|
දේවි හරහා ඔබ දකින සේරා - වසන්තමේ දවස්වල හිරු රූපවාහිනියෙන් විකාශය වන 'දේවි' ටෙලි නාට්‍යයේ සේරුවාගේ චරිතයෙන් ඔබ හමුවට පැමිණෙන වසන්ත අඹගහලන්ද රංගනයට බොහෝ සේ ආදරය කරන්නෙක්. ඔහු කෙතරම් රංගනයට ආදරය කළා ද කිව්වොත් ඒ ගැන හදාරා රඟපෑමට පැමිණෙන්නයි අදහස් කළේ. ඒ සඳහා ඔහු මුලින්ම කළේ සුගත් සමරකෝන්ගේ සහභාගිත්වයෙන් කෙරෙන නාට්‍ය හා රංග කලා පාඨමාලාවට සහභාගිවීමයි. 'ඒ පාඨමාලාවේදී මම රංගනයට අමතරව පිටපත් රචනය පිළිබඳත් හැදෑරුවා. එහිදී මා ලියූ නිර්මාණය හොඳම පිටපත ලෙස තේරුණා. මම හොඳම නළුවා ලෙසත් ඇගයීමට ලක් වුණා. ඒ ලැබූ ඇගයීමත් සමඟ 'දේශපාළුවා' කියන වේදිකා නාට්‍යයේ රඟපාන්නට අවස්ථාව ලැබෙනවා. ඒත් සමඟමයි 'විජය කුවේණි' චිත්‍රපටයේ විජයගේ ප්‍රධාන සෙබලකුගේ චරිතයක් රඟපාන්නට මට අවස්ථාව හිමි වන්නේ. එතැනින් ඇරැඹුණු මගේ රංගන ගමනේදී රංගන ශිල්පී රිචඩ් අබේවර්ධන මහත්තයා නිසා හමුවන සරත් ධර්මසිරි කියන අධ්යක්ෂවරයා හමුවීමත් සමඟ ඔහුගේ 'මුරුගසං වරුසාව', 'ඇත්කඳ ලිහිනි', 'සුජාත පුත්‍ර, 'මිරිඟුදිය', 'සඳසාවි' ආදී නිර්මාණවලට රංගනයෙන් දායකවීමට ලැබීම මා සලකන්නේ මගේ ජීවිතයේදී ලැබූ භාග්‍යයක් විදියටයි. ඊළඟට ඉදිරියේදී විකාශය වීමට නියමිත 'සත්පත්තිනි' ටෙලි නාට්‍යයෙත් මා රඟපෑවා. 'පිත්තල කොණ්ඩෑරුම', 'ඇහැළ මහ නිකින්නිය', 'හඳුනා ගත්තොත් ඔබ මා' කියන ටෙලි නාට්‍ය කිහිපයත් මේ දවස්වල විකාශය වෙනවා. රංගනයට වගේම ගායනයටත් මගේ යම් හැකියාවක් තියෙනවා. ධම්මික බණ්ඩාර ලියූ ගී පද රචනා දෙකකට මගේ හඬ මුසු කළා. එහි සංගීතය ඩෙනිස්ටර් පෙරේරා කියන සංගීතඥයාගේ. මේ වන විට ගීත තුනක පටිගත කිරීම් අවසන්. තවත් ගීත කිහිපයක් සමඟ මගේම කියලා සී. ඩී. එකක් කිරීමට බලාපොරොත්තුවක් මා සතුයි. ක්ලීටස් මෙන්ඩිස් මහත්තයා සංවිධානය කළ පාස්කු නාට්‍යයට ලංකාවේ වැඩිම නළු නිළියන් පිරිසක් රංගන දායකත්වය ලබා දුන්නා. එහි රඟපෑමට මටත් හැකි වුණා. එහි ටෙලි චිත්‍රපටය කළේ සිරස අනුග්‍රහයෙන් . ඒ ටෙලි චිත්‍රපටයේ ප්‍රධාන සෙබලාගේ චරිතය කළේ මම. එයත් රූපවාහිනියේ විකාශය වුණා. රංගන කටයුතුවල ඉන්න අතරතුරම මා දැනට රැකියාව කරන්නේ පුත්තලම හොල්සිම් ආයතනයේ. ඔවුන් සියලු දෙනාගෙන්ම ලැබෙන සහයෝගය මතයි මම රංගන කටයුතුවල නිරත වන්නේ. ඒ ලබාදෙන සහයෝගයට මා ඔවුන්ට බෙහෙවින් ස්තුතිවන්ත විය යුතුයි. ඒ වගේම මාව නිර්මාණවලට දායක කරගත් සියල්ලන්ටමත්, මේ නිර්මාණවල නියැළීමට කාලය සාදා දුන් මගේ බිරියට හා දරුවන්ටත් මා ස්තුති කරනවා.' හලාවත බිංගිරියේ පදිංචි වසන්ත අඹගහලන්ද කාලයක් ගුවන් හමුදාවේ තාක්ෂණික ශිල්පියෙක් ලෙසත් වසර දොළහක් සේවය කළා. ඉන් ඉවත් වී ඔහු මේ රංගන කටයුතුවලට සහභාගි වන්නේ කුඩා කාලයේ පටන්ම තමන්ගේ සිතේ තිබුණු අදහසක් සඵල කරමින්.
|