වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




විලාසිතා මන බඳිනා විලාසිතා

විලාසිතා මන බඳිනා විලාසිතා

මේ අප සැරිසැරීමට සූදානම් වන්නේ තරු විසිරුණු ගුවන් තලාවක නොව දෙනෙතට රිසි කඩවසම් රූප කායෙන් යුක්ත වූ භාරතීය තාරකා සපිරිවරාගත් මිහිපිට වූ අපූර්වතම ඉසව්වකටය. නෙත සිත ඇද බැඳ තබා ගන්නා කදිම ඇඳුම් ආයිත්තම්, දුටු මතින් රුව දිදුලවන කඩවසම් රූප කාය වෙත යුවතියන් නොව තරුණයන් පවා වශීකෘත නොවන්නේ යැයි කිව හැක්කේ කාටද? චමත්කාරජනක දෑ, පුදුම එලවන සුලු දෑ නිරතුරුවම පාහේ ඇස ගැටෙන්නා වූ රිදි තිරයේ ආලෝකය ප්‍රේක්ෂක රසික දන හදවතේ ගැඹුරුම තැන තෙක් සංස්පර්ශ කරන හින්දි සිනමාවේ රංගනයට මෙන්ම විලාසිතාකරණයට ද නැඹුරු වූ රසික ජන හද දිනූ භාරත තරු සිනමා ඉතිහාසයේ අමරණීය මතක සටහන් රැසක්ම ඉතිරි කොට හමාරය.

එවන් වූ අනුස්මරණීය මතක සටහන් රැසක්ම ප්‍රේක්ෂකාගාරය වෙත උරුම කර දුන් සිනමා ප්‍රේක්ෂකත්වය විලාසිතාවේ නව මානයන්ට නැඹුරු කළ භාරත රංගන ශිල්පීන් පිළිබඳ අපි දැන් විමසා බලමු.

හින්දි සිනමාවේ 50 දශකය බටහිර ඇඳුම් ආයිත්තම් මෙන්ම තුර්කා කමිස, පිජාමා කමිස, දෝති ආදිය ද එක සේ ජනප්‍රිය වූ අවධියකි. 50 දශකය රංගනයෙන් ඔප කළ රාජ් කපූර්, දේව් ආනන්ද් විසින් මැවූ චිත්තාකර්ෂණීය විලාසිතා ප්‍රේක්ෂකයා තරයේ වැලඳ ගත්තේය. ශ්‍රී 420 චිත්‍රපටයේ චාලි චැප්ලින් අනුකරණය කරමින් රාජ් කපූර් විසින් සිදු කළ ‘චැප්ලින් විලාසිතාව‘ මෙම අවධියේදී ඉමහත් ලෙස ජනප්‍රියත්වයට පත් විය. ‘හින්දි සිනමාවේ ග්‍රෙගරි පෙක්’ යන විරුද නාමයෙන් හඳුන්වන ලද දක්ෂ කඩවසම් නළු දේව් ආනන්ද් එකල යුවතියන්ගේ සිහින කුමරා බවට පත් විය.

උස් වූ කර සහිත මල් විසිරුණු කමිසය, වර්ණවත් ලොම් කබා, ඉරි සහිත කමිස, ගෙල වටා බැඳි ස්කාෆය, එක් පසෙකට ඇලවන සේ පැලඳි තොප්පිය, මනාව මසා නිම කළ කමිස ඔහුටම ආවේණික වූ විලාසිතාංග බවට පත් විය. ඉන්දීය යුවතියන් අතර දේව් ආනන්ද් උමතුව කෙතරම් උග්‍රව පැතිරී ගියාදැයි කිවහොත් දේව් ආනන්ද් චිත්‍රපටයකට හැඳි කළු පැහැ කසියකට වහ වැටුණු තරුණියන් තම රුධිරයෙන් හසුන්පත් ලියා දේව් හට යැවීමට පටන් ගත් අතර, මෙනිසාවෙන්ම ඇති වූ උණුසුම්කාරී වාතාවරණය හමුවේ දේව්ට එකල ජනප්‍රිය ස්ථානයන්හි කළු පැහැ වර්ණයෙන් සැරසී සිටීම පවා තහනමට ලක් විය. 2000 වර්ෂයේදී තිරගත වූ මොහොබ්බතින් චිත්‍රපටයට ෂාරුක් හැඳගෙන සිටි සීත කබාය හිරා පන්නා චිත්‍රපටයට දේව් ආනන්ද් විසින් හැඳ සිටි සීත කබාය යළිත් සිහි ගැන්වීය.

60 දශකය තුළ හින්දි සිනමාව වර්ණවත් කළ තරු අතර ෂම්මි කපූර්, ධර්මේන්ද්‍ර, සුනිල් දත්, රාජේෂ් ඛන්නා ප්‍රමුඛ බටහිර සම්ප්‍රදායික විලාසිතාවේ සම්මිශ්‍රණයන් උරුම කරගත් 60 දශකයේ ජනකාන්ත ආකර්ෂණීය විලාසිතා රැසකටම උපත හිමි විය. හින්දි සිනමාවේ පළමු සුපිරි තරුව ලෙස සැලකෙන ආකර්ෂණීය කඩවසම් රංගන ශිල්පී රාජේෂ් ඛන්නා 60 දශකයේ විලාසිතා රැසකටම පුරෝගාමියා බවට පත් විය. ඉන්දියාවේ දුප්පත් ගොවි ජනතාව උත්සව අවස්ථාවන්ට හැඳි ගුරු කුර්තාව (Guru Kurta) පළමු වරට හින්දි සිනමාවට හඳුන්වා දෙන්නේ ද රාජේෂ් ඛන්නාය. ආනන්ද්, කට්පතංග්, අමර් ප්‍රේම් යනාදී චිත්‍රපටයන් සඳහා රාජේෂ් විසින් ගුරු කුර්තාවෙන් සැරසි සිටී. සෆර්, ආනන්ද් චිත්‍රපට හරහා කුර්තා පිජාමා හඳුන්වා දෙන රාජේෂ් ඛන්නා පිටුපසට නැවූ කොලරයත් නැවූ අත් සහිත කමිසය සහිත කුර්තා විලාසිතාවන් නිාසවෙන්ම අසීමිත ජනප්‍රියත්වයට පත් විය.

දෝ රාස්තේ, ආප් කී කසම්, හාති මෙරේ සාති යනාදී චිත්‍රපට සඳහා රාජේෂ් විසින් අඳිනු ලැබුවේ එම වර්ගයේ කුර්තා විලාසිතාය. හින්දි සිනමාවට සෆාරි සූටය (Safari Suit) හඳුන්වා දෙන්නේ ද රාජේෂ් විසිනි’. ශක්ති සමන්තා විසින් අධ්‍යක්ෂණය කළ 1971 වසරේදී තිරගත වූ කටිපතංග් චිත්‍රපටයේ ආ Jis Gali Mein Tera Ghar ගීතයට පණ පොවද්දී රාජේෂ් විසින් සැරසී සිටි රන් පැහැයට හුරු වූ කුර්තා කමිසය දැනුදු ප්‍රේක්ෂක සිත් සතන්හි ආනන්දනීය මතකයක් ඉතිරි කොට හමාරය. උසට ඔසවා සකස් කළ තෙත ගතියෙන් යුතු වූ රාජේෂ්ගේ කොණ්ඩා මෝස්තරයට තරුණයෝ වහ වැටී සිටියහ. ෂම්මි කපූර්ගේ සිහින් හැඩයට කැපූ උඩු රැවුල (Pencil Moustache) මෙන්ම තාරා වලිගයක් ආකාරයට සකසන ලද කොණ්ඩා මෝස්තරය (Duck Tail Hair Style) 60 දශකයේ නමගිය විලාසිතා බවට පත් විය.

කඩවසම් රංගන පෞරුෂ රැසක්ම දායාද වූ 70 දශකය ද අතිශය විචිත්‍රවත් ජනකාන්තා විලාසිතා රැසක්ම දායාද වූ යුගයකි. අමිතාබ් බච්චන්, රිෂි කපූර්, ශෂි කපූර් යනාදී තරුවලින් ආලෝකවත් වූ 70 දශකය හින්දි සිනමා වංශ කතාවේ වඩාත් ආනන්දනීය පරිච්ඡේදයකි. රාජ් කපූර්ගේ බොබී චිත්‍රපටය හරහා එක රැයින් ජනප්‍රිය තරුවක් බවට පත් වූ රිෂි කපූර් ඉන්දීය තරුණයන් අතර බෙල්බොටම් කමිස (Bell Bottom) උන්මාදයක් ඇති කළේය. දෙදනේ සිට දෙපතුල තෙක් වූ කොටස බෙල් එකක හැඩය ගත් බොල්බොටම් කමිස ප්‍රවණාතව තරුණ ප්‍රජාව ඉමහත් ආදරයෙන් යුතුව වැලඳ ගත්හ. එසේම ඔහු පැලඳි සුදු පැහැ කැන්වස් පාවහන් යුගල මෙන්ම ගෙතූ ඝන සීත කබා ආදිය ද ඉන්දීය විලාසිතා වෙළඳපළට එක් විය.

බොලිවුඩයේ බිග් බී (Big B) ලෙස නම් ලද සුපිරි නළු අමිතාබ් බච්චන් නවමු විලාසිතා රැසකටම උපත ලබා දුන්නේය. යාෂ් චොප්රා විසින් අධ්‍යක්ෂණය කොට 1975 වසරේදී තිරගත වූ දීවාර් චිත්‍රපටය වෙනුවෙන් අමිතාබ් සැරසී සිටි ගැටයක් යෙදූ නිල් පැහැ ඩෙනිම් කමිසයත්, කාකි පැහැයෙන් යුතු වූ කලිසමත්, ගෙල වටා බැඳ ඉදිරියට හෙලූ කඹයත් තරුණයන් අතර අසීමිත ලෙස කතාබහට ලක් වූ විලාසිතාවක් බවට පත් විය.

නමුත් සැබවින්ම සිදු වී තිබුණේ අත් වැරැද්දක් විලාසිතාවක් බවට පත්වීමකි. දීවාර් චිත්‍රපටයේ ආ ජවනිකාවක් සඳහා අමිතාබ් හට මැසූ නිල් පැහැ ඩෙනිම් කමිසය දිගු වැඩි විය. ඒ නිසා දිග අඩු කොට පෙන්වීමට කමිසයේ දෙකෙළවර ගැට ගසා සමබර කිරීමට ලණුවක් යෙදීමට පියවර ගන්නා ලද අතර නොසිතූ ලෙස අත්වැරැද්දක් විලාසිතාවක් බවට පත් විය. අරුම පුදුම විලාසිතා ලෝකයේ අපූරුව මෙබඳු වූ සිදුවීම් තවදුරටත් සනාථ කරයි. ලෙදර් ජැකට් මෙන්ම චුරිදාර් පිජාමා ද හින්දි සිනමාවට හඳුන්වා දෙන්නේ ද අමිතාබ් විසිනි.

අමිතාබ් විසින් කබි කබි චිත්‍රපටයට හැඳි ඉබි කර සහිත සීත කබාය ද ජනප්‍රියවත්වයට පත් විය. (Turtle Neck Sweater) මීට අමතරව 70 දශකයේ ජනප්‍රිය වූ සෙසු විලාසිතාවන් අතුරෙන් කළු පැහැති අව් කණ්නාඩි, තද හිර ජැකට් වර්ග, පුළුල් ටයි පටි, බෙල් බොටම් කමිස යනාදිය ද ප්‍රධාන වේ.

80 දශකය වන විට ජැකී ෂෙරොෆ්, අනිල් කපූර්, මිතුන් චක්‍රබෝර්ති යනාදී රංගන ශිල්පීන් කරළියට පැමිණියහ. නානාවිධ විලාසිතාවන් සිනමාව හරහා දායාද කිරීමට ඔවුන්ට හැකි විය. දිලිසෙන තද පැහැති කමිස, කලිසම්, හොඳින් වැවූ කොණ්ඩයන්, නළලත අඩක් ආවරණය වන සේ යෙදූ බෑන්ඩ් විලාසිතාව 80 දශකයට අනන්‍ය වූ විලාසිතා බවට පත් විය. ජැකී ෂෙරොෆ් හා අනිල් කපූර් පොලිස් නිලධාරි චරිතවලට පණ පොවද්දී සිදු කළ උඩු රැවුල් විලාසිතාව තරුණයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් විය. මිතුන් චක්‍රබෝර්ති විසින් ඩිස්කෝ ඩාන්සර් චිත්‍රපටයට හැඳි දිදුලන විලාසිතාවන් ද බොහෝ තරුණයෝ ආදරයෙන් වැලඳ ගත්හ.

අමීර් ඛාන්, ෂාරුක් ඛාන්, සනී ඩියොල්, සල්මන් ඛාන්, සංජේ දත්, අක්ෂේ කුමාර් යනාදී සුපිරි තරු රිදී තිරයේ පෙළහර පාන්නට පටන් ගන්නේ 90 දශකය වන විටය. බොලිවුඩයේ කිං ඛාන් (King Khan හෙවත් ෂාරුක් ඛාන් විසින් චිත්‍රපට සඳහා හැඳි ඩෙනිම්, කමිස, කබා, අව් කණ්නාඩි යනාදියට ප්‍රේක්ෂකයාගේ ප්‍රතිචාර අසීමිතව හිමි විය. සංජේ දත් වැවූ දිගු කොණ්ඩයට ද බොහෝ ප්‍රේක්ෂක රසික පිරිස ලොබ බැන්දේය. පසුකාලිනව ඒ ගමන් මඟේම යමින් ෂාරුක් ඛාන්, අමීර් ඛාන් මෙන්ම සල්මන් ඛාන් ද දිගු කොණ්ඩා විලාසිතාව අනුගමනය කළහ. හොඳින්ම බාන ලද රැවුල් සහිතව සුමට මුහුණකින් පෙනී සිටීම ද 90 දශකයේ තවත් එක් අනන්‍ය විලාසිතාංගයකි.

වසර 2000 පසු බොලිවුඩ් සිනමාව බටහිරකරණයට නැඹුරු වන අයුරු පැහැදිලිව දැක ගත හැකිය. නව පන්නයේ ඇඳුම් ආයිත්තම්, නවීනතම කොණ්ඩා මෝස්තර යනාදියට මනා තෝතැන්නක් වූ සහස්‍රකයේ බැබළුණු සුපිරි තරු අතර රිතික් රෝෂන්, අෆ්තාබ් සිවදාසන්, අක්ෂේ ඛන්නා යනාදීහු ප්‍රමුඛයෝ වූහ.

වසර 2010 පසු කාලවකවානුව වන විට බොලිවුඩය ජාත්‍යන්තර විලාසිතා මධ්‍යස්ථානයක් බවට පත්ව හමාරය. මේ වන විට නව විලාසිතා රජුන් අතර ප්‍රවණතා නිර්මාණය කරන්නා (Trend Setter) බවට පත් වී ඇත්තේ රන්බීර් කපූර්ය. කෙසේ වෙතත් ඔහු හා තරඟයක් දීමට නව පරපුරේ රංගන ශිල්පීන් කිහිප දෙනෙකු කරළියට විත් තිවේ. ඒ අතර රන්වීර් සිං, සිද්ධාර්ථ මල්හෝත්‍රා, වරුන් ධාවන්, වයිටර් ෂෙරොෆ් යනාදීහු වෙති. විවිධාකාර රැවුල් වර්ග, පෝනි ටේල්ස්, වර්ණවත් ජැකට්, පච්චා වර්ග නානාවිධ ආකාරයේ කමිස, කලිසම් ආදී දෑට උපත ලබාදෙන මේ අවධිය විලාසිතාකරණයේ නව්‍යකරණයේ උපරිමය තෙක් ළං වී ඇතැයි සිතෙන මට්ටම දක්වා පැමිණ තිබේ. හොලිවුඩයට පවා අභියෝග කළ හැකි මට්ටමේ විලාසිතාගාරයක් බවට පත්ව ඇති බොලිවුඩය විලාසිතා සංස්කෘතියේ ප්‍රබල වාහකයක් බවට පත්ව ඇති අයුරු මොනවට පැහැදිලි වේ.

අතීතය වර්තමානටයත්, වර්තමානය අනාගතයටත් ඈඳා ගනිමින් කාලය ගෙවී යනු ඇත. අනෙක් සියලු දෑ වෙනස් වන්නා සේම විලාසිතාවන් ද පරිණාමය වනු නියතය. මතක පොතේ පිටු අතර රසවත් මතකයන් රැසක සාඩම්බර උරුමකරුවා වෙමින් විලාසිතා මතු දිනටත් පවතිනු ඇත. ඒ අද දිනට වඩා බොහෝ දෑ කතාබහ කිරීමට අනාගතයේ පත් ඉරු අතර ඉඩ තබමිනි.