වර්ෂ 2015 ක්වූ ජූලි 30 වැනිදා බ්‍රහස්පතින්දා




මග දිගට රසකතා

දිනේෂ් ගාමිණීට ඇඳලා

පසුගියදා නිමාව දුටු සිරයමෙ සාරා ජෝති උපහාර ගී ප්‍රසංගයට මල් වැහි සීතල මල් වැස්සේ ගීතය අන්තර්ගත වුණා. එය ජේ. සෙල්වරත්නම්ගේ හොඳට හොඳයි චිත්‍රපටයට ජෝති ගැයූ එකක්. එදා චිත්‍රපටයේ ඊට රංගනයෙන් එක්කාසු වූයේ හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සහ නිළි රැජන මාලිනීය. මෙදා සිරියමෙ සාරා ප්‍රසංගයේදී ගාමිණී මාලිනී අනුකරණය කරමින් එතැන සිටි ජෝතිමත් ගීත රසික රසිකාවන්ව එක්තරා දෙදෙනකු අමන්දානන්දයට පත් කළා. ගාමිණී විදිහට හැඳ පැළඳ සිටියේ අපේ දිනේෂ් ප්‍රියසාද්.

ඔහු හරි අපූරුවට ගාමිණීව අනුකරණය කරමින් රඟපෑවා. දිනේෂ් නම් කියන්නේ ගාමිණී ෆොන්සේකා තමන්ගේ ගුරුවරයා කියලයි. ඒ වගේම ගාමිණීට දක්වන්නේ ඉමහත් ගරුත්වයක්. ඒ හින්දම දිනේෂ් සිංදුවට නටලා තියෙන්නේ ගාමිණීව බොහෝ සෙයින් අනුකරණය කරලා මේ නටපු නැටිල්ල දිනේෂ්ගේ ප්‍රිය දියණියන් තිදෙනා වන ඩිනක්ෂි, ශේෂද්‍රි සහ ශනුද්‍රි හරි ඉහළින් වර්ණනා කළාලු. මුතුත් ඊට දෙවැනි වෙලා නැහැ. මුතුට ගීතය අවසානයේදී ඉහළ අත්පොලසන් නදක් ලැබුණලු.

එකට රඟපෑවත් හඳුනන්න බෑ

ජයතිස්ස අතුලසිරි ෆොටෝ ගැහැල්ලක් නිසා අපහසුතාවයකට පත් වෙලා. ඒකත් අහගන්නකෝ එහෙනම්. මේ සිදුවීමත් සිදු වෙලා තියන්නේ ප්‍රවේගය නිසා. ප්‍රවේගය කණ්ඩායම අනුරාධපුරයේ ගිය වෙලාවක එතනට අතුල අයිය ඇවිත්.

අතුලගෙ ගෙවල් තියෙන්නෙත් අනුරාධපුරයේ හින්දා ඔහු තමන්ගේ හිතවතුන් හැමෝටම කිව්වලු ප්‍රවේගය කණ්ඩායමේ අනුරාධපුර ගමන ගැන. ඔන්න එදා එතනට සෑහෙන්න කට්ටිය ඇවිල්ලා. අතුලත් ප්‍රවේගයේ ඉන්නවානේ. ඉතින් ප්‍රවේගයේ නළු නිළියන් ෆොටෝ ගන්න කොට අතුලත් ඒ ඡායාරූපවලට ඉන්න ඉදිරියට ඇවිත්.

ප්‍රවේගයේ අතුල ඉන්නේ ස්වරූපය එහෙම වෙනස් කරලා. ඒ හින්දම අතුලව හඳුනාගත නොහැකි වූ පිරිස අතුලට අයින් වෙන්න කිව්වලු හේමල්ලා ඉන්න තැනින්. අතුල මුකුත් නොකියාව දුක්බර වූ සිතින් එතැනින් නික්මුණාලු. එතැන ඡායාරූප ගත්තු කෙනෙකුගෙන් තමන් ඉන්න පින්තූර ඉල්ලුවාට දීලත් නැහැ. වාසනාවට එක් කෙනෙක් අතුලව හඳුනාගෙන. ඔහු අතුලව අනික් අයට හඳුන්වලා දීලා. අන්න එතැන් පටන්ලු අතුලට අනික් අයත් එක්ක ෆොටෝස්වලට ඉන්න ලැබිලා තියෙන්නේ. අවසානයේ එතන සිටි අය අතුලට ෆොටෝ එවන්නත් පොරෙන්දු වුණාලු.

තිලක්ගේ කලිසම නාමල්ට අන්දලා

තිලක් කුමාර රත්නායක කියන්නේ ප්‍රසංග වේදිකාව හොල්ලපු නළුවෙක්. ඔහු ප්‍රසංග වේදිකාවට නැගලා මයික්‍රෆෝනය අතට ගත්තාම මුළු ඕඩියන්ස් එකම සරෙන්ඩර්. ඒකෙ ආයෙ වචන දෙකක් නැහැ. තිලක් මේ දිනල නීල පළිඟු දිය සහ මීදුමෙන් එහා වැනි නාට්‍යවලට දායක වෙනවා. ඒ හින්දම තිලක් නළුවකු විදිහටත් හරිම ජනප්‍රියයි. මෙයා පසුගියදා ඩුබායි ගියා. ජයගාහී තිස් හත වැනි වතාවටයි ඔහු මෙහෙම ඩුබායි බලා පිටත් වුණේ. ඩුබායි යනවා කියලා තිලක් අපට කියන්න කතා කරද්දී ප්‍රසංග වේදිකාවේ වෙච්ච අපූරු කතාවකුත් මතක් කළා. සාමාන්‍යයෙන් ප්‍රසංග වේදිකාව කියලා කියන්නේ අත්දැකිම්වල තෝතැන්නක්නෙ. ඉතින් මේකයි කතාව. අපේ නාමල් උඩුගම සහෘදයා ඉන්නවා නේද.

ඔහු අසනීප වෙන්න කලින් ප්‍රසංග වේදිකාවේ සජීවී චරිතයක්. ඔන්න දවසක් තිලක් නිවේදනයෙන් එක් වූ ප්‍රසංගයකට නාමල් ඇවිල්ලා වෙනත් ගායකයකුගේ වාහනේක. හැබැයි නාමල්ට අමතක වෙලා තමනුත් මේ ප්‍රසංගය බාර අරන් තිබෙනවා කියලා. සාමාන්‍යයෙන් නාමල්ට සමහර දිනවල ප්‍රසංග බර ගාණක් තිබෙන හින්දා මේක අමතක වෙන්න ඇති. නාමල් එතනට ඇවිත් තියෙන්නේ ෂෝර්ටක් ගහලා. නාමල් මෙතන ඉන්නවා දැකපු ප්‍රසංග සංවිධායකවරු ඊළඟට නාමල්ව දාන්න කියලා තිලක්ට බර බරේලු. තිලක් දුටුවලු නාමල් සිටිය තත්ත්වය. ප්‍රසංගයකට සුදුසු ඇඳුමකින්වත් නෙවෙයිනේ ඔහු සැරසිලා හිටියේ.

අන්තිමේ තිලක් තීරණය කළාලු තමන්ගේ ඇඳුම දීලා නාමල්ව ස්ටේජ් නග්ගන්න. නාමල් තිලක්ගේ කලිසම ඇඳලා. ඒක ටිකක් ලොකුයිලු. කලිසම බෙල්ට් එක දාලා තද කරගෙන. තිලක්ගේ කෝට් එකක් නාමල්ට බාච්චුවක් වගෙයිලු. කොහොම හරි තැනේ හැටියට ඇනේ ගහලා තිලක් නාමල්ව ස්ටේජ් නග්ගලා. ඔහු සිංදු කියලා ඉවර වෙනකම් තිලක් තුවායකුත් ඇඳගෙන වේදිකාවේ පිට්පස්සේ ඉඳලා දෙවියන්ට යැද යැද හිටියලු නාමල්ගේ කලිසම නම් හැලෙන්න එපා කියලා.

ෆෝන් එකක් කළ හදියක්...

නමක් ගමක් නැති කතාවත් දැන් දැන් ටිකක් ජනප්‍රියයි. පසුගිය සතිවල පළ වූ කතාවලට අදාළ පුද්ගලයින් කවුද කියලා නොයෙක් දෙනා අහනවා. අපොයි එහෙම කියන්න බැහැ, ක්ෂේත්‍රයට හරි නැහැනෙ. ඒවායින් කාරි නැහැ. එහෙනම් අහගන්නකෝ අදත් ඒ වගේ රසබර සොමිබර කතාවක්.

මෙයට අදාළ කෙනා ඡායාරූප ශිල්පියෙක්. මෙරට ප්‍රමුඛ පෙළේ පුවත්පත් ගණනාවකටම මොහු ඡායාරූප ලබා දෙනවා. මිනිහා ටිකක් කළුයි. කොයි වෙලාවෙත් හිනා වෙච්ච ගමන් තමයි ඉන්නේ. ෆෝන් දෙකක් අතේ තිබුණත් කොයි වෙලාවකවත් ඒවාට ඇමතුමක් ගන්න බැහැ. එච්චරට ඔහු බිසී. දන්න අය දන්නව මං මේ කියන කෙනා ගැන. ඔන්න ඉතින් මෙයාගේ ජංගම දුරකතන දෙකටම වතුර ගියා. එහෙම වුණේ දරුණු ධාරාණිපාත වර්ෂාවකට අහු වෙලා. තෙමිච්ච පිළිහුඬුවා වගේ ගෙදරට ආව ඔහුට දැන් හරිම ගැටලුවක්. ඇයි ඉතින් හදිස්සියකට උකස් කරන්නත් තිබුණේ මේ ෆෝන් දෙක විතරයිනේ. මේ අල්ල පනල්ලෙම මේවා හදාගන්න ඕනෑ කියලා හිතලා වැස්ස පායපුවාම දිව්වා තමන්ට ළඟම ටවුමට. ඒ කියන්නේ කළුතරට. දන්න ෆෝන් කඩයකට ගිහිල්ලා විස්තරේ කියලා ෆෝන් දෙකම දුන්නා. ඒවා බලලා ෆෝන් හදන කෙනා කිව්වා මේ දෙක හදල දෙන්න දවස් දෙකක් විතර යාවි කියලා. ඇතුළෙ තියෙන වතුර වේළෙන්නත් එපායැ. අපේ මිත්‍රයා මොකද කළේ අර ෆෝන් දෙක තියලා එන්න තීරණය කළා.

ඒ වෙනුවට කඩෙන් තාවකාලිකව පාවිච්චි කරන්න තඩි චයිනීස් ෆෝන් එකක් දුන්නා. මේක අතට ගත්ත පොරට හරි අවුල්. ඒක පාවිච්චි කරන විදිහ වෙනස්. මේ ගැන කල්පනා කර කර ෆෝන් එකත් සාක්කුවේ දාගෙන ගෙදර එන්න මිනිහා නැග්ගා බස් එකට. ටික දුරක් යද්දී මිනිහට දැනුණා තමන්ගේ උඩ සාක්කුවෙන් විශාල හඬක් එනවා කියලා. මිනිහා පටස් ගාලා ෆෝන් එක අතට ගත්තා. මෙන්න බොලේ අර ෆෝන් එකේ රේඩියෝ එක ඔන් වෙලා ඉබේම. ඒකෙ සුසර වෙලා තියෙන්නේ දෙමළ ගුවන් විදුලි නාළිකාවක්. දැන් බස් එක පුරාම අර නාළිකාව ඇහෙනවාලු. අපේ මිත්‍රයා දැඩි උත්සාහයක යෙදිලා ෆෝන් එකේ එෆ් එම් එක නවත්වන්න. මොනවා කළත් ඒක කර ගන්න බැරි වෙලා.

මේ දෙමළ චැනල් එක අහගෙන ඉන්න බැරිම තැන ළඟ හිටපු කොල්ලෙක් ෆෝන් එක ඉල්ලගෙන. එයාටත් බැරි වෙලා. ඔහොම ෆෝන් එක අතින් අතට තුන් දෙනෙක් අරගෙන. ඒත් බැරි වෙලා. මේ කලබලේ දැන් තදින්ම ඇවිලිලා. අන්තිමේ බස් එකත් නැවැත්තුවාලු. බස් එකේ කොන්දොස්තර අපේ මිත්‍රයා ගාවට ඇවිත් අර ෆෝන් එකත් අරගෙන දෙමළ රේඩියෝව නවත්වන්න එයත් උත්සාහ කරලා. මේ කන්කරච්චලේ අහගෙන ඉන්න බැරිම තැන අපේ මිත්‍රයාව කොන්දා බස් එකෙනුත් බැස්සුවලු. බස් එකේ අය හිනාවෙන සද්දේ මැද යාළුවා බස් එකෙන් බහිද්දී පය පැටලිලා වැටිලා. ෆෝන් එකත් දඩස් ගලා පොලවේ වැදුනලු. ඒ වැදිච්ච පාරට ෆෝන් එකේ බැටරිය ගැලවිලා එළියට ඇවිත්. අන්න එතකොට තමයි අර ෆෝන් එකේ මෙච්චර වෙලා ඔන් වෙලා තිබුණු දෙමළ නාළිකාව ඕෆ් වුණේ. ඒක ඕෆ් වුණා විතරයිලු කොන්දා ආයෙත් ඇවිත් අපේ මිත්‍රයව බස් එකට නග්ග ගෙන නියමිත තැනින් බස්සලා.

වින්ද්‍යා දැන් සප්පායමේ

මේ පින්තූරෙ ඉන්න කෙනාව ඔබ හඳුනනවා ඇති කියලා අප විශ්වාස කරනවා. ඇත්ත නේද? මෙයාව දන්නවනෙ? උත්තරේ ඔව්. මේ ඉන්නේ වින්ද්‍යා වැන්කියුලන්බර්ග්. දැන් එයා නම පාවිච්චි කරන්නේ එහෙමයි. ටිකක් කියවන්න අමාරුයි. දෙතුන් පාරක් කියවද්දී හරි යනවා. වින්ද්‍යා රංගන ශිල්පිනියක වශයෙන් අවසන් වරට දායක වුණේ ඉස්සරහට යන්න ටෙලි නාට්‍යයේ. ඊට පස්සේ ඇයව පුංචි තිරයේ අප දුටුවේ රූපලාවණ්‍ය ශිල්පිනියක් විදිහට. නමුත් වින්ද්‍යා පහුගිය කාලේ අතිශය කාර්යබහුල වුණා. ඒ සප්පායම සඳහා.

සප්පායම කියලා කියන්නේ මොකක්ද කියලා ඔබ දැන් බලාවි. නැත්නම් ඔබ හිතාවි වින්ද්‍යා කන්න බොන්න විතරක් මහන්සි වුණා කිලා. සප්පාම කියලා කියන්නේ වින්ද්‍යාගේ අලුත් ව්‍යාපාරය. නමින්ම තේරෙනවා ඇතිනේ මේක කෑම කඩයක් කියලා. අපේකමට ගමේ ක්‍රමයට හදපු ආහාර තමයි සප්පායමෙන් සපය ගන්න පුළුවන්. කොළඹ නුවර පාරේ ඊරියගම සහ කිරිබත්කුඹුර අතර තියෙන කෙහෙල්වල ගමේ තමයි සප්පායම තියෙන්නේ. සප්පායමේ ඇති විශේෂත්වය වන්නේ තෙල් සහ වතුර අඩුවෙන් භාවිත කොට පොල් කිරෙන් පමණක් ආහර පිසීමයි. ඒ වගේම මෙහි සියලුම ආහාර උයන්නෙත් වින්ද්‍යාලු. යසයි නේද. මොන දේ වුණත් මේකෙ කෑමවල ගණන් නම් බොහොම සාමාන්‍යයිලු.