වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ද හන්ගර් ගේම්ස්: මොකින්ජේ - 2

ද හන්ගර් ගේම්ස්: මොකින්ජේ - 2

The Hunger Games: Mockingjay, Part 2

නොයෙකුත් ආකාරයේ රියැලිටි වැඩසටහන් අද ලොව පුරා ප්‍රචලිතය. ඒවායේ තරගකාරීත්වයද අමුතුවෙන් ප්‍රකාශ කළ යුතු නොවන්නේය. මෙම වැඩසටහන් වල වාණිජ සාර්ථකත්වය කොයි තරම්ද යත් නීතියෙන් ඉඩක් ලැබේ නම් අනාගතයේ යම් දිනෙක, මිනිසුන් එකිනෙකා මරා ගන්නා ආකාරයේ රියැලිටි වැඩසටහනක් වුවද නිර්මාණය වීමට ඉඩ ඇති තරම් ය.

ඇමෙරිකානු ලේඛිකා සුසේන් කොලින්ස් විසින් රචිත යොවුන් වීර නවකතා ති‍්‍රත්වයක් වන "ද හන්ගර් ගේම්ස්" (The Hunger Games) හි සාකච්ඡා වන්නේ මෙම තේමාවයි. එහි, ලෝකය බරපතල ලෙස විනාශ වූ අනාගතයක, කෲරතර මධ්‍යගත ආණ්ඩුවකින් පාලනය කරනු ලබයි. එකී ආණ්ඩුවට විරුද්ධව විප්ලව කළ රට වැසියන්ට පාඩමක් වශයෙන් ආණ්ඩුව විසින් "හන්ගර් ගේම්ස්" (හාමත් ක්‍රීඩා) නමින් රියලටි වැඩසටහනක් නිර්මාණය කර ඇත. සෑම වසරකටම වරක් පැවැත්වෙන මෙම තරගාවලියේදී, ලෝකයේ සියලුම දිස්ති‍්‍රක්ක වලින් එක් දිස්ති‍්‍රක්කයකින් එක් පිරිමි ළමයකු සහ ගැහැනු ළමයකු බැගින් තෝරා ගැනෙන අතර, එක් ළමයකු පමණක් ඉතිරි වන තෙක් ඔවුනොවුන් අතර සිදුවන මාරාන්තික සටන් ගණනාවකින් වැඩසටහන කෙළවර වේ. මෙවන් වැඩසටනකට මැදි වන ගැමි යුවතියක් වන කැට්නිස් එවර්ඩීන්ගේ කතාව "හන්ගර් ගේම්ස්" නවකතා ති‍්‍රත්වයේ දිග හැරෙයි.

උක්ත නවකතා ති‍්‍රත්වය පාදක කොටගෙන නිර්මාණය වූ "ද හන්ගර් ගේම්ස්" යොවුන්, විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට මාලාව 2012 වසරේ සිට ඇති සාර්ථක ලෙස ලොව පුරා ප්‍රදර්ශනය විණි. හන්ගර් ගේම්ස් පළමු නවකතාවෙන්, "ද හන්ගර් ගේම්ස්" - 2012 චිත්‍රපටය ද, දෙවන නවකතාවෙන්, - "ද හන්ගර් ගේම්ස්: කැචින් ෆයර්" (The Hunger Games: Catching Fire) - 2013 චිත්‍රපටයද, තෙවන නවකතාවේ පළමු අර්ධයෙන් "ද හන්ගර් ගේම්ස්: මොකින්ජේ පළමු කොටස" (The Hunger Games: Mockingjay Part1) - 2014 චිත්‍රපටයද නිර්මාණය වූ අතර, එම සෑම චිත්‍රපටයක්ම ඉහළ සාර්ථකත්වයක් ළඟාකර ගත්තේය.

තෙවන නවකතාවේ දෙවන අර්ධය පාදක කොටගෙන නිර්මාණය වී ඇති මෙම චිත්‍රපට මාලාවේ අවසාන කොටස වන ද හන්ගර් ගේම්ස්: මොකින්ජේ - 2015 - දෙවන කොටස, මේ මස 4 සහ 5 යන දිනයන් හිදී පිළිවෙලින් බර්ලින් සහ ලන්ඩන් යන නගරයන් හිදී සිය මංගල දර්ශන පැවැත්වූ අතර, මේ මස 19 සහ 20 වන දිනයන්හිදී එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ඇතුළු ලොව පුරා රටවල්හි ප්‍රදර්ශනය වීමට නියමිතය.

ෆ්රැන්සිස් ලෝරන්ස් ගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය, නීනා ජැකොබ්සන් සහ ජෝන් කිලික් ගේ නිෂ්පාදනයකි. ජෙනිෆර් ලෝරන්ස්, කැට්නිස් ගේ චරිතයට පන පොවන අතර ජෝෂ් හචර්සන්, ලයම් හෙම්ස්වර්ත්, වුඩී හැරල්සන් ඇතුළු ශිල්පීන් රැසක් මෙවරද රංගනයෙන් දායක වෙති. ජේම්ස් නිව්ටන් හොවර්ඩ් ගේ සංගීතයෙන් ඔපවත් වන මෙම චිත්‍රපටය ලයන්ස්ගේට් බෙදා හැරීමකි. විනාඩි 137ක් පුරා දිවෙන ද හන්ගර් ගේම්ස්: මොකින්ජේ 2 චිත්‍රපටය, අමෙරිකානු ඩොලර් මිලියන 125 ක පිරිවැයක් දරා නිර්මාණය කෙරී ඇත. මේ වනවිට IMDB දර්ශකයේ 7.4 ක්ද, Rotton Tomatoes දර්ශකයේ සියයට 88ක්ද, Meta Critic දර්ශකයේ සියයට 72ක්ද සටහන් කර ඇත. හන්ගර් ගේම්ස් ප්‍රේක්ෂකයින්ට, එහි සිව් වන දිගහැරුම, ත්‍රාසජනක සහ තියුණු අවසානයක් වනු ඇති බව විචාරක මතයයි.

ද හන්ගර් ගේම්ස් - 2012
පිරිවැය : ඇ. ඩොලර් මිලියන 78.
ආදායම: ඇ. ඩොලර් මිලියන 694 (පිරිවැය මෙන් 9 ගුණයක්)
IMDB දර්ශකය: 7.3 / 10
Rotton Tomatoes දර්ශකය: 84%
Roger Ebert දර්ශකය: 3 / 4

ද හන්ගර් ගේම්ස්: කැචින් ෆයර් - 2013
පිරිවැය : ඇ. ඩොලර් මිලියන 140.
ආදායම: ඇ. ඩොලර් මිලියන 864 (පිරිවැය මෙන් 6 ගුණයක්)
IMDB දර්ශකය: 7.6 / 10
Rotton Tomatoes දර්ශකය: 89%
Meta Critic දර්ශකය: 75%

ද හන්ගර් ගේම්ස්: මොකින්ජේ - 2014 - පළමු කොටස
පිරිවැය : ඇ. ඩොලර් මිලියන 124.
ආදායම: ඇ. ඩොලර් මිලියන 755 (පිරිවැය මෙන් 6 ගුණයක්)
IMDB දර්ශකය: 6.8 / 10
Rotton Tomatoes දර්ශකය: 65%
Meta Critic දර්ශකය: 64%