|
හඳගම අද නොවේ හෙට
හඳගම සොයායෑම ග්‍රන්ථකරණය පිළිබඳ ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර සමඟ කළ සංවාදය
අශෝක හඳගම යනු අපේ රටේ සිනමාව, වේදිකාව සහ රූපවාහිනිය යන තෙවැදෑරුම් අංශයන්හි තම නිර්මාණශීලිත්වයෙන් පෝෂණය කරන්නට කැප වූ නව රැල්ලේ නිර්මාණකරුවෙක්. ඔහු සමාජය දෙස බැලූයේ යම් සේද සමාජය ඔහු දෙස බැලූයේ තවත් අයුරකිනි. මේ හේතුවෙන්ම ඔහු බොහෝ නිර්මාණකරුවන් අතරේ වෙනස් නිර්මාණකරුවෙකු බවට පත් විණි. ‘හෙණ’, ‘මාඝාත’ වැනි වේදිකා නාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂකයාගේ බුද්ධිය ආමන්ත්‍රණය කළ ඔහු ‘දියකැට පහණ’, ‘සින්තටික් සිහින’, ‘දුන්හිඳ අද්දර’ වැනි ටෙලි නිර්මාණ ඔස්සේද සමාජයේ විවිධාකාර පැතිකඩ ගෙනහැර දැක්වූයේය. සිනමාව වෙනුවෙන් ‘චන්න කින්නරී’, ‘සඳ දඩයම’, ‘මේ මගේ සඳයි’, ‘තනි තටුවෙන් පියාඹන්න’, ‘විදූ’, ‘ඉනිඅවන්’ වැනි සිනමා නිර්මාණ රිදී තිරයේ දිග හැරියේය. හඳගමගේ නවතම සිනමා නිර්මණය ‘ඇගේ ඇස අග‘ චිත්‍රපටය ළඟදීම එළිදකින්නට නියමිතය. ඊට පෙර එහි තේමා ගීතය පෙරඹර දැක්ම පසුගියදා සිදු කෙරිණි. ඒ සමඟින් සුවිශේෂ කටයුත්තක් සිදු විය. කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර විසින් රචිත ‘හඳගම සොයායෑම’ කෘතිය එළිදැක්වීම ද එහිදී සිදු කෙරිණි. නව සිනමා ගමනකට ප්‍රවේශයක් ලෙස මුල පිරූ මේ කටයුත්ත පිළිබඳ අපි ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර සමඟින් කළ කතාබහ මෙලෙස සටහන් විය. ‘හඳගම සොයායෑම’ කෘතියේ අරමුණ සුවිශේෂයි? හඳගම සම්බන්ධයෙන් මේ මුලපිරුමට මූලික හේතුව වුණේ ඔහු පිළිබඳ ප්‍රමාණාත්මක අවධානයක් යොමු කිරීමේ විශ්වාසය යි. පසුගිය කාලය පුරාවට වාණිජ්‍ය අරමුණුවලින් තොරව සමාජ විචාරාත්මක නිර්මාණ සමඟින් ප්‍රේක්ෂකයා ආමන්ත්‍රණය කළ නිර්මාණකරුවකු ලෙසින් අශෝක හඳගම විශේෂ වෙනවා. මේ නිර්මාණ හරහා ඔහු එන්නත් කළ කලාත්මක හුරුව, දිශානතිය පිළිබඳ විමර්ශනාත්මකව සාකච්ඡා කිරීම මෙහිදි මූලික අරමුණ වුණා. ඒ අනුව විෂයානුබද්ධ සහ භාවබද්ධ ලෙසින් කොටස් දෙකක් ඔස්සේ එය ගෙන එන්නට මම තීරණය කළා. ඒ සඳහා දායක වන මෙන් ශාස්ත්‍රඥයින්, විද්වතුන්, විචාරකයන්, නිර්මාණවේදීන් සමූහයටකට මම කළ ආරාධනයට අනුව ඔවුන් විසින් ඉහත කී දෙලක්ෂණයෙන් යුතු ලිපි පෙළක් මෙලෙස කෘතියකට ගොනු කරන්න හැකියාව ලැබුණා. මීට වසර දෙකකට පමණ පෙරදී මවිසින් කැලණිය විශ්වවිද්‍යාලයේ සංවිධානය කරන්නට යෙදුණු ‘හඳගම සම්භාවනා’ චිත්‍රපට උළෙල සමඟිනුයි මේ වෙනුවෙන් මුල් පියවර තිබුවේ. ඒ වෙනුවෙන් ආරාධනා ලද ප්‍රකට විද්වතුන්, විචාරකයන්, නිර්මාණවේදීන් පිරිසකට මේ නිර්මාණ කාර්යයට ආරාධනා කළා. ඒ අනුව ‘හඳගම සොයායෑම‘ කෘතිය සම්පාදනය කෙරුණා. සිනමා විචාරක ගාමිණි වේරගම, ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි, නීතිඥ සමන් වික්‍රමආරච්චි, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මනෝජ් පුෂ්පකුමාර, ආචාර්ය ටියුඩර් වීරසිංහ, ආචාර්ය සුගත් මහින්ද සෙනරත්, අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව, ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ එම්. ඩී මහින්දපාල, සිනමා විචාරක අජිත් ගලප්පත්ති, පුවත්පත් කලාවේදී විනි හෙට්ටිගොඩ, මාධ්‍යවේදිනි සාවිත්‍රි විතානගේ, රූපවාහිනි වැඩසටහන් අධ්‍යක්ෂ කැලුම් කුමාර මොහොට්ටිගේ, කැලණිය විශ්වවිද්‍යාලයේ බටහිර සම්භාව්‍ය හා ක්‍රිස්තියානි සංස්කෘතික අධ්‍යයනාංශයේ අංශාධිපති විජිත් රොහාන් ප්‍රනාන්දු, පුවත්පත් කලාවේදි සිසිර යාපා, මහාචාර්ය ආරියරත්න ඇතුගල, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දිමා නිශ්ශංක, ආචාර්ය ධර්මසේන පතිරාජ, සිනමා විචාරක අනුර දහනායක, සමාජ විද්‍යා පර්යේෂක ධර්ම බුලත්සිංහල, ලේඛක විජිත් ආනන්ද රත්නායක, කථිකාචාර්ය ජයලාල් රෝහණ, අධ්‍යක්ෂ සුදත් රෝහණ, නීතිවේදි මැල්කම් මචාඩෝ, මහාචාර්ය සේන නානායක්කාර, ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ සහයෝග මේ වෙනුවෙන් හිමිවුණා. ඔබ සහ හඳගමගේ මුණ ගැසීම ගැන සිහිපත් කරමු? හඳගම අපේ රටේ අනාගතය දකින දක්ෂ නිර්මාණකරුවෙක්. ඔහුගේ සහ මගේ මුණ ගැසීම දශක තුනකට වඩා පැරණියි. ඒ කාලයේ මම ගණිතය විශේෂ උපාධි අවසන් වසරේ ව්ද්‍යාර්ථියෙක්. ඔහු මට වඩා ජ්‍යෙෂ්ඨයෙක්. එක්තරා කාලයක මගේ ගුරුවරයෙක්. කැලණිය විශ්වවිද්‍යාලයේ ඔහු ‘හෙණ’ නාට්‍ය නිර්මාණය කරන විට මම ඒ වෙනුවෙන් පෝස්ටර් අඳින්න උදව් වූ අතීතයකුත් තියෙනවා. හඳගම නම් නිර්මාණකරුවා පිළිබඳ ඔබේ අදහස? ඇත්තටම මට ඔහු ලොකු වීරයෙක්. ප්‍රේක්ෂකයෙක් විදියට මම ඔහුගේ නිර්මාණ දකින්නේ අවංක නිර්මාණ ලෙසින්. අශෝක හඳගම නම් නිර්මාණකරුවා සෑම විටම කාලයට වඩා ඉදිරියෙන් සිටින නිර්මාණකරුවෙක්. ඔහු 1990දී චන්න කින්නරී නිර්මාණය කළා. එහිදී කම්කරුවෙක් උපවාසයකට වතුර ටැංකියකට නැග්ගා. ඒ කාලයේ ටැංකි උඩ නැගලා කරපු උපවාස තිබුණේ නැහැ. ඊට පසුව තටුවෙන් පියාඹන්න චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. ඒ කාලයේ සමහරු ඒ නිර්මාණ නරඹා පැවසුවේ මේ වගේ දේවල් කවදාත්ම කොහොමවත්ම සිදු විය නොහැකි බවයි. ඒ වුණත් මොකද වුණේ. පසුගිය මැයි 31 වැනිදා ජාතික පුවත් පතක මම දුටුවේ එක්තරා කාන්තාවක් වසර අටක විවාහ ජීවිතයකින් පසු තම සැමියා පිරිමි වෙස් ගත් කාන්තාවක බව හෙළිවීමෙන් උසාවි ගිය පුවතක්. දැන් මොකක්ද ඒ ගැන කියන්න තියෙන්නේ. හඳගම එදා දුටුවේ, ඒ වගේම ඔහුගේ නිර්මාණ තුළින් පෙන්වූයේ වර්තමානයේ සිදු වන දේ නෙවෙයිද? ඔහු එදා යම් කාරණයක් විග්‍රහ කළා. ඒ සිදුවීම අද සැබැවින්ම සිදු වුණා. ඒ නිසා මම දකින්නේ හඳගම සමාජයේ ඉදිරිය දකින්නෙක් ලෙසින්. ඉතින් මේ විදියට හඳගම තේරුම් ගන්න නොහැකි අයට ඔහු තේරුම් ගැනීමට අවස්ථාවක් සළසාදිමට අපට හැකි වෙනවා. ඒ වෙනුවෙන් හඳගම සහ ප්‍රේක්ෂකයා යා කරන පාලමක් නිර්මාණය කළ හැකියි. ‘හඳගම සොයා යාම‘ නම් වූ මෙම කෘතිය හරහා මේ කාරණය ඉටුවීමට කිනම් හෝ උපකාරයක් වනු ඇති බව මගේ හැඟීමයි. හඳගම වෙනුවෙන් යම් වේදිකාවක් හැදුනා. මේ කෘතිය එළිඳුටුවේ ඔහුගේ ඊළඟ නිර්මාණ කටයුත්ත සමාජගත වීම සමඟින්. බොහෝ දෙනාගේ අදහස නම් හඳගම සහ ඔහුගේ නිර්මාණ තේරුම් ගැනීමට නොහැකි බවයි? බොහෝ දෙනෙකුට හඳගම තේරුම් ගන්න බැහැ. ලෝකයේ කලාව සම්බන්ධයෙන් කොටස් දෙකක් තිබෙනවා. ඉන් එකක් නම් යමක් කියවලා විග්‍රහ කිරීමෙන් පසු නිර්මාණ ඉදිරිපත් කිරීමයි. එවැනි නිර්මාණ තුළින් ලබා දෙන්නේ වින්දනයක්. ඒ වගේම එම නිර්මාණ බහුතර ප්‍රේක්ෂකයන් පිරිසකට ගෝචර වෙනවා. අනෙක නම් නිර්මාණය හරහා ප්‍රේක්ෂකයාට හිතන්න යමක් ලබාදීමයි. එහිදී නිර්මාණකරුවා විසින් ප්‍රේක්ෂකයාගේ බුද්ධිය ආමන්ත්‍රණය කරනවා. මෙවැනි ප්‍රඥාව අවදි කරවන නිර්මාණ බහුතර ප්‍රේක්ෂකයන් පිරිසකට ගෝචර වෙන්නේ නැහැ. හඳගම අයත් වෙන්නේ මේ දෙවැනි කණ්ඩායමට. බොහෝ දෙනෙකුට හඳගම වගේම ඔහුගේ නිර්මාණ තේරුම් ගැනීමට නොහැකි වන්නට එය හේතුවක් විය හැකියි. ඔහුගේ නිර්මාණ ශෛලිය ඔබ දකින්නේ කෙලෙසද? අශෝක හඳගම යථාර්ථය ගැන කතා කරන අධ්‍යක්ෂවරයෙක්. ඔහු සැම විටම සමාජය දකින්නේ අපට කලින්. ඒක තමයි ඔහුගේ විශේෂත්වය. ඔහු මීට වසර ගණනාවකට කලින් කතා කළ දේ පවා සියයට සියයක් අදටත් වළංගුයි. එදා ඔහු ‘මාඝාත’ වැනි නාට්‍ය තුළින් සාකච්ඡා කළ දේ එදාට වඩා ගැළපෙන්නේ වර්තමානයටයි. එහෙත් අද ඒ වගේ අර්ථාන්විත නිර්මාණ බිහි වෙන්නේ කලාතුරකින්. ඒ වගේම බොහොමයක් නිර්මණ කෙරෙන්නේ කුළියට. එවිට ලාබය පමණයි අපේක්ෂාව වෙන්නේ. ඒ වුණත් හඳහම නිර්මාණ කරන්නේ ලාබ අපේක්ෂාවෙන් නෙවෙයි. ඔහු සම්මාන පසුපස හඹා යන ඒ වෙනුවෙන්ම සිනමා නිර්මාණ කරන නිර්මාණකරුවෙකු නෙවෙයි. ඔබ දකින පරිදි දේශීය සිනමාවේ හඳගමගේ භූමිකාව? අපේ රටේ සිනමා සංස්කෘතියක් නිර්මාණය කළයුතුව තිබෙනවා. අපේ රටේ නළු නිළියන් සිනමා ශාලා නිර්මාණකරුවන් හිටියට සිනමා සංගම් නැහැ. ඒ වගේම මේ විෂය සම්බන්ධයෙන් ගනුදෙනු කරන්න පිරිසක් නැහැ. දේශීය සිනමාවට ඉදිරියට යන්න සිනමා සංගම් ක්‍රියාමක වෙන්න ඕනි. අපට වටිනා සංස්කෘතියක් තියෙනවා. ඒත් අපට ඒ සංස්කෘතිය ජාත්‍යන්තරයට ගෙන යන්න හැකි වුණේ නැහැ. උදාහණයක් ලෙසින් ඉන්දියාව ගතහොත් ඉන්දය සිනමාව ඔවුන්ගේ සංස්කෘතිය ගෙන යන ප්‍රධානතම සාධකය බවට පත් වෙලා. හින්දි භාෂාව, ඉන්දියානු ඇඳුම් මෝස්තර, ඉන්දීය කෑම වර්ග අද ලෝකයේ හැම තැනම ඉහළ ප්‍රසිද්ධියක් ලබාගෙන තියෙනවා. එයට මූලික හේතුව හින්දි සිනමාවයි. අපේ රටේ එවැනි තත්ත්වයක් ඇතිවෙලා නැහැ. කෙසේ නමුත් හඳගම වැනි නිර්මාණකරුවන් සිනමාව වෙනුවෙන් යමක් කිරීමේ ප්‍රබල උත්සාහයක නිරතව සිටිනවා. ඔහු ප්‍රේක්ෂකයාගේ බුද්ධිය ආමන්ත්‍රණය කරන හරවත් දේශීය නිර්මාණ ලෝකය වෙත ගෙන යමින් සිටිනවා. එපමණක් නොව එම නිර්මාණ ජාත්‍යන්තරයේ අවධානය පවා ලබා ගෙන තිබීම පිළිබඳ අපගේ අවධානය යොමු විය යුතුයි. ඔබගේ මෙම ව්‍යායාමය හරහා ඔහු අවබීධ කරගැනීමට ඉඩ ප්‍රස්ථාව ලැබෙනවාද? මේ ව්‍යායාමයේ මූලික අරමුණ හඳගම නම් වූ නිර්මාණකරුවා කියවීමට ප්‍රේක්ෂකයාට අවස්ථාව ලබාදීමයි. ඔහු අපේ රටේ සිනමාව මෙන්ම නාට්‍ය, කෙටිකතා, ටෙලි නිර්මාණය සහ ලේඛනයේ විවිධ දෘෂ්ටිවාද ඔස්සේ කතා කළ දේ පිළිබඳ අපේ රටේ විද්වතුන්, විචාරකයන්, නිර්මාණවේදීන් ඔහුගේ විෂය බද්ධව මෙන්ම ආත්ම බද්ධව විශ්ලේෂණය කරනු ලැබ තිබෙනවා. මේ කෘතිය ඔස්සේ හඳගම නම් වූ මේ අපූරු නිර්මාණකරුවා, ඔහුගේ නිර්මාණ වපසරිය, එම නිර්මාණ සහ ඒ ඇසුරෙන් හඳුනා ඔහු හඳුනා ගැනීමට රුකුලක් වනු ඇති බවට මා විශ්වාස කරනවා.
|