නැත. එය අපට පෙන්වා දෙනුයේ යහපත් සිනමාවකට තවමත් ඉඩකඩ ඇති බවය. ඒ සඳහා ඇති විශාල ඉල්ලුමය. මෑත භාගයේ ලාංකික සිනමාව පිළිබඳ සුබ සිහින දකින්මෝ හැම විටම පෙන්වා දෙනු ලබන්නේ අධික ආදායම් ලබන බ්ලොක් බස්ටර් චිත්‍රපට පිළිබඳවය. බැලූ බැල්මට ආදායම ඉහළ වුවත් ඇත්ත ඉතා කටුක නීරස එකකි. පසුගිය වකවානුවේ ආදායම් පිළිබඳ වාර්තා ගෙනහැර පෑව ද, එම ආදායම් ඉහළ නැඟුණේ ප්‍රවේශ පත්‍ර මිල ගණන් නිසා විනා ප්‍රේක්ෂක සංඛ්‍යාව ඉහළ යාමකින් නොවේ. දවසින් දෙකින් අලුත් විදෙස් චිත්‍රපට සිනමා ශාලා පුරවති. පෙර මෙන් නොව සෑම සතියක්ම අලුත් විදෙස් චිත්‍රපට තිරගත වන බැවින් අලුත් සිනමා ශාලා හිස් පුටු මත එදා මෙන් චිත්‍රපට වේලෙන්නට දැමිය යුතු නැත. ගැටලුව ඇති වනුයේ දේශීය චිත්‍රපට තිරගත කරවීමේ කාලය දිනෙන් දින අඩුවිමයි. වර්තමානයේ නවීකරණය වන සෑම සිනමා ශාලාවකින්ම පාහේ දේශීය චිත්‍රපටයට අයත් වනුයේ කුඩම්මාගේ සැලකිල්ලය.

එයට හේතුව ඒ සඳහා ඇති වන ප්‍රේක්ෂක සහභාගිත්වයේ අඩුවීම විනා ප්‍රදර්ශකයන්ගේ වරද යැයි මම නොසිතමි. දේශීය සිනමාවට පාරම්පරික සම්බන්ධතාවයක් ඇතිව රත්මලාන ප්‍රදේශයේ ඇති සිනමාහලක් ඉදි කළ මගේ මිත්‍රයකු වර්තමානයේ ජාම බේරා ගනුයේ දෙමළ චිත්‍රපට තිරගත කරවීමෙනි. එම සිනමා ශාලාවේ අලුත් සිංහල චිත්‍රපට තිරගත කරවීමට පෙරාතුව ඔහු විසින් ප්‍රචාරයක් ලබා දුන්න ද එයට ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් නොවිය. එහෙත් දෙමළ චිත්‍රපට තිරගත කරන ලද්දේ පූර්ව ප්‍රචාරයක් නොමැතිවය. ශාලා මිත්‍රයා මට පැවසුවේ සතියම හවුස්ෆුල් බවය. අද අලුත් සිනමා ශාලා හිමියන් සිය ශාලා නඩත්තු කරන්නට සිදුව ඇත්තේ විදෙස් චිත්‍රපට තිරගත කරවීමෙන් පමණක් වීම ඛේදවාචකයක් නොවන්නේද? පසුගිය වසර කිහිපය ඇතුළත ලාභ ඉපයූ සිංහල චිත්‍රපට එකක් දෙකක් නැතුවාම නොවේ. සාපේක්ෂව ගත් කළ බහුතරය යෙදූ මුදල හෝ යළි ආවරණය කර ගන්නට හැකි වූයේ එහෙමත් නිෂ්පාදකයකුටය.

මෙරට චිත්‍රපට නිෂ්පාදනයේ ඉහළින්ම වැජඹුණු මා මිත්‍ර නිෂ්පාදකවරයකු මේ ළඟදි පැවසුවේ යළි චිත්‍රපටයක් සඳහා ආයෝජනය කරන්නට හිත හදා ගත නොහැකි බවය. ඔහු විසින් නිපදවන ලද චිත්‍රපට පෙළක්ම එක දිගට අසාර්ථක වීම එයට හේතුවයි. මේ චිත්‍රපට අසාර්ථක වන්නට එකම හේතුව නම් කිසිදු නැවුම් අත්දැකීමක් එම චිත්‍රපට සඳහා අන්තර්ගත නොවීම බව ප්‍රේක්ෂකයකු වූ මගේ හැඟීමයි. ඉතා මෑතක බොක්ස් ඔෆිස් වර්තා තැබූ සම්මාන දිනූ චිත්‍රපටයක් අදාළ නිෂ්පාදන සමාගම සඳහා විශාලතම පාඩුව ගෙන දුන් චිත්‍රපටය වීම ඇති කරන්නේ හාස්‍යයක් නොව ශෝකයකි. තිරගත වූ බොහෝ චිත්‍රපට වර්තමාන පරම්පරාව මඟින් වියුක්ත කරවන චිත්‍රපට බව කිව යුතු මනාය. අලුත් පරම්පරාව ලෝකය පුරා හැදෙන බොහෝ චිත්‍රපට හරහා නැවුම් සිනමාවක් අත් විඳින්නට සමත් වූවෝ වෙති. ඔවුන් සිනමා ශාලාවන්ට යොමු කළ යුත්තේ නැවුම් අත්දැකිම් හරහා පමණි. සිනමාව යනු තවදුරටත් පරම විමෝදාස්වාදී ඒකායන මාර්ගය නොවේ. එය ද තරගකාරී එක් මාධ්‍යයක් පමණි.

දිනෙන් දින අඩු වීගෙන යන දේශීය චිත්‍රපට තිර කාලයට හේතුව වනුයේ ද ප්‍රේක්ෂක සහභාගිත්වයේ අවවර්ධනයයි.

කෙසේ හෝ වේවා කොළඹ සිනමා උලෙළේදී ශ්‍රී ලාංකික චිත්‍රපට සඳහා නෙට්පැක් සම්මානය පිරිනැමීම අගය කළ යුත්තකි. උලෙළේ තිරගත වූ ඇතැම් ශ්‍රී ලාංකික චිත්‍රපටයක් උලෙළක හතර මායිමකටවත් වැද්දා ගත යුතු නැතැයි ඇතැමුන් දොස් පවසනු මට ඇසිණි. ඒ පිළිබඳ කිසිත් සඳහන් නොකරන්නේ අදාළ දේශිය චිත්‍රපට නරඹන්නට මා එදා අවස්ථාව නොකර ගත් හෙයිනි. කෙසේ හෝ වේවා චෝදනාව ඇත්ත නම් එය ඊළඟ පියවරකදී නිවැරැදි කිරීම අවශ්‍ය වන්නේ කොළඹ උලෙළ අපේ සිනමාවේ විශාලතම ප්‍රාර්ථනාවක් හෙයිනි.

නෙට්පැක් සම්මානය දිනූ මෝටර් බයිසිකල් චිත්‍රපටය පසුපස ඇති කතාව චත්‍රපටයකට වඩා බලසම්පන්න බව මගේ හැඟීමයි. එය උත්සාහයත්, උනන්දුවත්, කැපවීමත් ඇති ඕනෑම තරුණයකුට කළ නොහැක්කක් නොමැත යන්න පිළිබඳ හොඳම උදාහරණයකි. ශමීර රංගන නාඔටුන්න නම් එම තරුණ සිනමාකරුවා චිත්‍රපට ක්ෂේත්‍රය ගැන දැක් වූ උනන්දුව හා උද්යෝගය බොහෝ දෙනාගේ ආදර්ශයට ගත යුතු තරම්ය. ශමීර සිනමා ලෝකයට පිවිසුණේ රිදී හැන්දක් කටේ ගා ගෙන නොවේ. සිනමාවට නෑකමක් ද ඔහු සතු නොවීය. ඔහු සතුව තිබුණේ ඉලක්ක සහගත අරමුණකි ඔහු සිනමාවට පිවිසෙනුයේ ඉනෝකා සත්‍යාංගනීගේ සුළං කිරිල්ලී චිත්‍රපටයේ කුඩා දර්ශනයකට පෙනී සිටීමෙන් සහ එහි සහාය අධ්‍යක්ෂණයෙහිලා කටයුතු කිරිමෙනි. එයින් පසු ඔහු ප්‍රසන්න විතානගේ, අරුණ ජයවර්ධන, අතුල ලියනගේ ඇතළු බොහෝ සිනමාකරුන්ගේ චිත්‍රපට සඳහා දායක විය.

ඒ සෑම විටම මේ නිර්මාණශීලී තරුණයා සිය මූලික අරමුණ ඉලක්ක කොට ගත් වග මගේ විශ්වාසයි. මවිසින් නිර්මාණය කරන ලද ද රෙස්ජලෙන්ඩන්ට් ලෑන්ඩ් සහ රයිසින් සන් යන වාර්තා චිත්‍රපට යුගලටම මේ ඉලන්දාරියා දායක වූයේ සහාය අධ්‍යක්ෂවරයා හැටියටය. ඔහු මා වෙත යොමු කරන ලද්දේ ප්‍රවීණ සහාය අධ්‍යක්ෂ දමින්ද ඩී. මඩවල වන අතර ඉමෝකා ශමීර පිළිබඳ කදිම රෙකමාදුරුවක් ද මට ලබා දුන්නාය. හොඳ චිත්‍රපට නැරැඹීමටත්, ඒ ගැන කතා කිරීමටත් ලොකු උනන්දුවක් තිිබූ මේ හාදයා සිනමාවේ සතර කොන පිළිබඳ දැඩි විමසිල්ලෙන් යුතුව උගත්තේය. කෝනේෂ්වරම් කෝවිල අසලින් හිරු පායන දර්ශනයක් රූ ගන්වන්නට දින 6 ක කාලයක් වැය කළ මට ඒ සඳහා ශමීරගෙන් ලැබුණු සහාය ඉහළ එකකි. ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාකරණය පිළිබඳ පාඨමාලාව හරහා ඔහු සිනමාකරණය දීර්ඝව හැදෑරුවේය. දැන් ඔහුගේ සිනමා නිර්මාණය අවසන්ය. එහි ගැටලුව ඇත්තේ තවමත් චිත්‍රපටය එළි දක්වන්නට ඉඩකඩ නොලැබීමය. මේ තරුණයාගේ අනාගතයට මඟ පෑදීම ජාතික චිත්‍රපට සංස්ථාවේ වත්මන් සභාපති දීපාල් චන්ද්‍රරත්න මහතා බාර ගනු ඇතැයි අපි විශ්වාස කරමු. හේතුව අප කවර ආකාරයේ ගෞරව භාර ගත්ත ද, ශමීර චිත්‍රපට සංස්ථාව මඟින් බිහි කළ හොඳම ශිෂ්‍යයකු බැව් ඔප්පු කර ඇති නිසාය.