වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළ බැලුවාද?

කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළ බැලුවාද?

කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළ යනු නව සිනමාවක ප්‍රවේශය යැයි ඉත සිතින් විශ්වාස කරන්නකි. තරුණ තරුණියන් සිනමාශාලා සියල්ල පුරාම රොද බඳිද්දී තාරුණ්‍යයේ සිනමා තාරකා රැසකටම අපි එකම ප්‍රශ්න තුනක් යොමු කළේය. ඒ ප්‍රශ්න තුන මෙසේය.

01. සිනමා උලෙළ පිළිබඳ දැනුවත්ද?

02. උලෙළට සහභාගි වූයේද?

03. නරඹපු චිත්‍රපට මොනවාද?

නව පරපුරේ කලාකරුවන් බහුතරයක් කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළෙන් එකදු චිත්‍රපටයක් හෝ නරඹා නොතිබෙන බව අපට දැනගන්නට ලැබිණ. ඊට හේතු කාරණා ද ඒ අය විසින් ඉදිරිපත් කරන ලදී. අප කතා කරන ලද ඇතැම් නළු, නිළියන්ට “කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළ” පිළිබඳ කතා කිරීමට පැවසූ බව කියූ සැනින් “මං වැඩක ඉන්නෙ පස්සෙ කතා කරන්නට” යැයි පවසා දුරකථනය විසංධි කළ බව ද මෙහිදී කියන්නට අපි කැමැත්තෙමු.

ඒ අතර බොහෝදෙනා කිව්වේ මෙම උලෙළට සහභාගීවීමට ආරාධනා නොලැබුණු බවයි. නමුත් සමාරම්භය හැර චිත්‍රපටය නැරැඹීමට කිසිදු විශේෂ ආරාධනා පත්‍රයක් අවැසි නොවූ බවද අප සඳහන් කරමු

ප්‍රේමය නම් නැරඹුවා

රොෂාන් පිලපිටිය

කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළ ගැන ඔබ දැනුම්වත්ද?

ඔව්.

උලෙළට සහභාගි වුණාද?

ඔව්.

මොනවද නරඹපු චිත්‍රපට?

ප්‍රේමය නම් විතරයි බැලුවෙ. ඊට අමතරව සෞම්‍ය ලියනගේ විසින් රංගනය පිළිබඳ පැවැත් වූ දේශනාවට සහභාගි වුණා.

උපන් දිනය නිසා බැරි වුණා

රුවංගි රත්නායක

කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළ ගැන ඔබ දැනුම්වත්ද?

ඔව්.

උලෙළට සහභාගි වුණාද?

නැහැ මට යන්න බැරි වුණා

ඇයි ඒ?

මගෙ උපන් දිනය තිබුණෙ ඔය කාලයේ ඒ වෙනුවෙන් මං පින්කමක් පැවැත්තුවා. මගෙ ජීවිතයේ වැඩි බරක් යොදලා තිබුණේ ඒ වෙනුවෙන්. ඒ හින්දයි මට උලෙළට යන්න බැරි වුණේ.

ඉන්විටේෂන් නැහැ

මුතු තරංගා

කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළ ගැන ඔබ දැනුම්වත්ද?

ඔව්. හැබැයි සංවිධානය කළේ කවුද කියන එකනම් දන්නෙ නැහැ.

ඔබ උලෙළට සහභාගි වුණාද?

නැහැ.

ඇයි ඒ?

මට ඉන්විටේෂන් එකක්වත් අවේ නැහැ. එහෙම නැතුව මං කොහොමද ඒකට සහභාගි වන්නෙ.

දහයකට වඩා නැරඹුවා

සුරාජ් මාපා

කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළ ගැන ඔබ දැනුම්වත්ද?

අනිවාර්යයෙන්ම.

ඔබ උලෙළට සහභාගි වුණාද?

ඔව්.

මොනවද නරඹපු චිත්‍රපට?

දීපන්, ෆාතිමා, ඇතුළු චිත්‍රපට දහයකට වඩා මං නැරඹුවා.

පැවැත් වූ මාසය තමයි අවුල

අර්ජුන කමලනාත්

කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළ ගැන ඔබ දැනුම්වත්ද?

ඔව්.

උලෙළට සහභාගි වුණාද?

නැහැ.

ඇයි ඒ.

මෙදාපාර මගෙ ඉන්විටේෂන් එක කපලා. අනික මේ වැස්සත් එක්ක පුළුවන්යැ චිත්‍රපට බලන්න. මේ වගේ උලෙළක් සංවිධානය කරන එක හොඳයි. නමුත් ඒක පැවැත්වෙන්නෙ නොවැම්බර් මාසයේ. ඒක තමයි අවුල. මොකද නොවැම්බර් මාසයේ කටින පින්කම් තියෙනවා. ඒ වගේම නොවැම්බර් සැලකෙන්නෙ මළවුන්ගේ මාසය හැටියට. ඉතින් එහෙම කාලෙක උලෙළ පවත්වන්නෙ නැතුව ජුනි, ජූලි, අගෝස්තු වගේ මාසෙක උලෙළ තියනවානම් මීටත් වඩා සාර්ථක වේවි.
 

දිගටම ෂූටිං

රිතූ ආකර්ෂා

කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළ ගැන ඔබ දැනුම්වත්ද?

ඔව්.

ඔබ උලෙළට සහභාගි වුණාද?

නැහැ.

ඇයි ඒ?

මට දිගටම ෂූටිං තිබුණා.

ආරාධනා නැතුව යන්නේ නැහැ

ගයේෂා පෙරේරා

කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළ ගැන ඔබ දැනුම්වත්ද?

ඔව්.

ඔබ එයට සහභාගි වුණාද?

නැහැ.

ඇයි ඒ?

ඉන්විටේෂන් නැතිකොට මං මොකටද ඒකට සහභාගි වන්නෙ. අපි ෆිල්ම් ඉන්ඩ්‍රස්ට්‍රි එකේ ඉන්න අය. අපිට ඉන්විටේෂන් නැහැ.