වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

අභාවය බලපෑමක් ඇති කරයි...

චිත්‍රපට 19 කට නිෂ්පාදනයෙන් දායක වෙමින් නවක නළු, නිළියන් සිනමාවට හඳුන්වා දෙමින් සිනමා කර්මාන්තය සඳහා විශාල ප්‍රගමනයක් කළ සෝමා එදිරිසිංහ මහත්මිය ගේ අභාවය සිනමාවට පමණක් සිදු වූ ඛේදවාචකයක් නොවේ. ඇය විශාල ප්‍රජා සත්කාර ක්‍රියාවලියක්ද සිදු කරගෙන ගියාය. මේ සියලු දෙයටම එතුමියගේ අභාවය විශාල බලපෑමක් ඇති කරයි.
 

දිනේෂ් ගුණසේකර

මාතර

කියන දේ කියන චතුරට

‘ලෝකය සහ ලෝකයෝ, චතුර විත් ට්‍රැවල් හා දෙරණ අරුණ’ ඉදිරිපත් කරන දෙරණ නාළිකාවේ චතුර මල්ලීගේ ඉදිරිපත් කිරීම විශිෂ්ටයි. කියනදේ කියනවා. දැනෙන අයට දැනෙනවා, වදින අයට වදිනවා. කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන යුගයේ ජනපි‍්‍රයම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නාට අපගේ උණුසුම් සුබ පැතුම්. ඔබට ජය.
 

කේ. කේ. චමින්ද කුමාර

ඉහලගම, දෙණියාය

ඉරේෂ්ට තුති

ඉරේෂ් ලොකු බණ්ඩාරගේ ‘නීල පළිඟු දිය’ ටෙලි නාට්‍යය හොඳින් නිමාවට පත් වුණා. ඔහුට අපගේ ස්තුතිය.
 

නන්දා ලියනගේ, දුලානි, සම්පත්

මහවැව

යළි අපි හමුවෙමු මැතිඳුනි කණුගල...

විජිත් කණුගල මැතිතුමනි, සොහොයුරාණෙනි, සුමිතුරාණෙනි, ළබැඳි නිලධරුවාණෙනි, ළබැඳි කලිකරුවාණෙනි, පායන හිරු බැස යනවා. පිපුණුු කුසුම පර වෙනවා. හමුවුණු ඔබ අද සමුගෙන යනවා. සත් සිත් සිත්මල් ගුණ සුවඳ මතකයෙ රඳවා. යළි අපි හමුවෙමු. සංසාරේ මැතිඳුනි කණුගල.
 

කලාභූෂණ

ඊ. ඩී. ශි‍්‍රයාපාල
 

චිත්‍රපට පෝලිම අඩුවීමට නම්...

දැනට සිනමා ප්‍රදර්ශක මණ්ඩල නාමිකව පහක් ඇත. වර්ෂයකට ප්‍රදර්ශනය කළ හැකි චිත්‍රපට ප්‍රමාණය විස්සකට වඩා අඩු වෙයි. දිගු චිත්‍රපට පෙළක් පෝලිමේ ඇත. මේ පෝලිම අඩු කිරීමට හැකි එක ක්‍රමයක් නම් තනි පිටපතක් හෝ පිටපත් අඩු ප්‍රමාණයක් සිනමාහල්වල පෙන්වීමයි. උදාහරණ ලෙස මේ අවුරුද්ද මැද ‘ඉර සේවය’ පෙන්වූයේ එක පිටපතකි. ‘අතීතයෙන් කතාවක්’ පෙන්වූයේ පිටපත් තුනකි. නිෂ්පාදකයන් කැමති නම් මේ අයුරින් අඩු පියටපත් ප්‍රමාණයක් සිනමාහල්වල තම චිත්‍රපටය පෙන්වීමට කැමැති නම් ඒ චිත්‍රපට ප්‍රදර්ශන පෝලිම අඩුවීමට හේතු වෙයි.


වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ එස්. කේ. ජයවර්ධන

නාපාන, ගුන්නෑපාන

ශාන්ත දේශබන්දුට පැතුමක්...

මල් වියනින් මල් පබාට පැතුමක් පැතුවා
රූප පෙට්ටියේ ඉඳගෙන හැඩ වැඩ මැව්වා
සුදර්ශියේ මිතුරු කැලට හොඳ හිත පෑවා
අලුත් අයට ගීත ලොවේ පාර පෙන්නුවා

එල්ලුම් ගහ පණ පොවන්න ඔවදන් දුන්නා
දවාලෙ පායන චන්ද්‍රයා මුල් තැන ගත්තා
රාග තාල හැටියට ඔහු තරගෙට ලිව්වා
ගීත ලොවේ ජය ලබන්න ඔහුට හැකි වුණා
 

පී. ධම්මික දුමේන්ද්‍ර

පාමංකඩ

දෛවය පුදුමාකාරයි ?

සිංහල සිනමාවේ ඉතිරි වී සිටි දැවැන්ත පුරුකක් පසුගිය දා ගැලවුණි. එය අපට මෙන්ම සිනමාවටද අසීමිත පාඩුවකි. මෑතකදී ඔහුගේ නිවසට ගොස් කතාබහ කර පිංතූර ගත් සැටි මගේ මතකයේ රැඳී ඇත. දෛවය පුදුමාකාර එකකි. කුමක් කරම්ද? මතු භවයකදී හෝ ක්‍රිස්ටි ඔබ අපට හමුවේවා.
 

අජිත් ජෝතිය කරසිංහ

මත්තෙගොඩ

‘ඇඩ්‍රස් නෑ’ ප්‍රවේගකාරියි...

කතාව කීමට අඳුර සහ ආලෝකය අපූර්වත්වයෙන් යුතුව යොදා ගනියි. කෙටියෙන්ම කැමැරාකරණය අති විශිෂ්ටයි. තේමා ගීතය මෙවැනි මුඩුක්කු පාතාලයේ කතාවකට ඉතාම උචිතයි. සංගීතයත් විශිෂ්ටයි. නෙළු අධිකාරි, නිරෝෂා විරාජිනී, ගයාන් පෙරේරා ආදීන්ගේ ගායනා හුඟාක් හොඳයි. ‘රෝස මල් පොහෝට්ටු කුණු කානු දිගේ’ ගීතය ඉතාම ලස්සනයි. එකිනෙකාට නොපරදින ලෙස හොඳ රඟපෑමක යෙදේ. කිසිම කම්මැලි කමක් නැතිව නැරඹිය හැකි ප්‍රවේගකාරී චිත්‍රපටයකි.
 

ඩඩ්ලි ගෝමස්

මොරටුව, කටුබැද්ද

දෙවැනි කොටස එනතුරු බලා සිටිමි

මගේ පි‍්‍රයතම චිත්‍රපටය දඩයමයි. ඇත්තෙන්ම මම හරිම කැමැතියි දඩයම දෙවැනි කොටස එනවානම්. රවීන්ද්‍ර, ස්වර්ණා ලස්සනට රඟපානවා. ස්වර්ණාව කාර් එකේ හප්පන දර්ශනය හරිම දුක්බර අවස්ථාවක්. මැවි මැවී තවමත් පේනවා ඒ දර්ශනය. එහි 02 කොටස හදන්න මේ හොඳම කාලයයි.
 

සරත් සේනාධීර

ජා-ඇල, කලඑළිය

විහිළුව, විහිළුවක් කළේ ක්‍රිස්ටි...

එදා සිටි ජනපි‍්‍රයම විකට නළුවා වූයේ ක්‍රිස්ටි ලෙනාඩ්ය. ඇත්තටම ඒ කාලෙ ක්‍රිස්ටි රඟපෑ චිත්‍රපට බලන්න හැමදෙනාම හරිම ආසයි. රසිකයන්ට ඇති වෙන්න හිනා යන විදියටයි දෙබස් කිව්වෙ. විහිළුව, විහිළුවක් විදිහට රසික හදවත්වලට යොමු කරන්න ක්‍රිස්ටි හරිම දක්‍ෂයි. ගැයූ ගීත ද හරිම ලස්සනයි. ඔහුගේ රඟපෑම් අපේ මතකයේ සදාකල් රැඳී තිබේ.
 

සෝමා එච්. පතිරණ

පන්සල පාර, කහවත්ත

රසික සිත් තුළ රජ කරයි

බොදු බැති ගී රාශියක් ගයා බැතිමත් බෞද්ධයන්ගේ සිත් සතන් පහන් කළ අල්හාජ් මොහිදීන් බෙග් ගායකයාණන් අප අතරින් වියෝ වී විසි හතර වසරක් ගත වුවද රසික සිත් තුළ තවමත් ඔහු රජ කරයි.
 

සුනිල් චන්ද්‍රසේකර

යාගොඩමුල්ල, කොටුගොඩ

S.M.S.

මයි නේම් ඉස් බන්දු අති සාර්ථක චිත්‍රපටයකි. කියන්න කිසිම අඩුපාඩුවක් නෑ.
 

සයුරි ජයසේකර

කොට්ටාව

‘සරසවිය’ පත්තරය සෑම සතියෙම තරගයක් පළ කරනවා නම් කොච්චර වටිනවාද? එයින් විනෝදයත්, දැනුමත්, සතුටත් වැඩිවන බව කිව යුතුයි. හැබැයි එය සිනමාව වෙනුවෙන් පමණක් විය යුතුයි.
 

රෝහිණී කටුගොඩ

මහනුවර

තායිලන්තයේ පැවති මිස්ට ‘ග්ලෝබල් ස්විම් වෙයාර් 2015’ තරගයෙන් ජයගත් දහම් ඩයස් අයියාට අපේ උණුසුම් සුබ පැතුම්.
 

සලිත දිල්මින්

එල්ලාවල

‘හිත මිතුරා’ චිත්‍රපටයේ ශි‍්‍රයාණි අමරසේනගේ රංගනය ඉතා හොඳයි. එහි රඟපාන ගාමිණී, ටෝනි අපේ හදවතේ සදා අමරණීයයි.
 

ශ්‍යාමා තිලකරත්න

ගාල්ල

‘මේ ආදරයයි’ ටෙලි ඩ්‍රාමා එක නම් සුපර්. රමනුයි, ඉසිතගෙයි, පුංචි රූහිගෙයි රඟපෑම් හරිම ලස්සනයි.
 

නෙත්මිණි

ගම්පහ

ස්වර්ණවාහිනියේ දවසේ වැරැද්ද තුළින් වැරැද්දක් රටටම පෙන්වා දී කරන සේවයට මගේ සුබ පැතුම්.
 

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙනිය

අපට සොයා ගන්නට අපහසු නළු, නිළියන්ගේ දුරකථන අංක ‘සරසවිය’ පුවත්පතේ පළ කරන්න.
 

ලක්මාල්

ගම්පහ

මාධව විජේසිංහ මල්ලී ඇයි ඔයා සුජාතා ඩ්‍රාමා එකේ ඔච්චර බොළඳ විදිහට රඟපාන්නේ.
 

දහම්

ගනේමුල්ල

සුනිල් ටී. ප්‍රනාන්දු ඔබ පසුගිය කාලෙ චිත්‍රපට කිහිපයක්ම නිෂ්පාදනය කළා. ඒ සියල්ලම අසාර්ථකයි. ඔබට ගැළපෙනම අධ්‍යක්‍ෂවරයා සුනිල් සෝම පීරිස් බව සිතට ගන්න. එක එක අධ්‍යක්‍ෂවරු සොයා ගිහින් ඔබ වැනි නිෂ්පාදකවරයෙක් නැති වෙනවට අපි අකමැතියි.
 

පි‍්‍රයා

කොළඹ 12

රූපවාහිනී අභ්‍යාෂ ආයතනය ගෙන එන පාඨමාලා තුළින් නිවේදකයන් ලෙසින් පුහුණු වන අයට මාධ්‍ය තුළ සේවය කිරීමේ ඉඩක් ලබා දෙන්න.
 

තිළිණ

කුලියාපිටිය

නෙහාරායි, මේනකයි ලංකාවෙන් ගිය එකමයි හොඳ. නැත්නම් ලංකාවේ මිනිස්සුන්ට ටී. වී. බලන එකත් එපා වෙනවා. මොන ඩ්‍රාමා එක බැලුවත් ඒ කපල් එකමනේ ඉන්නේ.
 

පසිඳු චමෝද්

වේරහැර

සිංහල සිනමා විස්තරය මෙන් මෙතෙක් විකාශය කෙරුණු ටෙලි නාට්‍ය නාමාවලියක්ද සියලු විස්තර සමඟ සරසවියේ පළ කරන්න.
 

විරාජ් හර්ෂනාථ බණ්ඩාර

නිකවැරටිය

හිරු නාළිකාවේ ‘සුළඟ වගේ ඇවිදින්’ බලන්න ආසා හිතෙන නාට්‍යයක්. එහි ස්වේතා ගේ චරිතයට පණ පොවණ නිළියගේ රංගනය විශිෂ්ටයි.
 

අසංක විතානගේ

රත්නපුර