|
සිතුවම අවසාන වුවද කතාව නිම නොවීය
මා අද යම් ජනප්‍රියත්වයක්, ජයග්‍රහණයක් ලබා තිබේ නම් එහි සියලු ගෞරවයන් හිමි විය යුත්තේ සරසවියටයි. මා චිත්‍ර කතා ශිල්පියෙක් ලෙසම නොව තිර රචකයෙක්, කලා අධ්‍යක්ෂවරයෙක් දක්වා ඔසවා තබනු ලැබුවේ ද සරසවියයි. මා ලැබූ ජයග්‍රහණ, කිර්ති, ප්‍රශංසා සියල්ලෙහිම ගෞරවය සරසවියටත් ලැබෙත්වා. ඉදිරියටත් දස්කම් සපිරි කාහටත් සරසවිය මිණි පහනක් වේවා. එලෙස සඳහන් කරන ලද්දේ පසුගිය ඉරිදා සදහටම වෙන්ව ගිය අග්‍රගණ්‍ය චිත්‍රකතා ශිල්පී දයා රාජපක්ෂයන්ය. සරසවිය පුවත්පතට පනස් වසර පිරීම නිමිත්තෙන් අප නියෝජ්‍ය කර්තෘ චන්දන දයාසිරිවර්ධන විසින් 2012 13 වසර පුරාවට එයට දායක වූ පැරැණ්නන්ගේ යටගියාව විමසා සිටිය දී දයා රාජපක්ෂයන් සිය මතක සටහන් නිමා කරන ලද්දේ එපරිද්දෙනි. දයා රාජපක්ෂයන්ට අග්‍රගණ්‍ය චිත්‍ර ශිල්පියායි මේ ලිපියේ මවිසින් සඳහන් කරන ලද්දේ ආවාට ගියාට නොවේ. චිත්‍රකතා යනු හුදු විනෝදාස්වාදයට නැතිනම් සෙලුව පෙන්නා ඔළුව අවුල් කරන කලාවක් කළ යුගයක එය විශිෂ්ට සමාජ මෙහෙවරකට යොමු කරන ලද්දේ දයා රාජපක්ෂ විසිනි. ඕනෑම කලා මාධ්‍යයක ඉල්ලුමට සැපයුම නොව පවතින ඉඩකඩ මධ්‍යයෙහි විශිෂ්ට සමාජ මෙහෙවරක් කළ හැකි යැයි මනාව ඔප්පු කර සිටි දයා රාජපක්ෂයන්ගේ ඇතැම් නිර්මාණ හරහා සමකාලීන සමාජ ග්‍රහණය කර ගත් අන්දම අපේ ඇතැම් සිනමාකරුවන්, සාහිත්‍යකරුවන් ඇතුළු නිර්මාණකරුවන් ද අබිබවා ගියේය. එයට කදිම උදාහරණය නම් ගිනිබත් කිරීටය නම් චිත්‍ර කතාවයි. එයට පාදක වනුයේ පනහ දශකයේ සිට අසූ තුන දක්වා කාලය ඇතුළත වතුකරයේ දේශපාලනය හා ජාතිවාදය ඉස්මතු වූ ආකාරයයි. ඔහු එහි චරිත ගොඩ නැංවීම්, සිදු වීම් ආදිය මඟින් ලාංකික චිත්‍ර කතා කලාව ගව් සිය ගණනකින් ඉහළ නැංවීමක් විය. රළු ගල් තලාවක සුදු කැටයමක් කිසිවකු විසින් කරන ලද්දේ යම් සේද, සෝප් ඔපෙරාවේ විශිෂ්ට මාලා නාටක බිහි කළේ යම් සේද, හුදු විනෝදාස්වාදය සඳහා පමණක් පැවති චිත්‍ර කතා කලාවේ දයා රාජපක්ෂ ජීවිත විවරණය කළේය. 1941 දෙසැම්බර් 12 වැනි දින කළුතරදී උපන් බෙන්තර මහ කුමාරගේ දොන් දයා රාජපක්ෂ හැදී වැඩුණේ ලක්ෂපානට නුදුරු විදුලි පුරයේය. පියා විදුලි දෙපාර්තමේන්තුවේ රාජකාරි කළේය. කිරිවන්එළිය රජයේ විදුහලේ සහ නාවලපිටිය අනුරුද්ධ විදුහලේ ද, ගිනිගත්හේන මධ්‍ය මහා විදුහලෙන් ද ඉගෙනුම ලැබූ දයා උපන් ගෙයි වාමාංශිකයෙකු විය. ඔහු විසින් අඳින ලද බොහෝ චිත්‍රකතා හරහා තම දේශපාලන දෘෂ්ටිය පිළිබිඹු කරවීමට හෙතෙම සමත් විය. එහෙත් ඒ කිසිවක් ප්‍රචාරකවාදී නොවීය. එබැවින් දයා රාජපක්ෂයන්ගේ කතා රස විඳින්නට කවර පාක්ෂිකයකුට වුව ද හැකි විය. පාසලේදී සුසිල් ප්‍රේමරත්නගේ රසිකයෙකු වූ දයා චිත්‍රකතා අඳින්නට පොළඹවාලන මුල්ම කාරණාව සුසිල් ප්‍රේමරත්නයන්ගේ චිත්‍රකතා ලෝලියකු වීමයි. පාසල් චිත්‍ර ගුරුවරයා දයාගේ හැකියාවන් හඳුනා ගත්තද ඔහුට නිවෙසින් ඉඩකඩ නොවීය. සිය මුල්ම චිත්‍ර කතාව ඉන්දු නමින් නම් කරනු ලදුව ඔහු එය රැගෙන ආවේ එවකට ඇත්ත පත්තරයේ පළ කරන්නටය. එහෙත් ඔහුගේ වෑයම සඵල නොවීය. කොටස් පහකින් යුත් මේ චිත්‍ර කතාවම මුද්දර ගසා ඔහු ලේක්හවුස් ආයතනයට තැපැල් කළේය. එවකට සිළුමිණ කර්තෘ එස්. සුබසිංහ මහතාගෙන් හැරෙන තැපෑලෙන් ලිපියක් ලැබිණ. ඒ ඔහු හමු වන ලෙසය. 1966 දෙසැම්බර් 16 වැනිදා ඉන්දු සිළුමිණ පත්‍රයේ පළ විය. 1967 දී ලේක්හවුස් ආයතනයට පිවිස 1979 දී එයින් නික්ම විජය ප්‍රකාශන වෙත ගිය ද දයා රාජපක්ෂ කිසි කලෙක ආයතනගතව ස්ථිර සේවයට එක් වූයේ නැත. නිදහසේ කටයුතු කිරීම ඔහුගේ එකම අභිලාෂය විය. දවසින් දවස ඔහුගේ චිත්‍රකතා ජනප්‍රියවත්ම ඔහුට තිබූ ඉල්ලුම ද වැඩි විය. 1966 දී සිළුමිණට චිත්‍රකතා ඇඳීමෙන් 1967 දී ලේක්හවුසියට ගොඩ වදින දයා රාජපක්ෂ සරසවියට චිත්‍ර කතා අඳින ලද්දේ 1968 දීය. සරසවියට අඳින ලද ඔහුගේ මුල්ම චිත්‍ර කතාව ලැව් ගිනි දැල් නම් විය. පසු කලෙක සිනමාවට නංවන ලද හුලවාලි, බාඳුරා මල්, තවලම, නිළියකට පෙම් කළෙමි යන චිත්‍රකතා ඔහු විසින් අඳින ලද්දේ සරසවියටය. ඔහුගේ සෑම චිත්‍ර කතාවකම කතා රචකයා වූයේ ද දයා රාජපක්ෂය. සතුට පත්‍රයේ පළ වූ රක්තා වැනි චිත්‍ර කතාවක් රචනා කිරීමේදී බල්ගේරියානු චිත්‍රපටයක් වන ගෝට් ගෝන් වැන්නකගෙන් ආභාසය ලද්දේ නමුත් දයා රාජපක්ෂයන් සතුව තිබුණේ තමන්ටම ආවේණික චිත්‍ර රටාවකි. එකල පුවත්පත්වල අග පිටුව සැරසුණේ දයා රාජපක්ෂගේ චිත්‍ර කතාවකිනි. කොටින්ම දයා රාජපක්ෂයන් නිසාම පුවත්පත් කියවන පාඨකයන් පිරිසක් සිටි වග නොරහසකි. ඔහු විසින් අඳින ලද මිනිසුන්ගේ හැඩරුව සෙසු බොහෝ චිත්‍ර ශිල්පීන්ගෙන් මෙන් සුරූපී දේහයන් නොවීය. අතිශය ජනප්‍රිය වූ රක්තා වැනි කතාවක ද, හුලවාලි වැනි කතාවක ද අනුපමා වැනි කතාවක ද එසේත් නැතිනම් ඉතා මෑතක අඳින ලද චිත්‍ර කතාවක දී හෝ වේවා නම පළ නොවී වුව ද එය දයා රාජපක්ෂ ගේ යැයි වටහා ගත හැකි අනන්‍යතාවක් විය. ඔහු විසින් සිය පාත්‍ර වර්ගයාගේ මුවට දෙන ලද දෙබස් ආයාසයෙන් ගොඩ නැඟු ඒවා නොවීය. ඒ නිසාම එම දෙබස් අතිශය ජනප්‍රිය විය. ටෙලි නාට්‍ය නොමැති එකල දයා රාජපක්ෂගේ දෙබස් බොහෝ මිනිසුන්ට ආශ්වාදයක් විය. තමා පසුබිම් කර ගන්නා කවර කතාවකට වුව, එයට ගැළපෙන අපූරු බස් වහරක් ඔහු සතු විය. ඔහු විසින් ඒ ඒ අවස්ථාවල යොදා ගන්නා බස් වහර වර්තමානයේ තැනෙන ඇතැම් මාලා නාට්‍යකරුවන් දණ ගසා, හිස බිම ඔබා ඉගෙන ගත යුතු තරම් වැදගත්ය. එදා දයා රාජපක්ෂ විසින් අඳින ලද මිනිස් චිත්‍ර හැඩරුව කාලානුරූපව වෙනස් වූ අයුරු එදා මෙදා ඔහුගේ චිත්‍රකතා විමසිල්ලෙන් බැලූ කල පෙනී යයි. ඔහුගේ චරිත හැසිරෙන අන්දම එයටත් වඩා කාලානුරූපව වෙනස් විය. මෙරට මුල්වරට සිනමාවට නැං වූ චිත්‍ර කතාව වූයේ දයා රාජපක්ෂයන් විසින් ලියා අඳින ලද වානරයෝ කතාවයි. චිත්‍රපටයක් සේ ගත් කළ එය චිත්‍ර කතාවට අහලකින්වත් තැබිය නොහැකි කසිකබල් චිත්‍රපටයක් විය. ඉන් අනතුරුව සිනමාවට නැඟුණේ දයා රාජපක්ෂයන් විසින් අඳින ලද හුලවාලි චිත්‍ර කතාවයි. ඩබ්. ඒ. බී. ද සිල්වා අධ්‍යක්ෂණය කරන ලද හුලවාලි චිත්‍රපටයේ තිර රචනය ලියන ලද්දේ ධර්මසිරි ගමගේ විසිනි. මේ චිත්‍රපටය සමඟ දයා රාජපක්ෂ සහ ගාමිණී ෆොන්සේකා අතර දැඩි මිත්‍රත්වයක් හට ගැනුණි. පසු කලෙක ගාමිණී විසින් අධ්‍යක්ෂණය කරන්නට යෙදුණු බාඳුරා මල්, සක්විති සුවය යන චිත්‍රපට යුගලටම පාදක වූයේත් දයා රාජපක්ෂයන් විසින් අඳින ලද චිත්‍ර කතාවන්ය. මෙම චිත්‍රපට දෙකෙහිම තිර නාටකය රචනා කරන ලද්දේ ද දයා රාජපක්ෂයන් විසින්ය. දයා රාජපක්ෂයන් විසින් අඳින ලද චිත්‍ර කතා හතරක්ම සිනමාවට නැඟෙද්දී එහි ප්‍රධාන චරිතය රඟපෑවේ ගාමිණීය. දයා රාජපක්ෂයන් විසින් අඳින ලද වෙද හාමුදුරුවෝ චිත්‍රපටය ද ගාමිණී විසින් අධ්‍යක්ෂණය කිරීමට සැරසුණ ද එය අතරමඟ නතර විණි. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේදී මෙරට මුල් වරට ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන ලද සිනමා නිළිය වූයේ නිළි රැජන මාලිනී ෆොන්සේකාය. ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලද නිරූපමාලා ටෙලි වෘතාන්තයේ මෙන්ම ඇයගේ මුල්ම චිත්‍රපට අධ්‍යක්ෂණය වූ සසර චේතනා චිත්‍රපටයේද තිර රචනා දයා රාජපක්ෂගෙනි. සුර දූතියෝ, හස්ති වියරුව තිර නාටක ද දයා රාජපක්ෂගේය. පස්, දුලාරි, සකිසඳ එලියස්, හතේ වසම, මතක මං පෙත, කම්මිත්ත ආදිය අප දුටුවේ ටෙලිවිෂනය හරහාය. ඔහු විසින් නිර්මාණය කරන ලද ආදර කොමා එකල අතිශය ජනප්‍රිය වූයේය. එය රොබෝවරයකු පිළිබඳ කතාවකි. ඉතා මෑතක දකුණු ඉන්දියානු චිත්‍රපටයක් වූ අයින්ද්‍රන් චිත්‍රපටයට පාදකව තිබුණේ ද මේ හා සමාන කතාවකි. ඒ සමයේම දයා රාජපක්ෂයන් නිර්මාණය කරන ලද තවත් චිත්‍ර කතාවක් වූයේ ආචාර්ය සයිකෝය. මේ සියලු චිත්‍රකතා තේමාව හා විෂය අතින් සෙසු චිත්‍ර කතාවලට වඩා වෙනස්ව තිබිණි. එක්තරා යුගයක යෞවන යෞවනියන්ගේ බහුතරයක් හැඟීම් නිර්මාණය කරන ලද්දේ අද මෙන් ටෙලිවිෂනය නොවේ. චිත්‍රකතාවල ජීවත් වූ පෙම්වතුන් හා පෙම්වතියන්ය. එම වීරයන්ට අනුව කොණ්ඩය පීරන්නට, ඇඳුම් අඳින්නට පමණක් නොව ආදරය කරන්නටත් ඔවුහු සැලසුම් කළහ. මේ කාටුන් වීරවරයන්ගේ සිනහව, දුක තමන්ගේ යැයි සිතා සතියක් පුරා හිතින් ලෙඩ හදාගන්නට මෙයට දශක දෙකකට පෙර භද්‍ර යෞවනයේ සිටි ඔවුන් පෙලඹුණු අයුරු තවමත් අමතකව නැතැයි සිතමි. චිත්‍රකතා කලාවේ ස්වර්ණමය යුගය ගෙවි ගියේ අසූව දශකය එළඹීමත් සමඟය. චිත්‍ර කතාවේ ඒකාකාරිත්වයන් එහි තැන ටෙලි නාට්‍යකරුවන් පැහැර ගැනීමත් සමඟ මෙරට චිත්‍ර කතා ලෝකය නන්නත්තාර විය. කලක් සල්ලි අච්චු ගසන්නාක් වැනි වූ චිත්‍රකතා පුවත්පත් මුද්‍රණය ද නැවතිණ. දයා රාජපක්ෂයන් සිය චිත්‍රකතා වඩා ගැඹුරු සමාජ විවරණයට යොමු කරන ලද්දේ මේ සමයේය. ඔහුගේ මුල් චිත්‍රකතා ඇතුළත පවා දිස් වූ දන්නා මිනිසුන් ගැන කතාන්දර තවත් සමාජ විවරණයක් කරා යොමු කරන ලද්දේ එයින් පසුවය. මේ යුගයේම දයා රාජපක්ෂයන් චිත්‍රකතා පදනම පිහිටුවාලමින් චිත්‍රකතා නිර්මාණකරුවන්ට දිරියක් වන්නට ප්‍රශංසා කටයුතු වෑයමක යෙදුණි. ඔහු විසින් නිර්මාණය කරන ලද විශිෂ්ටතම චිත්‍ර කතාව කුමක්දැයි යමෙක් මගෙන් විමසූ කළ මගේ ඒකායන මතය නම් එය ගිනිබත් කිරීටය බවය. එය චිත්‍රකතාකරුවන් අත නොගැගසූ සමාජ කතිකාවක් විය. මේ චිත්‍රකතාව ඔහුගේම ස්වයං චරිතාපදානයක කොටසක්දැයි මම නොදනිමි. එහි සිටින්නේ නිශ්ශංක නම් චිත්‍ර ශිල්පියෙකි. ඔහුගේ භාර්යාව ද මල්ලිකාය. දයා රාජපක්ෂයන්ගේ භාර්යාව ද මල්ලිකා කෙනෙකි. පසුකලෙක තවත් චිත්‍රකතා රැසක් අඳින ලද නමුත් ඔහු වෙන්ව ගියේ නොඅඳින ලද මතක කතා පෙළක් සදහටම සඟවා ගැනීමෙන් යැයි ගිනිබත් කිරීටය අවසානයේ එහි ප්‍රධාන චරිතය වූ නිශ්ශංකගේ මුවට දයා රාජපක්ෂයන් විසින් රුවන ලද වදන් පෙළ අනුව මම විශ්වාස කරමි. 'දවසක ඒ මතකය මා සමඟම මේ බිමට මිහිදන් වේවි මල්ලිකා. එතෙක් මගෙන් අහන්න එපා. ඉන් එහාටත් ලෝක ප්‍රවාහය ගලා ගියොත් අහන්න. එදාට ලෝකය අඬා වැටේවි අතීතය මට පැන වූ දඬුවම් වෙනුවෙන්.' දයා රාජපක්ෂ නම් අග්‍රගණ්‍ය චිත්‍රකතා ශිල්පියාගේ බිරිය හා දරු තිදෙනාට ද සරසවිය ශෝකය පළ කරන්නේ ඔහුගේ නිර්මාණ හරහා ආශ්වාදය පමණක් නොව සරසවිය පුවත්පතට එදා ඔහු කළ කැපවීම ද සිහිපත් කොටගෙනය.
|