වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




NEWS

රන්ජන් - දිල්හානි ජනප්‍රිය කිරුළට

එකම චිත්‍රපටයකින් හොඳම නළුවෝ තිදෙනෙක්

රන්ජන් රාමනායක යළිත් වරක් ජනප්‍රිය නළුවා ලෙස අබිසෙස් ලබමින් තුන්වන දෙරණ සම්මාන උලෙළ පසුගියදා නිමා විය. එය පැවැත් වූයේ කොළඹ නෙළුම් පොකුණ පරිශ්‍රයේය.

දෙරණ සිනමා උලෙළේ සම්මානනීය නාම ලේඛනය මෙසේය.

ජනප්‍රියම නළුවා - රන්ජන් රාමනායක

ජනප්‍රියම නිළිය - දිල්හානි අශෝකමාලා

හොඳම චිත්‍රපටය - තන්හා රති රඟා

හොඳම අධ්‍යක්ෂ - පරාක්‍රම ජයසිංහ (කේ සේරා)

හොඳම තිර රචනය - සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර (තන්හා රති රඟා)

හොඳම නළුවා - සරත් කොතලාවල (තන්හා රති රඟා) (මේ සඳහා තණ්හා රති රඟා චිත්‍රපටයේ රඟපෑ කුමාර තිරිමාදුර හා නාමල් ජයසිංහ ද නාමයෝජනා වීම විශේෂයකි)

හොඳම නිළිය - මිෂෙල් හර්ෆට් (කේ සේරා)

හොඳම සහාය නළුවා - හාන්ස් බිලිමොරියා (කේ සේරා)

හොඳම සහාය නිළිය - සුලෝචනා වීරසිංහ (තන්හා රතී රඟා)

හොඳම සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ (තන්හා රතී රඟා)

හොඳම කැමරාකරණය - ධනුෂ්ක ගුණතිලක (තන්හා රතී රඟා)

හොඳම ගායනය - ලෙලුම් රත්නායක (කේ සේරා)

හොඳම සංගීත අධ්‍යක්ෂ - ගයාත්‍රි කේමදාස සහ අනුපා කේමදාස (තන්හා රති රඟා)

හොඳම දෘශ්‍ය සජීවිකරණය - චමිත් පරණවිතාන (රන්ජා)

හොඳම ඇඳුම් නිර්මාණය - මෙත්නුවන් විජේසිංහ සහ නිලුකා වනිගරත්න (තන්හා රති රඟා)

හොඳම අංග රචනය - නාරද තොටගමුව (තන්හා රතී රඟා)

හොඳම කලා අධ්‍යක්ෂණය - රොෂාන් වර්ණකුලසූරිය (කේ සේරා)

හොඳම දුෂ්ට චරිත නිරූපණය - දමිත් ෆොන්සේකා (කේ සේරා)

හොඳම විකට නළුවා - සැන්ඩො හැරිස් (කේ සේරා)

හොඳම සටන් අධ්‍යක්ෂණය - වසන්ත කුමාරවිල - රන්ජා

හොඳම කෙටි චිත්‍රපටය - තර්කොව්සකි මීටස් ගොඩොට්, අධ්‍යක්ෂණය විරාජ් ලියනආරච්චි

අනාගත බලාපොරොත්තු තැබිය හැකි සිනමාපටය - මෝටර් බයිසිකල්, අධ්‍යක්ෂණ්‍ය ශමීර රංගන නාඔටුන්න

අනාගත බලාපොරොත්තු තැබිය හැකි සිනමාකරුවා - ඉන්දික උඩුගම්පල

ජනප්‍රියම ගායනය - උරේෂා රවිහාරි (වරිග පොජ්ජ)

වසරේ ආදායම් වාර්තා බිඳහෙළු චිත්‍රපටය - සිරි දළදාගමනය

ජීවිතයටම එක් වරක් පිදෙන දෙරණ ගෞරවය සම්මානයෙන් පිදුම් ලැබුවේ සිනමාවේදී වසන්ත ඔබේසේකර

ලැබුණු සම්මානයට සනත්ගේ ප්‍රණාමය

සනත් අබේසේකරගේ ‘සිරි දළදාගමනය’ සිනමා සිතුවම සඳහා මෙවර දෙරණ සිනමා සම්මාන උලෙළේදී සම්මානයක් හමිවිය. ඒ වසරේ ආදායම් වාර්තා බිඳහෙළූ සිනමාපටය ලෙසටය. ඒ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කිරිමට අවශ්‍ය බව සනත් සරසවියට පැවසීය.

මට කියන්න ඕන කාරණා ටික මේකයි. සිරි දළදාගමනය වෙනුවෙන් ලද මේ සම්මානය මටවත් චිත්‍රපටයටවත් ලැබුණු ගෞරවයක් නොව උතුම් වූ ශ්‍රී දන්තධාතූන් වහන්සේට කරන ලද ගෞරවයක් හැටියට මං සලකනවා. ඒ වගේම මෙය නිෂ්පාදනය කළ නැසීගිය ආචාර්ය සෝමා එදිරිසිංහ මහත්මියට උපහාරයක් කරන්නත් මං මෙය අවස්ථාවක් කරගන්නවා. මන්දයත් ඇය මේ වගේ චිත්‍රපටයක් නිෂ්පාදනය කොට ලබාගත් පුණ්‍යකර්මයම ඇති එතුමියට නිවන් දකින්නට.

කෙසේ වෙතත් දෙරණ සභාපති ලක්සිරි වික්‍රමගේ ඇතුළු පිරිසට තුති පුදන්නත් මං මෙය අවස්ථාවක් කරගන්නවා.

අශෝකගෙන් ළමා නළු නිළි වරම්

තුන්පත් රෑන සහ කන්දක් සේමා චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අශෝක ආතවුදහෙට්ටිගේ නවතම සිනමාපටය සඳහා ළමා නළු නිළියන් කිහිප දෙනෙකුට අවස්ථාව ලබාදීමට අධ්‍යක්ෂවරයා අපේක්ෂා කරයි. ඒ වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණයක් මෙම මස 25 වැනිදා එනම් එන බදාදා දවස පුරා නාරාහේන්පිට ශ්‍රී පරාක්‍රමබාහු විදුහල් ශාලාවේදී පැවැත්වෙයි.

වයස අවුරුදු 6 - 9 ත් අතර දූ පුතුනට මෙයට සහභාගී විය හැකි අතර ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට පුළුවන් වීම මේ සඳහා විශේෂ සුදුසුකමක් වේ.

ඔසාමා තරංගනියට අද එයි

සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය මඟින් සංවිධානය කරනු ලබන සාර්ක් චිත්‍රපට දින වැඩසටහන් මාලාවේ පළමු පියවර වශයෙන් මෙම මස 19 වැනිදා එනම් අද සවස 6.30 ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනියේදී ඇෆ්ගනිස්තානු සිනමාපටයක් වන ඔසාමා තිරගත වේ.

මෙම සිනමාපටයේ ඇති විශේෂත්වය වනුයේ අනූව දශකයේ අග භාගයේ තලේබාන් පාලනය විසින් ඇෆ්ගනිස්ථානය තුළ සියලුම ආකාරයේ චිත්‍රපට තහනම් කොට තිබියදීත් සමස්ත චිත්‍රපටයේම දර්ශන ඇෆ්ගිස්ථානය තුළ රූගත කර තිබිමයි.

විනාඩි 83 ක ධාවන කාලයකින් යුක්ත මෙම චිත්‍රපටයේ දර්ශනය නොමිලයේ තිරගත වන්නක් වේ.

විජිත් කණුගල අභාවප්‍රාප්ත වේ

හිටපු සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ විජිත් කණුගල මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 51 කි. විජිත්ගේ හදිසි අභාවයට හේතුව වූයේ රිය අනතුරකි. ඒ හේතුවෙන් ඔහු මාසයකට ආසන්න කාලයක් නුවර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීය.

විජිත් මිය යන විට මහඔය ප්‍රාදේශීය ලේකම්වරයා වශයෙන් ක්‍රියා කළේය. එමෙන්ම ඔහු ටවර්හෝල් පදනමේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරයා වේ. විජිත් ගීත රචකයකුද විය. හේමන්ත වික්‍රමසිංහ ගයන ලිලී මල් මිටක් ඇතුළු ජනපි‍්‍රය ගීත රැසක් ඔහු විසින් රචනා කරන ලදී. විජිත්ගේ අවසන් කටයුතු පසුගියදා මාකේවිට පොදු සුසාන භූමියේදී සිදු විය.

සිංග් අලෝන්ග් ගී ප්‍රසංගය 24 වැනිදා

ප්‍රසංග වේදිකාවේ පෙරළිකාර ගායන ශිලපී ෂැඩෝස්ටාර් අනුර පළිහවඩන ගී ගයන සිංග් අලෝන්ග් ගී ප්‍රසංගය මෙම මස 24 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ බිලැන්කට් ශාලාවේදී පැවැත්වේ.

මෙය විජය කොරෙයාගේ ඉදිරිපත් කිරීමකි. මෙහි සංගීතය නලින් ඇන්ද ස්ටාර් කොම්බිනේෂන් වාද්‍ය වෘන්දයෙනි. ප්‍රසංග වේදිකාවේ කාර්යබහුල ගායන ශිල්පියකු වන අනුර මෑතක සිට ගෘහස්ත ප්‍රසංග සඳහා ද සිය දායකත්වය ලබාදීම ආරම්භ කොට ඇත.

කසුන් යුග දිවියට

රංගන ශිල්පී කසුන් මෙන්ඩිස් පසුගියදා යුගදිවියට ඇතුළත් විය. ඔහුගේ අතගත් මනාලිය වූයේ මොරටුවේ පදිංචි අමා පෙරේරා වේ. කසුන් රංගන ශිල්පී දසුන් මධුසංඛගේ වැඩිමහල් සොහොයුරාය.

ගී විදාරා කටුගස්තොට දී

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය ප්‍රථම වරට ඉදිරිපත් කරනු ලබන ‘ගී විදාරා’ සංගීත සැඳෑව මෙම මස 21 වැනිදා සවස කටුගස්තොට ශාන්ත අන්තෝනි ශාලාවේදි පැවැත්වෙයි. ආචාර්ය වික්ටර් රත්නායක, නිරෝෂා විරාජිනි, කසුන් කල්හාර මේ සඳහා ගායනයෙන් එකතු වේ. වසන්ත රෝහණ කථනයෙන් මෙහෙයවෙයි. සුරේෂ් මාලියද්ද ප්‍රමුඛ වාද්‍ය වෘන්දය ගී විදාරා සංගීතයෙන් රසවත් කරයි.

ගුණරත්න ඒකනායකගෙන් පොඩි සාදු සහ යහළුවෝ

සම්මානලාභී ලේඛක ගුණරත්න ඒකනායකගේ අලුත්ම යොවුන් නවකතාව ‘පොඩි සාදු සහ යහළුවෝ’ අද (19 වැනිදා) පෙරවරු 9.30ට සොයිසපුර නිපුන් පොත් මැදුරේදී එළිදකියි.

ශ්‍රී ලාංකේය ධාතු වංශය 20 දා ජනගත වේ

‘උරුමයක සේයා’ නම් වූ පෞරාණික සිද්ධස්ථාන සහ බිතුසිතුවම් ඡායාරූප ප්‍රදර්ශනය සහ අනිල් පි‍්‍රයරත්නයන් විසින් රචිත ශ්‍රී ලාංකේය ධාතුවංශය ග්‍රන්ථය ජනගත කිරීම මෙම මස 20 වැනිදා උදෑසන 10 ට බටකැත්තර සුහද බෞද්ධ සමිති ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ. මෙහි ප්‍රධාන අමුත්තා වශයෙන් අඹේවෙල පඤඤාසාරාභිධාන මහනායක ස්වාමීන් වහන්සේ සහභාගීවීමට නියමිතය. ප්‍රදර්ශනය මෙම 20, 21 සහ 22 යන දිනයන් හි උදෑසන 10 සිට රාත්‍රී 8 ට දක්වා පැවැත්වෙයි.

ටිකිරිලියා තරු මැද්දෙ ගියා

නවකතාව ගැන සංවාදයක් අද

පරාක්‍රම ඒකනායකගේ 'ටිකිරිලියා තරු මැද්දෙ ගියා' නවකතාව පිළිබඳ සංවාදයක් අද (නොවැම්බර් 19 දින) උදෑසන 9.30 ට ඌව පළාත් සභා සංකීර්ණයේ පර්සි සමරවීර සම්මන්ත්‍රණ ශාලවේදි පැවැත්වේ. මෙම ග්‍රන්ථය පිළිබඳ ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත, ප්‍රවීණ මාධ්‍යවේදී කපිල එම්. ගමගේ දේශනා පවත්වති. මෙම සම්මන්ත්‍රණය බදුල්ල මහගමසේකර නිර්මාණ පරපුරේ සංවිධානයකි.

නීල්ට උපහාර සම්මානයක්

සිනමා නිෂ්පාකවරයකු මෙන්ම සිනමා නිශ්චල ඡායාරූප ශිල්පියකු ද වන නීල් බී. පෙරේරා වයඹ පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය මඟින් සංවිධානය කළ හලාවත කලාප උළෙලේදී සුවිශේෂී උපහාර සම්මානයෙන් පිදුම් ලැබුවේය. එහිදී නීල්. පුත්තලම දිසාපති එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා අතින් සම්මානය ලබා ගන්නා ලදී.

සාජන් නල්ලතම්බි සිනමාපටය නිෂ්පාදනය කළ නීල් බී. පෙරේරා සඳා, පුතුනි මට වාසනා, රත්තරං මල්ලි, චාන්දනී ආදී සිනමාපටයන් රැසක නිශ්චල ඡායාරූප ශිල්පියා විය. එමෙන්ම වේදිකා නාට්‍යකරුවකු ලෙස ද කටයුතු කරන හෙතෙම මෙරට ප්‍රථම සඳැස් නළුව වන නැකත අධ්‍යක්ෂවරයාය. එය වර්තමානයේදී ද වේදිකා ගත වන නාට්‍යයකි. කලක් මෙරට ජනප්‍රිය චිත්‍රපට ළමා නිළි කුසලා බී. පෙරේරා නීල්ගේ දියණිය වේ.

රුක්මණී වෙනුවෙන් දිව්‍ය පූජාවක්

අසහාය ගීත කෝකිලාවිය හා නිළි රැජණ රුක්මණී දේවිය මිය ගොස් වර්ෂ තිස්හතක් පිරීම නිමිත්තෙන් ඇගේ ආත්මයට මොක් සුව පතා දිව්‍ය පූජාවක් මරදාන ෆාතිමා දේවස්ථානයේ දී පසුගියදා පැවැත්විණි.

මීසම්පති ආන්ජලෝ විජේවික්‍රම පියතුමා සිදු කරන ලද මේ දිව්‍ය පූජාවට ප්‍රවීණ ගායන ශිල්පිනී ලතාවල්පොළ, ප්‍රවීණ නිළි ක්ලැරිස් ද සිල්වා, වීණා ජයකොඩි ඇතුළු පිරිසක් සහභාගි වී සිටි අයුරු ඡායාරූපයෙන් දැක්වෙයි. මේ කටයුත්ත සිදු කරන ලද්දේ රුක්මණී දේවි අනුස්මරණ සංගමය මගිනි.