වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ස්වර්ණා ගන්ධබ්බ අපදානය උදුරා ගත්තාය

ස්වර්ණා ගන්ධබ්බ අපදානය උදුරා ගත්තාය

1962 වසර මගේ ජීවිතයේ දුක්බරම මතක සටහන තැබූ වසර ලෙස නම් කළ හැකියි. මගේ ආදරණීය අම්මා කලක් රොගීව සිට මිය යාම අප පවුලටම බලවත් පාළුවක්, පාඩුවක් විය. අම්මා මිය ගියේ හරියටම මගේ දහ හතර වැනි උපන් දිනය දවසේමය. අම්මා හොඳ කලා රසිකාවකි. ඇයට සර්පිනාව හොඳින් වාදනය කළ හැකිය. චිත්‍ර ඇඳිය හැකිය. ඇගේ ගුරුවරයා වූයේ ජී. ඇල්. ගෞතමදාස මහතාය. ඔහු ගැන කියා නිතර ඇය උදම් ඇනුවාය. පාසල් යන කාලේ (රාජගිරියේ හේවාවිතාරණ විද්‍යාලය) ඇය වැලිකඩ තරුණ බෞද්ධ සංගමය මඟින් පැවත් වූ අන්තර් දහම් පාසල් කථික තරඟ, කවි තරඟ, රචනා තරඟවලින් ජය පිට ජය ලබා තෑගි ලෙස ලැබූ හම් බැම්මෙන් බඳින ලද පූජාවලිය, ජාතක පොත, මිලින්ද ප්‍රශ්නය, සද්ධර්ම රත්නාවලිය පොත් වහන්සේලා අද වැඩ සිටින්නේ මගේ පුස්තකාලයේය.

මට පොත් හා පුවත්පත් සඟරා කියවීමේ අගය කියා දුන්නේ අම්මාය. අපේ අච්චු කන්තෝරුවේ ඇලෝෂියස් බාස්උන්නැහේට කියා කළු ඩ්‍රෝයින් කඩදාසිවලින් ලොකු පොතක් සාදාගෙන පුවත්පත්වල පළ වූ ජාතික වීරයන්, කලාකරුවන්, ලේඛකයන් ජගත් නායකයන් ගැන ලියූ විශේෂ ලිපි කපා ඇය මට අලවා දුන්නාය. මට පාසලේදී රචනා ලිවීමේදීත්, කථික තරඟවලදීත් කරුණු රැස් කිරීමේදී පිහිටට එන්නේ කඩදාසි කැපුම් සහිත මේ ස්ක්‍රැප් පොතය.

අම්මා මිය ගිය පසු අපේ නිවසට යාබද ඩිස්පෙන්සරියේ පදිංචිව සිටි කමලා නැන්දා අපට බෙහෙවින් උදව් කළාය. මේ අතර තාත්තාගේ නැඟනියගේ දියණියක වූ සුනීතක්කා ද අපව බලා ගැනීමට අප නිවසට පැමිණියාය.

මේ වන විට මම කොළඹ කේරී විද්‍යාලයේ ඉගෙනීම ලබමින් සිටියෙමි. එහි මගේ සාහිත්‍යය හා කලා රසඥතාව වැඩීම සකස් කළ ගුරුවරුන් කිහිප දෙනෙක්ම වූහ. ඔවුහු වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම උත්තම පුරුෂයෝය. ආචාර්ය ඩබ්ලිව්. ජී. වික්‍රමසිංහ දේවගැතිතුමා (විදුහල්පති), සිඩ්නි වනසිංහ (හිටපු කොළඹ නාගරික මන්ත්‍රී, ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික) අජිත් තිලකසේන (ප්‍රකට ලේඛක) ජයසිරි ලංකාගේ (පුස්තකාල විද්‍යාව පිළිබඳ මහාචාර්ය), ආචාර්ය උබයසිරි විජයානන්ද වික්‍රම (ඕස්ට්‍රේලියා ගුවන් විදුලියක අධ්‍යක්ෂ) පර්සිවල් ඊ. ජේ. පෙරේරා (පසුව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරියෙක්) මේ පිරිසය.

හාපුරා කියා මා ප්‍රසිද්ධ වේදිකාවක රඟපෑවේ කේරි විද්‍යාලයේ ඉගෙනුම ලැබූ වකවානුවේය. ඒ උබයසිරි වික්‍රම සර් රචනා කොට අධ්‍යක්ෂණය කළ 'රජ ඉසුරු නැත' නාට්‍යයේය. පර්සි පෙරේරා සර් එහි ප්‍රධාන චරිතය රඟපෑවේය. පාසලේදී චිත්‍ර කලාවට, සිංහල සාහිත්‍යයට, සිංහල රචනයට මට තෑගි පිට තෑගි හිමි විය.

හෑගොඩ කවියාගේ කැමරා ළමා සමාජයෙන් දැන හැඳින ගත් තරුණ ලේඛකයකු වූ කරුණාරත්න සපුතන්ත්‍රී ගුණරත්න මාමා හමුවීමට අප නිවසට නිතර ආව ගියේය. මා චිත්‍රයක් අඳිනු දුටු ඔහු පුදුම හිතෙන යෝජනාවක් ගෙන ආවේය.

'රංජිත් ඔයා මගේ අලුත්ම නවකකතාවේ පිට කවරය අඳින්න'

පොතේ නම 'පව් පඳුරු'ය. මට මුල් වරට පොත් පිට කවරයක් ඇඳීමට අවස්ථාව දුන් 'ආදරණීය සපූ' ව මම කාතඥතා පූර්වක සිහිපත් කරමි.

මා අල්ලපු ගෙදර කමලා නැන්දාගේ ගෙදර නිතර ගියේ ඇගේ දියණිය වූ මර්සි අක්කාගෙන් පොත පත ඉල්ලා ගැනීමටය. මට වඩා මාස කිහිපයකින් වැඩිමහලු ඇයත්, ඇගේ පන්තියේ සිටි ස්වර්ණා මල්ලවාරච්චි (සම්මානනීය චිත්‍රපට නිළිය) සහබන්දු, ඉන්ද්‍රා, බන්දුල හා විශාඛා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කාන්ති කල්‍යාණිත් සමඟ අපි අ. පො. ස. සාමාන්‍ය පෙළට පාඩම් කළෙමු. එකල අපේ සමකාලීන මිතුරු මිතුරින්ගේ වීරවරයන් වූයේ මාර්ටින් වික්‍රමසිංහ, සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර, සිරි ගුණසිංහ, කේ. ජයතිලක, මහගම සේකර, මඩවල රත්නායක, ලීල් ගුණසේකර ආදීන්ය. සමන්, ගුණසේන, සරසවි (ගම්පහ) ප්‍රකාශනය කළ පොත් තලු මර මරා අපි කියවීමු.

ගුණදාස අමරසේකරගේ 'ගන්ධබ්බ අපදානය' නවකතාව මා මිල දී ගත් දිනය මට අමතක නොවේ.

'අනේ රංජිත් මේ පොත මට දීපන්. අද රෑට කියවලා හෙට උඹට දෙන්නම්' පොත මගෙන් උදුරා ගත් ස්වර්ණා කීවාය.

පසුදාම ස්වර්ණා ඒ පොත ගෙනවිත් දී 'හෙට සෙනසුරාදා අපි ගුණසේන සාප්පුවට යමුද? අනිත් අයටත් කියමු උදේ 10 ට සුමිත්‍රා ස්ටුඩියෝව ගාව බස් හොල්ට් එක ළඟට එන්න' යෝජනාවක් ගෙනාවාය.

එදින ද අමතක නොවන දිනයකි. ගුණසේන සාප්පුවට ගොස් පොත් කිහිපයක් මිල දී ගත් අපට ආපසු බස් එකට දීමට සල්ලි මදි විය. එයට හේතුව දින දෙක තුනකින් එන මගේ උපන් දින තෑග්ග සඳහා මාර්ටින් වික්‍රමසිංහගේ 'සාහිත්‍යෝදය කතා' මිලදී ගැනීමට රුපියල් 2 ක් වියදම් වීමය.

'අද දවස සිහි වෙන්නත් එක්ක අපි පයින්ම ගෙදර යමු' ස්වර්ණා තමාටම ආවේණික වූ සුපුරුදු සිනාව නඟමින් කීවාය.

අපි ගුණසේන සාප්පුවෙන් එළියට පැමිණ ටෙක්නිකල් හන්දිය හරහා ආමර් වීදියට පැමිණ එතැනින් කොස්ගස් හන්දියට පැමිණියෙමු.

අපේ නඩය හොඳ නාට්‍ය, චිත්‍රපට බැලීමට සැදී පැහැදී සිටියෝය. අප ඉගෙනීමේ කටයුතු අවසන් වූ පසු ඇතැම් සාමාජිකයෙකු හා සාමාජිකාවකගේ උපන් දිනයක් නම් අලුතින් නිකුත් වූ පොතක් තෑගි දී ගීත ගැයුවෙමු. ස්වර්ණා එදා නිතරම කියූ ගීතයකි 'හඳපාන' චිත්‍රපටයේ ඉන්ද්‍රානි විජේබණ්ඩාර ගැයු 'ඔබ නැති මේ බිම පාළුයි අඳුරුයි'. මිල්ටන් පෙරේරා ගැයූ 'ජීව වේදනා හදේ නැඟෙන මගේ ඔබෙ හදවතටත් දැනෙනවා නම්' මා ගයන විට 'ආව් . . . ආව්' කියමින් ස්වර්ණා උස් හඬින් කියා 'උඹ කාටද ඔය සන්දේශය දෙන්නේ' යි සුපුරුදු සිනාව නඟන්නීය.

ගැටවරයෝ, සාමා, ගම්පෙරළිය, සිකුරු තරුව ආදී චිත්‍රපට බැලීමට ඔවුහු මගේ පියාගේ අනුග්‍රහය පැතූහ. 'ඇඩ්මන් මාමේ, අපි ගම්පෙරළිය බලන්න යමුකෝ' ස්වර්ණා පෙරමුණ ගනිමින් කියන්නේ අපේ බල කිරීම නිසාය.

අපේ ගෙදර පිරිසත් සමඟ අපේ මිතුරු නඩය ද 'ගම්පෙරළිය' බැලීමට එක්ක යන්නේ තාත්තාය. අනිවාර්යෙන් අයිස් චොක්ස් ද අපට කෑමට ලැබේ.

තාත්තාට අවශ්‍ය වූයේ තමා ඉගෙන ගත්ත ආනන්ද මහා විද්‍යාලයට මා ඇතුළත් කිරීමටය. ගුණරත්න මාමා ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා හොඳින් දැන සිටි නිසාත් ඔහු ආනන්දයේ ආදි ශිෂ්‍යයකු නිසාත් ඔහුගේ එක ලියුමකින්ම ආනන්දයට ඇතුළු වීමට මට අපහසු නොවීය. මේ කාලයේම ස්වර්ණා ද කොළඹ කිංසි පාරේ පිහිටි යසෝධරා බාලිකා විද්‍යාලයට ඇතුළු වූවාය.

ආනන්දයේ ශිෂ්‍යයෙක් එකල 'හෙළ බිම' නමින් පුවත්පතක් සංස්කරණය කොට බෙදා හැරියේය. පසුව මෙරට ඉහළ තැන්වල වැජඹුණු විවිධ ක්ෂේත්‍රවල නියැළුණ බොහෝ අයගේ මුල් ලිපිය පළ වූයේ මේ පුවත්පතේය. මේ පුවත්පතේ සංස්කාරක දයාවංශ ජයකොඩිය. ඔහු අද පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ ජයකොඩි නංවා ඇත. සන්ග්ලාස් දෙකක් පැලඳි එකල ඔහු දකින විට මතකයට ආවේ එවකට ජනප්‍රිය නළුවකු වූ ආදි (ආනන්දියකු වූ) ආනන්ද ජයරත්නය. මට 'හෙළ බිම' පුවත්පතට ලිපියක් ලිවීමට ආශාවක් ඇති විය. මේ පුවත්පත මුද්‍රණය කළේ අප නිවසට යාබදව තිබු ඈපා මුද්‍රණාලයේය. එහි අයිතිකරු තිස්ස ද ඈපා මහතා මගේ පියාගේ මිතුරෙකි. මේ නිසාම ඉඳහිට එම මුද්‍රණාලයට ගියේ එහි ඇති පොත් සාප්පුවේ සමන් මුද්‍රණාලයෙන් නිකුත් වන පොත් විකුණන නිසාය. එසේ ගිය දිනක 'හෙළ බිම' අලුත්ම පත්‍රය මුද්‍රණය වී තිබෙනු මම දුටුවෙමි.

'මමත් ආසයි 'හෙළ බිම'ට ලියන්න. දයාවංශ අපේ ඉස්කෝලේ ළමයෙක්. එයා මම අඳුනන්නේ නැහැ'

'එයා පත්තර ගෙනියන්න අද ඒවි. ආවාම මම ගෙදරට පණිවිඩයක් එවන්නම්. මමත් ආනන්දේ තමා ඉගෙන ගත්තේ. අපේ පන්තියේ තමයි අර ප්‍රසිද්ධ නළුවා අසෝක පොන්නම්පෙරුමත් හිටියේ. තිස්ස ද ඈපා පැවසුවේය. (පසුව තම පන්ති සගයන් වූ ජේ. බී. දිසානායක, සුනන්ද මහේන්ද්‍ර, ඩී. බී. නිහාල්සිංහ, විජේරත්න වරකාගොඩ ගැන ද මට ඔහු තොරතුරු පවසා ඇත).

දයාවංශගේ පැමිණීම ගැන සෝදිසියෙන් සිටි මට ඔහුගේ ස්කූටරය ඈපා මුද්‍රණාලය ඉදිරිපිට නවතා තිබෙනු දුටුවෙමි. එදා සෙනසුරාදා දිනයකි.

හඳුනාදීමෙන් පසු 'මම සඳුදා ඉස්කෝලෙට එනවා. පුංචි ලිපියක් ලියාගෙන ඇවිත් මාව හම්බ වෙන්න . ඔයා දන්නවද බුද්ධදාස බෝධිනායක ඉන්න පන්තිය? මම ඉන්නෙත් ඒ පන්තියේ' දයාවංශ කීය.

මගේ ජීවිතයේ පුංචි ලිපියක් මුල්වරට පළ වූයේ හෙළ බිමේය. ඒ පිළිබඳ ගෞරවය හිමි වන්නේ හිත මිතුරු දයාවංශටය.

අප නිවසට සමීප වේල්ස් කුමාර මාවතේ (අද සිරිමාවෝ බණ්ඩාරනායක මාවත) අලුත් සිනමාහලක් 1963 විවෘත විය. ඒ 'අසෝකා' සිනමාහලය.

මේ සිනමාහල විවෘත කළ දින පෙ. ව. 10.30 දර්ශනය ගැලරියේ පෝලිමේ මුලටම සිට පළමු දර්ශනය නැරඹුවේ මාත්, ප්‍රේමරත්න හා තුංගසේන යන මිතුරන්ය. බලු කූඩුවක් වැනි ගැලරි පෝලිමේ පැය තුනක් අප ලැග සිටීම කොතරම් සනීපද? එය අපට නම් සනීපයක්මය. අලුත් සිනමාහලේ ගැලරි ආසන ලා තැඹිලි පාටය. එහි රෙක්ෂින් කවරවල නැවුම් සුවඳ මට තවමත් දැනේ. මිතුරන් දෙදෙනාත් මාත් තිරය මැදට සිටින සේ අවසාන අසුන්වල වාඩි වීමු. ඒ සුන්දරත්වය අද කොයින්ද?

මේ කාලයේ 'සරසවිය' නමින් අලුත් කලා පත්තරයක් එන බව ලේක්හවුස් පත්‍රවලින් පූර්ව ප්‍රචාරයක් දෙන ලදී. අපි එම පත්‍රය එනතුරු බලා සිටියෙමු. කොස්ගස් හන්දියේ වෛත්‍යලිංගම් සුරුට්ටු කඩේ මුදලාලිට කල් ඇතුව පත්‍රයක් වෙන් කරන මෙන් ඉල්ලා සිටියේය.