|
පට්ට පොරවල් නෝන්ඩි වෙනවා
මහාචාර්ය සුනිල් ආරියරත්න ගයාන් පෙරේරාට ගීයක් ලියයි
අමුතුම තාලේ ගීතයක් ගැන ප්‍රථම මාධ්‍ය හෙළිදරව්ව
ඉස්සර ගුණෙ අයියගේ කාමරේට සොමිය සොයාගෙන ආපු පච්ච සිරාලා, කොච්චි ඇලාලා එතකොට ගුස්පි රොබාලා සැප විඳලා, මෂා වෙලා අන්තිමට කැපිලා ගියේ සක්විති සුවයත් එහෙන් වැළඳුවාට පස්සේ. ඒත් දැන් ඒ බජාර් එක නිකං නන්නත්තාර වෙලා වගේ. මේ පට්ට පොරවල් අම්බානක නෝන්ඩි වෙන, සිරා කරාලත් කෙළවරක් නැතිව චාටර් වෙන යුගයක්. ටින් කිරි ටින් එකෙන් නැතිනම් ටොනික් ඩප්පියෙන් වැඩ පෙන්නපු කාලේ දැන් අහවරයි. අද තියෙන්නේ එක බුලට් එකෙන් ඕනෑ මෑන්ස් කෙනෙක්ගේ ඔළු කට්ට තත්පරයෙන් කුඩු කරලා දාන්න පුළුවන් යුගයක්. හැබැයි මේ හුඟක් එවුන්ට ඇඩ්‍රස් නෑ. ඒ හින්දා මේ අහසත් පොළවත් උන් එක්කලා විරසකයි. උන් මිහිකතගේ දයාබර දරුවෝ විදිහට පිළිගන්න ස්වභාව ධර්මයත් කැමැති නෑ වගේ. මේ ඇඩ්‍රස් නැති බුවාලා ගැන අපූරු සමාජ කතිකාවකට මං පෙත් විවර වෙන්නේ ජැක්සන් ඇන්තනිගේ 'ඇඩ්‍රස් නෑ' චිත්‍රපටය හරහා. මේ තමයි එහි තේමා ගීතය. බජාර් භාෂාවෙන් මේ සිංදුව ලියලා තියෙන්නේ එසේ මෙසේ පොරක් නෙවේ. ඔහු විද්වතෙක්, පඬිවරයෙක් වගේම අපේ රටේ බිහි වූ විශිෂ්ටතම ගීත රචකයෙක් වන මහාචාර්ය සුනිල් ආරියරත්නයන්. එතකොට මේකේ තනුව හදලා සංගීතය නිර්මාණය කළේත් අපේ සංගීත ලෝකයේ දැවැන්තයෙක්. නම කිව්වම රටම දන්න ඔහු ආචාර්ය රෝහණ වීරසිංහ. ගීතය ගායනා කළේ ගයාන් පෙරේරා. කවුද මේ ගයාන්? ඔහු ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ පුතණුවෙක්. 'ඇඩ්‍රස් නෑ' චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නැරඹුවාට පස්සේ මට හිතුණා මේක හරි අපූරු නිර්මාණයක් කියලා. අපූර්ව කියන්නේ පෙර නොවූ විරූ කියන එක. ඒ අපූර්වත්වය නිසාම මේ ගීතයේ උත්පත්ති කතාව ඔබට කියන්න ඕනෑ කියලා මට හිතුණා. සුනිල් ආරියරත්න - රෝහණ විරසිංහ සුසංයෝගයෙන් නිර්මාණය වුණ මේ ගීතය ගයාන් ලවා ගායනා කරවිය යුතුයි කියන අභියෝගාත්මක කාර්යසාධනයේ මහ මොලකරුවා වුණේ ජැක්සන් ඇන්තනි. ඔහු ඒ පිළිබඳ පළ කළේ මෙවන් අදහසක්. මේ තමයි 'ඇඩ්‍රස් නෑ' චිත්‍රපටයේ තේමා ගීතය. එය බොහොම ගැඹුරු අර්ථයකින් යුතු තේමා ගීතයක්. හැබැයි ඒ ගැඹුරු අර්ථය ජනකාන්ත ස්වරයකට පත් විය යුතුයි කියලා මගේ විශ්වාසයක් තිබුණා. මේ ගීතයෙන් කියවෙන්නේ පතාලය ගැන. පාතාලයේ දුක් විඳින මිනිස්සු ගැන. දැන් 'ගිනි අවි සහ ගිනි කෙළි' චිත්‍රපටයට ලූෂන් බුලත්සිංහල රචනා කළානේ 'නළියයි දිවි මකුළු ඇස' කියලා ගීතයක්. මට අවශ්‍ය වුණේ මෙවැනි ගීතවලට වඩා වෙනස්, වැඩි ජනගහනයකට කතා කරන්න පුළුවන් ගීතයක් නිර්මාණය කරවා ගැනීම. මේ සිංදුව මම හඳුන්වන්නේ 'රස්තියාදු සිංදුව' කියලා. ඔය රස්තා සෝන්ග් එකක්. දැන් ඔය බොබ් මාලේගේ සිංදු හඳුන්වන්නේ රස්තා සෝන්ග්ස් කියලානේ. ඒ අර රස්තෆාරියන් කියන ෆිලොසොෆි එකනේ. දර්ශනවාදයනේ. ජැමෙයිකාවේ තිබුණ රස්තෆාරියන් කියන දර්ශනවාදය හරහා තමයි බොබ් මාලේගේ සිංදු රස්තා වෙන්නේ. මම හිතනවා රස්තියාදු කියන වචනය හැදෙන්නේ එහෙමයි කියලා. රස්තියාදු කාරයා, හරි සැහැල්ලු මිනිසා. මේක රස්තෆාරියානු ගීතයක් හරියටම කියනවා නම් දැන් අපි රෙගේ සෝන්ග් කියන්නේ ඒවා. රස්තෆාරියානු සිංහල ගීතයක් තමයි මට මේකට හදා ගන්න ඕනෑ වුණේ. එතකොට මේ ගීතය එසේ මෙසේ කෙනෙකුට ලිවීමට නොහැකි බවට මගේ විශ්වාසයක් තිබුණා. මම ඒ නිසා මහාචාර්ය සුනිල් ආරියරත්නව මේකට තෝරා ගන්නවා. මම එතුමන්ට මගේ අදහස කිව්වාම එයා මගෙන් කාලයක් ඉල්ලුවා එයාගේ භාෂා කෝෂය වෙනස් කරගන්න ඕනෑයි කියලා. නමුත් චිත්‍රපටයේ වැඩ කටයුතු ඉක්මනින් කරන්න ඕනෑ නිසා මම ඔහුට ඔය වර්තමානයේ භාවිත වෙන රස්තියාදු වචන පනහක විතර ලැයිස්තුවක් එකතු කරලා යැව්වා. මහාචාර්යතුමා ඉතාම මැනැවින් ඒවා ගළපලා මගේ අදහස ඉස්මතු වෙන ආකාරයෙන් මේ ගීතය ලිව්වා. මෙහි තිබෙන්නේ ලොකු දේශපාලන අර්ථයක්. මේ ඇඩ්‍රස් නෑ කියන්නේ පාතාලයේ මිනිස්සු. ඇත්ත වශයෙන්ම ඒගොල්ලන්ට ඇඩ්‍රස් එකක් නෑ. සාමාන්‍යයෙන් අපි ඇඩ්‍රස් නෑ කියලා කියන්නේ රස්තියාදු වචනයකටනේ. එතකොට ඒ රස්තියාදු වචනයට දේශපාලන අර්ථයක් දෙන්නයි මම මේ චිත්‍රපටය හදන්නේ. දැන් අපි මීට පෙර කිව්වේ 'ලුමිපන්' කල්චර් එක කියලනේ. ඒක සිංහලෙන් කිව්වේ නන්නත්තාරික නිර්ධන පංතිය කියලයි. ඔවුන්ට ඇඩ්‍රස් නෑ. ඕනෑම වෙලාවක එලෝනවා. පැල්පත් කඩාදාලා එලෝනවා. මේ භූමිය ඔවුන්ට අයිති නෑ. ඔප්පු තිරප්පු නෑ. උප්පැන්න සහතික නෑ. ඡන්ද ලැයිස්තුවල ඒ අයගේ නම් නෑ. මෙන්න මේ පුරවැසි කොට්ඨාශය තමයි 'ඇඩ්‍රස් නෑ' කියා මම හඳුන්වන්නේ. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට මම දුන් වචන ලැයිස්තුවට අමතරව ඔහුත් වෙන වචන වගයක් සොයාගෙන තිබුණා. මම ඒකත් අරගෙන ගියේ රෝහණ වීරසිංහ හමුවෙන්න. දැන් රෝහණ වීරසිංහ ලංකාවේ මෙලඩි මේකර්. ඔහු උත්තර භාරතීය රාගධාරි සංගීතය හදාරපු බුද්ධිමතෙක් නේ. එතකොට මම එයාටත් පැවරුවේ මේ රස්තෆාරියන් සංස්කෘතියේ රෙගේ වර්ගයේ සිංදුවක් හදලා දෙන්න. මේ ගීතය ගායනා කරන්න මම තෝරා ගත්තේ ගයාන් පෙරේරා කියන තරුණ ගායන ශිල්පියා. මගේ තෝරා ගැනීම මහාචාර්යතුමා සහ රෝහණ වීරසිංහ ඉතා ඉහළින් අගය කළා. රෝහණගේ තනුව හා අධීක්ෂණය යටතේ සුරේෂ් මාලියද්ද තමයි මේකේ ට්‍රැක් එක හැදුවේ. ඔහුගේ ශබ්දාගාරයේ තමයි මේ ගීතය පටිගත කළේ. මුලින්ම මේ ගීතය අහලා ගයාන් පුදුමයට පත් වුණා. ඔහු මට කිව්වා 'ජැක්සන් අයියා මේ තරම් සීරියස් රෙගේ සිංදුවක් මම කියලා නෑ' කියලා. ගයාන් හොඳට පුහුණු වෙලා මේ සිංදුව ගායනා කළා. ඒ නිසා මේ හැමෝගෙම පුදුම ගෞරවනීය දායකත්වයක් මේ සිංදුවට ලැබුණා. සිය සුපුරුදු ගීත රචනා ශෛලිය සහමුලින්ම වෙනසකට බඳුන් කළ මේ ගීතය පිළිබඳ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කතා කළේ මේ විදිහට. මගේ අදහස අනුව නම් චිත්‍රපට ගීතයක්, ගීත රචකයාට අයිති නෑ. අපි කරන්නේ චිත්‍රපට අධ්‍යක්ෂවරයා අපිට කියන දේ. චිත්‍රපටයට අදාල විදිහට ඒ නිර්මාණය කරලා දෙන එක. ඇත්තටම ඒක අපි තනියම ගීතයක් ලියනවාට වඩා අමාරුයි. මොකද සාමාන්‍යයෙන් අපි සිංදුවක් ලියනවා නම් යම් අදහසක් අපේ සිතට ඇවිල්ලා ඒක නිරායාසයෙන්ම තමයි ගී පද රචනාවක් බවට පත් වෙන්නේ. මේක හරියට සීසර් කරලා ළමයෙක් ගන්නවා වාගෙයි. නිරුත්සාහයෙන් දරුවෙක් උපදිනවා වාගෙයි දෙයක්. සාමාන්‍යය ගීතයක් සාමාන්‍ය විදිහට උපදිනවා. මේක සීසර් කරලා ගන්නේ. ශල්‍යකර්මයක් කරලා තමයි දරුවා උපද්දව ගන්නේ. මොකද චිත්‍රපට අධ්‍යක්ෂවරයා තමයි මේ ගීතය අපෙන් ලබා ගන්නේ බලහත්කාරයෙන්. ඉතිං ඒක නිසා එතනදි ගීත රචකයා සාර්ථක වෙන්නේ අධ්‍යක්ෂවරයා කියන රූප රාමුවලට, චරිතවලට සාකල්‍යයෙන්ම ගැළපෙන ගීතයක් නිර්මාණය කර ගන්න පුළුවන් වුණොත් විතරයි. ඔහු තමන්ගේ අනන්‍යතාවය රඳවා ගන්නයි, තමන්ගේ පාණ්ඩිත්වය පෙන්නන්නයි හැදුවොත් ඒ ගීතය ඇතුලේ ඒක අසාර්ථක චිත්‍රපට ගීතයක් බවට පත් වෙනවා. පාතාලය තමයි මේ චිත්‍රපටයට පසුබිම් වෙන්නේ. පාතාල නායකයෙක් එතන ඉන්න කෙල්ලන්ව හූරාගෙන කන, ගණිකා නිවාස පවත්වාගෙන යන පාදඩ වටපිටාවක් තමයි මේ පාතාලයේ තිබෙන්නේ. බැටළු හම පොරවා ගත් වෘකයා තමයි ඊට වඩා දරුණු. ඒ වෘකයා අර පාතාල නායකයාටත් වඩා දරුණුයි. ඉතිං මේ ගීතය වෙනස්ම මට්ටමේ ගීතයක් විය යුතුයි කියලා මට හිතුණා. මේ පාතාල ලෝකය මට මවලා පෙන්නුවේ ජැක්සන්. මේ වාග් කෝෂය එහෙම් පිටින්ම ජැක්සන් ඇන්තනි සම්පාදනය කළ වාග් කෝෂයක්. 'අබා' චිත්‍රපටයෙන් එක අන්තයක සිටි ජැක්සන් ඇන්තනි 'ඇඩ්‍රස් නෑ' චිත්‍රපටයෙන් තවත් අන්තයකට ගමන් කරනවා. ඒ අන්තයේදී ඔහු මවා ගන්නා පරිසරයේදී ඔහුත් මම වගේම වෙනම පාතාල ලෝකයකට අවතීර්ණ වෙනවා. ඒ පාතාල ලෝකයෙන් ඔහු උකහා ගන්නා වාග් කෝෂය තමයි ඔහු මට දෙන්නේ චිත්‍රපටයේ මේ ගීතය නිර්මාණය කිරීම සඳහා. ඉතිං 'පට්ට පොරවල් මෝන්ඩි වෙනවා, සිරා කරාලා චාටර් වෙනවා' වගේ වචන තමයි මේ ගීතයට මම යොදා ගත්තේ. මම හිතනවා මේක මගේ අතින් නිර්මාණය වෙච්ච සාර්ථක චිත්‍රපට ගීතයක් කියලා. එවැනි ගීතයක් මා ලවා නිර්මාණය කර ගැනීමේ ගෞරවය හිමි වන්නේ ජැක්සන්ට තමයි. ගීතය ලියලා ඉවර වෙලා බලපුවාම මම ද මේ සිංදුව ලිව්වේ කියලා මට හිතුණා. චිත්‍රපටය මම නැරඹුවා. එහි රූප රාමුවලටයි, පරිසරයටයි මේ ගීතය මැනැවින් බද්ධ වෙනවා කියලා හිතුණා මේ ගීතය. මං හිතන්නේ මට වගේම අභියෝගයකට මුහුණ දෙන්න වුණා රෝහණ වීරසිංහටත්. මොකද ඔහුත් බොහොම සෞම්‍යය, සුන්දර ගීත නිර්මාණය කළ පුද්ගලයෙක්. මේ ගීතය රෝහණගේ අපි දැකපු ඒ සුපුරුදු සංගීත රටාවෙන් ඉඳුරාම වෙනස් වූ ගීතයක්. තරුණ ගායකයෙක් වන ගයාන් පෙරේරා තමයි ජැක්සන් මේ ගීතය ගැයීමට තෝරා ගෙන තිබුණේ. ඔහුත් සාර්ථකව ඒ කාර්යය ඉටු කළා කියලා මට හිතෙනවා. ගී තනු පන් දහසකට අධික ප්‍රමාණයක් නිර්මාණය කර තිබුණත් රෝහණ වීරසිංහගේ අතින් මෙබඳු ගී නිර්මාණයක් බිහි වූ ප්‍රථම අවස්ථාව මෙයයි. රෝහණ සිය අදහස් අප හා පැවසුවේ මේ අයුරින්. ජැක්සන් මාව හරියටම දැනුම්වත් කළා. මට ඕනෑ මෙන්න මේ විදිහේ ගීතයක් කියලා. ජැක්සන්ට ගී ගායනා කරන්නත් පුළුවන්නේ ටිකක්. ඉතින් ජැක්සන් ඒ ඇක්ෂන් දාලා, රඟපාලා මේ විදිහේ ටිකක් 'රළු' ගීතයක් හදලා දෙන්න කියලා කිව්වා. රළු බවක් තියෙන්නත් ඕනෑ, හැබැයි ආකර්ෂණීය තනුවක් වෙන්නත් ඕනෑ. ඔන්න ඕවා තමයි නීති. සාම්ප්‍රදායික බවෙන් මිදෙන්නත් ඕනෑ. මොකද මේක රෙගේ ස්ටයිල් එකේ ගිතයක්නේ. මේ ගීතයත් එක්ක මම තවත් ගීත දෙකක් මේ චිත්‍රපටයට නිර්මාණය කළා. මේ ගීත මම පටිගත කළේ සුරේෂ් මාළියද්ද එක්ක. එතකොට මේ තනුවට ඕනෑ කරන රිද්ම රටාවන් නිර්මාණය කරන්නට ඔහුගේ සහයෝගය ලැබුණා. ඔහුගේ තාරුණ්‍යයේ ජවය, නිර්මාණශීලීව මේ ගීතයට ආලේපනය කරන්නට හැකි වුණා. සුනිල් ආරියරත්නගෙයි, ජැක්සන්ගෙයි, මගෙයි, සුරේෂ්ගෙයි සම්මාදමෙන් තමයි මේ කථන්දරය එළි දැක්වුණේ. එතකොට චිත්‍රපටයත් සමඟ බද්ධවීම කොයි තරම් දුරට මේ ගීතය හරහා සිදු වුණා ද කියන කාරණය තමයි වඩා වැදගත් වෙන්නේ. මොකද චිත්‍රපට ගීතයක් ඒ චිත්‍රපටය සමඟ අත්‍යන්තයෙන්ම බද්ධ විය යුතුයි. සුනිල් ආරියරත්න මේ ගීතය ලියලා තියෙන්නේ සම්ප්‍රදායික රටාවෙන් මිදිලා බොහොම රළු වචන දාලා. බජාර් එකේ වචන දාලානේ. එතකොට මට එතනින් ඉඟියක් එනවා මේක කොහොම එකක් වෙන්න ඕනෑද කියලා. ඊළඟට තමයි අපි තීරණය කළේ සුනිල් පෙරේරාගේ පුතා ලවා මේ ගීතය ගායනා කරවන්න. මොකද එයා ඒ ස්ටයිල් එකට සිංග් කරනවා. ඒ වගේම තරුණ පරපුර අතර බොහොම ජනප්‍රිය ශිල්පියෙක්. ඔහුගේ දායකත්වයත් එක්ක මේක පස් ඈඳුතු කථන්දරයක් වෙනවා. මේ ගීතයේ සාර්ථකත්වයට මේ හැමෝගෙම දායකත්වය ඉවහල් වුණා. සුනිල්, ජැක්සන්, මම, සුරේෂ්, ගයාන් අපි පස් දෙනාම හොඳ වටහා ගැනීමකින් තමයි මේ නිර්මාණයට දායක වුණේ. ගීතයේ සාර්ථකත්වයේ රහසත් ඒකයි.
|