|
රාෆි සමරා මහා පින්කමක් කරන්නට සැරැසෙන පොලිස් නිලධාරි චන්ද්‍රලාල්
භාරතයේ ගායන ශිල්පී මොහොමඩ් රාෆි උපහාර 'දෝස්ති' හින්දි ගීත සමාධිය ඒක පුද්ගල හින්දි ගී ප්‍රසංගය අගෝස්තු 01 වැනි දින මහරගම තරුණ සේවා සභාවේ යෞවන රඟහලේදී පැවැත්වේ. මෙම උපහාර උළෙලේදී මොහොමඩ් රාෆි ගායනා කළ මියුරු ගීත චන්ද්‍රලාල් ජයතිලක ගායනා කරන අතර චම්පා කල්හාරි යුග ගායනයෙන් එක් වේ. මේ ප්‍රසංගය පිළිබඳ වෘත්තීයෙන් පොලිස් කොස්තාපල්වරයකු වන චන්ද්‍රලාල් මහතා අපට මෙසේ පැවසුවේය. මගේ කුඩා කාලයේ සිට මම ආදරය කරන ගායන ශිල්පියෙක් තමයි මොහොමඩ් රාෆි කියන්නේ. ඔහු භාෂා 12 කින් ගීත ගායනා කර තිබෙනවා. මගේ හදවතේ රැඳුණු ලයාන්විතම හඬ ඇත්තේ ඔහුටයි. එවැනි ගායකයෙකු වෙනුවෙන් උපහාර පුදන්න ලැබීමත් භාග්‍යයක්. මේ සඳහා සූදානම් වුණේ පාසල් අවධියේදීමයි. ඒ සඳහා අවශ්‍ය සංගීත දැනුම මා ලබා ගත්තේ තරුණ සේවා සභාවේ සංගීතය හදාරමින්. ඉන් අනතුරුව පොලීසියට බැඳුණු මම පොලිස් තූර්ය වාදක කණ්ඩායමේ වාදකයෙකු මෙන්ම ගායකයකු ලෙස කටයුතු කරනවා. පොඩි කාලේ සිට ප්‍රිය කළ හින්දි ගීතවලට යොමු වූ මම මොහොමඩ් රාෆි මිය ගොස් අගෝස්තු 01 වැනි දිනට වසර 35 ක් පිරීම නිමිත්තෙන් මේ ප්‍රසංගය සංවිධානය කළා. මේ සඳහා සංගීතය මෙහෙයවනු ලබන්නේ 1979 දී මොහොමඩ් රාෆි ලංකාවට ඇවිත් පැවැත් වූ සංගීත ප්රසංගයේදී සංගීතය මෙහෙය වූ මර්වින් ප්‍රියන්ත හේමපාල මාස්ටර්වීමත් මෙහි විශේෂත්වයක්. මේ ප්රසංගයේදී මම ගීත ගායනා කරන විට පසුබිමෙන් එම චිත්‍රපටයේ කොටස් ප්‍රදර්ශනය වන සේම අපගේ නර්තනයන් ද මෙය විචිත්‍රවත් කිරීම සඳහා යොදා ගන්නවා. මේ ප්‍රසංගයෙන් ලැබෙන මුදල් කහතුඩුවේ මා ගොඩ නැඟීමට බලාපොරොත්තු වන සමාධි සිල් මාතා ආරාමය හා ගිහි භාවනා මධ්‍යස්ථානය සෑදීමට යොදවනවා. මගේ ලොකු දුව සමාධි අපේක්ෂා ජයතිලක කුඩා කාලයේ සිටම මහණ වෙන්නට බලාපොරොත්තුවෙන් සිටින නිසා ඇයගේ අධ්‍යාපන කටයුතු අවසන්වීමෙන් පසු මේ ආරාමයේදී මහණ කරන්නටත් මමත් මගේ බිරිඳ වන මල්කා ප්‍රියංගනී ගමගේත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මෙයට සහභාගි වන සැවොම නොදැනීම මහා පින්කමකට දායක වෙනවා. මෙය සාර්ථක කර ගන්නට දායකවීමට කැමැති ඔබ 0775352240 ට අමතන්න.
|