|
ගීතයක් ලියනවා කියන්නේ විභාගෙට ලියනවා නොවේ
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ ලියූ - අචල සොලමන්ස්
'ඉගිලෙන්න ඔබ එක්ක ආකාසෙ ආදරණීය අරුත්බර පදවැලක සුගායනය සදාකාලිකවම ශ්‍රාවක සිත් හි රැව් පිළිරැව් දෙන ගීයක් බවට පත්වෙනවා. 'සඳ මිතුරියත්' එවන් වූ වාසනාවන්ත ගීතයක් කිව්වොත් මා නිවැරැදියි. අචල සොලමන්ස් නම් වූ ඔහු එහි නිර්මාණකරුවායි. හතු පිපෙන්නාක් මෙන් බිහි වී වියැකෙන ගේය පද රචකයින් යැයි කියා ගන්නා අය අතුරින් හුදු ආත්මීය ප්රකාශනය අසන්නාට දැනෙන්නට ලියන ඔහු තාරුණ්‍යයේ අපට සිටින දක්ෂතම ගේය පද රචකයෙක්. මේ ඔහුත් සමඟ අප කළ සංලාපයයි. අචල කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? හැමදේම සමබරව කරගෙන යනවා. වෘත්තියෙන් මම ජාතික රූපවාහිනියේ චැනල් අයි නාළිකාවේ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයෙක්. රාජකාරි කටයුතු කරන ගමන් තමයි සංගීතය වෙනුවෙන් කාලය කැප කරන්නේ. මේ දවස්වල නම් ඉරාජ් ඉන්ෆාස් සහ මාධවී වත්සලා අපේ තරුණ ගායන ශිල්පීන්ට ගී පද රචනා කිහිපයක් කරගෙන යනවා. ඔබ ගීත රචනයට අත්පොත් තබන්නේ පාසල් යන අවදියේදීමයි. පුංචි කාලේ ඉඳන්ම මේ හැකියාව ඇඟේ තිබ්බද? මෙහෙමයි, අපේ ගෙදර කලාව රසවින්දනය කරන්න වගේම ඒ ගැන සංවාද කරන්න පවා හොඳ පසුබිමක් තිබුණා. කලාවට යන්න එපා කියන තහංචිය මට කවදාවත් තිබුණේ නැහැ. උපතින්ම ගායන හැකියාව තිබුණ නිසා ඔබ ඇහුවා වගේ මගේ ඇඟේ සංගීතය කාවැදිලා තිබුණෙ. පාසලේ අට ශ්‍රේණියේදී තමයි මම පළමු ගීතය ලිව්වේ. කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ කරන කාලේ සංගීතය විධිමත් විදිහට හැදෑරුවා. මේ කාලේ භද්‍රජී මහින්ද ජයතිලක මහතාගේ 'සයුරක පෙණ කැටි' ගීත ඇල්බමයේ ගීත 16 කට සම්පූර්ණ සංගීතය අධ්‍යක්ෂණය කළා. ඒ වගේම වෙළෙඳ දැන්වීම්වලටත් සංගීත නිර්මාණයෙන් දායක වුණා. සඳ මිතුරි ගීතය ඔබේ සංගීත දිවියේ නොමැකෙන සටහනක් තැබූ ගීතයක්? ඔව්. 2009 අවුරුද්දේ තමයි මම ඒ ගීිතයේ පද රචනා කළේ. කසුන් කල්හාරගේ හඬ මුසුවත් එක්ක මේ ගීතය ජනප්‍රියත්වයේ ඉහළම තලයට ආවා. මේ ගීතය තනුවකට රචනා කළ ගීතයක්. තනුවකට පද රචනා කිරීම ටිකක් අපහසු කාර්යයක්. නමුත් ඒ වෙනුවෙන් මම උපරිම සාධාරණයක් ඉෂ්ට කළා. කසුන් කල්හාර වෙනුවෙන් 'මත්මල් සේනා' ගීතය සහ ඔහුගේ රොමාන්තික ඔපෙරා ගීත ඇල්බමයේ 'කඳුළු' ගීතයටත් පද රචනයෙන් දායක වුණා. ඉරාජ් සහ ඉන්ෆාස් ගායනා කළ 'මනමාලි' ගීතයත් ශ්රාවකයින් අතරට ගිය වෙනස්ම ආරයේ ගීයක්. එහි ප්රස්තුතය කීවෙත් ඔවුන් දෙදෙනාමයි. මිට අමතරව නිරෝෂා විරාජිනී ගයන 'මාරුතේ', සංගීත් විජේසූරිය ගයන 'මල් කඩාලා', ආදරයේ නාමයෙන් චිත්‍රපටයේ වරුණ මධුශංක ගයන 'මා නෙත්' ගීතයටත් පද රචනයෙන් දායක වුණා. මීට අමතරව ටෙලි නාට්‍ය හා කෙටි චිත්‍රපට කිහිපයකටම පසුබිම් සංගීත නිර්මාණය කළා. සන්තුස ලියනගේ අධ්‍යක්ෂණය කළ භාව තීර්ථ ටෙලි චිත්‍රපට මාලාවේ 'පුතා එනකං සහ මතක භෂ්ම' ටෙලි චිත්‍රපට දෙකෙහි පසුබිම් සංගීතය නිර්මාණය, ජාතික රූපවාහිනියේ රූපවාහිනි වැඩසටහන් තේමා සංගීත නිර්මාණය ඇතුළු නිර්මාණ කිහිපයකටම පසුබිම් සංගීත නිර්මාණයෙන් දායක වුණා. නිර්මාණාත්මක ගේය පද රචකයෙක් තුළ තමා විසින්ම ගොඩ නඟා ගත් සංයමයක්, රසඥතාවයක් තිබිය යුතුයි නේද? සංගීතය කියන්නේ දිව්‍යමය බවින් පිරිපුන් දෙයක්. මූලික වශයෙන් ප්රකාශනයක් ලෙස දකින දෙයක් හෝ හැඟීමක් වචනවලින් ඉතාම සරලව ශ්රාවකයාට ප්රක්ෂේපනය කළ හැකි රස භාෂාව ගීතයක් ලෙස මම දකිනවා. අනිවාර්යෙන්ම ගේය පද රචකයෙක්ගේ අභ්‍යන්තරයේ සිටිය යුත්තේ රස හඳුනන පුද්ගලයෙක්. එසේ නොමැතිව වචන හතරක් පහක් ගළපලා තේරුමක් නැති ගීත ලියන රචකයින් යැයි කියා ගන්නා පිරිසකුත් අප අතර ඉන්නවා. මේ කොහොම වුණත් තමන් කරන නිර්මාණයට අවංක වීම තමයි වැදගත්ම කාරණය. මගේ දැක්මට අනුව නම් ගී පද රචකයෙක් කියන්නේ හරිබරි ගැහිලා විභාගයකට ඉඳගෙන ලියනවා වගේ ගීයක් ලියන කෙනෙක් නෙමෙයි. සමහර වෙලාවට බස් එකේ යද්දී පවා කවි සංකල්පනා මගේ හිතට එනවා. ඒ වෙලාවට මගේ හිතට එන්නේ කවි පද එක ද දෙක ද ඒක මම සටහන් කර ගන්නවා. සමහර විට ඒ ගීතය අවසන් කරන්න දිගු කාලයක් හෝ කෙටි කාලයක් ගත වෙන්න පුලුවන්. නිර්මාණයක සාර්ථක අසාර්ථක බව රැඳෙන්නේ එහි පැවැත්ම මතයි. අනිත් කාරණය තමයි ගීතයේ ජීව ගුණය ජනප්‍රියත්වය රැඳීමට ගායකයා හෝ ගායිකාවගේ මැදිහත් වීම ප්‍රබල ලෙස බලපානවා. ඒ වගේම පද රචකයෙක් නැතිනම් එවැනි ගායනාවක් හෝ ගායකයෙක් බිහි වන්නෙත් නැහැ. මේ නිසා සංගීතය තුළ පද රචකයා කියන්නේ අතිශය ප්‍රබල භූමිකාවක්. දු. ක. - 0727837116
|