වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍රපට හැදීම පහසුයි හොඳ චිත්‍රපට හැදීම අපහසුයි

චිත්‍රපට හැදීම පහසුයි හොඳ චිත්‍රපට හැදීම අපහසුයි

කොළඹ සිනමා උලෙළේදී යාවජීව සම්මානයෙන් පිදුම් ලද

අදූර් ගෝපාල්ක්‍රිෂ්ණන්

අදූර්ට මුල්ම සම්මානය ලැබුණේ ලංකාවෙන්

මෙවර යාවජීව සම්මානය පිරිනැමුණ මොහොතේ අදූර් බොහෝදෙනෙක් නොදන්නා කතාවක් හෙළි කළේය. ඒ 1973 වසරේ ලංකාවේ පැවැති විචාරක සම්මාන උලෙළේදී ඔහුගේ මුල්ම චිත්‍රපටය වූ ස්වයංවරම් සඳහා සහතිකයක් දිනාඇති බවය. එය ඔහු ලද මුල්ම ලද විදේශීය සම්මානයයි.

මලයාලම් සිනමාවේ දැවැන්තයකු වන අදූර් ගෝපාල්ක්‍රිෂ්ණන් සිනමා ආවේශයක් ඇත්තෙකි. හෙතෙම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, පිටපත් රචකයකු සහ නිෂ්පාදකයකි. 1972 දී ස්වයංවරම් සිනමාපටය තනමින් ක්ෂේත්‍රයට ආ හෙතෙම මේ වන විට චිත්‍රපට නවයක් අධ්‍යක්ෂණය කර ඇත. කොඩියෙට්ටම්, එලිප්පාත්යම්, මුඛ මුඛම්, අනන්තරාම්,මතිලුකල්, විදේයන්, කතපුරුෂන්, නිශාල්කුතු, නාලු පෙන්නුන්ගල් එම සිනමාපට පිළිවෙලිනි. ලොව වටා සිනමා උළෙලවල ඔහුගේ සිනමාපට නිතර ප්‍රදර්ශනය වෙයි. මෑතකදී අවසන් වන කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේදී ද ඔහුගේ නිශාල්කුතු, මුඛ මුඛම්, විදේයන්, එලිප්පාත්යම්, මතිලුකාල් යන සිනමාපට ප්‍රදර්ශනය විය.

සිනමා කර්මාන්තය වෙනුවෙන් ඔහු කළ සේවය ඇගයීම පිණිස පද්ම විභූෂණ සහ පද්මශ්‍රී සම්මාන ද්විත්වයම ඉන්දියානු රජය විසින් ඔහු වෙත පිරිනැමුණි.

ඔහු විසින් අධ්‍යක්ෂණය කළ කෙටි සිනමාපට ගණන 30ට අධිකය. ජාතික සිනමා සම්මානය, කේරල සිනමා සම්මානය, කිහිප වතාවක්ම හිමි කරගත් හෙතෙම සෙසු බොහෝ සිනමා සම්මාන උළෙලවලදීද සම්මාන හිමි කරගෙන ඇත.

මේ ඔහු සමඟ කළ කෙටි සංවාදයකි.

ඔබේ අවසන් සිනමාපටය ‘ඔරුපෙන්නුම් රන්දනුම්’ නිකුත් කළේ 2008දීයි. ඊළඟ සිනමාපටය තනන්න මේ සා දීර්ඝ කාලයක් ගත කරන්නේ ඇයි?

ඒක මගේ හැටි. මං සිනමා පාසලෙන් එළියට එන විට හිතුවේ අඩුම තරමින් අවුරුද්දකට එක චිත්‍රපටයක්වත් හදන්න ඕනා කියලයි. ඒත් ඒක ප්‍රායෝගික නෑ කියලා මටම පස්සෙ කාලෙක තේරුණා. සාමාන්‍යයෙන් මගේ චිත්‍රපටියක මූලික අදහසේ සිට සෑම දෙයක්ම මං තමයි කරන්නේ. ඒ නිසාම මට චිත්‍රපටියක් හදන්න ලොකු කාලයක් ගත වෙනවා. ඒ කාලය මං ගත කරන්නේ ලොකු සතුටකින් සහ වුවමනාවකින්. චිත්‍රපටිය සඳහා මං මගේ සියලුම ශක්තිය වැය කරනවා. අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, තිර රචනය වගේ බොහෝ දේවල් මගේ රුචිකත්වය මත සිදු වෙන්න ඕනා නිසාම ඉතාම කුඩා දෙයක් කෙරෙහි පවා මං දක්වන උනන්දුව සහ වැය කරන කාලය බොහෝමයි. මේ සියලුම දේවල් එක්කහු වුණාම සිනමාපටයකින් තවත් සිනමාපටයකට මාරු වීම ඒ තරම් ලේසි, පහසු කාරියක් නෙවෙයි. ඒක මගේ හැටි කියලා ඉතිං නැවතත් මට කියන්න සිද්ධ වෙනවා.

මොකද මම යමක් කරද්දි ඒ කරන දෙය ඉතාමත් සිත් ඇදගන්නා සුලු දෙයක් වෙන්න ඕනා බව තදින්ම විශ්වාස කරන කෙනෙක්. ඒ නිසාම වෙනත් කෙනෙක් තිර නාටකය ලියලා, තවත් කෙනෙක් නිෂ්පාදනය කරන චිත්‍රපට නෙවෙයි මම හදන්නේ. අනිත් එක තිර නාටකය ලියලා ඉවර වෙලයි මං නිෂ්පාදකයෙක් හොයන්න ගන්නේ. නිෂ්පාදකවරුන්ට වුවමනා තිර නාටක ලියන කුලකයේ කෙනෙකුත් නෙවෙයි මම. මුලින් සිනමාපටයකින් තවත් එකකට මාරු වෙන්න අවුරුදු තුනක විතර කාල පරතරයක් තමයි තිබුණේ. ඒත් දන්නෙම නැතිව දැන් ඒක අවුරුදු 07ක් තරම් දිග කාලයක් වෙලා.

මට මතකයි එක පාරක් සත්‍යජිත් රායි මගෙන් අහනවා ‘ඇයි ඔබ අවුරුද්දකට එක චිත්‍රපටියක්වත් හදන්නෙ නැත්තෙ?’ කියලා. ඒක මගේ අතීත කාලෙ එක්තරා බලාපොරොත්තුවක්, ඒත් ඒක ඉෂ්ට කරගන්න අමාරු වර්ගයේ එකක් කියලයි මං ඒකට උත්තර දුන්නේ. මෙන්න මේ ඉෂ්ට කරගන්න අමාරු, ඒත් ඉෂ්ට කරගන්න තියෙනවා නම් හොඳ බලාපොරොත්තු පස්සෙ එලවීම තමයි මං දැන් කරන්නේ.

අනිත් එක චිත්‍රපට නිෂ්පාදකවරු සමඟ වැඩ කිරීමේ නරක අත්දැකීම් මට තිබෙනවා. නිෂ්පාදකවරු හොඳ මිනිස්සු පමණක් වීම ප්‍රමාණවත් නෑ. ඔවුන් අධ්‍යක්ෂවරයාව තේරුම් ගත යුතුයි. සහයෝගය දැක්විය යුතුයි. මොකද චිත්‍රපටය කඩාකප්පල් කිරීමේ අරමුණින් වාගේ අධ්‍යක්ෂවරයාට බලපෑම් සහ බාධා පැමිණුවොත් ඔහුව චිත්‍රපටය හැදීම පසෙකලා හුදෙකලා යුද්ධෙකට මැදිහත් වෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේ ආකාරයේ බොහෝ හේතු නිසාත් මගේ ඊළඟ සිනමාපටය තැනීම ප්‍රමාද වෙනවා.

අනිත් එක නිෂ්පාදකයන්ට මම නිතරම කියන්නේ ඔබට ආදායම උපයාදීම ගැන මට සියයට සියයක් සහතික වෙන්න බෑ කියලයි. යොදවන මුදල් අහිමි කර ගැනීමට බය නැති නම් පමණක් මගෙත් එක්ක චිත්‍රපට හදන්න එන්න කියලයි මං ඔවුන්ට කියන්නේ.

ඔබේ පළමු සිනමාපටය වූ ‘ස්වයංවරම්’ තනන විට ඔබට වැඩිපුරම බලපෑම් කළේ කුමක්ද? වාමාංශික දේශපාලන නැඹුරුවක් සහිත වූ ඔබේ දේශපාලන අදහස් විසින් ඊට ධනාත්මක බලපෑමක් ඇති කළා කියා ඔබ සිතනවාද?

‘ස්වයංවරම්’හදන්න මං අවුරුදු හතක් ගත කළා. ජාතික චිත්‍රප සංස්ථාවෙන් මට ණයක් ලැබුණා මේ චිත්‍රපටය හදන්න. ලක්ෂ එක හමාරක් මේ වෙනුවෙන් ඔවුන් ලබා දුන්නා. නමුත් සම්පූර්ණ ඇස්තමේන්තුව වුණේ ලක්ෂ දෙකහමාරක්. අනිත් ලක්ෂය හොයා ගන්න මං කෙටි චිත්‍රපට කිහිපයක් හැදුවා. 1972 වගේ කාලෙක මේ මුදල ටිකක් විශාල ගණනක්. ඒ කාලෙ හැටියට නවක සිනමාකරුවෙන් මේ වාගෙ මුදලක් යට කරමින් තමන්ගේ පළමු චිත්‍රපටය හැදීම සෑහෙන අභියෝගයකුත් වුණා.

මං තිර නාටකය ලිව්වා. ඊට පස්සෙ මට අවශ්‍ය විදිහට එය අධ්‍යක්ෂණය කළා.

ඔබව වැඩියෙන්ම ප්‍රහර්ෂයට පත් කරන්නේ කුමක්ද?

ජීවිතය තරම් මාව ප්‍රහර්ෂයට පත් කරන වෙන කිසි දෙයක් ඇත්තෙ නෑ. දෛනිකව මුණ ගැහෙන විවිධාකාර මිනිස්සු වගේම ගහ කොළ සහ මගේ අවට තියෙන සෑම සියලු දෙයම මාව පුදුමයට පත් කරවනවා. මේ දේවල් දිහා මං දැඩි අවධානෙකින් බලාගෙන ඉන්නේ. ඒත් සමහර දේවල් මට මඟහැරෙනවා. නැවත්, නැවතත් ඒ මඟ හැරුණු දේවල් පසුපස මම ලුහුබඳීනවා. මොකද මේ හැම දේම සිනමාකරුවෙක් විදිහට මට ඉතාම වැදගත් සහ ප්‍රයෝජනවත්. සොබාදහමේ තියෙන අපූර්වත්වය නියමාකාරයෙන් ග්‍රහණය කරගන්න අපිට එක ජීවිත කාලයක් මදි කියලයි මං හිතන්නේ.

පසුගිය දශකය පුරා කේරල සිනමාවේ අලුත් සහ දක්ෂ සිනමාකරුවන්ව ඔබ නිරීක්ෂණය කළාද? ඔවුන් ගැන ඔබ දරන්නේ කුමනාකාර මතයක්ද?

මගේ අවධානය තදින්ම පැහැර ගත්ත කිහිප දෙනෙක් ඉන්නවා. නව සිනමාකරුවන් බොහොමයක් කේරල සිනමාව තුළ සැරිසරනවා මං දකිනවා. විපින් විජේ ඒ වගේ මගේ අවධානය පැහැර ගත්ත තරුණ අධ්‍යක්ෂවරයෙක්. ඔහු ඉගෙනගෙන තියෙන්නේ කල්කටාවෙ තියෙන සත්‍යජිත් රායි සිනමා පාසලෙන්. ඔහු බොහොම ශක්තිමත් සිනමාකරුවෙක් කියලා ඔහුගේ තරුණ අවදියෙන්ම කියන්න පුළුවන්. ඔහු තමන් කරන දේ ගැන දැඩි විශ්වාසයකින් සහ බලාපොරොත්තුවකින් පසුවන්නෙක්. කිසි විට තමන්ගේ අදහස සහ නිර්මාණය සමඟ කේවල් කිරීමට ඔහු එකඟ වන්නේ නැහැ. අන්න ඒ ලක්ෂණය තමයි මං වඩාත් ප්‍රිය කරන්නේ. ඔහුගේ තවත් සිනමාපට නරඹන්න මං ආසාවෙන් සිටින්නේ.

ඔහු විසින් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළා. ඒ චිත්‍රපටයත් බොහෝ විශේෂයි. පැය තුනක් දිග කෙටි චිත්‍රපටයක් ඒක. මුලින්ම මං පුදුම වුණා මේ කෙටි චිත්‍රපටයේ කාලය ගැන. කවුරුන් විසින් මේ තරම් දිග කෙටි චිත්‍රපටයක් බලන්න කැමති වෙයිද කියලා මම තනියෙම හිතුවා. නමුත් මම ඇතුළු සෙසු ප්‍රේක්ෂකයන් චිත්‍රපටිය බැලුවට පස්සෙ තේරුම් ගත්තා ඒ දිර්ඝ කාලය අත්‍යවශ්‍යයි කියලා. පැය තුනක් පුරා ප්‍රේක්ෂක අවධානය එක දිගට රදවාගනිමින් ඔහු කළේ අපූරු වැඩක්. කොච්චරද කියනවා නම් චිත්‍රපටය ඉවර වෙලාවත් කවුරුවත් තමන්ගේ ආසනවලින් නැගිටින්න උනන්දු වුණේ නෑ. විපින් කියන්නේ අන්න ඒ තරමට දක්ෂයෙක්.

නූතන සිනමාව ඩිජිටල්කරණය වීමෙන් සිනමාවට ඇති කර ඇත්තේ යහපතක්ද? එමඟින් සිනමාවේ ප්‍රකාශන මාධ්‍යයේ යම් කිසි වෙනසක් හෝ දියුණුවක් ඇතිව තිබෙනවාද?

සිනමාව ඩිජිටල්කරණය වෙලා ඉවරයි. ඉතිං අපිට ඒකෙන් ගැලවීමක් ඇත්තෙ නැ. බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා මේ තත්ත්වය අපේ පරම්පරාවට බලපාන්නෙ කොහොමද කියලා. මං හිතන්නේ මේ හැමදේම අපි බාරගන්න ඕනා කිසියම්ම විදිහකින්. ඒවා විවේචනය කරමින්, බැණ වදිමින් ඉන්න එකෙන් කිසි පලප්‍රයෝජනයක් නැහැ. එහෙම බනින්නේ මේ වෙනස්වීම් උරාගන්න බැරි අයයි. අනිත් එක සිනමාවට තාක්ෂණය මිශ්‍ර වීමෙන් කාලයක් මුළුල්ලේ අපි අමාරුවෙන් කළ බොහෝ දේවල් පහසුවෙන් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේමයි තාක්ෂණය නිසා සුළුතරයකට විවර වෙලා තිබුණ සිනමාව බොහෝ පිරිසකට විවෘත වුණා. ඒක ලොකු වාසියක් හැටියටයි මම දකින්නේ. අද කාලෙ වීඩියෝ කැමරාවක් තියෙන ඕනෑම කෙනෙකුට චිත්‍රපටයක් හදන්න පුළුවන්. අන්තර්ජාලය ඔස්සේ පවා බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන්කම අද වෙද්දි ලැබිලා තියෙනවා. ඒ වගේම මෙහෙම කැමරාවක් හැසිරවීම මඟින් දක්ෂයෙකුට පුළුවන් ඉගෙන ගන්න. ඔහුගේ හෝ ඇයගේ වැරැදිවලින්ම ඉගෙන ගනිමින් වැඩ කරන්න පුළුවන්. ඉතිං ඒ වාසිදායක තත්ත්වය අපතේ යවන්න නරකයි.

චිත්‍රපටියක් හැදීම පහසුයි. හැබැයි හොඳ චිත්‍රපටයක් හැදීම ඉතාම අපහසුයි. අන්න ඒකයි අපි මතක තියාගන්න ඕන කරන්නේ.

නූතන පරම්පරාව සහ ඔබේ පරම්පරාව අතර සිනමාත්මක සොඳුරු සටන් තිබෙනවාද?

එහෙම ගැටුම් තියෙනවා යැයි මං හිතන්නෙ නෑ. අනිත් එක මගේ පරම්පරාවෙ බොහෝ දෙනෙක් දැන් සිනමාපට හදන්නෙ නැහැ. ජී. අරවින්දන් කලකට පෙර මිය ගියා. මිර්නාල් සෙන් ඉන්නේ කල්කටාවේ. ඔහුත් බොහෝ වයස්ගතයි. මේ දක්වා ඔවුන් නිර්මාණය කළ සිනමාපට බොහොම බලගතුයි. ආකර්ෂණීයයි. කාලය වෙස්වෙමින් පවතිනවා පමණයි. අපි ඒ කාලය හරහා එහේ-මෙහේ ගමන් කරමින් සිටිනවා. ඉතිං ගැටුම් ඇති කරගන්න තරම් කාලයක් අපි කාටවත් ඉතිරි වෙලා නෑ.

ශ්‍රී ලාංකීය සිනමාවේ යම් කිසි දියුණුවක් ඇති වී තිබෙනවාද?

මං දන්නවා ඉතාම හොඳ සිනමාකරුවන් කිහිප දෙනෙක්ම. ඒ අය හැදූ චිත්‍රපට කිහිපයක්ම මං නරඹලා තියෙනවා. අශෝක හඳගම, බූඩි කීර්තිසේන විශිෂ්ට චිත්‍රපට හදලා තියෙනවා. ඒවා බැලීමෙන් මට පෙනුණේ ලංකාවෙ චිත්‍රපට ලොකු පිම්මක් පනිමින් ඉන්නවා කියන එකයි. ඊට කලින් පරම්පරාව ගැන කතා කළොත් ධර්මසේන පතිරාජ ගැන මං විශේෂයෙන්ම උනන්දුයි. ඔහුගේ සිනමාපට ගොඩක් මං බලලා තියෙනවා. ලෙස්ටර්ගෙන් පස්සෙ පරම්පරාවත්, ඉස්සරහා පරම්පරාවත් තම, තමන්ට අනන්‍ය වෙනම මාර්ගවල ගමන් කරමින් ඉන්න නිසා අනාගත සිනමාව ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්.

ලොව පුරා සිනමා උළෙල පැවැත්වෙනවා. ලංකාව ආශ්‍රිතවත් මෑතක සිට සිනමා උන්මාදයක් ඇති වෙලා තිබෙනවා. සිනමා උළෙල පිළිබඳ ඔබ දරන්නේ කුමන මතයක්ද?

මං හිතන්නේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සිනමා උළෙල ආවෙ ගොඩක් ප්‍රමාද වෙලයි කියලයි. මීට බොහොම කාලෙකට කලිනුයි මේ සිනමා උළෙලවල් මෙහේට එන්න තිබ්බේ. නමුත් දැන් වුණත් ප්‍රමාද නැහැ කියලයි මං හිතන්නෙ. ලංකාවෙ සිනමාවෙ උස් පහත්වීම් සමඟ මේ සිනමා උළෙල හරියට ගළපගත්තොත් ඉන් නියම ප්‍රයෝජන නෙලා ගන්න පුළුවන් වේවි කියලත් මං හිතනවා. සාක් සිනමා උළෙල, ඉන්දියානු සිනමා උළෙල ආදිය ලංකාවෙ පැවැත්වුණාට ජාත්‍යන්තර චිත්‍රපට උළෙලක් පැවැත්වුවේ නැහැ. කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලෙන් තරුණ සිනමාකරුවන්ට විසාල වාසියක් අත් වේවි කියලා මං විස්වාස කරනවා.

ඒ විතරක් නෙවෙයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලවල්වල පෙන්වන චිත්‍රපට බැලීමෙන් විචාරකයන්ට, චිත්‍රපට හදන්න සිහින මවන අයට වගේම තවත් බොහෝ දෙනෙකුට බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඒක අවශේෂ කාරණාවක් නෙවෙයි. ඉතාම වැදගත් කාරණයක් කියලයි මං හිතන්නේ. චිත්‍රපට ගැන උනන්දුවක් දක්වන සියල්ලෝම චිත්‍රපට බැලීමෙන් ලබා ගන්න පුළුවන් වාසි ගැන සැලකිලිමත් වීම වැදගත්.

මෑත කාලීනව ලොව පුරා ප්‍රදර්ශනය වූ සිනමාපට අතරින් ඔබේ ප්‍රියතම සිනමාපටයක් හෝ සිනමාපට කිහිපයක් නම් කළ හැකිද?

ඒක තමයි අමාරුම දේ. චිත්‍රපට සීයක් විතර තියෙනවා මං ප්‍රියතම කියලා සලකන. ඒ නිසා නම් කිහිපයක් කීමෙන් අසාධාරණයක් කරන්න මං කැමති නෑ.