වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ස්ත්‍රිය ජීවිතය අත නොහරින්නීය

ස්ත්‍රිය ජීවිතය අත නොහරින්නීය

‘කළුවරයි පුරහඳ’ ගැන අනුරසිරි හෙට්ටිගේ

සාහිත්‍යකරුවෙකු තමන් ලියූ කෘති අතරේ කැමැතිම කෘතිය ගැන කතා කරන මං සලකුණු අද වෙන් වුණේ අපේ සාහිත්‍ය ක්ෂේත්‍රයේ නවකතාවෙන්, කෙටිකතාවෙන් වගේම කවියෙන් අපූරු නිර්මාණ රැසක් තිළිණ කළ අනුරසිරි හෙට්ටිගේ වෙනුවෙනි. ළමයින් වෙනුවෙන් වගේම යොවුන් පෙළ වෙනුවෙනුත් කෘති රචනා කළ ඔහුගේ කෘති සාහිත්‍ය සම්මානයන්ගෙන්ද පිදුම් ලැබීය. ඔහු විසින් රචිත නවතම නවකතාව ‘බැඳමාරිය’ මෙවර ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ අවසන් කෘති පහ අතරටත් නිර්දේශ විය. මං සළකුණු ඔස්සේ අද ඔහු කතා කරන්නේ 2010 වසරේදී ඔහු විසින් රචිත ‘කළුවරයි පුරහඳ’ නවකතාව පිළිබඳවයි.

‘කළුවරයි පුරහඳ’ නවකතාවේ තැනක මෙසේ සඳහන් විය. “ඉස්සර වගේ නෙමෙයි. අලුත් පොළොවේ පැළ වෙන, පැළ වුණ ගස්කොළන්, මල් පඳුරු විතරක් නෙමෙයි ඉපදෙන ළමයි පවා වෙනස්. ඇස් කඩාගෙන යන ලස්සනක්. හිත අවුල් කරන පෙනුමක්. අල බතල පවා වෙනස් වෙලා. බොහොම ඉක්මනට අර කර්කශයි කියලා හිතපු පොළව උඩ වෛවර්ණ රූප සොබාවන් විසිරෙන කොට මේං හැමෝම පෙරහැරේ යනව අලුත් මල්වල සුවඳ විඳගන්ඩ. අලුත් පළතුරු නෙළා කන්ඩ. අරකට. මේකට. කෝකට උණත් මිනිස්සුන්ට දැනුණා ‘දැන් නං ඉතිං අපිට මේ පොළව හොඳා නේද? කියලා. එහෙමත් නැත්තං ‘අපිට ඉතිං දැන් මේ පොළව විතරක් ම තමා කියලා. කොහොම හිතුවත් කොහොම වින්දත් හැබෑට ම ඉතිං දැන්නං මේ පොළව මිසක් කොයින්ද වෙන දෙයක් ?”

කළුවරයි පුරහඳ, මම සහ ඔබ

“මෙය සත්‍යය සහ කල්පිතය සම්මිශ්‍රණය වූ නව ප්‍රබන්ධයකි. මෙහි එන පරිසරය මට හුරුපුරුදු, උපන්දා සිට වසර හතළිහකට වැඩි කාලයක් ජීවත් වූ, මගේ නෑසියන්ගේ ලේ කඳුළු, දහදියෙන් තෙත් වූ භූමිය යි. මගේ මවගේ පාර්ශවයේ පරම්පරා තුනක ඉතිහාසය ලියන්නේ නම් එහි ආරම්භය සටහන් වන භූමියද වන්නේ කොළඹ 12, කෙසෙල්වත්ත නම් වූ අතිශය නාගරීකරණය වූ දැඩි කලබලකාරී මේ පරිසරය ම වන්නේ මැ යි.” අනුරසිරි හෙට්ටිගේ ‘කළුවරයි පුරහඳ’ කෘතියට සටහනක් තබන්නේ මෙලෙසිනි.

“ ‘කළුවරයි පුරහඳ’ නවකතාවට පාදක වන්නේ මා ජීවත් වූ පරිසරය පිළිබඳ අත්දැකීම්. මගේ උපත සිදු වුණේ කොළඹ, කෙසෙල්වත්තේ සාන්තබස්තියන් වීදියේ. ඒ වීදියේ ජීවිතය පිළිබඳ මට අවුරුදු හතළිහක විතර අත්දැකීම් තියෙනවා. මං ටිකෙන් ටික කාලයක් අරගෙන තමයි මේ ලෙසින් ‘කළුවරයි පුරහඳ’ නවකතාව රචනා කළේ. 2010 වසරේදී මුද්‍රණය වුණත් මේ කෘතිය රචනා කරන්න පටන් ගත්තේ එක්දහස් නමසිය අනූගණනන් වලදීයි.”

‘කළුවරයි පුරහඳ’ නවකතාව පාඨකයන්ට අලුත් අත්දැකීමක්?

මේ කෘතිය බාහිරින් කොළඹට එබිලා ලියූ කෘතියක් නොවෙයි. ඒ පරිසරයේ සිට එය විඳිමින් රචනා කළ කෘතියක් ලෙස ‘කළුවරයි පුරහඳ’ නවකතාව විශේෂ වෙනවා. කොළඹ පරිසරය පිළිබඳ කියවලා හුරු පාඨකයාට මෙයින් වෙනසක් දැනෙන්න ඇති කියලා හිතෙනවා.

‘කළුවරයි පුරහඳ’ නවකතාව රචනා කෙරුණේ මගේ නිර්මාණ ජීවිතය ආරම්භ වෙලා වසර ගණනාවක් ගත වූ පසුවයි. මීට පෙර මම රචනා කළ නවකතා, යොවුන් නවකතා රචනා වුණේ කොළඹින් බැහැර ප්‍රදේශ ඇසුරු කරගෙනයි. නමුත් මගේ සැබෑ නිර්මාණ උල්පත තිබෙන්නේ මා ජීවත් වූ පරිසරය තුළ බව මා තේරුම් ගත්තේ කාලයක් ගත වූ පසුවයි. ඒ නිසා මගේ කාර්යය යම් තරමකට හෝ සාර්ථක වූ බව මගේ විශ්වාසය යි. මේ වෙනුවෙන් අත්දැකීම් ලද චරිත රාශියක් අතුරින් බොහොම ප්‍රවේශමෙන් පාඨකයාට අලුත් කියවීමක් ලැබෙනු ඇති බවට සිතූ චරිත කිහිපයක් ‘කළුවරයි පුරහඳ’ කෘතියට මුල්කර ගත්තා.

එක් චරිතයක් වීදි ගණිකාවක්. නමුත් ඇය නිවෙස තුළ දරුවන් දෙදෙනෙකුගේ මවක්. කළු මහත්තයා පාතාලයේ චරිතයක්. පාතාලයේ චරිත සම්බන්ධයෙන් බොහොමයක් ලියවිලා තියෙන්නේ බාහිර ගති ලක්ෂණ විතරයි. පාතාලයේ චරිත ඉබේ බිහි වෙන්නේ නැහැ. ඔවුන් නිර්මාණය කරන්නේ සමාජය විසිනුයි. නමුත් ඒ චරිත තුළත් මනුස්සයෙන් ජීවත් වෙනවා. මෙහි කළු මහත්තයාගේ චරිතයෙන් එය ඉස්මතු කිරීමට මට අවශ්‍ය වුණා. අනිත් පුද්ගලයා බාහිරින් කොළඹට ඇතුල් වෙන පුවත්පත් කලාවේදියා. කොළඹ ආශ්‍රිත ක්‍රියාත්මක වන පාතාල ජාලය වගේම දේශපාලනයත් ඔහු හඳුනා ගන්නවා. කළු අඳුරු ගුහාවක් වැනි ස්ථානයකට ටිකෙන් ටික නොදැනුවත්මව ගමන් ගන්නවා. එයින් මම අදහස් කළේ මේ පරිසරයේ ජීවිතය ඇතුළට කෙනෙක් ආවොත් එයින් පිටවීමට අපහසු බව වගේම මානවවාදී සිතුවිල්ලකින් පැමිණියොත් ඔහු එම පරිසරයට ප්‍රේම කිරීමට පටන් ගන්නා බවයි. සිව් වැන්නිය නූතනයේ තරුණ ප්‍රජාව නියෝජනය කරන රංජනීගේ චරිතය යි. මේ චරිත මුල් කර ගෙන කොළඹ පටු වීදිවල ගෙවන ජීවිත ගැන හෙළිදරව්වක් ‘කළුවරයි පුරහඳ’ නවකතාවෙන් ගෙන එනවා.

මේ චරිත ඔබ ගොඩනඟා ගත්තේ කොහොමද?

අපට මඟතොටේදී නොයෙකුත් චරිත රාශියක් හමු වෙනවා. මෙහි එන පියවතී නම් වීදි ගණිකාවගේ චරිතය මම විස්තර කරන්නේ බාහිරින් පෙනන වීදි ගණිකාවගේ චරිතය පමණයි. නමුත් ඇය නිවෙසට පැමිණි පසු අම්මා කෙනෙක්. ඒ අම්මාගේ චරිතයට මම මගේ අම්මා වගේම මගේ වැඩිහිටි ඥාතින්ගේ චරිතවල තියෙන හොඳ සහ නරක දෙකම ඇතුළත් කළා. පියවතීගේ චරිතය පුද්ගලිකව මේ අසවල් චරිතය කියා කෙනෙකු නම් කරන්න මම එකඟ නැහැ. නිවෙස තුළදී පිවතීගේ සිතුවිලිවලට දෙන්නේ මගේ අම්මාගේ අත්දැකීම්. හැබැයි වීදියේ සිටින පියවතී වගේම පියවතී සහ ජනදාසගේ හමුව මම රසකරමින් විග්‍රහ කරන්නේ නැහැ. ඒක මට අදාළත් නැහැ. ඇය තුළත් සිටින්නේ ගැහැණියක්. කළු මහත්තයාගේ චරිතයත් එහෙමයි. දරුණු චරිතවල යහපත් ලක්ෂණ සහ අයහපත් ලක්ෂණ දෙකම මම ඔහුගේ චරිතයට මුසු කළා. මෙහි චරිත විකාශනයේදී මම ප්‍රධාන කරගත්තේ මිනිසාගේ මානවවාදී ගුණය යි. ඕනෑම මිනිසෙක් තුළ හොඳ සහ නරක ගතිගුණ දෙකම තියෙන්න පුළුවන්. කිසිම චරිතයක් කළුත් නැහැ. නමුත් සුදුත් නැහැ.

මගේ අත්දැකීම් රැසක් තියෙන්නේ මම ජීවත් වූ පරිසරයේ කියන බව මේ කෘතිය රචනා කරන තෙක් මම හිතාගෙන හිටියේ නැහැ. මට විතරක් නොවෙයි ඕනෑම ලේඛකයෙකුට තමන් ජීවත් වූ පරිසරය තම තමන්ගේ සාහිත්‍ය ඉදිරියට ගෙන යන්න ලොකු බලපෑමක් කරලා තියෙනවා. මාර්ටින් වික්‍රමසිංහයන් කොග්ගල වගේම ප්‍රංශ ලේඛක ආන්ද්‍රේ ජීත් පවා වරෙක එය පවසා තිබුණා. වැදගත් වන්නේ ඒ අත්දැකීම් එතැනින් එහාට ගොස් ප්‍රතිනිර්මාණය කිරීමයි. පරිකල්පන චරිත පවා මම නිර්මාණය කළේ පරිසර සාධකවලට ගැළපෙන ආකාරයටයි.

ඔබ මෙහිදී වීදි ගණිකාව දෙස කාරුණිකව බලන්න පාඨකයා යොමු කරනවා කිව්වොත්?

විශේෂයෙන් වීදි ගණිකාව ස්වභාවයෙන් රළුයි. ඒ රළුබව ඇයට උරුම වන්නේ වීදිවල තියෙන රළු බව නිසා. නමුත් ඇය ගැහැණියක්. ගණිකාවද, අමාත්‍යාංශ ලේකම්වරියක්ද, විදුහල්පතිනියක්ද යන කාරණයට වඩා මම සළකන්නේ ඇයගේ ගැහැණුකමයි. ශ්‍රියාවක් හැටියට සෑම ස්ත්‍රියකටම තියෙනවා විවිධාකාර වූ අපේක්ෂා. මම ස්ත්‍රිය වෙත දක්වන ආකල්පය ගොඩනැගෙන්නේ මම මගේ අම්මාට දක්වන බැඳීමට සාපේක්ෂවයි. ඒ නිසා ස්ත්‍රී චරිත ප්‍රතිනිර්මාණයේදී මම විශේෂයෙන්ම අවධානයක් යොමු කරන්න වගබලා ගන්නවා. ගැහැණියක් වීම නිසාම සුකුමාලබව, තැනට සුදුසු නුවණ වැනි ගුණාංග ඇය සතුවිය යුතුයි. ස්ත්‍රීන් ජීවිතය අතහරින්න කැමැති නැහැ. පිරිම්න් අතහැර දැමුවත් කාන්තාවන් ජීවිතයේ එල්ලිලා සිටිම මම දැක්කේ මගේ අම්මාගෙන්. අපේ තාත්තාගේ හැසිරීම් රටාව එක්ක දරුවන් දස දෙනෙකු සමඟ අත නොහැර ජීවිතයේ එල්ලිලා සිටි අයුරු මට මතකයි. ඒ ගුණයට මම කැමැතියි. ඒ නිසා ‘කළුවරයි පුරහඳ’ නවකතාව තුළ පියවතීගේ චරිතයටත් එය ඇතුළත් කළා. සියලු දේ පරාජය වුවත් එයට සාපේක්ෂව ඇය යම් යම් ජයග්‍රහණත් ලබා ගන්නවා. ඇත්තටම පියවතී මැරෙන්නේ දුකෙන් නොවෙයි.

මේ කෘතිය සමාජ විද්‍යා පර්යේෂණයක ප්‍රතිඵලයක් වගෙයි?

මේ කෘතිය සමාජ විද්‍යාත්මක පදනමක සිට කළ නිර්මාණයක් බව මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර වරෙක පැවසුවා. නවකතාවක සම්මතය ලෙස පිළිගෙන තිබූ භාෂාවට වඩා මෙහි භාෂාව වෙනස්. තරමක් කඨෝරයි. නමුත් මේ භාෂාව මට අලුත් නැහැ. පොඩි කාලයේ පටන් මමත් එය අත්වින්ඳා. නමුත් මම ක්‍රම ක්‍රමයෙන් කියවීම සමඟ ඉදිරියට යනවිටදී මගේ භාෂා භාවිතය වෙනස් වුණා. මට ඒ භාෂා ශෛලිය අමතක කරන්න බැහැ. පසුගිය කාලයේ මම එළි දැක්වූ ‘සාන්තබස්තියන් වීදිය’ කවි එකතුවේ තියෙන්නේ කොළඹ රළු භාෂාව. රළු භාෂාවෙන් කවිය විචිත්‍රවක් කරන්න නෙහැකියි කියන මතය මට අදාළ වුණේ නැහැ. ඒවගේම පරිසරයෙන් මට ලැබුණු සියලු දේ ‘කළුවරයි පුරහඳ’ නවකතාව තුළ තිබෙනවා.

සමාජය කියන්නේ මිනිස් ඒකකවල එකතුවක් වගේම මිනිසුන් විසින් නිර්මාණයකර ගන්නා ආයතනවල එකතුවක්. මේ ආයතනවලවල බලාධිකාරවල එකතුවක්. එහි ප්‍රධානම බලාධිකාරය වන්නේ දේශපාලනය යි. මේ විදියට මිනිසුන් විසින් නිර්මාණ කරන සමාජය මිනිසුන් විසින්ම කොටස්වලට වෙන්කර ගෙන තියෙනවා. ඒ බෙදීමේදී කිසිම කොටසකට අයිති නොවුණ පිරිසකුත් ඉන්නවා. ඒ පිරිසේ කතාව තමයි මේ. මොවුන්ට කිසි කල්ලි කුලක නැහැ. ඒ නිසා මේ පිරිස අර බලාධිකාරි කොටස්වල ගොදුරු බවට පත්වෙනවා. දේශපාලන බලාධිකාරිය විසින් මේ මිනිසුන්ගේ ජීවිත තව තවත් අගාධයට ගමන් කරන ආකාරයේ බලයක් සමාජ තුළ අතුරනවා. ඒ වුණත් ඔවුන්ට ආර්ථික සවිමත් බව දැනෙනවා. ඒ නිසා වීදිවල ජීවිතය තරමක් රළු විදියට දැනේනේ ඒ නිසයි. මේ සමාජයේ අංශුවක් විදියට ඔවුන් ක්‍රියා කරනවා. ඇත්තටම මේ තුළින් කතා කරන්නේ දේශපාලනය විසින් පාලනය කෙරෙන මිනිස් ජීවිත ටිකක් ගැනයි.

මේ නිර්මාණය පුරාවට පෞද්ගලික අත්දැකීම් විශේෂයි?

මගේ ජීවිතයේ වසර ගණනාවක් ගෙවුණේ සාන්තබස්තියන් වීදියේ වළව්වත්ත කියන ගෙවල් විසිහතක් තියෙන වත්තේ. පොඩි කාලයේ පටන් හැදුනේ වැඩුනේ අත්දැකීම් ලබා ගත්තේ මේ වත්තේදීයි. ඒ පරිසරය, වැසිකිළි පෙළ, පරෙවි කූඩුව, වත්ත මැද්දේ තියෙන වතුර පයිප්පය ඒ සියල්ලම චිත්‍රයක් වගේ මතකයේ තිබුණත් ඒ වත්ත අද ඇත්තටම නැහැ. 1978 වසරේදී විසිහතේ වත්ත ඉවත් කරලා අපට මහල් නිවාසවල ගෙවල් දුන්නා. ‘කළුවරයි පුරහඳ’ නවකතාව වෙනුවෙන් මම විසිහතේ වත්ත සාන්තබස්තියන් විදියෙන් ඉවත් කර මගේ මනසින් අක්බාර් වීදියේ පිහිටුවනවා.

මේ පොතේ තේමාව විදියට මම තෝරා ගන්තේ කළුවර. පුරහඳ කියන්නේ ජීවිතයට. මම මෙහිදි ප්‍රධාන වෙන්නේ පුරහඳ ඇතුළේ තියෙන කළුවරයි. මට මෙහි රාත්‍රිය විශේෂයි. කළු මහත්තයා ආදරය කරන්නේ රෑට. ඔහු කැමැති දහවල නැතුව රාත්‍රිය විතරක් තියෙන ලෝකයකටයි. මම මේ පොත ලියන කාලයේදී රැයේ ජීවිත ලෙස බලන්න රාත්‍රී කාලයේ වීදිපුරා ඇව්ද්දා. කොළඹ කොටුවේ රෑ 10න් පස්සේ පාන්දර 2.00 විතර වෙනකල් වෙනම ලෝකයක් තියෙන්නේ. ඒ ජීවිතය පරිකල්පනයෙන් ලියන්න බැහැ. ඒක ඇත්තටම දකින්න ඕනි. ඒ සියලු අවක්‍රියාවක්ම මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා. සමහර වෙලාවකට දරුණු අත්දැකීම්වලට පවා මුහුණ දෙන්න සිදු වුණා. ඒවා විඳලා තමයි මනසින් ස්පර්ශ කරලා තමයි මම මේ පොත ලිව්වේ.

මේ පොත මම මුලින්ම නම් කළේ ‘ධූලි මාළිගා’ කියලයි. ඒ අත්පිටපත මම මුද්‍රණයට භාරදීලා තිබුණා. වසරත් ගතවුණත් එය මුද්‍රණය කෙරුණේ නැහැ. ආයෙමත් අලුතින් ලියන්න මම නැවතත් ඒ පිටපත ඉල්ලා ගත්තා. ඒ පිටපත ලියා තිබුණේ සම්මත ව්‍යාකරණ භාෂාවකින්. නැවත බලන විට මට තේරුණා මම දන්නදේට වඩා වෙනස් දෙයක් ලියා තියෙන බවයි. ‘කළුවරයි පුරහඳ’ නමින් නම් කළේ නැවත රචනයයි.

මේ කෘතිය රචනා කිරීමේ ආරම්භය, එළි දැක්වීම සමඟ වර්තමානයේ සමාජය දෙස බලන විට ඇතිවන හැඟීම මොන වගේද?

බලාධිකාරී කාරණා නම් ඒ විදියටම තියෙනවා. ඒ බලපෑම් පවා ඒ විදියටම ක්‍රියාත්මකයි. හැබැයි ජීවිතවල හැඩය වෙනස් වෙලා. සමාජයේ විකාශනයට අනුකූලව ඔවුන්ගේ ජීවිත වෙනස් වෙලා තියෙනවා. දැන් ඉස්සරට වඩා ඒ මිනිසුන්ගේ ජීවිත සරු වෙලා. යානවාහන අරගෙන සැපවත් ජීවිත ගෙවන අය ඉන්නවා. මත් ද්‍රව්‍ය ජාවාරම් වැනි දේවල තරඟකාරයන් වැඩි වෙලා. ඉස්සර ඉඳහිට සිදුවුණු මිනි මැරුමක් දැන් නිරන්නර සිදුවීම් බවට පත් වෙලා. ඇත්තටම සමාජය වෙනස්. නමුත් ඒ වීදි කවදාවත් පළල් වෙන්නේ නැහැ. ඒ වුණත් එදා තිබුණු පොඩි ගේ වෙනුවට ඒ ඉඩ ප්‍රමාණයේම උසට තට්ටු නිවසක් ඉදිවෙලා. එදා ඒ වීදි වල තිබුණු අන්ධකාරය, රාත්‍රියේ හුදකලාව තවමත් ඒ විදියටම තියෙනවා. වෙනස් වෙලා තියෙන්නේ ඉර එළිය සමඟ දකින්න ලැබෙන බාහිර අලංකාරය පමණයි.

පාතාලය මත් ද්‍රව්‍ය ගැන කතා කිරීම සම්බන්ධයෙනුත් ප්‍රතිචාර ලැබෙන්න ඇති?

මම හිතන්නේ ‘කළුවරයි පුරහඳ’ නවකතාව එහි පරිසරයට අදාළ අය අතට නොයන්න ඇති. එහෙම බලපෑමක් නොඑන්න ඒක හේතුවක් වෙන්නත් ඇති. 2012 පොත් ප්‍රදර්ශනයේදී ලංකාවේ නම ගිය දේශපාලඥයෙක් සදීපා පොත් කුටියට ඇවිත් ‘කළුවරයි පුරහඳ’ නවකතාව සොයා තිබුණා.

පාඨක ප්‍රතිචාර ගැනත් සඳහන් කළොත්?

මේ පොත පාඨකයා ඉතාම ආදරයෙන් පිළිගත්තා. මගේ ප්‍රථම නිර්මාණය එළිදැක්වුණේ 1992 වසරේදීයි. මේ පොත එළිදැක් වූයේ 2010 වසරේදීයි. මේ කාලය තුළ මට නොලැබුණු පිළිගැනීමක් ලැබෙන්නේ ‘කළුවරයි පුරහඳ’ නවකතාව ජනතාව අතරට ගිය පසුවයි. මා සාහිත්‍යකරුවෙකු ලෙසින් ස්ථාපිත කළේ ‘කළුවරයි පුරහඳ’ නවකතාවයි. වයස් භේදයක්, අධ්‍යාපන මට්ටමෙන් වෘත්තිය මට්ටමෙන් විවිධාකර වූ බොහෝ දෙනෙක් මේ පිළිබඳ සිය අදහස් දැක්වූවා. මගේ පොත් අතරින් අඛණ්ඩව තවමත් ප්‍රතිචාර ලබන එනම කෘතිය වන්නේත් ‘කළුවරයි පුරහඳ’ නවකතාවයි.

විචාරක අදහස් පිළිබඳ ඔබේ අදහස?

සාහිත්‍ය කෘති විචාරය කිරීමේ කලාවක් ලංකාව තුළ ගොඩනැඟිය යුතුව තියෙනවා. නමුත් ඒ වැනි සංඥාවක්වත් දකින්න ලැබෙන්නේ නැහැ. අද කෘතියක විචාර යැයි සඳහන් කළත් එහි විවේචනයක් දකින්න නැහැ. ඇත්තටම ලංකාවේ කෘති විචාර කලාවක් නැති තරම්. මුල් කාලයේ පොඩි පොඩි උත්සාහයන් තිබුණත් ඒවා පාදක වුණේ මිත්‍ර සමාගම් සහ පටු ආකල්පවලට පමණයි. මෙය ඛේදනීය තත්ත්වයක් බවට පත් වෙලා. විචාර කලාවක් නොමැතිවීම ලේඛකයකුගේ ගමන බාලවීමටත් හේතුවක්. ලේඛකයා ලියූ පසු ලේඛනය පසෙක තිබියදී විචාරයට ලක් කෙරෙන්නේ ලේඛකයා පමණයි. අපි හඳ පෙන්නන විටදී ඇඟිල්ල දිහා බලලා වැඩක් නැහැ.

සමාජ ගැටළු නවකතා ඔස්සේ මාතෘකාවට ගැනීම ඔබ දකින්නේ කුමනාකාරයෙන්ද?

සාහිත්‍ය බිහි වන්නේ සමාජය අරමුණු කොටගෙන තියෙන කාරණා විශේෂයි. ජාතක කතා ගත්තොත් ඒවා සාහිත්‍යයේම රූපකයක්.ජාතක කලා වල බුද්ධ චරිතය ඉස්මතු කිරීම හෝ බුද්ධ දර්ශනය ඉස්මතු කිරීම මුල් වුණත් ඒ තුළ තියෙන්නේ සමාජ විචාරයක්. එයට පාදක වන්නේ චරිත. හැබැයි සමාජය උදෙසා ලිවීම වෙනම කතාවක්. අපි ලියන හැම දෙයක්ම කියවන්නෙක් ඉන්නවා. කියවන්නා නියෝජනය කරන්නේ සමාජය යි. ලියන්නා මම නම්, මම සමාජය ප්‍රස්තුත කර ගත යුතුයි. ඇතැම් ලේඛකයන් සත්ත්ව සමාජයට අනූරූපව රචනා කළත් ඔවුන් එහිදී අරමුණු කරගන්නේත් මිනිස් සමාජයයි.

ලෝකයේ ඕනෑම ලේඛකයෙකුට එය පොදු කරුණක්. ලියෝ තෝල්ස්තෝයි ගත්තොත් ඔහු කතා කළේ රුසියානු රදළ සමාජ ක්‍රමය ඇතුළේ තිබූ ව්‍යාජය යි. ප්‍රංශයේ බල්සාක්ගේ නිර්මාණ ගොඩනැංවූයේ, ප්‍රංශයේ මධ්‍යම පාන්තික සමාජයේ ඛේදවාචකය යි. අපේ ගත් කතුවර මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘ගම්පෙරළියට’ පාදක වුණෙත් විසි වැනි සියවස ආරම්භයේදී ලංකා සමාජයේ සිදුවෙමින් පැවති පෙරළියයි. ඔහු එය ඉදිරිපත් කළේ කොග්ගල ප්‍රදේශයෙන්. මගේ නිර්මාණ තුළත් සමාජයේ විවිධ කාරණා ප්‍රතිනිර්මාණය කර ඉදිරිපත් කරනවා. සමාජය අමතක කර ලේඛකයෙකුට රැඳෙන්න අපහසුයි.