වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




මිනිස්සු හිතුවේ මම ඇමතිතුමා කියලා

මිනිස්සු හිතුවේ මම ඇමතිතුමා කියලා

- දොන් ගයි

ඇන්ඩ් කොම්පැනි දේශපාලනික ටෙලි ප්‍රහසනය ඔබට තවමත් මතක ඇති. එහි හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ චරිතයට පණ පෙවූ ඔහු අර්ඩ්ලි නිහාල් ප්‍රනාන්දු හෙවත් දොන් ගයි මෙවර සරසවියේ පත් ඉරු හැඩ කරන්නේ සිය කලා ජීවිතයේ පනස් වැනි පියවර අභිමුවේ සිටයි.

ඔබට නම් කිහිපයක් තියෙනවා. කියමුකො බලන්න සම්පූර්ණ නම?

කාරියකරවන පටබැඳි සමරසිංහ සකලසූරිය මහ විදානලාගේ දොන් අර්ඩ්ලි නිහාල් ෆර්ඩිනැන්ඩු.

ඇත්තම නම නේද?

හප්පේ . . . ඔව් උප්පැන්න සහතිකේ පල්ලා.

කොහොමද කලාවට සම්බන්ධ වුණේ?

ඇත්තටම ඒක ටිකක් දිග කතාවක්. පුංචි කාලේ මම ආබාධිතයි. කතා කරන්න බැහැ. අම්මයි තාත්තයි මේ තත්ත්වයෙන් මාව ගොඩ ගන්න සෑහෙන්න වෙහෙස මහන්සි වුණා.

දවසක් අපේ අයියයි මමයි 'චණ්ඩියා' චිත්‍රපටය බලන්න ගියා. ඒ 1965 අවුරුද්දේ. චිත්‍රපටය නරඹලා ඇවිත් ඒ චණ්ඩි පාට් ගෙදර කට්ටියටත් දැම්මා. කොහොම හරි මේවා දැක්ක අපේ තාත්තට ලොකු වුවමනාවක් තිබ්බා මාව නළුවෙක් කරන්න. ඒ කලේ සරසවිය පත්තරේ නවක නළු නිළියන් ගන්නවා කියලා දැන්වීමක් තිබුණා. මායි තාත්තයි තකහනියේම ඒ වෙනුවෙන් කොළඹ ආවා. හැබැයි වැඩේ සාර්ථක වුණේ නැහැ. කොහොමින් කොහොම හරි ඔහොම කාලය ගත වෙලා 1968 තිරගත වුණු 'ඉඳුනිල' චිත්‍රපටයේ ළමා නළුවෙක් ලෙස රංගනයට එක් වුණා.

ඔබත් මොරටු පුරවරයේ කලාකරුවෙක් නේද?

මම විතරක් නෙවෙයි. බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අතුරින් දිනේෂ් ප්‍රියසාද්, ටෙනිසන් කුරේ, බර්මින් ලයිලි මගේ සමකාලීනයන්. ඒ කාලේ අපි කට්ටිය එකතු වෙලා අපායේ තත්පර එක්දහස් අටසියයක් කියලා නාට්‍යයක් කළා. මේ නාට්‍යය මොරටුවේ විතරක් නෙමෙයි මුළු ලංකාවේම ජනප්‍රිය වුණා. පසුකාලීනව චිත්‍රපටයක් ලෙසත් තිරගත වුණා.

මම රංගනයෙන් දායක වුණු චිත්‍රපට අතුරින් දිනේෂ් ප්‍රියසාද්ගේ ඔන්න බබෝ, උදයකාන්තගේ රන් කෙවිට 2 කුඩා දරුවන් අතරේ අතිශය ජනප්‍රිය වුණා.

හැබැයි මේ සෑම රංගනයක්ම අභිබවා ඔබව රටක්ම හඳුනා ගත්තේ ඇන්ඩ් කොම්පැනි දේශපාලනික ප්‍රහසන නාට්‍ය හරහා නේද?

සහතික ඇත්ත. මිනිස්සු පුදුම විදිහට මේ චරිතයට ප්‍රිය කළා.

ඔබ රඟදැක් වූවේ හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ චරිතය නේද?

මේ චරිතය භාර ගනිද්දී දන්න නොදන්න හැමෝම කිව්වේ මෙහි රඟපාන්න කලින් දෙපාරක් හිතන්න කියලා. ඒත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහත්තයා මගේ රංගනය බලලා මට ප්‍රශංසා කළා. 'කොල්ලො උඹ ලස්සනට මේ චරිතෙ කරනවා' කියලා මාව දිරිගැන්නුවා. දවසක් ඇමතිතුමාගේ ගෙදරට මම ගියා. එදා මහජන දිනය. මම පුංචි ඉල්ලීමක් කළා සර් පුළුවන් නම් මට පුංචි උදව්වක් කරන්න.

සර් ඇදගෙන ඉන්න ෂර්ට් එක මට දෙනවද කියලා. ඒ වෙලවෙම එතුමා ඒ ඇඳුම මට දුන්නා. මමත් ඒ මොහෙතේ ඒ ඇඳුම ඇඳලා ඇමතිතුමා වගේ සන්ග්ලාස් දෙකත් දැම්මා. ආව මිනිස්සු හිතුවේ ඇමතිතුමා මම කියලා. ඇමතිතුමා දිහායි මගේ දිහායි සෙනඟ තුෂ්නිම්භූත වෙලා බලාගෙන හිටියා.

හැබැයි දැන් ඉතින් ඒ චරිතෙ රඟදක්වන්න බැහැනේ?

එහෙම නැහැ. අදටත් අපේ රටේ විතරක් නෙමෙයි විදෙස් රටවල ප්‍රසංගවලට මේ චරිතේ රඟදක්වන්න ආරාධනා ලැබෙනවා.

ඔබ දැන් නිකන්ම නිකන් දොන් ගයි නෙමෙයි?

ආ ඔව්, ඔව්, පහුගිය දවසක මොරටුව ප්‍රාදේශීය කලා මහෝත්සවයේදී කලාකරුවන් තිදෙනෙකුට උපහාර පිදුවා. ඒ අතුරින් කෙනෙක් තමයි මම. මෙහිදී මට කලාභූෂණ ගෞරව නාමය හිමි වුණා. ඇත්තටම මගේ කලා දිවියට වසර පනහක් පිරීමට නියමිත මේ මොහොතේ ඒ සම්මානය ඉමහත් ගෞරවයක්.

ඉදිරියේදී දැක බලා ගන්න පුළුවන් නිර්මාණ මොනවාද?

ලාල් දේවප්‍රියගේ අතුරු මිතුරු හරි අපූරු වගේම සේනක නවරත්නගේ ජොබ්ලස් ඩග්ලස් චිත්‍රපට දෙකම තිරගතවීමට නියමිතයි.

ඊට අමතරව මම ගායන ශිල්පියෙක් ලෙසත් ප්‍රසංගවලට සහභාගි වෙනවා. මම ගායනා කළ 'ඩෙංගු' ගීතය දැන් රූපවාහිනිය සහ ගුවන් විදුලි නාළිකාවලත් විකාශය වෙනවා.

හොඳයි අවසාන වශයෙන් ඔබේ ගමනට සහාය දුන් අයට තුති පුදන්න මේ හොඳම අවස්ථාව?

ප්‍රවීණ රංගන ශිල්පී රෝයි ද සිල්වා, ජෝ අබේවික්‍රම, දිනේෂ් ප්‍රියසාද්, බර්මින් ලයිලි සහ නම් කී නොකී සියලුම දෙනාට ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේම මගේ බිරිඳ, දුව පුතා, ඇතුලු පවුලේ සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙනවා.

ඔහුගේ ලිපිනය - නො. 59, විල්ලෝරාවත්ත, මොරටුව.