වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




සුරනිමලගේ දැනුම වැඩියෙන්ම හොරකම් කළේ මමයි

සුරනිමලගේ දැනුම වැඩියෙන්ම හොරකම් කළේ මමයි

ගයනි සතරසිංහ

‘හැඩවැඩමැද’ විශේෂාංගයට සහභාගි වන්නේ වේශ නිරූපණ ශිල්පිනියකි. ඈ ගයනි සතරසිංහ ය. පාසල් යන කාලයේ දී පටන් රංගනයට මෙන්ම වේශ නිරූපණයට පෙම්බැඳී ඇගේ සිත් රැඳී සිහිනය අර්ථවත් වන්නේ පාසලට පැමිණි ප්‍රේම කුමාර කරුණාරත්න නාට්‍ය ගුරුතුමා නිසා ය. ඒ ඈ ඇතුළේ නිසඟයෙන් සැඟ වී සිටි වේශ නිරූපණ ශිල්පිනිය ඔහු හඳුනා ගැනීමෙනි. එතැන් පටන් පාසලේ හොඳම වේශ නිරූපණ ශිල්පිනිය ලෙස සම්මාන ලබන ගයනිගේ ජීවිතයේ තවත් සංදිස්ථානයකි. ඒ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හා සුමිත්‍රා පීරිස්ගේ ‘ගොළු හදවත’ ටෙලි නාට්‍යය ගයනිගේ පාසලේ රූගත කිරීම ය. එහි රඟපෑමට සහභාගි වන අතරතුර ඇය කළේ එහි වේශ නිරූපණ ශිල්පියා වන ඩබ්ලිව්. ජයතිස්ස වේශ නිරූපණයේ යෙදෙන අයුරු බලා සිටීම ය.

ඒ කියන්නේ ඔබගේ අද දක්වා පැමිණි ගමනේ ආරම්භය සනිටුහන් වන්නේ ගොළු හදවතෙන්

ඩබ්ලිව්. ජයතිස්ස කියන වේශ නිරූපණ ශිල්පියා මේ ශිල්පයට පාසල් සිසුවියක් වන මගේ සිතේ තිබෙන ආශාව හඳුන ගන්නවා. ඒ ගැන ඔවුන් අතර කතාබහක් ඇති වෙනවා. ඒ අනුව දවසක් මගේ යහළුවෙකුගේ ගෙදරදි තිබුණු රූගත කිරීමකදි මට හමුවුණු තරංග රුක්මල්වල වේශ නිරූපණ ශිල්පියාගේ ආරාධනයයි මේ ගමනේ ආරම්භයට මුල් වන්නේ. මේ වනවිට මම ඉගෙන ගත්තේ හතේ පන්තියේ. මේ විෂයයට මගේ කොයිතරම් ආශාව තිබුණ ද කියලා කිව්වොත් පාසලේ විදුහල්පතිතුමාගෙත් අවසරය අරගෙනයි මම මේ කටයුත්තට සහභාගි වෙන්නේ. ඒ විදියට මම සහය වේශ නිරූපණ ශිල්පිනියක් ලෙස ඔහු ළඟ වැඩ කිරීම ආරම්භ කරන්නේ. ඒ නිර්මාණයේ ගීතා කාන්ති ජයකොඩිත් රඟපෑව බව මට මතකයි. ඒ ඉගෙන ගැනීම්වලින් පස්සේ මම මේ වෘත්තිය පිළිබඳ ස්වයං අධ්‍යයනයක යෙදෙනවා. පොතපත කියවනවා.

එතැනින් පස්සේ ඔබගේ අධ්‍යාපනයත් කඩාකප්පල් වෙනවා?

මාව රජයේ චිත්‍රපට ආයතනයෙන් කළ පූර්ණ කාලීන පාඨමාලාවට තේරෙන්නේ මම ඒ ලෙවල් කරන අතරදි. මේ ක්ෂේත්‍රයට තිබුණු ආශාව මගේ මව්පියන් වුණත් දැනගෙන සිටිය නිසා ඔවුන් මට මේ පාඨමාලාවට යන්න දුන්නේ ඒ ලෙවල් බාහිරව ලියන්න පොරොන්දුවක් ගනිමින්.

කාලයක් ඔබ සෑම් පෙරේරාත් සමඟ වැඩ කරනවා. ඔහුව මුණ ගැසෙන්නේ කොහොම ද?

හදිස්සියෙන්ම වගේ මට ඔහුව මුණ ගැසෙන්නේ මගේ යහළුවෙකුගේ මඟුල් ගෙදරකදි. එහිදි ඇතිකර ගන්න දැනහැඳුනුම්කම මත ඔහුත් සමඟ වැඩ කරන්න මට කතා කරනවා. ඒ කොණ්ඩා සැකසුම් ශිල්පිනියක් ලෙසයි. ‘ඉංගම්මාරුව’, මොහාන් නියාස්ගේ සපායම් සිල්ක් කියන නාට්‍යයටත් ඔහු මාව එක්කගෙන යනවා. එදා තමයි මට මොහාන් නියාස් කියන අධ්‍යක්ෂවරයා මුණ ගැසීමට අවස්ථාව ලැබෙන්නේ. හොඳට ඉගෙන ගෙන මේ කටයුතු කළොත් ඔහුගේ සෑම වැඩකටම මාව ගන්න බවත් ඔහු පවසන්නේ ඒ මොහොතේදියි. එදා පටන් අද දක්වාම ඔහු ඒ අදහස ඒ විදියටම රැක්ක බවත් පවසන්නේ මම බොහොම සතුටෙන්. වැඩිපුරම එකම අධ්‍යක්ෂවරයාගේ නිර්මාණ රැසකටම දායක වුණා නම් ඒ ඔහුගෙයි.

කාලයක් මේ විදියට සිටිය ඔබ මුලින්ම තනියෙන් වැඩ කරන නිර්මාණය කුමක් ද?

සෑම් අයියා ‘ඉමදිය මංකඩ’ ටෙලි නාට්‍යයේ වැඩ භාර ගත්තත් හදිසියේම ඔහුට විදේශ ගත වෙන්නට සිදුවෙන නිසා එහි කොණ්ඩා සැකසුම් ශිල්පිනිය ලෙස මුලින්ම තනියෙන් වැඩ කරන්නට සිදු වෙනවා. එහිදි ජෝ අබේවික්‍රම, වීණා ජයකොඩි වගේ ප්‍රවීණ නළු - නිළියන් රැසක් සමඟ මට වැඩ කරන්නට ලැබුණා. එතැනදි හඳුනා ගන්න ජේ.සුරනිමලගේ සහය ශිල්පිනිය ලෙස වැඩ කරන්නට ලැබෙන ආරාධනාවත් මම ඉත සිතින් පිළි ගන්නේ මේ ශිල්පය ගැන තවත් බොහෝ දේ ඉගෙන ගන්න තිබෙන ආශාව නිසාමයි. ඔහු ළඟ වැඩ කළාට පස්සේ හරියට මට දැනුණේ මේකප් ඉගෙන ගන්න පාසලකට ගියා වගේ කියලයි. මම හිතන්නේ ඔහුගේ දැනුම වැඩිපුරම හොරකම් කළේ මමයි. ඒ ලබා ගත්ත දැනුම නිසා ඔහු එක නිර්මාණයක වේශ නිරූපණ කටයුතු කරන විට අනෙක් නිර්මාණයක් මට තනිවම වේශ නිරූපණ කටයුතු කරන්න භාර දුන්නා. ඒ තරම්ට මා කෙරෙහි විශ්වාසයක් ඔහුට තිබුණා. එහෙම මම මුලින්ම තනියම වැඩකළේ ‘කීටයා - 2’ ටෙලි නාට්‍යයේයි.

වේශ නිරූපණ කටයුතු පුහුණු වන කාලයේ ඔබ විවිධ දේ අත්හදා බැලුවේ කොහොම ද?

වරක් මට මතකයි මම අම්මටත් හොරා ගෙදර තිබුණු පරණ ඇඳුම් ඇඳගෙන හිඟන්නෙක් විදියට වෙස් මාරු කරගෙන ගිහින් බත් ටිකක් ඉල්ලනවා. ඒ වෙලාවේ අම්මා බත් ටිකක් ගේන්න ඇතුළට ගියා. ටෙස්ට් කරන්න කළ මගේ වේශ නිරූපණයට අම්මා රැවටුණා. මේ සෑම දෙයක් පසුපස හිටියේ මගේ ගුරුවරුයි. ඔවුන් සියලුදෙනාම ආදරයෙන් මතක් කරන්න මම මෙය අවස්ථාක් කර ගන්නවා.

ඔබ නියැළෙන්නේ වේශ නිරූපණ ශිල්පයේ කටයුතුවල පමණක් නොවෙයි ?

‘බට්ටි ’ නාට්‍යයේ දි එහි වේශ නිරූපණ කටයුතු වගේම සහය අධ්‍යක්ෂණ කටයුතුත් මා සිදු කළා. ඒ භූමිකාව පිළිබඳ මීට පෙරත් අධ්‍යයන කටයුතුවල නිරත වෙලයි සිටියේ. මේ නාට්‍යයේ පමණක් මා රංගනය, වේශ නිරූපණය, සහය අධ්‍යක්ෂණය කියන භූමිකා ත්‍රිත්වයේම කටයුතු කළා. ඒ සියල්ලම සාර්ථකව කරන්නත් මට හැකිවීම මා ලැබූ ජයග්‍රහණයක් ලෙසයි සලකන්නේ. ඒක මටම වෙන්වෙලා තිබුණු සුවිශේෂී හැකියාවක්. ඒ වගේම මම නිතරම හිතන දෙයක් තමයි මට මේ තරම් සුවිශේෂී හැකියාවක් දෙවියන් විසින් දෙන්නට ඇත්තේ සමාජයට යම් යහපත් සේවයක් ඉටු කරන්නට යන්නයි. ජීවත් වෙලා ඉන්නතුරු ඒ සේවය සමාජයට ඉටු කරලා යන්න කිව්ව දවසට අප යා යුතු බවයි මගේ හැඟීම වන්නේ.

වේශ නිරූපණයට අමතරව ඔබ කොණ්ඩා සැකසුම් ශිල්පිනියක් ලෙසත් කටයුතු කරන වග ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ ?

ඒක ඇත්තක්. මේ වනවිටත් සමහර නිර්මාණවලදි ඒ අධ්‍යක්ෂවරුන් එකඟ නම් මා ඒ කොණ්ඩා සැකසුම් කටයුත්තේ යෙදෙනවා. ඒ කටයුත්ත මට භාර නොවුණත් වේශ නිරූපණ කටයුතුවලදි ඒ දැනුම මට ප්‍රයෝජනවත් වුණු අවස්ථා ඕනෑ තරම් තිබෙනවා.

ලාංකේය කලා ඉතිහාසයේ කාන්තාවන්ගෙන් වේශ නිරූපණ ශිල්පයට සම්මානයක් ලැබූ එකම කාන්තාව ඔබ පමණක් ද?

මම දන්න තරමින් කාන්තාවක් මේ ක්ෂේත්‍රයේදි සම්මානයක් ගත්තේ පළමු වතාවට. ඒ ගැන මට දැනෙන්නේ සතුටක්. මට වඩා මේ ගැන සතුටු වුණේ මගේ මව්පියන්. ඒ නිසා කාන්තාවක් වීම පිළිබඳ මට තිබෙන්නේ සතුටක්. මේ සම්මානය මට ලැබෙන්නේ 17 වැනි සුමති සම්මාන උලෙළේ හොඳම වේශ නිරූපණ ශිල්පියා විදියටයි. ඒ සුනිල් කොස්තාගේ ‘පින්සර දොස්තර’ ටෙලි නාට්‍යය වෙනුවෙන්.

සම්මානය ගන්න යන්නෙත් ඔබ අමුතු විදියකටයි?

එදා මාපිටිගම මහත්තයාගේ ‘ඉස්සරහට යන්න’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් තිබුණේ තිඹිරිගස් යායේ. ඒ කාර්යය දාලා යන්න බැරිකමකින් තමයි මම සිටියේ. එහෙත් රූගත කිරීම් තිබෙන්නේ ටික කාලයක් නිසා අනෙක් හැමෝම කිව්වේ සම්මාන උත්සවයට යන්න කියලා. වෙනත් අය නම් ඒ වගේ සම්මාන උලෙළකට යන්න දවස් ගණනකට කලින් සූදානම් වෙනවා. ඒත් මම මේ උලෙළට යන්න සූදානම් වුණේ ඒ ළඟම තිබුණු වොෂ්රූම් එකට ගිහින්. අදටත් ඒ අවස්ථාවේ සෙට් එකේ සිටිය ජනක් ප්‍රේමලාල් මහත්තයා අහන දෙයක් තමයි ආයෙත් ඇඳගෙන එහෙම යන්න ඒ පැත්තේ ගියෙ නැද්ද කියලා. අද එතැන අද සුපිරි විදියට හදලා තිබුණත් එදා එහෙම නොවෙයි එතැන තිබුණේ.

පින්සර දොස්තර විදියට රඟපාන්නේ ප්‍රවීණ නළු ටෝනි රණසිංහයන්. ඔබගේ කාර්යයට ඔහුගෙන් ලැබුණු සහයෝගය මොනවගේ ද?

ඔහු බොහොම අපූරු මනුස්සයෙක්. ඔහු මට දවසක් ‘ආ....... ඔබ ගෑනියෙක් වෙලා කොලේලො එක්ක හරි හරියට වැඩ කරනවා නේ. ඔය විදියට වැඩ කරගෙන පලයන්. ඔය ඉන්න විදියට තමයි මේ ක්ෂේත්‍රයේ ඉන්න ඕන. එහෙම තමයි වෙන්න ඕන’ කියලා කිව්වා. ඔහුගේ කතාව මගේ හිතට හරි දහිරියක් වුණා. විදේශ රටවල්වල නම් එහෙම කාන්තාවෝ මේ ක්ෂේත්‍ර යේ වැඩ කළත්, ලංකාවේ වගේ රටක එහෙම දෙයක් දකින්න ලැබෙන්නේ බොහොම අඩුවෙන්. අනෙක් එක පුරුෂ පක්ෂය පමණක් ඉන්න සෙට් එකක එකම ගැහැනියක් ඔවුන් සමඟ වැඩ කිරීමත් සුවිශේෂයි.

බොහෝ පුරුෂයන් අතර වැඩකටයුතු කිරීමේ දී විවිධ බලපෑම් ඔබට එල්ල වෙලා තියෙනවද?

මේ වනවිට මම ගොඩක් වැඩ කරලා තියෙනවා. ඒ සෑම අවස්ථාවකම මා වැඩකටයුතු කළේ පුරුෂ පක්ෂය සමඟයි. සමහර කාලවලදි සෙට් එකේ ඉන්න එකම කාන්තාවත් මම විතරමයි. ඒ වගේම සමහර කාලවලදි සති ගණනක් වුණත් අපි නිර්මාණ කටයුතුවලට ඈත පළාත්වල ගිහින් වැඩ කරනවා. ඒ කුමන අවස්ථාක වුණත් මට කිසිම ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා නැහැ. මාත් සමඟ හැමෝම සුහදශිලීවයි කටයුතු කළේ. නිවැරැදි විදියට ඉන්නවා නම් කිසිම ගැටලුවක් ඇති නොවන වග මට හොඳටම විශ්වාසයි.

වේශ නිරූපණය අධ්‍යයනය කරන ශිල්පිනියක් විදියට බොහොම මහන්සියෙන් ඒ ආකාරයට වේශ නිරූපණ කටයුත්තේ යෙදුණු අවස්ථාවක් ඔබට මතක ද?

මම භාර ගන්න ඕනෑම කටයුත්තකදි ඒ කටයුත්ත වෙනුවෙන් අසීමිතව වෙහෙසෙන කෙනෙක්. සමහර විට අධ්‍යක්ෂවරයා සිතන්නෙත් නැති පැත්තක් ගැන මගේ අවධානය යොමු වෙනවා. අධ්‍යක්ෂවරයා සමඟ මේ ගැන නිතරම කතාබහ කරනවා. මට අවශ්‍ය කරන්නේ ස්වාභාවික චරිත ඔප් නැංවීමක් කරන්නයි. ඒ නිසා මා මෙතෙක් වේශ නිරූපණය කළ සෑම නාට්‍යයකම, සෑම චරිතයක්ම මට සුවිශේෂියි.

වේශ නිරූපණ කාර්යයේ දී ඔබගේ සිත් ගත්ත මුහුණක් එහෙම තියෙනවද?

මේ කාර්යයේ දි කිසිම කෙනෙක් මට කරදරයක් වෙලා නැහැ. බොහොම සුහදශීලිවයි ඒ කටයුත්ත කෙරෙන්නේ. ඒ අතර මම බොහොම කැමැත්තෙන් හැමදාම වේශ නිරූපණ කටයුතුවල යෙදෙන නිළියක් තමයි දිල්හානි ඒකනායක කියන්නේ.

ඊට විශේෂ හේතුව කුමක් ද?

ඇය බොහොම සහයෝගශීලියි. මට ඉන්න හොඳම මිතුරියන් අතරින් එක් කෙනෙක් තමයි දිල්හානි කියන්නේ. ඇය ඇතුළේ ඉන්න ගැහැනිය පිටට පෙනෙන සුන්දර ගැහැනියට වඩා අපූරු ආධ්‍යාත්මික සුවයක් විඳීන්නියක්. කන බත් පත වුණත් කාටහරි දෙන්න හිතන කෙනෙක්. ඇය බොහෝ මානුෂීය ගුණාංගවලින් පිරිපුන් චරිතයක්.

රූගත කිරීම්වලදි සිදුවුණු විශේෂ සිදුවීම් එහෙම මතක ද?

ගොඩක් වෙලාවට මම ඉන්න තැන බොහොම විනෝදජනකයි. වරක් ජින්ජා රඟපෑව චිත්‍රපටයකදි ඇය ගිය බාත්රෑම් එකේ බාත්ටබ් එකේ රෙද්දකින් මුළු ඇගම වහගෙන ඉඳලා නැඟිට්ටා. ඇය කොයිතරම් ඒකට බිය වුණා ද කිව්වොත් තව චුට්ටෙන් නූල් බඳීන්නත් වෙනවා.