වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




මම වඩාත්ම කැමැති ‘එළකිරි කඩේ’ට

මම වඩාත්ම කැමැති ‘එළකිරි කඩේ’ට

පුංචි තිරයෙන් ඔබ හමුවන දඟකාරිය වාසනා

මොකක්ද ඔබේ නම?

වාසනා දිලිනි.

වෘත්තීය?

දැනට මම නිළියක්.

මෝස්තර නිරූපිකාවක් වන්නටත් බලාපොරොත්තු වෙනවා.

වාසනාගේ ගම කොහේද?

පොළොන්නරුව.

ඔබ රැකියාවක් කරනවා?

ඔව්.

එතකෙට ඔබත් පාර්ට් ටයිම් නිළියක්ද?

අපොයි නැහැ. රංගනය මගේ වෘත්තීය කර ගන්න හිතාගෙන ඉන්නවා. එත් දැනට ජීවත්වීම සඳහා මුදල් ඕනෑ නිසයි රැකියාවක් කරන්නේ.

ඇයි රංගනයෙන් ලැබෙන මුදල් මදි ද ඔබට?

මට තවම ලොකු ලොකු චරිත ලැබුණේ නැහැ. උප චරිත විතරයි දැනට මං කරලා තියෙන්නේ. එවන් වූ චරිත පමණක් රඟපෑමෙන් මහා ලොකු මුදලක් ලැබෙන්නේ නැහැ කියා අමුතුවෙන් සඳහන් කරන්න ඕනෑ නැහැනේ.

ලොකු ලොකු චරිත ලැබුණොත් රැකියාව අත හරිනවාද?

අනිවාර්යෙන්ම. එතකොට මගේ වෘත්තීයෙන්ම මුදල් හොයන්න පුළුවන්.

වාසනාට රඟපාන්නට මුලින්ම අවස්ථාව දුන්නේ කවුද?

මගේ යහළුවකුගේ මාර්ගයෙන් සහාය අධ්‍යක්ෂවරයකු වන ධනුෂ්ක එන්. පෙරේරාව හඳුනා ගන්නට ලැබුණා. ඔහු තමයි මාව රඟපාන්න ගත්තේ. ඊට පස්සේ අරුණ ජයවර්ධන මහත්මයත් මාව නිර්මාණ සඳහා යොමු කළා පරාක්‍රම ඒකනායක සර්ගේ.

ඒ ලෙස රඟපාපු නිර්මාණ ගැන කතා කරමු?

එළකිරි කඩේ, ෆේස් බුක්, රතු අහස, පාරාවළළු සහ සයිබර් ක්‍රයිම්.

ඒ අතරින් ඔබව වඩාත් ජනප්‍රිය කළේ?

'එළකිරි කඩේ' තමයි.

ඔබ මේ වන විට රංගනය හදාරනවාද?

මං හරිම ආසයි රංගනය ඉගෙන ගන්න. එත් මේ වනතෙක් හරි තැනක් හමු වුණේ නැහැ.

වාසනා අනුගමනය කරන නිළියක් ඉන්නවාද?

අනුකරණය කරමින් රඟපාන්න මං ආස නැහැ. ඒත් ස්වර්ණා මල්ලවාරච්චිට මං හරිම ආසයි'.

චිත්‍රපට සඳහා ඔබට තවම ආරාධනා ලැබිලා නැහැ වගේ?

චිත්‍රපයකට සම්බන්ධවිමයි මගේ ඊළඟ හීනය. ටෙලි නාට්‍ය දහයක රඟපෑවා හා සමානයි චිත්‍රපටයක රගපෑම. ඉතින් හොඳ නිර්මාණයකට ආරාධනා ලැබෙන තෙක් බලාගෙන ඉන්නවා.

මෝස්තර නිරූපිකාවක් වන්නට කැමැති ඇයි?

ආසාවට.

මෝස්තර නිරූපිකාවකට වඩා නිළියන් ජනප්‍රියයි?

ඒක ඇත්ත. නමුත් මං ඔය ක්ෂේත්‍රයන් දෙකටම කැමැතියි. මෝස්තර නිරූපිකාවක විදිහටත් කටයුතු කරනවා තව නොබෝ දවසක පටන්.

වාසනාගේ පවුලේ විස්තර මොනවාද?

මගේ තාත්තා ජීවතුන් අතර නැහැ අම්මයි අක්කයි මමයි තමයි පවුලේ අය.

ගෙදරින් කැමැති ද ඔබ නිළියක් ලෙස කටයුතු කරනවාට?

අම්මා තමයි මට වඩා ආස මං රංගනයේ යෙදෙන එකට. ඇයගේ සිත සතුටු කරන්න මං රඟපානවා. ඇතැම් අවස්ථාවලදී අම්මා කියනවා රැකියාවෙන් අයින් වෙලා හරි දිගටම රඟපාන්න කියලා. ඇය මුදල් දෙන්නනම්ලු මට ජීවත් වෙන්න.

ඔබේ පෙම්වතාගෙන් මොන වගේ සහායක් ද ලැබෙන්නේ ඔබේ රංගන ජීවිතයට?

කිසිම සහායක් නැහැ.

ඒ කියන්නේ ඔබේ පෙම්වතා අකැමැතියි ඔබ කලා ක්ෂේත්‍රයේ ඉන්නවට?

සහායක් ලැබෙන්න හෝ නොලැබෙන්න මට පෙම්වතෙක් ඉන්න එපායැ.

දැන් කීයද වයස?

මගේ උපන් දිනය 1993. 05. 23. මේ වන විට මගේ වයස අවුරුද විසි දෙකයි.

මේ වයසට පුදුමයි ඔබට පෙම්වතකු නෑ කියන එකට?

ඒක තමයි. නමුත් ඇත්ත කතාව ඒකයි.

යොවුන් අධ්‍යක්ෂවරයකුගෙන් විවාහ යෝජනාවක් ලැබුණොත් මොකද කරන්නේ?

හිතලා බලනවා.

වාසනා ක්ෂේත්‍රයේ අයකු එක්ක විවාහ වන්නට කැමැතියි වගේ?

ක්ෂේත්‍රය නෙවෙයි වැදගත්, පුද්ගලයයි වැදගත් වන්නේ.

කවදා හරි ඔබ යාළු වන කෙනා ඔබට රඟපාන්නට තහංචි දැම්මොත්?

මට හරි ආදරයක් තියෙනවා නම් කවදාවත් මට තහංචි දමන එකක් නැහැනෙ.

වාසනා ඉගෙන ගත්තු පාසලත් මතක් කරමු?

ගම පොළොන්නරුව වුණාට මං ඉගෙන ගත්තේ නුවර ගඩලාදෙණිය මහ විද්‍යාලයෙන්. ඊට පසුව වැලිකන්ද නවෝද්‍යා පාසලට ගියා.

ඔබේ වර්තමාන පදිංචිය කොහේද?

ඉන්නේ බොරැල්ලේ. රැකියාව කරන්නේ බොරලැස්ගමුවේ.

කලා ක්ෂේත්‍රය එපා වන අවස්ථා තියෙනවාද?

ඔව්. මේ ක්ෂේත්‍රයේ අය අලුත් නිළියන්ව ඕනෑවට වඩා රස්තියාදු කරනවා. මට ඒ වගේ අත්දැකීම් එහෙමත් තියෙනවා.

එකක් දෙකක් කියමුකො බලන්න?

අපොයි බැහැ. එතකොට මාත් එක්ක මගේම ක්ෂේත්‍රයේ ඉන්න අය තරහ වෙයි.

වාසනා ප්‍රශ්නවලින් ලිස්සලා යන්න හරි දක්ෂයි නේද?

ලිස්සලා ගියේ නැහැ. මං ඇත්ත කිව්වේ.

ඔබ ගැන කෙටියෙන් හඳුන්වන්න බලන්න?

අවිහිංසක කෙනෙක්.